අසල්වැසියාගේ නිදහස් සටනින්-02
ගත වූයේ කෙටි කලකි. මෙම සිදුවීම නිසා හටගත් මිත්‍ර සබදතාව ප්‍රේමයකට හැරීම නිසා ෂෙනිබ් සහ බූටා සිං අතර විවාහය සිදුවූවේ ඇයගේ දෙමාපියන්ගේ ආශිර්වාදයද ඇතිවය. ඔවුන්ගේ ආදර බන්ධනය මල්ඵල ගන්වමින් මෙම යුවළට දියණියක උපන්නේ මාස එකොළහක් වැනි සුළු කාලයකදීය. වැඩි ධනවත් කමක් නොතිබුණත් මෙම කුඩා පවුල ආදරයෙන් නොඅඩුව සාමයෙන් සතුටෙන් කල් යැවීය.
මවුන්ට් බැටන් සාමිවරයාගේ අවශ්‍යතාව මත සිරිල් රැඞ්ක්ලිෆ් නම් නිලධාරියාගේ පැන්සල් තුඩෙන් අඳින ලද සිතියමකට අනුව ඉන්දියානු අර්ධමහාද්වීපය කොටස් තුනකට බෙදන ලදී. පන්ජාබය සින්ද්, වයඹ දිග දේශසීමා ප්‍රාන්තය සහ බලුකිස්ථානය ඒකාබද්ධ කර පාකිස්තානයද මහා බෙංගාල ප්‍රාන්තය දෙකට බෙදා බටහිර සහ නැගෙනහිර බෙංගාල වශයෙන් කොටස් දෙකක් කරන ලදුව නැගෙනහිර බෙංගාලය නැගෙනහිර පාකිස්තානය යනුවෙන් ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව පාකිස්තානය යනු අපූරු රාජ්‍යයක් විය. බටහිර සහ නැගෙනහිර පාකිස්ථානය අතර දුර සැතපුම් දහස් ගණනක් විය. ඉන්දියානු දේශ සීමාව වසා දැමුවහොත් මොවුන් ගමන් කළ යුතුවූවේ ලංකාව හරහාය. කෙසේ වුවත් මේ අයුරින් පාකිස්තානයේ ජීවත්වූ හින්දුන් ඉන්දියාවටත් ඉන්දියාවේ මුස්ලිමුන් එහි සිට පාකිස්තානයටත් ලක්‍ෂ ගණනින් සංක්‍රමණය වූහ. එය මහා ඛේදවාචකයක් බවට පත්වුවේ නිතැතිනි.
බූටා සිංට අයත් කුඩා නිවස සහ ඉඩමත් කුඹුරත් අයිතිකර ගැනීමට ඇස ගසාගෙන සිටි ඥාතීහු දෙදෙනෙක් වූහ. සිංගේ විවාහය හා දරුවෙකු ඇතිවීම තම ආත්මාර්ථකාමී අපේක්‍ෂාවට බාධාවක් බව එම ඥාතීහු තේරුම් ගත්හ. කල දුටු තැන වළ ඉස ගැනීමට තීරණය කළ මෙම දෙදෙනා ෂෙනිබ් පාකිස්තානයෙන් පැහැරගෙන එන ලද කෙල්ලෙකැයි ඉන්දියානු රජයට පෙත්සමක් ඉදිරිපත් කළහ. මෙය මේ දිනවල පැවති තත්ත්වයේ හැටියට බලවත් අපරාධයක් විය. එවැනි දේ බහුලව සිදුවූ නිසාය. මෙම ගැටලුව පිළිබඳව සොයා බලා කටයුතු කරන තෙක් සහ පාකිස්තානයට ගිය ෂෙනිබ්ගේ දෙමාපියන් සොයා ගන්නා තුරු ෂෙනිබ් පන්ජාබයේ රැඳවුම් කඳවුරකට ඇතුළත් කරනු ලැබුවාය. මේ අතර දුර දිග කල්පනා කළ බූටා සිං තම දරුවා සහ බිරිඳ සමග ආදරයෙන් එක් වහලක් යට ජීවත්වීමේ පරම අපේක්‍ෂකාවෙන් යුතුව තමා පණ මෙන් රැකගෙන සිටි දිග කොණ්ඩය මුඩු කොට කපා දමා දේවස්ථානයකදී මුස්ලිම් ආගම වැළඳ ගත්තේය. ඉන්පසු ඔහුගේ නාමය ජමිල් අහමඞ් නම් විය. තමා දැන් මුස්ලිම් ජාතිකයෙකු බැවින් තම බිරිය ආපසු ලබාදෙන මෙන් ජමීල් අහමඞ් පාකිස්ථාන රජයෙන් ඉල්ලා සිටියත් එය ඉටු නොවුණි. දිනපතාම රැඳවුම් කඳවුරට ගිය ජමිල් අහමඞ් තමනට සිදුවූ විපත ගැන ෂෙනීබ් සමග එක්ව වැලපුණේය. තිදෙනාම එක්ව ජීවත්වීමට ආශිර්වාදය පතා දෙවියන්ට යාඥා කළහ.
ටික දිනකට පසු ෂෙනීබ්ගේ දෙමාපියන් සොයා ගත් බව පන්ජාබ් රජයෙන් දන්වන ලදුව ඇය දෙමාපියන් වෙත භාරදීමට බලධාරීහු කටයුතු කළහ. බූටා සිං තනිවිය. වෙනත් කළ යුතු දෙයක් නැති තැන ‘මියතොත් මියෙම්වා - රැකතොත් රැකෙම්වා’ යන අවදානමෙන් යුතුව බූටා සිං දියණියත් සමග දේශ සීමාව තරණය කර ලාහෝරයට ගියේය. ඒ ගතවූ ටික දිනට ෂෙනීබ් මුස්ලිම් තරුණයකුට විවාහ කරදී තිබුණි. තවදුරටත් කරදර විඳීමට අකමැති වූ දෙමාපියෝ අතීතය අමතක කර දමා නව ජීවිතයක් ආරම්භ කර සිටියහ. ෂෙනිබ් සොයා ඇයගේ ගමට ගිය බූටා සිංට එම ඥාතීහු හොඳහැටි ගුටිබැට දී පන්නා ගත්හ. වෙනත් කළ යුතු යමක් නැති තැන බූටා සිං තම දියණියද රැගෙන දුම්රියට පැන දිවි නසා ගත්තේය. නමුදු ළදැරිය මිය ගියේ නැත. එම දරුවා භාර ගැනීම ෂෙනිබ්ගේ ඥාතීහු ප්‍රතික්‍ෂේප කළහ. ෂික්වරයෙකුගේ රුධිරයෙන් උපන් දරුවෙකු නිසා තම පෙළපත අපවිත්‍ර වනු ඇතැයි ඔව්හු විශ්වාස කළහ. එමෙන්ම බූටා සිංගේ මළ සිරුර තම සොහොනේ මිහිදන් කිරීමද ඔව්හු ප්‍රතික්‍ෂේප කළහ. බූටා සිං ළඟ ලිපියක් තිබුණි. එය ලියා තිබුණේ දයාබර බිරිඳ වූ ෂෙනිබ්ටය. එහි මෙසේ සඳහන් විය.
ආදරණිය ෂෙනීබ්! ඔබ ඔබේ මිනිසුන්ගේ හඬට අවනත වූ බව දනිමි. ඔබ මගෙන් වෙන්වුවේ හිතට එකඟව නොවේ. තවමත් මගේ පැතුම ඔබ හා එක්ව ජීවත් වීමයි. මගේ සිරුර ඔබේ ගමේම මිහිදන් කරන්න. ඉඩක් ලද විටක මගේ සොහොන ළඟට ඇවිත් ඒ මත මලක් තබන්න. එම අවසන් ඉල්ලීමටද ඉඩක් නොලැබුණි. බූටා සිංට අන්තිම සැතපීම ලැබුණේ ෂෙනිබ්ගේ ගමේ සුසානයේ නොව ලාහෝර් නගරයේ භූමියකය. ඒ බලධාරීන්ගේ තීරණයක් විය. මෙයට නොකැමති වූ ලාහෝරයේ අන්තවාදී කණ්ඩායමක් බූටා සිංගේ මළ සිරුර ගොඩ ගෙන ප්‍රසිද්ධියේ විසි කර දැමූහ. එයින් කෝපයට පත් ලාහෝරයේ සාධාරණ මිනිස්සු බූටා සිංගේ මළ සිරුර ගෞරවාන්විත භූමිදානයකට කටයුතු කළහ. ඔහුට ස්වර්ග රාජ්‍යයේ සැනසීම අත්වේවායි පැතූහ. නැවතත් අන්තවාදීන්ගෙන් ඔහුට ගැහැට සිදුවනු වැළැක්වීම සඳහා ඔව්හු කලක් ගතව යන තුරු එම සොහොන රෑ දවල් මුර කළහ. ලාහෝරය පාලනය කළ ෂා ජහාන් මෝගල් අධිරාජ්‍යයා තම ප්‍රියාදරිය වූ මුම්ටාස් මහල් දේවියගේ වියෝවෙන් මුසපත්ව තම ආදරයේ සිහිවටනය වූ ටජ්මහල් මහා මන්දිරය ගොඩ නැගූ බව ඉතිහාසයේ කියවේ. එහෙත් දුප්පත් බූටා සිංගේ සහ ෂෙනිබ්ගේ ආදර වෘත්තාන්තය ගැන සිහිවටන ඉදිවී නැත. ජාතිවාදයේ සහ ආගම්වාදයේ ගිනිදලු ඇවිළවීම පහසුය. නිවා දැමීම අතිශය දුෂ්කරය. මේවායින් දුක් විඳින්නේ බූටා සිං සහ ෂෙනිබ්ලා වැනි අසරණයෝය. එදා ලාහෝරයේ දී බූටා සිං දුම්රියට පනිද්දී ඔහු වඩාගෙන සිටි සුල්තානා නම්වූ දියණියගේ දිවි බේරුණි. සමහර විට ඇය ලෝකයේ කොතනක හෝ තවමත් ජීවත්වනවා වන්නට පුළුවන. එසේ ඇය ජීවත් වන්නේ නම් ජාතිභේදවාදයේ අකාරුණික පීඩාවට හොඳම නිදසුන ඇය වනු ඇත.
සෝමසිරි වික්‍රමසිංහ