භීෂණයේ අතුරු කතාවක්


 

ඒ 88 -89 යුගයයි. රාජ්‍ය ආරක්ෂාව ඇතත්, සෑම තරාතිරමකම ජනයා විසුවේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙනි. නිරතුරු ඇසුණේත්, දුටුවේත් බාල තරුණ මහලු, ගැහැනු, පිරිමි, දුප්පත්, පොහොසත් භේදයක් නොමැතිව මිනිස්සු බල්ලන් බළලුන් සේ මරා දමා ඇති අයුරුයි. සමහරු උන් හිටි ගමන් අතුරුදන් වූහ. පැහැරගත් අයගේ මළ සිරුරු ලයිට් කණුවල හා බෝක්කු බැමිවල ගැට ගසා තිබී හමුවිය. පාරට බැස්ස ඥාතියා ගෙදර පැමිණීම ගැන කිසිවකුගේ විශ්වාසයක් නොවීය.


භීෂණය ඇතිවූයේ විප්ලවවාදීන් නිසා යැයි සිතූ හමුදාව ඔවුන්ට ඔත්තු දෙන්නේ යැයි සැක කර මිනිස්සු පැහැරගත්හ. හමුදාවට ඔත්තු දෙන්නේ යැයි සැක කළ ජීවිත රැසක් විප්ලවවාදීන් විසින් බිලිගැනිණි.


එකල ආරක්ෂාව භාරව ක්‍රියා කළ අමාත්‍යවරයාගේ අණ පරිදි උඩුගම්පොල වැනි උසස් පොලිස් නිලධාරීහු දිවයින පුරා පොලිස් නිලධාරීන් ලවා දිගට හරහට තරුණ පිරිස් අත්අඩංගුවට ගත්හ. මේ අයට තර්ජනය කිරීම්, පහරදීම්වලට අමතරව තමන්ම නිර්මාණය කරගත් වධක උපක්‍රම යොදා ප්‍රශ්න කළහ.


සිරුර තුළට කටු කම්බි දමා ඇදීම, ධර්මචක්‍රයේ කරකැවීම, එල්ලා පහරදීම වැනි භීෂණ වධදීම් ඒ අතර විය. ස්ත්‍රී පුරුෂ භේදයක් නොවූ මෙම වධදීම් නීත්‍යානුකූල දඬුවම් ලෙස සැලකීමට බලධරයෝ කටයුතු කළහ.


පෑලියගොඩ පොලිස් බල ප්‍රදේශය ද එවැනි මහා පරිමාණයේ ත්‍රස්ත බලයක් ව්‍යාප්තව තිබූ පෙදෙසකි. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෝත්, වෘත්තීය සමිතිත්, සඟරුවනත් මෙම සටනේ පෙරමුණ ගත්හ.


පෞද්ගලිකරණයට, ඉන්දු - ලංකා සාම ගිවිසුමට දැඩි සේ විරෝධය පාමින් දිනපතා උද්ඝෝෂණ, පෙළපාළි, පිකටින්, උපවාස හා අරගලවලින් ආයතන හා මහ පාරද උණුසුම් විය. “නම දුටු ඇසූ පමණින් “ගම්පෙරළිය” වැනි සාහිත්‍ය පොත් ද “වනකතා” වැනි බෞද්ධ පොත් ද “රැජින මමයි අපේ රාජ්ජේ” වැනි හැඟුම් උපදවන ගීත, “මේ කවුද මොනවද කරන්නේ” වැනි දේශපාලන ප්‍රහසන ද සපුරා තහනම් වූ අතර සමාජවාදීන් යැයි සැකකර එම නිර්මාණ ශිල්පීන්ට පහරදී මරා දැමීමට ද මැලි නොවූහ.


මේ දිනවල පෑලියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙනේ ශිෂ්‍ය ශාලාවක ජනමාධ්‍ය හා රංග කලා පාඨමාලාවක් පැවැත්වෙමින් තිබිණි. දිවයිනේ විවිධ තරාතිරමේ තරුණ තරුණියෝ දැනුම, කුසලතා හා ආකල්ප වගා කරගැනීමට එහි පැමිණියහ. පාඨමාලාව අවසානයේ නිෂ්පාදනය වන “භූතා වාස” නාට්‍යයේ රඟදැක්වීම් පුහුණු සිදුවෙමින් තිබිණ.


එක් ශිල්පියකු හෝ අඩුවීම නාට්‍යයට විශාල බාධාවක් වූ අතර, දෙවියන්ගේ කාරියක් සේ එය සලකා පිරිස එහි ආහ.


මේ දිනවල යක්කල වික්‍රමාරච්චි වෙද විදුහල විශ්වවිද්‍යාල මට්ටමෙන් පිළිගන්නා ලෙස රජයට බල කරමින් පෞද්ගලිකකරණය නොකරන මෙන් ද ඉල්ලමින් එහි සිසුවෝ උද්ඝෝෂණයක් ඇරඹුහ. මෙයට රටේ අනෙකුත් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතනවලින් ද ලැබුණේ නොමද සහයකි. වෛද්‍ය සිසුන්ගේ කෑ කෝස්සන් ගැසීම ගම්පහ දේශපාලනඥයන්ට මහත් හිස රුදාවක් වූ අතර පාර්ලිමේන්තුවේ ද එම තත්ත්වයම රැව් පිළිරැව් දුනි. භීෂණය හා මර්දනයට මුවා වී විශ්වවිද්‍යාල සිසුන් නිහඬ කිරීමේ කුමන්ත්‍රණයකට වෙද සිසුන් ද පැටලැවුණේ ඒ නිසාය.


විද්‍යාලංකාර පිරිවෙන් ශාලාවේ රඟදැක්වූ නාට්‍යයේ නළුවෝ යක්කල වෙද විදුහලේ සිසුවන් වීම විශේෂයකි. ඉතා උද්යෝගයෙන් නාට්‍ය පුහුණු වූ ඔවුන්ගේ යම් වෙනසක් අපට දැනිණි. ඒ දිනෙන් දින එක් එක් සිසුවා පුහුණුවීමට නොපැමිණි බැවිනි.


“මොකද අහවලා නැත්තේ”


“සර් එයා බෝඩිමෙන් ඇවිත් තියෙනවා. ඊට පස්සෙ දැක්කෙ නෑ”


“සර් එයා අපටත් නොකියා ගමේ ගිහිං”


“සර් එයාව ඊයේ ප්‍රශ්න කරන්නයි කියල පොලිසියෙන් එක්කගෙන ගියා.”


ගුරුවරයාට ලැබුණේ මෙවැනි අපූරු පිළිතුරුය. ඒ සිසුහු කවර කවදාවත් පුහුණුවට නොආහ. නාට්‍ය උළෙල ද කඩාකප්පල් විණ.
මෙම සිසුන්ගෙන් එක් අයෙක් පෑලියගොඩ අපරාධ විමර්ශන අංශයේ නිලධාරියකුගේ දරුවකු බව දැනගන්නට ලැබිණ. අපි ඔහු සොයා ගියමුත් අප දෙස ද හිසේ සිට පහළ නෙත් බැලූ නිලධාරීහු මගහැර ගියහ. 


වෙද සිසුන් ගැන කිසිම තොරතුරක් නොලැබ කාලය ගෙවී ගිය අතර, ඒ කාලයේ විශේෂ සිද්ධියක් වූයේ අදාළ පොලිස් නිලධාරියාට කඩවතදී නාඳුනන තුවක්කුකරුවන්  විසින් වෙඩි තබා බරපතළ තුවාල සිදු කළ බවය. ගෙලට වැදි වෙඩි පහරින් ඔහු අඩපණ විය.


ඉන්පසු එම නිලධාරියා ගැන කිසිදු ආරංචියක් නොලැබිණ. වසර තිහකට පමණ පසු පෑලියගොඩ පොලිස් ස්ථානයට මාධ්‍ය කටයුත්තක් සඳහා ගිය මට සුදු වත හැඳි කොණ්ඩය මුළුමනින්ම සුදු වූ වියපත් අයකු ආලින්දයේ හිස නැඹුරු කරගෙන සිටිනු දක්නට ලැබිණ. ඔහුගේත් මගේත් දෙනෙත් එකට ගැටිණි. දෙදෙනා කලින් හඳුනාගත් බවක් දැනිණ.


“මාව අඳුනගන්න පුළුවන්ද?” මහල්ලා ඇසීය. 


“ඔබතුමා අහවල් පොලිස් නිලධාරියා නේද?” මම ඇසීමි. ඔහු  සිනා සී හිස සැලීය.


“මොකද මේ පැත්තෙ”


“නිකම් බලල යන්න ආවා” 


“දැන් පැන්ෂන් ද?”


“ඒ දවස්වලම විශ්‍රාම යන්න වුණා. ආබාධිත නිසා. මතකනේ පත්තරවල විස්තර තිබුණා.


ඔහුගේ පුතා විද්‍යාලංකාර පිරිවෙනේ නාට්‍ය පාඨමාලාව කළ හැටි මම සිහිපත් කළෙමි.


“අනේ ඒ දරුවට කරපු අපරාදෙ තමයි මට පඩිසන් දුන්නෙ” ඔහු කීය.


කුතුහලයට පත් මම ඒ ගැන විමසීමි.


දරුවා කලාවට වගේම ඉගෙනීමටත් බොහෝම ළැදියාවෙන් හිටියේ. ඒ දවස්වල සටන් ව්‍යාපාර මර්දනය කරන්න අපි නොකරපු දෙයක් නෑ. අන්තිමට මගේ දරුවගෙ යාළුවන්ටත් දඬුවම් ලැබුණා. මට තමයි ඒවට වගකියන්න වුණේ. යාළුවන්ට දඬුවම් කළේ මං දැනුවත්ව කියල දැනගත්තම පුතා මාව කොන් කරනවා වගේ දැනුණා.


“කෝ දැන් පුතා? එයාටත්.....”


“නෑ.... නෑ.. එයා අපෙන් ඈත්වෙලා යන්න ගියා. දැන් ඈත පළාතක මහණ වෙලා ආරණ්‍යගත වෙලා ඉන්නවා. එළිමහනට එන්නෙ නෑ. අපිව බලන්න එන්නෙම නෑ. මේ ඔක්කොම මගේ වැරැදි. මට ඒකට දෙවියො දඬුවම් දුන්නා. මගේ එකම පුතා  මට නැති වුණා”
මහල්ලා කඳුළු සලමින් විලාප නැගීය. ඔහුට හඬන්නට ඉඩදී පොලිසියෙන් පිටවී ගියෙමි.

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි