ජනාධිපති දියණිය චතුරිකා සිරිසේන ලියූ “මගේ තාත්තා” කෘතියෙනි.
රටේ පොදු ජනතාවට මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාලනය වෙනස් කිරීමේ දැඩි අවශ්‍යතාවක් පැවතුණි. නමුත් තාත්තා සමග, එකිනෙකට විරුද්ධ මත දරන පක්‍ෂ කිහිපයක්ම එක් වී සිටිහෙයින් ජයග්‍රහණයෙන් පසු රටට කුමක් සිදුවේද යන, බියමුසු කුතුහලය ඔවුන්ගෙන් බොහෝ දෙනා තුළ ගැටලු මතුකරමින් පැවතුණේය. නාමයෝජනා භාරදෙන විටත් බොහෝ දෙනා ඡන්දය දෙන්නේ කාටදැයි සිතාගත නොහැකි අවිනිශ්චිතතාවක පසුවූවාක් මෙනි. එසේම රාජපක්ෂවරුන් සිය ප්‍රචාරක ව්‍යාපාරයේ දී ප්‍රබල වශයෙන් ප්‍රේරණය කළ ජාතිවාදී ගැටලුව හා විදේශ කුමන්ත්‍රණය පිළිබඳ ව්‍යාජ ප්‍රකාශනයක් නිසා ද ඇතැම්හු දෙගිඩියාවෙන් පසුවූහ. මේ තත්ත්වය තුළ ඇති එකම විසඳුම තාත්තාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය එළිදැක්වීම බව තාත්තාගේ මෙන්ම ඔහු වටා සිටි බුද්ධිමතුන්ගේ ද අදහස විය.
ඒ අදහසත් සමග කඩිනමින් එය පිළියෙල වන්නට පටන් ගත් අතර එහි මූලිකත්වය ගෙන කටයුතු කළ කිහිප දෙනෙක් ම සිටියහ. ඒ අතර ජාතික හෙළ උරුමයේ චම්පික රණවක අමාත්‍යවරයා, අතුරලියේ රතන හිමි, අශෝක අභයගුණවර්ධන ආදීන් මෙන්ම නීතිඥ ජේ. සී. වැලිඅමුණ, නීතිඥ ජයම්පති වික්‍රමසිංහ, මහාචාර්ය රජීව් විජේසිංහ, මලිත් ජයතිලක, කරුණාරත්න පරණවිතාරණ වැනි මහත්වරුන් ප්‍රධාන වූහ. එසේම ‘දින සියයකින් අලුත් රටක්’ යන වැඩපිළිවෙළද මීට සමගාමීව සැලසුම් වුණු අතර එහි ප්‍රමුඛත්වය ගෙන කටයුතු කළේ වර්තමාන මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා හා මහාචාර්ය ගංගානාත් දිසානායක මහතාය. අවසානයේ “දින සියයකින් අලුත් රටක්” නමැති ලියැවිල්ල හා ‘මෛත්‍රී පාලනයක්- ස්ථාවර රටක්’ යන ලියැවිල්ල නිමවා තාත්තාගේ හා රනිල් වික්‍රමසිංහ මහතාගේ අධීක්‍ෂණයට පත් කිරීම දෙසැම්බර් 17 වැනි දින විපක්‍ෂ නායක කාර්යාලයේදී පැවැත්වුණි.
ඔවුන්ගේ අධීක්‍ෂණයෙන් පසු අවශ්‍ය වෙනස්කම් කොට එය රටට එළිදැක්වීම සිදුවූයේ එම මස 19 වැනි දිනයි. සැබැවින්ම එය එළිදැක්වීමෙන් පසු රාජපක්‍ෂ පාර්ශ්වය විශාල අර්බුදයකට මුහුණ පෑවේය. මන්ද බැසිල් රාජපක්‍ෂයන් මාස ගණනාවක් වෙහෙස වී විශ්ව විද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා අමාත්‍යාංශ ලේකම්වරු සමගින් සැකැසූ, මහින්ද රාජපක්‍ෂයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන දෙසැම්බර් මස 21 වැනිදා ‘තුන්කල් දැක්ම’ නමින් එළිදැක්වීමට නියමිතව තිබුණි. නමුත් ඔවුහු කිසිවිටෙක තාත්තාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එතරම් ඉක්මනින් එළිදැක්වේ යැයි විශ්වාස නොකළහ. එසේම තාත්තාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය, රාජපක්‍ෂවරුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනයට වඩා ගව් ගණනක් ඉදිරියෙන් පැවතුණි. බැසිල් රාජපක්‍ෂයන්ගේ සියලු අපේක්‍ෂා ගඟට කැපූ ඉණි මෙන් විය. මේ තත්ත්වයත් සමග කිසිවක් කරකියා ගත නොහැකි මට්ටමට ඇද වැටුණු රාජපක්‍ෂ පාර්ශ්වය, 21 වැනිදා සිදු කරන්නට නියමිත ඔවුන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන එළිදැක්වීම දින නියමයක් නොමැතිව කල් දැමූහ. පසුව එය එළිදැක්වෙන්නේ මෙදිනටයි යනුවෙන් දින කිහිපයක්ම ප්‍රසිද්ධියට පත් වූ නමුත් ඒ කිසිදු දිනයක එය සිදුකිරීමට ඔවුහු අසමත් වූහ.
අවසානයේ, එය තවත් කල් දැමිය නොහැකි බැවින් දෙසැම්බර් 23 වැනිදා හදිසියේ මෙන් රටට අනාවරණය කෙරිණි. ‘ලොව දිනන මග’ නම් වූ එම ලියැවිල්ල ඉතා දුර්වල ප්‍රකාශනයක් විය. එය යෝජනාවලියේ දුර්වලතාවය. හැරුණුකොට ප්‍රතිපත්ති ප්‍රකාශනයක කොහෙත්ම නොතිබිය යුතු මුද්‍රණ දෝෂ මෙන්ම රචනා ශෛලියෙන් ද වැදගත්කමක් නැති ප්‍රකාශනයක් විය. ඒ සමගම තාත්තාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය රට ආකර්ෂණය කරගත් අතර ‘මෛත්‍රී පාලනයක් - ස්ථාවර රටක්’ ප්‍රකාශනය හා ‘දින සියයකින් අලුත් රටක්’ යන ලියැවිල්ලද රටේ සමස්ත ජනතාවගේ නොමද ප්‍රශංසාවට ලක් විය.
දේශපාලන කරළියේ මෙවන් විපර්යාසයන් සිදුවන මොහොතේ තාත්තාගේ පවුලේ සාමාජිකයන් වූ අපි, වෙන් වෙන්ව මැතිවරණ ක්‍රියාවලියේ අතිශය කාර්ය බහුල වී සිටියෙමු. මාත් මල්ලීත් සැමියාත් මැතිවරණ ක්‍රියාවලියට අදාළ සෑම අංශයකම කටයුතු සම්පූර්ණයෙන්ම මූලිකත්වය ගෙන සොයා බලමින් සිටි අතර, මම ප්‍රධාන වශයෙන් ප්‍රචාරක මෙහෙයුම් හා රැස්වීම් සංවිධානය කිරීමේ කටයුතු සිදුකරගෙන ගියෙමි. එසේම තාත්තාගේ සහෝදර සහෝදරියන් ද රට පුරා තැනින් තැනට ගොස් මැතිවරණ කටයුතුවල මූලිකත්වය ගෙන ක්‍රියාකරමින් සිටියහ. ප්‍රධාන වශයෙන් ඩඞ්ලි බාප්පා, මැතිවරණ ව්‍යාපාරයේ මූල්‍යමය වගකීම තනිව දරමින් සිටියේය. ඔවුන් සිය වැඩිමල් සොහොයුරා වෙනුවෙන් තම ජීවත කාලය පුරාවට වෙහෙස මහන්සියෙන් හරිහම්බ කළ මුළු සේසතම වියදම් කළේ කිසිදු පැකිලීමකින් තොරවය. එසේම ජනවාරි 8 වැනිදායින් පසුව තමන්ගේ ජීවිත වලට කුමක් සිදුවේදැයි නොදැන පවා මහා සොයුරු පෙමකින් ඔවුන් තම වැඩිමහල් සොයුරා වටා එක්රොක් වී සිටියහ.
මේ අතර අම්මා, මහා සංග්‍රාමයක් පිටත ක්‍රියාත්මක වන විටත් ඒ කිසිවකට අවධානය යොමු නොකොට තාත්තාගේ ආහාර පාන සැකැසීම, ඇඳුම් පැලඳුම් සැකැසීම ආදී ඔහුගේ පෞද්ගලික ඕනෑ එපාකම් සියල්ල සුපුරුදු ලෙසම මහත් උනන්දුවෙන් සිදු කළාය. තාත්තාගේ ආහාර පාන පිළිබඳ දැඩි සැලකිලිමත් බවකින් සිටිය යුතු යැයි ඔහුගේ ආරක්‍ෂාව පිළිබඳ නිතර සැලකිලිමත් වූ බොහෝ දෙනා පැවැසූ අතර අම්මා සම්පූර්ණයෙන් ඒ වගකීම තම භාරයට ගෙන සිදු කළාය. මහා පාන්දරින් අවදිව තාත්තාගේ ආහාරවේල සකසන ඇය, ඒවා ඉතා ක්‍රමානුකූලව පෙට්ටිවල අසුරා රැස්වීම් සඳහා පිට වී යන තාත්තාගේ දෑතට ලබාදෙන්නීය. එසේම තාත්තාගේ සියලු ඇඳුම් පැලඳුම් ඉතා පිරිසිදුව සෝදා මැද සකස් කර දෙන්නෙද ඇයයි. නිවසින් පිටත්ව යන තාත්තා හැඳ පැලැඳ උඩුමහලේ සිට පහතට බැස එන විට අම්මා ඔහුගේ පාවහන් යුගල සෝදා පවිත්‍ර කර දෙපා අසලට රැගෙන එන අතර ඒවා මේ කාලයේ පමණක් නොව මට මතක ඇති කාලයේ සිට අප නිවසේ සිදුවන නොවෙනස් දෛනික සිදුවීම්ය. තාත්තා දේශපාලන කරළියේ කුමන පෙළහර පෑවද අම්මාට වැදගත් වූයේ ඔහුගේ නිරෝගී බව හා සතුටයි. තාත්තාද කෙතරම් බරපතළ දේශපාලන කටයුත්තක නිරත වූවද ඒ සියල්ල මධ්‍යයේ වුව අම්මාගේ තොරතුරු සොයා බැලීමට අමතක නොකරන්නේය. එසේම ඔහු තම කටයුතු පිළිබඳවද නිරන්තරයෙන් අම්මා දැනුම්වත් කර සිටින්නේය.
මාගේ මතකයේ ඇති එවැනි එක් සිදුවීමක් ඇත. ඒ 2014 දෙසැම්බර් මස දිනෙක තාත්තාගේ පැල්මඩුල්ල මැතිවරණ ප්‍රචාරක රැලියට ගල් මුල් ප්‍රහාර එල්ල කළ අවස්ථාවයි. එම මොහොතේ මා විජේරාම නිවසේ, ප්‍රචාරක යාන්ත්‍රණය සිදුවන කාර්යාලයේ යම් කටයුත්තක නියැලී සිටි අතර එහිදී රූපවාහිනී තිරයේ ක්ෂණික පුවතක් ලෙස තාත්තාට ප්‍රහාරය එල්ල කෙරෙන දර්ශනය සජීවීව විකාශනය වුණි. එය කන වැකෙත්ම මා නොදැනුවත්වම පුටුවෙන් ඉහළට එසැවුණු අතර කරකියා ගන්නට දෙයක් එකවර මතකයට නොආවේය. ඒ සමගම නැවත සියොලඟ දැවී යන්නට වූයේ අම්මා එය දුටුවහොත් කුමක්වේද යන්න මතකයට පැමිණීමත් සමගයි. යන්තමින් සිහි එළවා ගත් මා, අම්මා රැඳී සිටි ස්ථානයට දිවගියේ ඒ පුවත ඇයගේ ඇස ගැටීම වැළැක්වීම පිණිසයි. නමුත් ඒ මොහොත වන විටත් තාත්තා ඇය හා දුරකථනයෙන් සම්බන්ධ වී සිටි අතර ඔහු ආරක්‍ෂිතව සිටින බව ද දැනුම් දී තිබුණේය. ප්‍රහාරයෙන් බේරී වාහනයට නැගී සැණින් ඔහු කර ඇත්තේ අම්මාට දුරකථන ඇමතුමක් ලබා දීමයි. ඒ ඔවුන් අතර තිබූ අසීමිත ආදරයයි දැනුණේ.
මේ සියලු දේ සමගින් මැතිවරණ ව්‍යාපාරය අවසන් අදියර දක්වා පැමිණි අතර ජීවිත තර්ජන හා මරණ බියද ඒ හා සමගාමීව වර්ධනය වන්නට පටන් ගත්තේය. ඔය අතරවාරයේ පිල් මාරුවීම් පිළිබඳ සාකච්ඡා ආදි දේශපාලන කරළියේ සුවිශේෂී ‘රහස් මෙහෙයුම් ද දෙපාර්ශ්වයේම අඩුවැඩි වශයෙන් සිදුවූ අතර ඒවායෙන් ඇතැම් ඒවා ජනවාරි 8 වැනි දින තෙක්ම ඇදී ගියේය.
කෙසේ වූවත් රාජපක්‍ෂවරුන්ට නම් තමන් පරාජය වේයැයි අවසාන මොහොතේ පවා තේරුම් ගැනීමට නොහැකි වී තිබුණි.
2015 ජනවාරි 05 වැනි දින නීති ප්‍රකාරව රටේ සියලු මැතිවරණ ප්‍රචාරක මෙහෙයුම් අවසන් කිරීමට නියමිතව තිබුණි. තාත්තාගේ අවසන් ජන රැලිය ඉතා සාර්ථක අන්දමින් ජනවාරි 05 වැනි දින මරදානේ දී පැවැත්වුණු අතර මහින්ද රාජපක්‍ෂයන්ගේ රැලියද එවැනිම සාර්ථකත්වයකින් බොරැල්ලේදී පැවැත්වුණි.
දුරකථන ඇමැතුම
සියල්ල එලෙසින් අවසානය කරා ඇදී යන විට මම පසුදා, එනම් 6 වැනිදා අලුයම නැවත පොළොන්නරු යන්නට පිටත් වීමි. ඒ මාගේ කුඩා දියණිය, පුංචි පුතු, ඔවුන් බලාගන්නා ‘ඥානා’ සහ රියැදුරු මහතා සමග පමණි. අඳුර සමග භීෂණයද හාත්පස රජයමින් නොතිබුණා නොවේ. එහෙත් සංග්‍රාමික අවධියක් ගෙවා දමා සිටි නිසාවෙන් දෝ බියක් හෝ තිගැස්මක් සිතට දැනුණේ නැත. ඇතැම් විට ඒ බිය හා තිගැස්ම අප ජීවිතයේම කොටස් වී තිබෙන්නට ඇත. කෙසේ වූවත් මෙතෙක් දුර පැමිණි අපට ඉදිරි දින කිහිපයේ කුමන ආකාරයේ බිහිසුණු දෑ සිදුවුණද ඒවාට මුහුණ නොදී සැඟවී සිටින්නට තරම් බියගුළුකමක් නොතිබුණි. කවුරු කුමන දේ පැවසුවත් මා තනිව පොළොන්නරු යන්නට පිටත් වූයේ ද එබැවිනි. හබරණට ළඟා වන තෙක් මා දියණිය හා පුතු තුරුලු කොටගෙන දෑස් නොපියවා කවුළුවෙන් එපිට බලා සිටියෙමි. එහෙත් හබරණ පසු වූ විට සිත තුළ පැවැති සියුම් දෙගිඩියාව පවා පුදුම සහගත ලෙස අතුරුදන් වී ගිය බව කිවයුතුය. ඒ අප ජාතක වූ භූමියය.... ඒ භූමිය, ඒ භූමියේ දිවි ගෙවන්නන්, මෙතෙක් කල් අප රැක ගත්තා මෙන් මින් මතුවටත් අප ආරක්‍ෂා කර ගනු ඇත. ඒ විශ්වාසය, අඳුරු, සීතල, නිදිකිරා වැටෙන අවකාශයක පවා මා සිත තුළ නොවෙනස්ව පැවැතුණි.
පොළොන්නරුවට පැමිණි පසුවද ඉදිරි දින දෙක තුළ සැලසුම් කරන්නට වැඩ රාජකාරි බොහෝ විය. මම පළමුව තාත්තාගේ පොළොන්නරුවේ පිහිටි නිල කාර්යාලයට ගොස් එම කාර්ය මණ්ඩලය සමග මැතිවරණ දිනයේ සිදුවිය යුතු ඡන්දපොළ ක්‍රියාකාරකම් හා ඡන්ද ගණනය කිරීමේ අධීක්‍ෂණ කටයුතු ආදිය පිළිබඳ මූලික සාකච්ඡාවන් සිදු කළෙමි. ඉන් පසු ඒ සඳහා කණ්ඩායම් ද සකසා ඔවුන් අදාළ සේවාවන් සඳහා අනුයුක්ත කිරීමේ කටයුතු ද ඉතා සැලකිල්ලෙන් මෙහෙය වූ අතර එහිදී විශේෂ අවධානය යොමු කරන්නට සිදුවූයේ ඔවුන්ගේ ආරක්‍ෂාව පිළිබඳවයි.
නමුත් පුදුම සහගත ලෙස තාත්තාගේ පොළොන්නරු පාක්‍ෂිකයින් තම ජීවිත පරදුවට තබා හෝ තාත්තා වෙනුවෙන් අවසාන මොහොත වනතෙක් සටන් කිරීමට සැදී පැහැදී සිටියහ.
ඒ ශක්තිය, ධෛර්යය, අධිෂ්ඨානය, මා හට ලෝක ඉතිහාසය පුරා සෑම රටකම අයුක්තියට අසාධාරණයට එදිරිව ජනතාව ගෙන යන මහා සටන් ගැන ද ප්‍රජාතන්ත්‍රවාදය හා සත්‍යය, යුක්තිය සඳහා මාරාන්තික සටන් කරමින් ජීවිතය පවා පසෙකලා ඉදිරියට යන වීරයන් ගැන ද සිහිපත් විය. මැතිවරණ දිනයේ, තාත්තා ඔවුන්ට නිවෙස්වලට ගොස් ආරක්‍ෂිතව සිටින්නට යැයි පැවැසූවද ඔවුහු තම රෙදිපිළි පවා ගෙනැවිත් තාත්තාට ආරක්‍ෂාව සැලැසීමට පොළොන්නරුව නිල කාර්යාලයට වී සූදානමින් සිටියහ.
මෙම සියලු කාර්යයන් අතරතුර මම ජනවාරි 8 වැනි දින උදෑසන තාත්තාට ඡන්ද පොළට යෑමට ප්‍රථම, මහා සංඝරත්නයේ ආශිර්වාදය ලබා දීමේ අදහසින් නිවසේ පිරිත් සජ්ඣායනයක් හා දානමය කටයුත්තක් පිළියෙල කළෙමි. ඒ සඳහා පොළොන්නරු ප්‍රධාන සංඝරත්නයේ නායක ස්වාමීන්වහන්සේලා සියලු දෙනාටම ආරාධනා කළ අතර එහිදී සිදු කරන්නට නියමිත දානමය කටයුත්තට අවශ්‍ය සියලු දෑද මැනැවින් සූදානම් කළෙමි. මේ කිසිවක් පිළිබඳ තාත්තා හෝ අම්මා දැනුම්වත් වී නොසිටි අතර ඔවුන්ගේ අනෙකුත් වැඩ රාජකාරී නිරවුල්ව සිදුකරගෙන යාමට ඉඩ දී මම ඒ සියල්ල පිළිවෙළින් සූදානම් කළෙමි.
මේ කාර්යබහුල තත්ත්වය මත මට දුරකථනයෙන් හෝ තාත්තා හා මල්ලී අමතා කොළඹ සිදුවන දේ සොයා බැලීමට වැඩි ඉඩකඩක් නොලැබුණි. එහෙත් හය වැනිදා රාත්‍රියේ මම හදිසියේ අම්මා ඇමතූ එක් මොහොතක ඇය කියා සිටියේ මාගේ මල්ලී අත්අඩංගුවට ගන්නට දැනටමත් නියෝග නිකුත් වී ඇති බවයි.
එසේ නම් පළිගැනීමේ හෝරාව ආරම්භ වී ඇත්ද? කෙසේ වූවත් එය ඉදිරියට එන මහා කුණාටුවක පෙර ලකුණක් බව නම් නිසැකය. රාජපක්‍ෂ මහතා තමා ජයග්‍රහණය කරන බවට අචල විශ්වාසයක පසුවූවාක් මෙනි. ඔහු මාගේ මල්ලී සිරභාරයට ගන්න යැයි නිවේදන නිකුත් කරන්නට ඇත්තේ එම නිසා වන්නට ඇත. නමුත් ඒ රහස් පණිවුඩ හීයක වේගයෙන් තාත්තාගේ දෙසවනට පැමිණි බැවින් ඒ සැණෙකින් ඔහු මල්ලීව වාහනයක නංවා කොහේ හෝ යන්නට යැයි කියා පිටත් කර හැරියේය. ඔහුට යන්නට හෝ නවාතැන් ගැනීමට තැනක් නොතිබූ අතර හෝටලයකට ඇතුළු වීමට පවා නොහැකි තත්ත්වයක් උදා වී තිබුණි. මන්ද, එවන් තැනකට ගොස් ජාතික හැඳුනුම්පත පෙන්වූ සැණින් ඒ සියලු තොරතුරු රාජපක්‍ෂවරුන් වෙත සන්නිවේදනය වන තරමට ඒ ඔත්තු ජාලා සංකීර්ණ තත්ත්වයක පැවතුණි. එබැවින් රාත්‍රිය පුරා මහ පාරේ තැනින් තැනට යමින් කාලය ගත කිරීමට ඔහුට සිදුවිණි.
මේ අතරම මාගේ හා නංගීගේ මෝටර් රථවලට මත්ද්‍රව්‍ය පැකට් දමා අත්අඩංගුවට ගන්නට සැලසුමක් ද දියත් වන බවට මැතිවරණ ව්‍යාපාරය ක්‍රියාත්මක වන කාලයේ සිටම ආරංචි පැතිර ගිය නමුත් ඒවායේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ මට එතරම් වැටහීමක් නැත. කෙසේ නමුත් අවසානයේ යන්නට තැනක් නොමැති වූ මල්ලී ද මාගේ සැමියා සමගින් තමා උපන් බිමේ වාසනාව හා රැකවරණය අපේක්‍ෂාවෙන් පොළොන්නරුවටම පැමිණියේය. එබැවින් ඉදිරියේ අපට අත්විඳින්නට සිදුවන සාහසික නිමේෂය කුමක් වූවත් ඊට එක්ව මුහුණ පෑමට අපි සියල්ලෝගේම ශක්තිය නව ජීව ගුණයකින් පිබිදී ආවේය.
අම්මාට සහ තාත්තාට පොළොන්නරුවට පැමිණීමට හැකිවූයේ හත් වැනිදා රාත්‍රියේයි. ඒ සමගම නංගී හා ඇයගේ දියණියද පැමිණි බැවින් ඒ රාත්‍රිය, හෙට දිනයේ අවිනිශ්චිතභාවය, ජීවිතය පිළිබඳ අනපේක්‍ෂිත බව හා සන්තාපය ආදි බියකරු හැඟීම් මොහොතකට පලවා හැර පෞද්ගලිකව හා සාමුහිකව සොඳුරු පැය කිහිපයක් ගෙවා දමන්නට අපට අවස්ථාව හිමිකර දුන්නේය. මම සියලු දෙනාටම ඔවුනොවුන් ආහාරයට ගන්න කැමැති දෑ සමගින් රාත්‍රී ආහාර වේල සූදානම් කළ අතර නිර්මාංශික අම්මාට ද ඇය කැමැති පිළිවෙළටම ආහාර වේල සකසා දුනිමි. ඒ වන විට මා ද සිටියේ මාස දෙකකට අධික කාලයක් නිර්මාංශිකවය. කෙසේ වූවත් ආහාර ගන්නා මොහොතේ මම අම්මාගේ සහ තාත්තාගේ දෑස් තුළට විමැසිල්ලෙන් එබී බැලීමි. ඒ, ඒවා තුළ අනියත අනාගත සැකයක, සංකාවක සේයාවක් මුසු වී ඇත්දැයි දැන ගැනීමටයි. එහෙත් ඒ සිවු දෙනෙත් තුළ මට එදින ද හඳුනා ගන්නට හැකි වූයේ ඔවුන්ටම ආවේණික අධිෂ්ඨානශීලි හා නිවුණු ස්වභාවයම පමණි.