භීෂණයට බිලි වූ ප්‍රාණ පරිත්‍යාගී පියතුමා


“කුමන ආකාරයේ අත්දැකීම්වලට මුහුණදීමට සිදුවුවත් අප තුළ ඇති දේව විශ්වාසය, ශක්තිය සමග ඉදිරියට යෑමට තීරණය කිරීම ජීවිතයට මුහුණදීමට ප්‍රබල අත්වැලක්වනු ඇත.” ඒ ජේසුස් වහන්සේගේ වදනයි.


එසේම පැවිදි දිවියට පිවිසි බෞද්ධ හා කිතුණු අනුගාමිකයනට පවා බුදුරජාණන් වහන්සේත් ජේසු සමිදාණන් වැනි ආගමික නායකයන් ඔවදන්දී ඇත්තේ සියලු සත්ත්වයා දුකින් මුදවාලීම අරමුණ කරගත් තම ජීවිතයට එන අණවිණ අභියෝග පිළිගෙන නොසැලී ක්‍රියාකරන ලෙසය. එදා මෙදා තුර කුරිරු බලවේග නිසා අකාලයේ දිවියෙන් වන්දි ගෙවන්නට සිදුවූ ආගමික බැතිමතුන් හා ආගමික නායකයන් ගණන බොහෝය.


ලෝක සංග්‍රාම, ත්‍රස්තවාදී බිය, පළිගැනීම් මෙන්ම සුනාමි වැනි පාරිසරික බලපෑම් හා හදිසි අනතුරු නිසා ආගම දහමට ළැදි විශාල පිරිසක් අප අතරින් වියෝ වූහ. ඊට ආසන්නතම සිද්ධිය පසුගිය අප්‍රේල් මස 21 දින මෙරට දේවස්ථාන රැසකට එල්ලවූ මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය නිසා 400කට ආසන්න ජනතාව මරණයට පත්වී තවත් විශාල පිරිසකට බරපතළ තුවාල සිදුවීම නිසා යැපෙන්නන් සහ ඥාතීන් අසරණභාවයට පත්වීමයි.


80 දශකයේ ඌව වෙල්ලස්ස ගැමි ජනතාව අතර ආගම් භේදයකින් තොරව ජනප්‍රිය වූ ක්‍රියාශීලි සමාජ සේවකයකු වූ ගරු මයිකල් රුද්‍රිගු පියතුමාද, උතුරුකරයේ හින්දු ආගමික දෙමළ පිඩිත ජනතාව සමග උරෙනුර ගැටී ක්‍රියාකළ ගරු මේරි බැස්ටියස් පියතුමාද ඝාතනයට ලක්වූ අයුරු ශෝචනීයය.


1927 ජුනි 30 වැනිදා මධ්‍යම පාන්තික කිතුණු පවුලක උපත ලද එතුමාට කිතුණු සාහිත්‍යයේ සඳහන් පරිදි ලුසිපෙර් පරාජය කළ අග්‍ර දේවදූතයාගේ නාමය වූ මයිකල් යන නම මව්පියන් විසින් තබන ලදී. කොළඹ ශාන්ත පීතර කොලීජියෙන් අධ්‍යාපන ලැබු එතුමා නිමල මරිය නිකායේ පූජා ප්‍රසාදිවරයකු වීමේ අරමුණින් රෝමයේ ග්‍රෙගොරියනු අධ්‍යාපන පිඨයට ඇතුළත්වූහ. දේවධර්ම ආචාර්ය උපාධිය ගෙන මෙරටට පැමිණි එතුමාට මහාචාර්ය පදවියක් පිරිනැමීමට ඇරයුම් කළ නමුත් එය ප්‍රතිෂේප කළේ ජනතාව සමග මුසුවී වැඩකිරීමේ කැමැත්ත නිසාය.


1955 දී සියරට පැමිණි තරුණ මයිකල් රුද්‍රිගු දේවගැතිතුමා වසර 20 ක්ම අම්පිටිය ජාතික දෙවියන් හලේ ආචාර්ය ධුරයක් දැරූහ. බුද්ධෝත්පත්තිය පිළිබඳව මෙම පූජා ප්‍රසාදිතුමා ශාස්ත්‍රපති උපාධියට ලියූ නිබන්ධනයට සඟරුවනේ පැසසුමද ඉහළින් ලැබිණ. ප්‍රංශ හා ඉතාලි භාෂා විශාරදවරයකු වූ මයිකල් රුද්‍රිගු දේවගැතිතුමා ගම් නියම්ගම් සිසාරමින් ග්‍රාමිය ප්‍රජාසත්කාරයෙහි නියැළුණ අතර ආගම් අතර අවිශ්වාසය විඳහැර එකමුතුව ඇතිකිරීම සඳහා උත්සාහ කළහ “බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ, වැනි ආගමික ශාස්තෘවරුන් උත්සාහ දැරුවේ ජනතාවට ජීවිතයේ සැබෑ ඡායාරූප පෙන්වාදී ඔවුන් පාපයෙන් හෙවත් දුකින් මුදවාගැනීමටයි.


“ඒ නිසා ඔබ කිසිවකු ආගම වෙනස්කළ යුතු නැහැ. අවශ්‍යවන්නේ හදවතින්ම බෞද්ධයන් වීමයි. පුද්ගලයකුගේ අභ්‍යන්තර පරිවර්තනය තමා වඩා වැදගත්.” මෙසේ තම පවිත්‍ර අදහස බෞද්ධ ජනතාව වෙත ගෙනයාමට එතුමා උත්සාහ කළ නිසා උන්වහන්සේට බෞද්ධ ජනතාවගේ හරසර මෙන්ම සුහදශීලිබව නිරතුරු ලැබිණ. 
1980 දී නගරයේ සම්පත් හා නිලතල අත්හැර ඈත දුෂ්කර පළාතක් වන ඓතිහාසික ඌව වෙල්ලස්ස වෙත පැමිණි මෙම පෙරළිකාර දේවගැතිවරයා බදුල්ලේ රදගුරු ලියෝ නානායක්කාර සමග සමාජ මෙහෙවරෙහි යෙදුණහ.


“නගරයේ මිනිසුන්ට වඩා ගමේ අයට ඇත්ත වටහා දීම ප්‍රායෝගිකයි” මෙසේ සිතූ එතුමා “ගැමි සවිය” අරඹා ජනතාවට උපකාර කළහ. බුත්තල, සුපුවත්ගෙදර නමින් 1980 දී ඔහුගේ දේව අසපුව ස්ථාපිත කෙරිණි. එය දෙවියන් සමග මිනිසුන් ගැවසෙන සුන්දර ස්ථානයක් විය. මදින්මද බෞද්ධ ගැමියෝ මෙන්ම භික්ෂුන් වහන්සේලාද එහි සැරිසරමින් සද්ව්‍යාපාරවල නියැළුණහ.


1987 - 89 යුගය වනාහි ජේ.වී.පී. දෙවැනි කැරැල්ල උද්ගතවූ යුගයයි. ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට වෙඩි තැබූ සිද්ධියක් නිසා ආයුධ සන්නද්ධ පිරිස් ගම පීරු අතර ඔවුහු සුපුවන් ගෙදරද වටලා පරීක්ෂාකළහ. 


“ඔබතුමාගේ වරදක් නෑ. ඕනැදේකට අපි ඔබතුමා ළඟ ඉන්නවා” ගැමියෝ කීහ.


“ඒකම තමයි මට දුක. මං නිසා ඔයාලා කරදරයක් වෙනවාට මං කැමැති නැහැ. ඒ නිසා මං ඉක්මනට තීරණයක් ගන්නවා” ආයුධ සන්නද්ධ පුද්ගලයෝ ගැමියන්ට සුජුවන් ගෙදර තහනම් කලාපයක් බව ප්‍රකාශයට පත්කළහ. එම තීරණත්මක දිනයේදී සිදුවූ සියල්ල බෙනඩික් ප්‍රනාන්දු පුල්ලේ පැවිදි සොයුරිය මෙසේ ලියා තැබුවාය. 


“1987.11.10 වැනිදා තීරණාත්මක දිනයක්. ත්‍රස්තවාදීන්නේ තර්ජන ගර්ජන නිසා පියතුමා තීරණයක් ගන්නයි හිටියේ.” 


“එදා දිව්‍යයාගය වෙනදාට වඩා දිගයි. ගැඹුරුයි. මහපාරේ ගිගුරුම් දීගෙන යන එන හමුදා රථවල හඬ අපට ඇසුණා. දිව්‍ය සත්ප්‍රසාද අපට දානය කළ පියතුමා අන්තිම ආශිර්වාදය සඳහා දකුණත එසෙව්වා පමණයි.”


“අපේ කන් අඩි පුපුරුවන තරමට ඇසුණු වෙඩි හඬක් සමගම උණ්ඩ කිහිපයක්ම එතුමාගේ හිසට වැදුණා. කාලිස්පාත්‍රය ලේවලින් නැහැවුණා. සුවසෙත් ගෙදර බිත්තිවල පියතුමාගේ කුඩුපට්ටම් වූ හිසේ කැබලි රැඳුණා”


දිව්‍යයාගය අවමංගල ළතෝනියක් බවට හැරුණි. ගැමි ජනතාවගේ සදාදරණීය ආගමික නායකයා අල්තාරය මතම ජනතාව වෙනුවෙන් යාගවෙමින් මැරීවැටුණි. පන්සලේ හාමුදුරුවන් හෝ වෙද මහතා හැරෙන්නට එදා බුත්තල දුප්පත් අහිංසක නිර්දන පන්තියේ ගැමි ජනතාව සාපිපාසයට ආහාර පාන ඇඳුම් පැළඳුම්, පාසල් දරුවන්ට පොතපත, තරුණ තරුණියන්ට ආශිර්වාදය, වැඩකරන ජනතාවට ප්‍රායෝගික මෙන්ම ආධ්‍යත්මික සහනය රෝගීන්ට බෙහෙත් හේත්, දුගියන්ට මිල මුදල් පතා දිවගෙන ගියේ දේව අසපුව වෙතය.


“අපට සැබෑ දෙවියන් නැතිවුණා. අපට මින් පස්සේ කාගේ පිළිසරක්ද? ජේසුනි ඔබ කොහේද?”
එදා අවමංගල්‍ය අවස්තාවේ ගැමි ජනතාව හඬා වැටුණේ එසේය.


“දෙවියනි, අප නිසා යාච්ඤා කළ මැනව. ඔවුන් නොදැන කළ වරදට සමාවුව මැනව.” යනුවෙන් මයිකල් පියතුමන් ගැඹුරු හඬින් දෙවියන්ගෙන් ඉල්ලා සිටි අයුරු තවමත් දෙසවන් තුළ රැව් පිළිරැව් දෙන බව ගැමියෝ කීහ. කුරුණෑගල ආචාර්ය ඇලෙක්ස් පෙරේරා 2017.11.12 වැනිදා අයිලන්ඞ් පුවත්පතට ලිපියක් ලියමින් පියතුමන් අවසන් වරට මුණගැසුණු මොහොත සිහිපත් කරයි.


“අපි තේ පානය කරමින් ජනතාවගේ දුක්ඛිත තත්ත්වය ගැන කතා කළෙමු. පෙරදින සන්නද්ධ නිලධාරින් යාබද නිවසට කඩාවැදී මහලු මවකට තම පුතා ඉල්ලමින් වද හිංසා කළ අයුරු එතුමා සංවේදීව කියා සිටියේය.


කුඩා දරුවෙක් කෑම කූඩයක් ගෙන එහි පැමිණියේය. ගම්වාසීන් සමග එතුමා ආහාර බෙදාගත් අතර මටද ආරාධනා කළේය. එහි මලුන් සහ බත් සමග ස්ප්‍රම්ස් ව්‍යාංජන විය. එතුමා ආහාරය කොටස් තුනකට බෙදීය. එකක් මටද අනික ඔහු වටා එල්ලීසිටි සුරතල් සතුන්ටද වෙන්කර කුඩාම කොටස කෑවේය. ඔහුගේ ප්‍රජා සාමාජිකයන් එනතුරු ඔහු බලාසිටියේය. ඒ මයිකල් රුද්‍රිගු පියතුමා පණපිටින් දුටු අවසාන වතාවවූ අතර එතුමා ඝාතනය කළබව ආරංචි වි එහි ගිය විට ශුද්ධවූ මහා පූජාව පැවැත්වූ කුඩා පූජාසනය මත තවමත් උණු ලේ වැතිරෙන නිසල දේහය තබාතිබූ බව ඇලෙක් පෙරේරා සංවේදීව සඳහන් කර තිබිණ.


හමුදා හා ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාරවලින් අසරණ වූයේ සිවිල් ජනතාවය. සැකකරුවන් රඳවා ගැනීමට හමුදාව ක්‍රියාකළ අතර ඇතැම් තරුණයෝ අතුරුදන්වූහ. “ඔබට මෙන් අසල් වැසියාටද ප්‍රේම කරන්න” දෙව්වදන මයිකල් රුද්‍රිගු පියතුමා මියයනතුරුම සිහිපත් කළේය.


මයිකල් රුද්‍රිගු සහ මේරි බැස්ටියන් යන පියවරු දකුණ හා උතුර නියෝජනය කරමින් දිවි පිදූහ. එලෙසම කල්පිටිය, ඉරබඩගම, කෝන්ගොඩමුල්ල වැනි ප්‍රදේශවල ජනතාව අතර මානව දයාව පැතිරවූ ශ්‍රී ලාල් අමරතුංග පියතුමාද එලෙස ඝාතනය ලක්විය. නැගෙනහිර සිංහල, දමිල හා මුස්ලිම් ජනයා සමග සහෝදරත්වයෙන් කටයුතු කළ චන්ද්‍රා ප්‍රනාන්දු පියතුමාද ඝාතනයට ලක්වූයේ සත්‍යයට සාක්ෂි දැරීම, පාපය විවේචනය කිරීම, යුක්තිය උදෙසා සටන් කිරීම නිසාය.


නපුරු ලෝකය අතින් දේව නියෝජිතවරුන් එසේ ඝාතනය වී දෙව් තුරුලට යද්දී තවත් නපුරක් මීගමුවේ සිදුවිය. ඒ මත්ද්‍රව්‍ය රකුසා නිසා උමතු වූ පිරිසක් අතිනි. පුංචි රෝමය ලෙස ප්‍රචලිතවූ මීගමුවේ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම උදෙසා දිවි නොතකා කටයුතු කළ කොළඹ පදවි ගරු අබා කොස්තා පියතුමන්ද වල්මත්වූවකු විසින් ඝාතනය කරන ලදී.
මෙම කිසිදු මරණයක් සඳහා අදටත් යුක්තිගරුක විශ්වසනීය තීන්දු තීරණයක් නොලැබී තිබීම කණගාටුදායකය. අප්‍රේල් 21 වැනිදා ලක්දිව කිතුණු දේවස්ථානවල පුපුරාගිය අධිබලැති බෝම්බ පිළිබඳ මූලික පරීක්ෂණ අවසන්වී ඇති නමුත් දේශපාලනඥයන් හා වගකිවයුතු නිළධාරින්ගේ අතින් අතට ලිපිගොනු යනවා හැරෙන්නට සැකකරුවන් බොහොමයක් නිදැල්ලේ සිටින බවට අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා චෝදනාකර තිබිණ. ජාතික ආරක්ෂාව පිළිබඳ පියවර ගතහැකි මොහොතක පවා වගකීම් මගහැර සිටින පුද්ගලයන් සිටින තුරු ආගමික සිද්ධස්ථාන හා බැතිමතුන් අසරණය. අද සෑම පන්සලක්, කෝවිලක්, පල්ලියක්, දේවාලයක් ඉදිරිපිටම ආයුධ සන්නද්ධ භටයන්ට මුරකාවල් කිරීමට සිදුවී ඇත්තේ ඒ නිසාය.


කාලයේ වැලිතලාවෙන් මෙම පියවරුන්ගේ සහ බැතිමතුන්ගේ කතාන්දර වැසීයන අයුරු ශෝචනීයය. සාධාරණය ඉටුවන තුරුත් ප්‍රාණපරිත්‍යාග කළ පියවරුන් සාත්තුවරයට එසවන දිනය පැමිණෙන තුරුත් දෙවියෝ බලාසිටිති.

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි