මෙරට බෞද්ධ ප්‍රබෝධයේ සන්ධිස්ථානයක් ලෙස සැලකෙන්නේ 1880 දී සිදුවූ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගේ ලංකා ගමනයයි. එතුමා ලංකාවට එනවිට ඬේවිඞ් හේවාවිතාරණයන්ගේ වයස අවුරුදු දහසයකි. ඇමෙරිකන් ජාතිකයකු වූ ඕල්කට්තුමාගේ ඉංග්‍රීසි භාෂාවෙන් කරන ලද දේශන රටවැසියනට වැටහෙන සේ සිංහලයට පරිවර්තනය කරන ලද්දේ පෙර සඳහන් කළ ඬේවිඞ් හේවාවිතාරණ තරුණයා විසිනි.
ඕල්කට්තුමා සමඟ ආගමික කටයුතු සඳහා මදුරාසියට ගිය ඔහු එරට බෞද්ධ සිද්ධස්ථානවලට අත්ව තිබෙන සංවේගජනක ඉරණම සියැසින් දැක ගත්තේය. සමස්ත භාරතය පුරාම සංචාරය කරමින් බුදුන් උපන් රටේ බුද්ධාගමට අත්ව තිබෙන ශෝචනීය තත්ත්වය දැක කම්පාවට පත්විය. මෙම අවාසනාවන්ත තත්ත්වයෙන් බුදු සසුන බේරා ගන්නෙමැයි දැඩි අධිෂ්ඨානයක් ඇති කර ගත්තේය. ඒ අනුව 1891 දී භාරතයට ගිය ඬේවිඞ් තරුණයා බුද්ධගයාවට ගොස් එවකට එය භාරව සිටි මහන්තා නමැති හින්දු නායකයා මුණ ගැසුණි. බෞද්ධයන්ගේ මෙම පරම පූජනීය සිද්ධස්ථානය බෞද්ධයන්ට භාරදී පවතින ජරාජීර්ණ බවින් මුදවා පිළිසකර කිරීමට අවස්ථාව සලසා දෙන ලෙස මහන්තාගෙන් එතුමෝ ඉල්ලා සිටියහ.
එක්දහස් නවසිය අනූ එකේදී මහා බෝධි සමාගම පිහිටු වූ හේවාවිතාරණ මහතා තමාට පාරම්පරිකව උරුම වූ වතුපිටිවලින් ලැබෙන ආදායමින් එම සමාගම පවත්වාගෙන යමින් බුද්ධගයාව පුදබිම බෞද්ධයන්ට අයත් බව කියමින් ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු පැවරීය. එය දීර්ඝ කාලයක් ඇදෙමින් කාලය ගතවෙද්දී අධික නීතිඥ ගාස්තු ගෙවීම ආදියද එතුමා පිටටම පැටවුණි.
මේ අතර 1893 සැප්තැම්බර් මාසයේදී ඇමෙරිකාවේ චිකාගෝ නුවර පැවති සර්ව ආගමික නායකයන්ගේ ලෝක සම්මේලනයට ශ්‍රී ලංකා බෞද්ධ ජනතාව නියෝජනය කරමින් සහභාගීවීමට එතුමාට අවස්ථාව ලැබුණි. ලෝකයේ සියලු රටවල බෞද්ධ නායකයෝ මෙයට සහභාගී වූහ. එහිදී හේවාවිතාරණයන් පැවැත්වූ විශිෂ්ට දේශනය විද්වත් සභාවේ අතිශය ප්‍රශංසාවට හේතු විය. එතුමාගේ විචක්ෂණ කරුණු දැක්වීම සහ චතුර කථිකත්වය නිසා එතුමා ලෝක පූජිත වූවා පමණක් නොව බොහෝ ලෝක බෞද්ධ නායකයෝ මහාබෝධි සමාගම ගෙන යන ශාසනික කටයුතුවලට අතහිත දීමටද එකඟ වූහ. එය දඹදිව බෞද්ධ සිද්ධස්ථාන පුනරුත්ථාපනය කිරීමේ වැඩපිළිවෙළට මහත් වූ ශක්තියක් විය.
තම ජීවිතයේද මහත් පෙරළියක් සිදු කරමින්, මව්පියන් එතුමාට ලබාදුන් ඬේවිඞ් යන බටහිර නාමය අතහැර ධර්මපාල යන ආර්ය නාමය ලබාගෙන එතැන් පටන් අනගාරික ජීවිතයක් ගෙන යාමට තීරණය කරන ලදී. එතුමන්ටම ආවේණික වූ කහපාට ඇඳුමක්ද සකස් කොටගෙන එයින් සැරසී ජාතික ආගමික කටයුතුවල යෙදීම සඳහා ඉදිරි ජීවිත කාලයම වෙන් කළේය. එනිසා මෙතුමා එවක් පටන් අනගාරික ධර්මපාල යන නමින් ප්‍රසිද්ධියට පත්වීය.
ඉන්දීය කල්කටා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව පරිදි බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් පුණ්‍යභූමිය වූ බුද්ධගයාව බෞද්ධයනට හිමිවිය. එහි වන්දනාව සඳහා පැමිණෙන ලෝකවාසී බොදුනුවන්ට නවාතැන් පහසුකම් සලසා ගැනීම සඳහා සුවිශාල විශ්‍රාම ශාලාවක් ඉදිකිරීමට ධර්මපාලතුමා නායකත්වය දුන්නේය. අනතුරුව බුදුන් වහන්සේ ප්‍රථම ධර්ම දේශනය පැවැත්වූ බරණැස ඉසිපතනාරාම පුණ්‍යභූමියේ මූලගන්ධකුටි විහාරය තනා එයද බෞද්ධ උරුමයක් බවට පත් කළේය. එපමණක් නොව මෑත ඉතිහාසයේ ප්‍රථමවරට යුරෝපයේ අගනුවර කීපයකම බෞද්ධ සිද්ධස්ථාන ඇති කිරීමටද පියවර ගත්තේය. බි්‍රතාන්‍යයේ ලන්ඩනයේත්, ජර්මනියේ බර්ලින් අගනුවරත්, බෞද්ධ පන්සල් ඇති කළේ එතුමාගේ පුරෝගාමීත්වයෙනි. මෙම කටයුතු සඳහා අතහිත දුන් විශාල පිරිසක් ධර්මපාලතුමා වටා රොක්ව සිටියහ. මහාචාර්ය මැක්ස් මුලර්, රිස් ඩෙවිඞ්, සර් එඞ්වින් ආර්නෝල්ඞ් ආදීහු එවැනි කීප දෙනෙක් වෙති.
බි්‍රතාන්‍ය අධිරාජ්‍ය පාලනය යටතේ අන්ත දුඃඛිත තත්ත්වයට පත්ව සිටි සිංහල ජනතාවට නිදහස පිළිබඳව මතයක් ඇතිකරලීමට ධර්මපාලතුමාගේ වැඩපිළිවෙළ මහත් සේ ප්‍රයෝජනවත් විය. ගම් නියම්ගම් සිසාරා යමින් එම ප්‍රදේශවල ප්‍රභූන් මගින් ජනයා රැස්කරවා දේශන පවත්වමින් හා දේශීය චින්තනය පහදා දෙමින් කළ යුග මෙහෙවර අතිශයින්ම ප්‍රසංශනීයය. දේශීය අනන්‍යතාවේ සුවිශේෂී අංගයක් වූ සිංහල නම් භාවිත නොකර, පරදේශික නම් භාවිත කිරීම එතුමා තරයේ හෙළා දැක්කේය. එම සිරිත අතහරින ලෙස උපදෙස් දුන්නා පමණක් නොව ඔවුන් ප්‍රසිද්ධියේම දැඩි ලෙස දෝෂාරෝපණය කළේය. පේදිරිස් සිල්වා ලෙස නම් ලබා සිටි පුද්ගලයා පියදාස සිරිසේන නමින් ජාතික නායකයෙක් බවට පත්වූයේ ඒ අනුවය. එවකට ලංකාවේ පැවති ජාතික සටන් මධ්‍යස්ථානය වූ අමද්‍යප ව්‍යාපාරයට අනගාරික ධර්මපාලතුමාගෙන් ලැබුණේ මහත් අනුබලයකි. 1915 සිංහල-මුස්ලිම් ජාතිභේදවාදී අරගලයේදී එතුමා බාල සොහොයුරු එඞ්මන්ඞ් හේවාවිතාරණ තරුණ මහතා මංකොල්ල කෑමේ චෝදනාවකට බන්ධනාගාර ගත කර සිටි අතර භයානක රෝගයක් වැලඳීමෙන් සහ එයට නිසි ප්‍රතිකාර ලබා දීමට පාලකයන් කටයුතු නොකළ නිසා යාපනය බන්ධනාගාරයේදී මිය යාම අනගාරික ධර්මපාතුමාගේ සිත සසල කළ සිදුවීමක් විය.
එහෙත් මොහොතකටවත් තම මහජන සේවාවන් අතහැර නොදැමූ ධර්මපාලතුමා සිංහලයන් නැගිටුවා ජාතික විමුක්තිය ලබාගැනීම පිණිසවූ සටන පෙරටම මෙහෙයවිය. එතුමාගේ පියාණන් වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාගේ මෑණියන් වූ මල්ලිකා හේවාවිතාරණ ළමාතැනියත් සොහොයුරු පිරිසත් ධර්මපාලතුමාගේ ජාතික සේවයට මහඟු අත්වැලක් වූහ.
තමන්ගේ ගමන් බිමන් සඳහා එතුමන් යොදා ගත්තේ අමුතුම ආකාරයේ වාහනයකි. කුඩා ලොරි රථයක කවුළු තනා ආසන යොදා සකස් කර තිබූ එම රථයේ දෙපැත්තේ “මත්පැන් නොබොනු” සහ “හරක් මස් නොකනු” යනුවෙන් විශාල අකුරින් පින්තාරු කර තිබුණි. එම රථයේ නිතරම සුදු ජාතිකයන්ගේ හැඩ රුවට පඹයන් දෙදෙනකු නිර්මාණය කර තිබූ බවත් රැස්වීම්වලදී ඒවාට පහර දීමට සැලැස්වීමෙන් සුද්දන් කෙරෙහි එම යුගයේ පැවති බිය පහ කරවීමට කටයුතු කළ බවත් පැරණි වාර්තාවල දැක්වේ. එතුමා රටේ නිදහස පිණිස ජනයා ධෛර්යය ගැන්වූයේ ඒ ආකාරයෙනි.
ජීවිතයේ අන්තිම භාගයේදී දඹදිව බරණැස ඉතිපතානාරාමයේදී සිරිදේවමිත්ත නමින් පැවිදි දිවියට ඇතුළත්ව පිං රැස්කරගත් මෙම උත්තමයා රටට, ජාතියට, ආගමට නොනැසෙන සේවාවක් ඉටුකර 1933 අප්‍රේල් 23 වැනිදා කලුරිය කෙළ් සිංහල ජාතියත් සම්බුද්ධ ශාසනයත් පවතිනතුරු අමතක නොවන කීර්ති නාමයක් ඉතිරි කරමිනි. කිසි දිනක බල තණ්හාවක් නොතිබුණු නිසා පදවි, තානාන්තර, ගරු නම්බු හෝ වෙනත් වරප්‍රසාද කිසිවක් කෙරෙහි උනන්දුවක් නොදක්වමින් සේවය සඳහාම ඇප කැප වූවේය.
දෙආකාරයෙන් ජනතාවට සේවය කළ සැප්තැම්බරයේ උපත ලද මෙම විශිෂ්ටයන් තවත් බොහෝ කාලයක් ගතවනතුරු ජනතාවගේ අභිවාදනයට ලක්වෙනු ඇත.
සෝමසිරි වික්‍රමසිංහ