මනරංජන වැඩ වර්ජන පුරාණයෙන්


 

“මේ සියවසේදී තැවීමට සිදුව ඇත. ඒ දුදනන් පෑ නොපනත්කම් නිසා නොව සුදනන්ගේ නිහඬතාවය නිසාය”
මෙය වූ කලී මාර්ටින් ලූතර් කිං ප්‍රකාශ කළ අදහසකි. 


තම වෘත්තීය අයිතිවාසිකම් උදෙසා වර්ජනය කිරීමත්, පාලකයන් විසින් මර්දන දඬු අඬුව ගැනීමත් ඉතිහාසය පුරා දක්නට ලැබුණි. වර්ජන නායකයන් පිළිබඳව වචනයක් හෝ නොකියා වධකාගාරවල මියගිය සොහොන් කොත් නැති විරුවන්ගේ මළ මිනී මතින් පජරෝගත වූ නායකයන් ද වේ. එය කෙසේ වෙතත් රටපුරා විහිදී විසිරී යන වර්ජන රැල්ල නිසාම අතීත වර්ජන හා ගර්ජන ගැන සොයන්නට මේ කදිම නිමේෂයකි.


යම් යම් අවස්ථාවලදී කම්කරුවන් වැඩ අත්ඇරීම් සිදුකර තිබුණ ද සංවිධානාත්මක නිශ්චිත මුල්ම වැඩ වර්ජනය වාර්තාවන්නේ 1883 දී ය. එහෙත් ඊට පෙර වැඩ අත් ඇරීම් කිහිපයක් විය. ඒවා එතරම් සංවිධානාත්මක ඒවා නොවේ. දිනකට සීමා විය. 1860 තර්ස්ටන් නමැත්තකුට අයත්ව තිබූ පෞද්ගලික පාසලක සේවක පිරිසක් වැඩ අත්හලේය. 1870 වාරිමාර්ග සේවක පිරිසක් වැඩ අත්හළේය. 1879 කොළඹ මස්කඩ කම්කරුවන් වැඩ අත්හළේය. එබැවින් නිශ්චිත සංවිධානාත්මක මුල්ම වැඩ වර්ජනය 1893 සැප්තැම්බර් මස 12 වැනිදා කොළඹ කේව් මුද්‍රණ සමාගමේ :්‍යගඋ ක්‍්ඩැ ්බා ක්‍දපච්බහ* සේවක වැඩ වර්ජනයක් ඇති විය. කම්කරුවන් 60 දෙනකුගේ සහභාගිත්වයෙන් මෙය ඇරඹිණි. ඒ. ඊ. බුල්ජන්ස් මෙම වැඩ වර්ජනය සංවිධානය කිරීමේ පුරෝගාමියා විය. බි්‍රතාන්‍ය රජයට එරෙහිව සිය සටන පණ පෙවීය. මහාචාර්ය කුමාරි ජයවර්ධන පෙන්වා දෙන අන්දමට ශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම වැදගත්කමින් යුත් වෘත්තීය සටන මෙයයි.


සමාගමේ සේවකයන්ගේ වැටුප් නිසි පරිදි නොගෙවීම වැඩ වර්ජනයට හේතුවයි. බි්‍රතාන්‍ය රජය වැඩ වර්ජනය මර්දනය කිරීමට කටයුතු කළේය. වර්ජනය කළ අයට ගර්ජනය කොට නැවත සේවයට කැඳවා ගැනීමට උත්සාහ කළේය. සිංගප්පූරුවෙන් හෝ මදුරාසියෙන් කම්කරුවන් ගෙන්වා මුද්‍රණ කටයුතු ආරම්භ කරන බව එවක ඔබ්සර්වර් පුවත්පතේ වාර්තා කර ඇත. කෙසේ වෙතත් සටන මගින් විශාල ජයග්‍රහණයක් ලබා ගැනීමට සේවකයන්ට නොහැකි විය. 1893 - 1915 වකවානුවේ මෙරට පැවති වැඩ වර්ජන ජාතික හා ආගමික ව්‍යාපාර සමග බද්ධව කටයුතු කළේය. 


1906 දී නගර සභා ආඥා පනතට විරුද්ධව රෙදි අපුල්ලන්නෝද සහ කරත්තකරුවෝ ද වැඩ වර්ජනය කළහ. හිටපු අගමැතිවරයකු වූ ශ්‍රීමත් ජෝන් කොතලාවල මහතාගේ පියා මෙම කරත්තකරුවන්ගේ වැඩ වර්ජනයට නායකත්වය සැපයීය. කරත්තය දක්කාගෙන යාමේදී කරත්තයේ වාඩි වී සිටීම තහනම් කළ නියෝගයක් වැඩ වර්ජනයට මුල් විය.


1921 දී දුම්රිය සේවක වැඩ වර්ජනයක් විය. මෙහි ප්‍රධාන භූමිකාව අනගාරික ධර්මපාල තුමා විසින් දරනු ලැබීය. ඔහු එහිදී ආගමික පුනර්ජිවනය හා බි්‍රතාන්‍ය පාලනයෙන් අත් මිදීමේ අවශ්‍යතාව එම වර්ජන සමග ඉස්මතු වූ බවයි. කෙසේ වෙතත් මේ වකවානුවේ පැවති වර්ජන නිසා කම්කරුවන් ලැබූ විශේෂ ජයග්‍රහණ කිසිවක් ගැන වාර්තා නොවේ. ඔවුන්ගේ සංවිධාන ද ටික දිනකින් දියාරු වී ගියේය.


1922 සැප්තැම්බර් 22 දින ඒ. ඊ. ගුණසිංහ මහතා ලංකා කම්කරු සංගමය පිහිටුවා ගැනීම වර්ජන ඉතිහාසයේ කැපී පෙනෙන සන්ධිස්ථානයකි. වික්ටර් කොරයා එහි සභාපති වූ අතර ඒ. ඊ. ගුණසිංහ උපසභාපති විය. 1923 වන විට කොළඹ සමස්ත කම්කරුවන් මෙම සංගමය වටා ගොනුකර ගැනීමට ලංකා කම්කරු සංගමය සමත් විය. මහාචාර්ය කුමාරි ජයවර්ධන ඇය ගේ “කම්කරු පන්තියේ නැගීම” යන කෘතියේ මෙම වකවානුව දක්වා ඇත්තේ ලංකා කම්කරු පන්තියේ ගුණසිංහ යුගය ලෙසයි. ඒ තරමටම ගුණසිංහයන්. මෙරට කම්කරු ව්‍යාපාරයට බලපෑමක් එල්ල කළ චරිතයක් විය.


1923 පෙබරවාරි 15 වැනිදා ලංකාවේ සමස්ත ලංකා වැඩ වර්ජනයක් ප්‍රථමවරට ක්‍රියාත්මක විය. ජීවන වියදම ඉහළයාම, වැටුප් වැඩි නොකිරීම, වර්ජනයේ ප්‍රබල සටන් පාඨ බවට පත්විය. වරාය, වැල්ලවත්ත රෙදි මෝල, කොළඹ ඉංජිනේරු සමාගමේ සේවක කම්කරුවන් සහ කසළ සෝධකයන් අතරට ද පැතිර ගියේය. මෙය ජාතික ජීවය ප්‍රදර්ශනය කිරීමක් යැයි සඳහන් කළ අනගාරික ධර්මපාලතුමා ගුණසිංහගේ ව්‍යාපාරයට සිය පූර්ණ සහයෝගය ලබා දුන්නේය. 1926 වන විට ලංකා කම්කරු සංගමය වටා 4000 ක පමණ සාමාජික පිරිසක් එක් වූ බව කියනු ලැබේ.


1928 දී වැඩ වර්ජන රාශියක් ඇති විය. මෝටර් රථ කම්කරුවන්ගේ වැඩවර්ජනය, කොළඹ මහ හෝටලයේ වැඩ වර්ජනය, ටයිම්ස් සමාගමේ වැඩ වර්ජනය, ට්‍රෑම් රථ වැඩ වර්ජනය ආදිය ඉන් කැපී පෙනෙයි. ට්‍රෑම් රථ කරුවන්ගේ වැඩ වර්ජනය සටන්කාමී එකක් විය. ඒ.ඊ ගුණසිංහ ඊට නායකත්විය දුන්නේය. ඉන් පසු ලංකා දේශපාලනයට වාමාංශික ස්වරූපයක් එක්වීම වර්ජනය දේශපාලන උපක්‍රමයත් ලෙස යොදා ගැනීමට බෙහෙවින් හේතුවිය. ට්‍රොස්කිවාදයක් ඊට ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් ද වෙන වෙනම සංවිධානය වී තිබුණි. 


1946 දී සමස්ත ලංකා වැඩ වර්ජනයක් ඇතිවිය. එතෙක් ඉතිහාසයේ තිබූ දැවැන්තම වැඩ වර්ජනය එය විය. එය ශක්තිමත් පදනමක් මත ගොඩ නැගුනි. දේශපාලනික ඉලක්කයක් ඔස්සේ වැඩ වර්ජනය මෙහෙයවීම කැපී පෙනෙන ලක්ෂණයක් ලෙස හඳුනා ගත හැකි විය. 1946 වර්ෂයේදී කාර්මික වැඩ වර්ජන 69 ක්ද වතු සේවක වැඩ වර්ජන 89 ක්ද වාර්තා වී ඇත. මෙම සටන් සඳහා වෘත්තිය සමිති 40ක දායකත්වය ලබා දී තිබේ. මේ අනුව පෙනී යන්නේ නවක දේශපාලනික උද්යෝගයකින් වර්ජන ක්‍රියාත්මකව පැවති බවයි. හුදු ඉල්ලීමකට එහා ගිය දේශපාලන දර්ශනයක් මත මෙම වැඩවර්ජන සංවිධානය වී ඇත. 


1946 රජයේ සේවකයන්ද වැඩ වර්ජන සඳහා එකතු විය. මේ නිසා වර්ජන උපායශීලිත්වය ප්‍රබල එකක් විය. පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා ආදීන්ගේ දායකත්වය නිසා මේ සටන් තියුණු මුහුණුවරක් ගෙන ඇත. 


1946 ඔක්තෝබර් 21 දින ඇති වූ වැඩ වර්ජනයට ලිපිකරුවන් 500 ක්ද පියන්වරු (එවක හඳුන්වන ලද්දේ එම නමිනි) 100ක්ද සරප්වරු 60 ක්ද වෙනත් සේවකයන් 35 ක්ද සම්බන්ධ වූ බව වාර්තා වේ. මහාචාර්ය කුමාරි ජයවර්ධන පැහැදිලි කරන අන්දමට 1946 ඔක්තෝබර් 10 ආරම්භ වූ වැඩ වර්ජන පිළිබද මධ්‍යස්ථාන කර්මාන්ත ශාලා ආදියට ශීඝ්‍රයෙන් පැතිර ගියේය.
මෙම වැඩ වර්ජන එවක ආණ්ඩුව සැලකුවේ ඔවුනට ඇති ප්‍රබලම තර්ජනයක් බවයි. ඒ නිසා එය මර්දනය කිරීමට පියවර ගත්තේය. වර්ජකයන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත්තේය. මේ ගැටුමට ප්‍රතිචාර ලෙස යාපනය දක්වා ගමන් කරමින් තිබූ දුම්රියක පීලි පන්වන ලදී. විදුලි පණිවුඩ කපා දමන ලදී. වැඩ වර්ජනවලට අමතරව ආණ්ඩුවට තර්ජනය කළ හැකි වෙනත් උපාය මාර්ගවලටද උද්ඝෝෂකයන් පෙළඹුන බව වාර්තා වේ.


මෙම තත්ත්වය පිළිබඳව ටී. බී. ජයා මහතා රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී ප්‍රකාශ කළේ බැංකු ලිපිකරු වැඩ වර්ජනය පිළිබඳව තමාට කීමට කිසිවක් නොමැති බවයි. ආත්ම ශක්තියෙන් යුක්තව ඔවුන් වැඩ වර්ජනය කළ බව පමණක් කිව හැකි යැයි ඔහු තවදුරටත් සඳහන් කළේය.


1946 ඇති වූ වැඩ වර්ජනය නිසා කම්කරු ප්‍රජාව තවත් ශක්තිමත් විය. ඒවා දෙස බලා සිටි සෙසු පිරිස් යළිත් සංවිධානය විය. 1947 දී යළිත් මහා වැඩ වර්ජනයක් ඇති විය. තව තවත් කම්කරුවෝ ආර්ථික ඉල්ලීම් ඉදිරිපත් කළහ. තමන්ට වෘත්තිය සමිතිවල නිරතවීමට සහ දේශපාලනය කිරීමට අවශ්‍ය අවසරය ලබාදෙන ලෙස ඉල්ලා සිටියහ. ආණ්ඩුකාරවරයා වෙත යැවූ සංදේශයේ සඳහන් ප්‍රධානම ඉල්ලීම එය විය.


1947 වැඩ වර්ජන රැල්ලක් වාර්තා විය. 1947 දැවැන්ත වැඩ වර්ජන ක්‍රියාවට නැංවීමට පෙර මැයි 29 දින රජයේ සහ පෞද්ගලික අංශ දායකත්වයෙන් ගාලු මුවදොර වෘත්තිය සමිති රැලිය ඓතිහාසික එකක් විය. වැඩ වර්ජන සඳහා නායකත්වය දීමට සූදානම්ව සිටි නායකයන්ගේ ප්‍රධානත්වයෙන් මෙවැනි රැලියක් පැවැත් වූ ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම රැලියේදී  ආචාර්ය එන්. එම්. පෙරේරා, පීටර් කෙනමන්, ජී. ජී. පොන්නම්බලම්, පිලිප් ගුණවර්ධන ආදීහු කතා පැවැත්වූහ. මෙයට අමතරව ඩී. ආර්. විජයවර්ධන, ජේ. ආර්. ජයවර්ධන, ඩී. එස්. සේනානායක ආදීහු ද කතා කළහ.


මෙම වැඩ වර්ජන රැල්ලේ පළමු අදියර මැයි 31 වනදා ක්‍රියාවට නැගුණි. කම්කරුවෝ 500 පමණ අතිකාල දීමනා ඉල්ලා වැඩ වර්ජනය කළහ. රෝලන්ඞ් සමාගමේ සේවකයන්ද ඊට එකතු විය. ඉන්පසු මෙය ක්‍රමයෙන් වර්ධනය වී කම්කරුවන් 2000 පමණ වැඩ වර්ජනයට එකතු වූහ. ලංකා සම සමාජ පක්‍ෂය මෙහෙය වූ සහයෝගිතා වැඩ වර්ජනයක් ලෙස මෙය ඉදිරියට ගමන් කළේය. මේඅතර කොමියුනිස්ට් පක්ෂය 25% ක වැටුප් වැඩි කිරීමක් ඉල්ලා වැඩ වර්ජනය කිරීම ආරම්භ කළහ. මැයි 22 සිට ආරම්භ වූ මෙම වැඩ වර්ජනයට කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ කම්කරුවන් 3000 ක් පමණ සහභාගි වූහ.


මහාචාර්ය කුමාරි ජයවර්ධන පෙන්වා දෙන අන්දමට “ජනසතු සංකල්පය” ද මෙම වර්ජන සමග කරළියට පැමිණ ඇති අතර සෝල්බරි ව්‍යවස්ථාවට එරෙහි ජන හඬක් ලෙස එය අර්ථ නිරූපණය කළ හැකිය. මැයි 31 වැනිදා වන විට විශාල වශයෙන් රජයේ සේවකයන්ද මෙම වැඩ වර්ජනයට එකතු වෙමින් සිටියහ. ඒ අතර ප්‍රධාන වූයේ ආණ්ඩුවේ ලිපිකරුවන්ය. නැවත සේවයට නොපැමිණියහොත් රැකියාවලින් දොට්ට දමන බවත් විශ්‍රාම වැටුප් අහෝසි කරන බවටත් නිවේදන නිකුත් විය. මේවා අනාගත වෘත්තිය සමිති ව්‍යාපාරයට තදබල ලෙස බලපෑම් කළ හැකි බව එවක වෘත්තිය සමිති නායකයෝ තේරුම් ගත්හ. ඒ බව තේරුම් ගත් එක්සත් ජාතික පක්‍ෂය එයට විරෝධය පළ කළහ. එලෙස විරෝධය පළකළ ජේ. ආර්. ජයවර්ධන පසු කලෙක එනම් 1981 දී වැඩ වර්ජකයන් දහස් ගණනන් දොට්ට දැමීමට පියවර ගැනීම ඉතිහාසයේ සරදමක් වැන්න. එවක ආණ්ඩුව තම මතය නිවේදනයකට සීමා නොකළ අතර මහනුවර කච්චේරියේ ලිපිකරුවකු වූ ටී. බී. ඉලංගරත්න සහ තවත් කම්කරුවන් 18 දෙනෙකු ගෙදර යැවීය. එහි ප්‍රතිඵලය වූයේ මැයි 31 වැනිදා ලිපිකරුවන් 2000 ක් වැඩ වර්ජනය කිරීමයි.


මෙම තත්ත්වය නිසා වැඩ වර්ජනය වෙනත් ක්ෂේත්‍රවලටද පැතිර ගියේය. ජූනි මස 03 වැනිදා වරාය සේවකයෝ 7000 ක් වැඩ වර්ජනය කළහ. වරායේ ඉංජිනේරු අංශයේ කම්කරුවෝ 3500 වැඩ වර්ජනය කළහ. ආණ්ඩුවේ කර්මාන්ත ශාලාවල කම්කරුවෝ 3500 ක්ද තැපැල් හා විදුලි පණිවුඩ සේවකයන්ද මෙයට එක් වූහ. ආණ්ඩුවද නිහඬ නොවීය. වැඩ වර්ජනය අතහැර සේවකයන් නැවත වැඩට පැමිණ ඇති බවට එජාපය වාර්තා පළ කළහ. යුද හමුදාව හා පොලීසිය කැඳවා වැඩ වර්ජකයන්ට තර්ජන ගර්ජන කළේය.


1947 මහා වැඩ වර්ජනයේදී කොමියුනිස්ට් පක්‍ෂයේ ප්‍රධාන ක්‍රියාකාරිකයකු වූ එම්. ජී. මෙන්ඩිස් හා ඒ. ඊ. ගුණසිංහ අතර විශාල මතවාදී අරගලයක් ගොඩනැගී තිබුණි. මේ අතර හදිසියේම එම්.ජී. මෙන්ඩිස්ට මැරවරයන් පිරිසක් පහර දුන් අතර ඔවුන් අතරින් කෙනකු ප්‍රකාශ කර සිටියේ තමන් එසේ ක්‍රියා කළේ ඒ. ඊ. ගුණසිංහගේ උපදෙස් අනුව බවය. තවදුරටත් එම මැරවරයා සඳහන් කළේ ඒ සඳහා ඔහුට රුපියල් දහසක් ගෙවූ බවයි. මෙම සිද්ධිය 1946 මැයි 17 “ජනශක්ති” ප්‍රවෘත්ති පත ප්‍රධාන ප්‍රවෘත්තියක් සේ සලකා පළ කළේය. ඇල්බට් ගෝමිස් හෙවත් ගෝමි ඇල්බට් මෙම මැරවර කණ්ඩායමේ නායකත්වය දැරීය. සොවිනි ස්ටීවන් සහ හිල් වීදියේ මාර්ටින් ද මෙම මැරවර කණ්ඩායමේ නායකයන් වූ බව සරත් ලයනල් විසින් ලියන ලද ශ්‍රී ලංකාවේ කම්කරු පන්ති අරගලය යන කෘතියේ දැක්වේ.


1946 සිට ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ දේශපාලනයට එකතු වූහ. ඒ මෙම වෘත්තිය සමිති ව්‍යාපාරයට අතදීම හරහාය. යක්කඩුවේ ප්‍රඤාරාම හිමියන්ගේ නායකත්වයෙන් යුත් ලංකා එක්සත් භික්ෂු බල මණ්ඩලය මෙලෙස පිහිටුවාගත් මුල්ම සංවිධානය වේ. වැඩ නොකරන ලෙස ගිහියන්ගෙන් අයැද සිටීම භික්ෂූත්වයට කැළලක් බව මෙම සටනේ පුරෝගාමියකු වූ වල්පොල රාහුල හිමියන්ට චෝදනා එල්ල විය. “ඔවුහු ජීවිතයේ අවම අවශ්‍යතා අයැද සිටියහ. ඒ නිසා ඒ ඉල්ලීම් දිනා ගැනීමට ඔවුන්ට සහාය දැක්වීමට සිදුවිය. මගේ ක්‍රියාවේ අභිප්‍රාය වූයේ මගේ ආගමට හා හෘදය සාක්‍ෂියට අනුකූලව දුක්විඳින ජනතාවට ඒ අවස්ථාවට සරිලන පරිදි සහායවීමය. එක්සත් ජාතික පක්‍ෂය හා වාමාංශික බලවේග අතර පැවති ගැටුම මෙම වැඩ වර්ජනයේ දී කැපී පෙනුණි. එක්සත් ජාතික පක්ෂය තම ප්‍රධාන සතුරා ලෙස සලකන ලද්දේ ඉංග්‍රීසි ආණ්ඩුව නොව වාමාංශික බලවේගයන්ය.


මේ අනුව 1947 මැයි 27 පොලිස් ආඥා පනත සම්මත කරගෙන කැරලි මර්දනය සඳහා හමුදාව යොදා ගැනීමට අවශ්‍ය නෛතික පසුබිම සකස් කර ගැනීමට එක්සත් ජාතික පක්‍ෂය ක්‍රියා කළේය. පොලීසිය කම්කරු පෙළපාළියට වෙඩි තැබීය. පී. කන්දසාමි පොලිස් වෙඩි පහරින් මියගියේය. ඔහු වෙනුවෙන් අනුස්මරණ පෙළපාළියක් සංවිධානය කළේය. මේ අන්දමට ක්‍රියාත්මක වූ දැඩි මර්දනය හමුවේ ජුනි 20 දින වැඩ වර්ජනය අතහැර දැමීමට උද්ඝෝෂකයන්ට සිදුවිය. මින් ලංකාවේ වෘත්තිය සංගම් ක්‍රියාකාරීත්වය පසුබෑමකට ලක්විය. 


1948 රාජ්‍ය සේවකයන්ට වෘත්තිය සමිති පිහිටුවීමට අවසර ලැබිණ. එහෙත් වෙනත් වෘත්තීය සමිති සමග ඒකාබද්ධව කටයුතු කිරීම තහනම් කිරීම 1948 වෘත්තිය සංගම් සංශෝධන පනත මගින් සිදුවිය. ඉන් අනතුරුව ක්‍රමිකව ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපෘතිය දියාරු වී ගියේය. ඉන්පසු වාමාංශික පක්‍ෂ දක්ෂිණාංශික දේශපාලන පක්‍ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සමග එක්වීමත් සමග එවක තිබූ බර මුළුමනින්ම දියවී ගියේය. එහෙත් සාමාජික ගාස්තු විශාල ලෙස කැපී සංගමය වෙත යන අතර කම්කරු දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව ඒ මුදල් භාවිත කරන්නේ කුමන කාරණා සඳහා දැයි නිසි ලෙස දක්වා නොමැත. ඉන් බොහොමයක්ම එකී වෘත්තීය සමිති නායකයන්ගේ සුඛ විහරණය උදෙසා යොදා ගැනීමත් සමග වෘත්තීය සමිති ව්‍යාපාරය ඇද වැටුණි.

නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර