මුළු රටම කොටි භීෂණයෙන් ඇලළුණු යුගයේ විරුද්ධවාදීන්ගෙන් පළිගැනීමට සැරසුණු ඇතැම් කල්ලි දේශපාලන නායකයන් අමු අමුවේ ඝාතනය කිරීමට කොටින්ට ඇරයුම් කළහ. එවැනි සිද්ධීන් පිළිබඳ නඩු විභාග පවා කාලයේ වැලිතලයට යට වී ඇත්තේ ජාතියේ අවාසනාවටය.
උතුරේ ජනිත වූ කොටින්ට දකුණේ ආරක්ෂක දොරකවුළු ඇරුණේ පළිගැනීමේ චේතනාව මත කොටින්ගේ මුදල් හා නොයෙකුත් වරප්‍රසාදවලට වහල් වූ නරුමයන් නිසාය.
සහෝදර දේශපාලනඥයන් දිගින් දිගටම ගිනිඅවියට හා අධිබලැති බෝම්බවලට බිලිවෙද්දී උපක්‍රමශීලීව කටයුතු කර තම දිවි බේරාගත් අතළොස්සක් අතර ජා-ඇළ මහජන නියෝජිත ෆීලික්ස් පෙරේරා ද වෙයි.
2008 සමයේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යධුරය දරමින් ධීවර ප්‍රජාවට මෙන්ම නිර්ධන පන්තියේ ජනතාවට දැවැන්ත සමාජයීය සේවයක නිරතව සිටි ෆීලික්ස් දිවංගත විජය කුමාරතුංග හා ඔසී අබේගුණසේකර වැනි පෙරළිකාර දේශපාලනඥයන් සමග ජාතික සංහිඳියාව වෙනුවෙන් විශාල කැපවීමක් කළ පුද්ගලයෙකි.
තමන් ඝාතනය කිරීම සඳහා ප්‍රදේශයේම කොටි හිතවාදී පිරිසක් කළ කුමන්ත්‍රණය ෆීලික්ස් පෙරේරා හෙළිකළේ එම තොරතුරු එවකට ආරක්ෂක අංශවල හා පොලිසියේ සටහන්ව තිබූ තොරතුරු සමග සාපේක්ෂව ද තහවුරු කරමිනි.
“කොටින්ට වුවමනා වෙලා තිබුණේ අපි වගේ ප්‍රාදේශීය දේශපාලනඥයින්ව ඝාතනය කර දකුණේ ඡන්ද ප්‍රදේශවලට ඇතුළු වෙලා බලය තහවුරු කරගන්නයි. ඒකට උදව් කරගන්න පිරිසකුත් එයාලට ඕනෑ වෙලා තිබුණා. සල්ලියි වරප්‍රසාදයි දීල තමයි ඔවුන් යටත්කර ගත්තේ.
ෆීලික්ස් පෙරේරා වැනි චරිත ලෙහෙසියෙන් යටත්කර ගත හැකි නොවන අතර මරා දැමීම ද ලෙහෙසි නැත. මන්ද යත් ඔහු වටා ක්‍රියාකාර තරුණ පිරිසක් මෙන්ම ආගම් කුල ජාති බේද ආදියෙන් තොරව රැකවරණය දෙන ජනතාවක් ද සිටින බැවිනි.
“මගේ දේශපාලන ගමනට අකුල් හෙළන පිරිසකුත් ජා-ඇළ හිටියා. ඔවුන් උතුරෙ කොටින් සමග යකඩ ව්‍යාපාරයක් පවත්වාගෙන ගියා. මෙම පිරිසට ඕනෑකම තිබුණා කොටින්ව රට තුළට ගෙනැවිත් රැකවරණය දෙන්න. ඔවුන්ට තිබුණු එකම බාධාව මායි.
මේ දිනවල ජා-ඇළ ප්‍රදේශයේ එක්තරා පිරවුම් හලකදී දෙපිරිසක් අතර වූ බහින්බස් වීමක් මත ෆීලික්ස් මහතාගේ ළඟම හිතවතකු හා තරුණ ක්‍රියාකාරිකයකු වූ චූටි නමැති තරුණයා හා තවත් පුද්ගලයකු ඝාතනය කරනු ලැබිණ. එම පිරිස ජා-ඇළ ප්‍රදේශයේම කොටි හිතවාදී කල්ලියක සිංහල පිරිසක්.
මේ අයගේ නායකයා ජා-ඇළ දේශීය වෛද්‍යවරයෙක්. වඩාත් ප්‍රසිද්ධ ගබ්සා වෛද්‍යවරයකු ලෙසයි. ද්විත්ව මිනීමරුමෙන් පස්සේ පොලිසියෙන් බේරෙන්න මේ අය උතුරේ කොටි ඉසව්වට පැන ගත්තා. අපේ ප්‍රදේශයේ දේශපාලනඥයෙක් තමයි ඒකට උදව් වුණේ.
2006.04.24 දින වාහනය වව්නියාව ඕමත්ත හමුදා මුරපොළෙන් ආරක්ෂක කලාපයට ඇතුළු වූ බව ලුතිනන් කර්නල් ජයපතිරණ බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරි වෙත වාර්තාකර ඇත. දේශීය වෛද්‍යවරයා සමග ගිය පිරිස පස් දෙනෙකි. ඔවුන් ජාඇළදී හඳුන්වා ඇත්තේ ජා-ඇළ එලකිරියා, ගල්ලවත්ත සුදුවා, රාගම සුදා හා ජා-ඇළ සුරංග වැනි අන්වර්ථ නාමවලිනි.
මෙම පිරිස ආරක්ෂාව පතා බුද්ධි කොටි අංශයේ නායක පොට්ටු අම්මාන් වෙත භාර වූහ. පොට්ටු අම්මාන්ගේ නියෝගය පරිදි ඥානවේල් සහ දේවා නමැති කොටින් දෙදෙනා ජාඇළ ළැගුම්ගෙන ෆීලික්ස් අමාත්‍යවරයාගේ නිවස අවට හා ඔහු ගමන් ගන්නා ජා-ඇළ, කටුනායක හා මීගමුව අවට ගමන් මාර්ගය වීඩියෝ ගත කළහ.
මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති අසෝක විජයතිලක මහතා 2006.10.27 දින හිටපු පොලිස්පති වික්ටර් පෙරේරා දැනුම්වත් කරමින් ෆීලික්ස් පෙරේරා අමාත්‍යවරයාගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ පියවර ගන්නා ලෙස දැන්වීය.
ඒ අනුව විශේෂ ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා අමාත්‍යාංශ ලේකම්වරයාට ඒ පිළිබඳව ගතයුතු උපදෙස් දැනුම් දුන්නේය.
අමාත්‍යවරයාගේ ආරක්ෂකයන් ගණන වැඩි කිරීම, මාලිගාවත්ත මහ ලේකම් කාර්යාලයේ සිට නිරීක්ෂණය කළ හැකි පරිදි ධීවර අමාත්‍යාංශ භූමියේ දොරටු ආවරණ වන පරිදි ආරක්ෂක කැමරා පද්ධතියක් ස්ථාපිත කිරීම ඒ අතර වෙයි.
එකම වර්ගයේ රථයක් ගමන් බිමන් සඳහා භාවිත කිරීම අනතුරුදායක බැවින් එකම වර්ගයේ රථ තුනක් භාවිත කිරීමට ද උපදෙස් ලැබිණ.
“සර් අපි අලුත් වාහන තුනක් ගනිමු.
අමාත්‍ය ලේකම් ජී. පියසේන මහතා යෝජනා කළේය. “මොනවටද එහෙම කරන්නේ?” ඇමැතිවරයා ඇසීය. සර්ට ජීවිත තර්ජන තියෙන නිසානේ.”
ජනතාව තමාගේ ආක්ෂකයා යන මතයේ අදත් සිටින ෆීලික්ස් එම ඉල්ලීම බැහැර කළේය.
“අයිසේ මුළු රටම අර්බුදයක ඉන්න වෙලාවෙ මං විතරක් ආරක්ෂාව සලසා ගෙන වැඩක් තියේයැ. වාහන තුනක් ගන්න මහජන මුදල් වියදම් කළොත් ධීවර ජනතාවට වැඩකරන්නෙ කොහොමද? මං මගේ ආරක්ෂාව බලාගන්නම්. අපි සංවර්ධන වැඩ කරගෙන යමු.” අමාත්‍යවරයා ගෝරානාඩු කළේය.
එහෙත් ෆීලික්ස්ට වඩා පොට්ටු අම්මාන්ලාගේ වේගය වැඩිය. ඥානවේල් හා දේවාගේ වැඩ ඉක්මන් විය.
ඔවුන්ගේ උපදෙස් පරිදි යාපනේ කොඩිකාමම් හි යදීස් කවීදා, ආරියපුර බගවන්තලාවේ රාමයියන් රාඝු, ත්‍රිකුණාමලේ මුරුගන් කෝවිල පාරේ ජෙයපාල් (ජෙයතලන්) ජෙනාර්ථන්, යාපනයේ සුන්දරම් සදීස් හා ඔහුගේ බිරිඳ සදිස්කව්දා සමග යාපනයේ සුරේෂ් සහ වවුනියාවේ නෆීර් යන ක්‍රියකාරීහු ජා-ඇළට පැමිණ ලැගුම් ගත්හ.
නන්නාඳුනන ජා-ඇළ ප්‍රදේශයේදී ඔවුන්ට නවාතැන්, ආරක්ෂාව සහ අමාත්‍යවරයා ඝාතනය සඳහා පහසුකම් සැලැස්වීම සිදුකළේ දේශීය වෛද්‍යවරයාගේ උපදෙස් පරිදිය.
ඒ සඳහා ජා-ඇළ ශාන්ත මරියා පාරේ මැල්කම් ටිරෝන් නොහොත් කීටයා නමැති සිංහල තරුණයකු හඳුන්වා දෙන ලදී. කීටයා විසින් සුරේෂ් සහ නෆීර් යන බෝම්බකරුවන්ට ජා-ඇළ කණුවන සදාසරණ පාරේ කුලී නිවසක නවාතැන් සැපයීය.
ඔවුන් විසින් මිලට ගන්නා ලද යතුරුපැදියට බෝම්බය අටවා අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිටට වී බලා සිටිය ද පලක් නොවිණ.
“ඇමැතිගේ ආරක්ෂක රථ හා නිල රථ මිදුලේ තිබුණා. පැය දෙකක් විතර රැකගෙන හිටියත් එළියට ආවේ නෑ. මමත් සදිස් සමග ගෙදර ගියා. රෑ යතුරු පැදියෙන් බෝම්බය ගැලෙව්වා. පස්සෙ ලොකු වළක් හාරලා සිමෙන්ති කිලෝ තුනක් යොදා වළදැම්මා. දවස් දෙකකට පස්සෙත් බෝම්බය අටවාගෙන රැකගෙන හිටියත් ඇමැති එළියට ආවේ නෑ.
කීටයා පොලිසියට කියා තිබිණ. දින කිහිපයක අසාර්ථක උත්සාහයෙන් පසු අමාත්‍යවරයා නිවසින් එන වෙලාව හරියටම දැනගන්නට ලැබිණ. එහෙත් ඒ වන විට ලහි ලහියේ රිය පෙළ පිටවනු පෙනිණ. බෝම්බය පිපිර වීමත් පැනයාමට කල් වේලා මද බව දැනී එය ක්‍රියාත්මක නොකළ බව කීටයා පැවසීය. තුන්වැනි දිනයේදී සිදුවූයේ අපූරු දෙයකි. බෝම්බය ඇටවූ යතුරු පැදිය නවතා අසල වෙළෙඳ සල වෙත බෝම්බ ක්‍රියාකරු වූ නෆීර් ගියේ තමන්ට බඩගිනි බව කියා බිස්කට් සහ බනිස් ගෙන ඒමටය.
ඔහු එන විට සියල්ල වී හමාරය.
“වැඬේ කෑවා. දැන්ද එන්නේ.” සුරේෂ් ඇසීය.
ඇයි මොකක්ද අප්සෙට් එක? නෆීර් ද ඇසීය.
“අදත් වැඬේ සෙත්තපෝච්චි? ඇමැතියා මේ දැන් පැන්නා.”
දෙවියන් වහන්සේගේ මඟ පෙන්වීම අනුව දෝ තමන්ට එදා ද ජීවිත දානය ලැබුණු බව අමාත්‍ය ෆීලිකිස් පැවසීය.
“ජීවිත ආරක්ෂාව සලසගන්න මං ප්ලෑන් කළා. මගේ නිල වාහන මිදුලේ තියලා රහස් පාරවල්වලින් පැන ගත්තා.” ඔහු සිනහ වෙමින් කීය. යතුරුපැදියේ බෝම්බ සෙල්ලම කිසිදා ඉටුනොවන බව කොටින්ට පෙනී ගොස් තිබිණ.
ඒ අනුව යළිත් බෝම්බය ගලවා ඉවත් කෙරිණ. 2007 දෙසැම්බර් 17 වැනිදා දෙමළ ජාතිකයන් දෙදෙනා සමග කීටයා තම මෝටර් රියෙන් ගොස් මීගමු පාරේ තුඩැල්ල හන්දියේ පිහිටි රුක්මණී දේවි පිළිරුව අසල ගැවසී බෝම්බය ඇටවීමට සුදුසු තැන් සෙව්වේය.
එදින රාත්‍රී දහයට පමණ බෝම්බය කාරයේ ඩිකියට දමා පිළිරුව අසලට ගෙන එන ලදී.
ආරක්ෂක කැමරාවලට හසු නොවන සේ මිනුවන්ගොඩ පාරෙන් කණුවනට පැමිණ පිළිරුව අසලින් වමට හැරී මස් කඩය අසල රිය නතර කළහ. ඒ අසල කුණු කානුව දිගේ බෝම්බය හා රඳවනය රැගෙන නෆීර් නොපෙනී ගියේය.
කීටයා වාහනය රැගෙන අතුරුදන් විය. පසුව පැමිණි විට කොටි ත්‍රස්තයන් දෙදෙනා කුණු කානුවේ විෂට කකුල් කසමින් ශාප කරමින් සිටිනු දක්නා ලදී.
(මතු සම්බන්ධයි)
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි