මගේ යුගයේ ආර්ථික සංවර්ධනය


 

 

සැබැවින්ම මේ ආයතනය විසින් ඉටුකරන ලද්දේ රාජ්‍ය ප්‍රධානියා ලෙස දැක්මක්, ක්‍රියාකාරී සැලැස්මක් නිර්මාණය කිරීමට සහ ඒවා ක්‍රියාත්මක කිරීම ගැන සමාලෝචනය කිරීමට මවිසින් පුද්ගලිකවම ඉටුකරන ලද කාර්යභාරයයි. පළමු වතාවට අපි රජයේ ක්‍රියා පද්ධතියට පුද්ගලික අංශයේ වෘත්තීයවේදීන්, විද්වතුන් සහ රජයේ නිලධාරීන් එකට සම්බන්ධ කළෙමු. මේ සෑම ප්‍රධාන විෂයකටම පුද්ගලික අංශයේ නායකයන් විසින් මෙහෙයවනු ලැබුවා වූද අදාළ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලේකම් ලෙස කටයුතු කළා වූද ඒකකය බැගින් තිබිණි. මේ සෑම ඒකකයකම සාමාජිකයෝ දහයත් පහළොවත් අතර සංඛ්‍යාවක් සිටියෝය. 


අමාත්‍යාංශය සහ ආර්ථික සංවර්ධනය උදෙසා වන ජාතික කවුන්සිලය අතර වන සාකච්ඡා තුළින් ප්‍රතිපත්ති සහ ක්‍රියාකාරී සැලසුම් සකස් කරනු ලැබිණි. ඉන්පසු ඒවා අදාළ අමාත්‍යාංශයෙහි අමාත්‍යවරයාගේ අනුමැතියට ඉදිරිපත් කරන ලද අතර අනතුරුව අවසන් අනුමැතිය පිණිස අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබිණි. ආර්ථික සංවර්ධනය උදෙසා වන ජාතික කවුන්සිලයෙහි අනෙක් කාර්යය වූයේ උක්ත දෑ ක්‍රියාත්මක වන්නේ දැයි සමීපව සමාලෝචනය කිරීම සහ ඒවා සඵලදායී ලෙස සිදුවන බවට සහතික කිරීමය. මේ ආර්ථික සංවර්ධනය උදෙසා වන ජාතික කවුන්සිලය සෘජුවම වාර්තා කළේ රාජ්‍ය ප්‍රධානියා හටය.


මගේ ආණ්ඩුව බලයට පැමිණෙන විට රාජ්‍ය බැංකු විශාල වශයෙන් අලාභ ලබන තත්ත්වයක පසුවූ අතර ඒවා බිඳවැටෙන්නට ආසන්නව පැවතුණි. ලංකා බැංකුව සහ මහජන බැංකුව විශාල ලෙස ණය බරකින් පසුවිණි. මීට ප්‍රධාන හේතුව වූයේ දේශපාලන නියෝග මත දෙන ලද එසේම කිසිදාක හෝ අයකර නොගත් සහ ආපසු නොගෙවන ලද ණය නිකුත් කිරීම්ය. ලංකා බැංකුව වෙත වූ බොල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 10 ක් වෙද්දී මහජන බැංකුවෙහි බොල් ණය ප්‍රමාණය රුපියල් බිලියන 11 ක් විණි. විදෙස් සහ ශ්‍රී ලාංකේය විශේෂඥයන් කැඳවමින් මේ බැංකු දෙක ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් පුද්ගලිකවම අධීක්ෂණය කළ මම සාර්ථක ලෙස ඒ දෙකම අනතුරුදායක තත්ත්වයෙන් මුදා ගතිමි. මා ආණ්ඩුවෙන් විශ්‍රාම ගන්නා අවස්ථාව වන විට ඒවා පැවතියේ ලාභ උපයමිනි. මේ තත්ත්වය පසුව වෙනස් වූ බවත් රාජපක්ෂ රෙජීමය යටතේ බැංකු දෙකම පාඩු ලබමින් පැවති බවත් මම දනිමි.


මගේ ආණ්ඩුවට සාර්ථක ලෙස සැලකිය යුතු ආර්ථික ජයග්‍රහණයන් ලැබීමට හැකි වූයේ මෙකී ප්‍රතිපත්ති හේතුවෙන් යැයි මම විශ්වාස කරමි.


දොළොස් වසරක කාලයක් පුරා ඉමහත් පරිශ්‍රමයෙන් ගොඩනගන ලද, එසේම යහපාලනය පිළිබඳව සඵලදායී ලෙස සහතිකයක් සැපයූ මේ සියලු ආයතන තවදුරටත් නොමැති බව දැන ගැනීමට ලැබීමෙන් මම අවංකවම කනගාටුවට පත්වීමි. මින් බොහෝ ආයතන බිඳදමා ඇති අතර තවමත් පවතින්නා වූ ආයතන හුදෙක් පෙර පැවති ඒවායේ ඡායාවන් පමණි. ඒවා වරෙක ක්‍රියාත්මක වූ ආකාරයෙන් දැන් ක්‍රියාත්මක වන්නේ නැත.


ආණ්ඩුව කාර්යක්ෂම ලෙස පවත්වාගෙන යාමේ සහ සැලකිය යුතු මට්ටමකින් දූෂණය පහත දැමීමේ එක් ඉතා වැදගත් ප්‍රතිඵලයක් වනුයේ එමගින් අපට රටෙහි පවතින යුද්ධයට විශාල ලෙස හමුදාමය පාර්ශ්වයෙන් වියදම් දරන අතරේ සංවර්ධනය පිණිස මෙන්ම සැලකිය යුතු මට්ටමකින් රාජ්‍ය සේවයෙහි වැටුප් ඉහළ දැමීමට අවශ්‍ය තරම් අරමුදල් ඉතිරි කරගත හැකි වීමයි. සාමාන්‍ය පුරවැසියාගේ ජීවන තත්ත්වය නගාසිටුවීමට වියදම් දරන අතරම අප විසින් දියත් කරන ලද කාර්යක්ෂම පෞද්ගලීකරණයෙන් උපයාගත් මුදලින් කොටසක් වැය කර ආණ්ඩුවේ ණය බරද අඩු කිරීමට 1948 න් පසු හැකියාව ලද පළමු ආණ්ඩුව මගේ ආණ්ඩුව බව කිව යුතුය. යහපාලනය උදෙසා අප විසින් දරන ලද දඩි ප්‍රයත්නයට ස්තුති වන්නට මගේ ආණ්ඩුව ශ්‍රී ලංකා ඉතිහාසයෙහි ආර්ථික වහයෙන් ඉහළම සාර්ථකත්වය අත්කරගත් ආණ්ඩු දෙකින් එකක් බවට පත්ව තිබේ. අගාධ මුවවිටෙහි පැවති ශ්‍රී ලාංකික ආයතන විශාල සංඛ්‍යාවක් රැකගත් අපි ශ්‍රී ලංකාවෙහි වඩාත්ම සාර්ථක සංවර්ධන ව්‍යාපෘතීන් බවට පත්වෙතැයි අප අපේක්ෂා කළ ව්‍යපෘතීන්ට මුල්ගල් තැබුවෙමු.
මගේ ආණ්ඩුවෙහි පළමු පස් වසර තුළ අපි ඒක පුද්ගල ආදායම ඇමරිකානු ඩොලර් 620 සිට 1200 දක්වා දෙගුණයකින් වර්ධනය කළෙමු. මගේ එකොළොස් වසරක පාලන කාලය අවසන් වන විට ඒක පුද්ගල ආදායම තෙගුණයක්ව පැවතියේ ඇමරිකානු ඩොලර් 2000 ආසන්නයේ එනම් මධ්‍යම මට්ටමේ ආදායම් ලබනා රටවල තත්ත්වයට සමීපව පැවතියේය.
පළමු වසර පහ තුළ රටෙහි දළ දේශීය නිපැයුම දෙකයි දශම පහකින් වර්ධනය වී තිබිණි.

 

 


එසේම දශකයකටත් අඩු කාලයක් තුළ පුද්ගලික අංශයෙහි වැටුප්ද සැලකිය යුතු මට්ටමකින් ඉහළ නැංවෙන තත්ත්වයක් නිර්මාණය කරමින් රාජ්‍ය සේවක වැටුප් පස් වතාවකදී වැඩි කරනු ලැබිණි.


රට පුරා කිලෝ මීටර් දහස් ගණනක ප්‍රධාන මාර්ග සංවර්ධනය කිරීම වැනි කටයුතු ඇතුළුව මගේ ආණ්ඩුව මගින් මේ කාලය තුළ සංවර්ධන ව්‍යාපෘති විශාල සංඛ්‍යාවක් ආරම්භ කිරීම හෝ සම්පූර්ණ කිරීම සිදුවිණි.


ඒ අතර මෙවන් ප්‍රධාන ව්‍යාපෘති ඇතුළත් වෙයි.
පළමු ප්‍රධාන අධිවේගී මාර්ගය - දක්ෂිණ කොළඹ/කටුනායක
කෙරවලපිටිය, කොත්මලේ සහ සියලු ප්‍රධාන ජල විදුලිබල ව්‍යාපෘති
ස්ථාවර දුරකථන සම්බන්ධතාවන් 100,000 සිට 500,000 දක්වා වැඩි කරනු ලැබිණි.
ඒ අතරම ජංගම දුරකථන සම්බන්ධතාවන් 300,000 සිට මිලියන 2 දක්වා වැඩි කරනු ලැබිණි.
ත්‍රී රෝද රථ සංඛ්‍යාව 100,000 සිට මිලියනය දක්වා වැඩි කරනු ලැබිණි.
වසර සියයක් තිස්සේ 33% ක්ව පැවති පුද්ගලික නිවාස සඳහා වූ විදුලි සැපයුම 33% සිට 65% දක්වා වර්ධනය කරනු ලැබිණි.
එසේම නිවෙස්වලට පානීය ජල සැපයුමද 40% සිට 75% දක්වා වර්ධනය කරනු ලැබිණි.
1994 වසරේදී අප ආණ්ඩුව භාරගන්නා විට උද්ධමන අනුපාතය 13% ක්ව පැවති නමුදු රටෙහි පැවති සිවිල් යුද්ධය උදෙසා විශාල ලෙස වියදම් දරමින්ම උද්ධමන අනුපාතය ආසන්න වශයෙන් 7% ක සාමාන්‍ය අගයක පවත්වා ගැනීමට අපි සමත් වීමු.
විරැකියාව 14% සිට 6% දක්වා පහත හෙළනු ලැබිණි.


ණය පොලී අනුපාත පහත හෙළුෑ අපි මධ්‍යම සහ කුඩා පරිමාණ කර්මාන්තයන්ට සහන ණය පහසුකම් ලබා දුන්නෙමු. මෙකී වැඩපිළිවෙළ යටතේ විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවල මිලියන දෙකකට වැඩි පිරිසකට රැකියා අවස්ථා ජනිත කරමින් සහ නව ආදායම් උත්පාදනය කරමින් ආසන්න වහයෙන් අඩ මිලියනයක පමණ නව ව්‍යාපෘති අරඹනු ලැබිණි. මෙය සවිමත් ග්‍රාමීය සංවර්ධනයක් සඳහා අවශ්‍ය පදනම සැපයීය. වර්තමාන ආණ්ඩුවට ග්‍රාමීය අංශයන්ගෙන් සහයෝගය ලැබුණේ මේ පදනම මත බව කිව යුතුය.
මගේ ජනාධිපති ධුර කාලය අවසානය කරා එළඹෙද්දී මගේ ජනාධිපතිධුර සමයෙහි උරුමය ලෙස විසල් ව්‍යාපෘති ගණනාවක්ම ලැබීමට නියමිතව තිබිණි.


ඉන් වඩාත්ම ප්‍රසිද්ධ (සමහර විට කුප්‍රසිද්ධ) ව්‍යාපෘතිය වූයේ නොරොච්චෝලේ බලශක්ති ව්‍යාපෘතියයි. මේ ව්‍යාපෘතිය පිළිබඳ අදහස මගේ ආණ්ඩුව විසින් ඇති කරගන්නා ලද්දක් වූ අතර මම ඉතා පහසු කොන්දේසි යටතේ අපට ණය ලබා දෙන මෙන් චීන රජය කැමති කරවා ගතිමි. 


එසේම මම ලයිබර් පොලී අනුපාතයට (London lnterbank Offered Rate) වඩා 12% වැඩි පොලී අනුපාතයක ණය පහසුකමක් සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 280 ක් වූ මේ ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කළෙමි. ඒ අනුව අදාළ ක්ෂේත්‍රය තුළ විශිෂ්ට මට්ටමේ තාක්ෂණික සහ මුල්‍ය වාර්තාවක් ඇත්තාවූ සහ අත්දැකීම් සහිත වූ ප්‍රබල පිළිගැනීමක් ඇති චීන සමාගමකට ටෙන්ඩරය පිරිනමන ලද අතර එකී ව්‍යාපෘතියට ඉතා පැහැපත් අනාගතයක්ද නියමව තිබිණි. එහෙත් එකී ව්‍යාපෘතියට සම්බන්ධව සිටි වැදගත් පුද්ගලයකු විසින් මට දන්වා සිටින ලද්දේ රාජපක්ෂ ආණ්ඩුව බලයට පත්වීමත් සමගම රාජපක්ෂ ආණ්ඩුවෙහි සිටින ඉතා වැදගත් පුද්ගලයකු 50% ක කොමිස් මුදලක් ඉල්ලා ඇති බවයි. එය ලබා දීම චීන සමාගම විසින් ප්‍රතික්ෂේප කිරීමෙන් පසුව අදාළ ඉතා වැදගත් පුද්ගලයා විසින් චීන සමාගමට ‘පිටව යන’ මෙන් දැනුම් දී තිබේ. 


ඉන්පසුව ආණ්ඩුව විසින් ටෙන්ඩරය පිරිනැමීම අවලංගු කරනු ලදුව එය නැවත සාකච්ඡාවට ගෙන 61% කට අධික පොලී අනුපාතයක් යටතේ වන ණය පහසුකමක් සමගින් ඇමරිකානු ඩොලර් මිලියන 510 කට (පෙර පැවති පිරිවැය මෙන් දෙගුණයක්) ව්‍යාපෘතිය සඳහා ගිවිසුම් අත්සන් කරනු ලැබිණි. ව්‍යාපෘති පිරිවැයෙහි ඇතිව තිබෙන මේ කැපීපෙනෙන වර්ධනයෙහි ඇති අතාර්කිකභාවය දැක මම මහත් සේ කම්පනයට පත්වීමි. 


බලාගාරයේ සවිකිරීම් සය වතාවක් ගින්නට බිලි වූ බව වාර්තා වුණ අතර නිමක් නැති බිඳවැටීම්ද සිදු වූ බව වාර්තා වෙයි. ව්‍යාපෘතිය සඳහා ගෙවන ලද අමතර මුදල්වලට අත්වූ ඉරණම පිළිබඳව අපට කළ හැක්කේ හුදු උපකල්පනයන් සිදුකිරීම පමණි.