මනරංජන වැඩ වර්ජනය මැද ලොව දුවවන තෙලේ බලේ


 

අප්‍රේල් විසිතුන් වැනි දින මධ්‍යම රාත්‍රියේ සිට ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කරන බව අදාළ වෘත්තීය සමිති මගින් ප්‍රකාශයට පත් කරනු ලැබූ මොහොතේ සිටම රට අර්බුදයකට ගමන් කරන ආකාරයක් දක්නට ලැබුණි. “එහෙම වුණොත් අපි ගමන් බිමන් යන්නේ කොහොමදැයි වාහනහිමියෝ විපිලිසර වූහ. සාර්ථක ලෙස වර්ජනයක් පැවැත්වීමට ඉඩක් නැතැයි රජයේ පාර්ශ්වයෙන් සුපුරුදු පිළිතුර ලැබුණි. එහෙත් 23 වැනිදා සන්ධ්‍යාව එළඹෙන විටත් කොළඹ නගරයේ සහ තදාසන්න පදේශවල පමණක් නොව ඈත ප්‍රත්‍යන්ත නරගවල පවා තෙල් සැපයුම් මධ්‍යස්ථාන ඉදිරියේ තෙල් ලබා ගැනීම සඳහා වූ දීර්ඝ පෝලිම් දක්නට ලැබුණි. ඒ තවත් දිනකට හෝ දෙකකට හෝ සෑහෙන තෙල් ප්‍රමාණයක් ලබා ගැනීමටය. ඒ හැර දීර්ඝ කාලයකට තෙල් රැස්කර ගබඩා කර ගැනීම කිසිවෙකුට කළ නොහැකි ක්‍රියාවකි. එයට පහසුකම් කිසිවෙකුටත් නැත. ඒ නිසා ප්‍රායෝගික ක්‍රියාව වන්නේ රජයේ බලවතුන් මැදිහත්වී වැඩවර්ජනයක් සමග සාකච්ඡාවෙන්. සම්මුතියෙන්, සම්මන්ත්‍රණයෙන් ප්‍රශ්නය ගොඩින් බේරා ගැනීමය.

 

වර්ජකයන්ගේ ප්‍රධාන ඉල්ලීම වන්නේ ත්‍රිකුණාමලයේ පිහිටා ඇති තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියානු ආයතනයකට පවරා දීමට සූදානකමක් ඇති බැවින් එය නොපමාව අත්හිටවන ලෙස කරන ලද්දකි. එසේ ඉල්ලා සිටීමට පාදක වන කරුණක් නොබෝදා සිදුවූ බව මාධ්‍යවලින් ප්‍රකාශ විය. ඉන්දියානු තෙල් සමාගමට පවරා දී ඇති ස්ථානයකට යම් කිසි රාජකාරී කටයුත්තකට ගිය ඛනිජ තෙල් සංස්ථාවේ නිලධාරී පිරිසකට මහත් අපහසුතාවකට මුහුණ පෑමට සිදු වූවේ මේ නොබෝදාය. අනෙක් අතට පසුගිය තිස් වසරක කෘර යුද්ධයේ අමිහිරි අත්දැකීම් මෙන්ම එම භයානක අවස්ථාවේ ඉන්දියාවේ සහ එහි සමහර ප්‍රාන්ත ආණ්ඩුවල හැසිරීම මතක ඇති අයට “ගින්නෙන් බැට කෑ කෙනා කලාමැදිරියාටත් බයයි” යන පැරණි සිංහල කියමන අනුව කටයුතු කිරීම ගැන කිසිවෙකුටවත් දොස් කිය නොහැක. විශේෂයෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජාත්‍යන්තර අතපෙවීම් බහුලව ඇති යුගයක රට අභ්‍යන්තරයේ ඉන්දියාව සතු දේපොල පැවතීම මව්බිමේ ස්වෛරීභාවයට, රාජ්‍ය ආරක්ෂාවට සහ ස්වාධිපත්‍යයට හානියක් විය හැකි යයි කෙනෙක් බිය පළ කරන්නේ නම් එය ස්වභාවික තත්ත්වයකි. එයට නිදසුන් කොතෙකුත් මෑත අතීතයේදී දක්නට ලැබුණි.

 

ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ කාලයේ වඩමාරච්චි මෙහෙයුම සාර්ථකව ඉදිරියට යද්දී ත්‍රස්ත නායක ප්‍රභාකරන් මුලතිව්හි කොටුවී හමුදාවන්ට අසුවීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දියාව මෙරට ගුවන් සීමාව උල්ලංඝණය කරමින් යානා එවා පරිප්පු මිටි බිම හෙළමින් කළ නිල නොවන ආක්‍රමණය අමතක වීමට තරම් කාලයක් තවමත් ගතවී නොමැත. ඉන්දියානු මහා දේශයේ චීනය සමග ඇති මැක් මැහෝන් දේශ සීමාව සැතපුම් දහස් ගණනකි. එහි දෙරටටම අයත් නැති කලාපය පමණක් ශ්‍රී ලංකාවේ භූමි ප්‍රමාණයට වඩා වැඩිවනු ඇතැයි මම අනුමාන කරමි. මෙය සංඛ්‍යා ලේඛන මත පදනම් වූ කියමනක් නොවේ. ඒ සා මහත් රාජ්‍යයක් එයට සාපේක්ෂව බලන විට බොරළු කැටයක් තරමටවත් සැලකිල්ලට ගත යුතු නොවන කච්චතිව් දූපත පිළිබඳව රණ්ඩු කරන අවස්ථාවන්ද දක්නට ලැබේ. කෙටියෙන්ම දක්වන්නේ නම් ඉන්දියාව, ශ්‍රී ලංකාව දෙරටෙහි අනුගමනය කරන ලොකු අයියාගේ භූමිකාව සැමවිටම සහෝදර බැම්මක්ම වූවේ නැත. යුද්ධයේදී සාමය ඇති කිරීමටයි කියමින් බලපෑම් මත මෙහි පැමිණි ඉන්දියානු සාම සාධක හමුදාව, කළ අකටයුතු සුළුපටු නොවේ. ඉත්තෑවාගේ ගෙට රිංගූ කබල්ලෑවා මෙන් මුත්තපා කිව්වත් යන්නේ නැතැයි කියන හැසිරීමකින් ඉන්දියා සාම සාධක හමුදාව කටයුතු කළ බව කාටත් මතකය. ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ ඍජු සහ එඩිතර තීරණ මත වූවද එම හමුදාව පිටත්කර ගත්තේ ඉතා අපහසුවෙනි. මේ ඉන්දියානු හැසිරීමේ පැටිකිරියයි. ජනවාර්ගික අර්බුදය ශ්‍රී ලංකාවේ ගටලුවත් නොව ඉන්දියාවට අයත් සේ සලකා හර්තසාරතී මල්හෝත්‍රා සහ ඩික්සිත් වැනි රාජ්‍ය දූතයෝ නිරන්තරයෙන් මෙහි පැමිණියහ. හරියට වී පැදුරට එන කුකුළන් මෙනි. නවත්තන්නටම බැරි විය. ඔවුන්ට අවශ්‍ය වූවේ ලංකාවේ ගැටලුව ඉන්දියාවේ ජාතික ඕනෑ එපාකම්වලට අනුව හසුරුවාලීමටය. 


මෙය තෙල් සංස්ථා සේවක වෘත්තීය සමිත වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ. කාටත් මතක මෑත අතීතය සිහිපත් කිරීමකි. කව්රුන් තුළ වුවත් මෙම බිය ඇතිවීම ස්වභාවිකය.

 


ඛනිජ තෙල් සොයා ගැනීම ලෝකයේ ගමන් මඟ වෙනස් කළ සංසිද්ධිය කැයි කියනු ලැබේ. “කළු රත්තරන්” යැයි විරුදාවලිලත් මෙම ධන උල්පත ප්‍රථමයෙන්ම සොයා ගනු ලැබුවේ කැනේඩියානු ජාතික එඞ්වින් එල් ඩාකේ නැමැත්තෙකු බව කියවේ. දක්ෂ කාර්මිකයෙකු වූ ඔහු පොළව කැණීමේ යන්ත්‍රයක් නිශ්පාදනය කරන ලදුව එමගින් කැණීමක් කරමින් සිටියේය. පොළව මට්ටමින් අඩි හැට නවය හමාරක ගැඹුරට යාමේදී කළු වර්ණයෙන් යුතු දියර තට්ටුවක් දක්නට ලැබුණි. මෙම කැණීම සිදු කෙරුණේ ඇමරිකාවේ පෙන්සිල්වේනියා ජනපදයේ ගමකදීය. මෙය සිදුවූයේ වර්ෂ 1859 වර්ෂයේදී බව කියනු ලැබේ නොයෙක් පරීක්ෂණයන්ගෙන් පසු ඛනිජ තෙල් නොහොත් පැට්‍රෝලියම් සොයා ගනු ලැබුවේ ඒ ආකාරයෙනි.


මෙයට වසර දසලක්ෂ හාර දහස් ගණනකට පෙර මිහිතලයෙන් වැඩි කොටසක් පැවතියේ මුහුදෙන් වැසීගෙනය. එකල ඩයිනසෝර් වැනි දැවැන්ත සතුන් බහුලව ජීවත් වූ බව කියනු ලැබේ. මෙම සතුන් මිය ගිය පසු ඔවුන්ගේ ශරීර මුහුදු ජලයේ දිරායාමෙන් මුහුදු පත්ලේ තැන්පත් වූ බවට විශ්වාසයක් පවතී, එමෙන්ම ගංගා ඇළ දොළ ඔස්සේ පාවීගෙන ආ විශාල වෘක්ෂද ඇතුළත් ශාක කොටස්ද කාලාන්තරයක් තිස්සේ දිරා පොළවට ජීර්ණ වූ බව සාමාන්‍ය පිළිගැනීමයි. මෙසේ එක් වූ ශාක සහ සත්ව කොටස් පොළවේ තැන්පත් වූවේ පල්පයක් වශයෙනි. වසර මිලියන සිය ගණනක් යාමේදී ඛනිජ බොර තෙල් බවට සොයා ගනු ලැබුවේ මෙසේ තැන්පත් වූ පල්පයේ පරිනාමයක් වශයෙනි. ඉතිරිය ගල් අඟුරුය.


කාර්මික සංවර්ධනය, ප්‍රවාහන පහසුකම් ආදිය දියුණුවීම නිසා සෑම කටයුත්තකටම ඛනිජ තෙල් අත්‍යාවශ්‍ය වන තැනට කටයුතු යෙදී ඇත. යම් හෙයකින් දිනක ලෝකයේ තෙල් නොලැබී ගියහොත් දෛනික ජීවිතය අඩපණ වීම නිසැකවම සිදුවන්නකි. විශේෂයෙන් ශීත සෘතුවේදී යුරෝපාදී රටවල උෂ්ණත්වය සපයාගෙන පණ රැකගැනීමට සිදුව ඇත්තේද මෙම ඉන්ධන පරිහරණය මගිනි.


ලෝකයේ බොහෝ රටවල තෙල් නිධි තිබෙන බව තීරණය වී ඇති නමුදු මෑත කාලයේදී විශාල වශයෙන්ම බොර තෙල් නිශ්පාදනයේ බලවතුන් බවට පත්ව ඇත්තේ මැද පෙරදිග අරාබි රටවල්ය. එයිනුත් වැඩිම නිශ්පාදකයා වන්නේ සෞදි අරාබියයි. දෙවැනි නිශ්පාදක ස්ථානය හිමිව ඇත්තේ ඉරාකයට හා ඉරානයටය. තෙල් නිපදවන රටවල්වල එකමුතුව වූ ඔපෙක් සංවිධානය විසින් සාකච්ඡා කර තීරණය කර ගන්නා සලාකයකට අනුව එම ස්ථාන හිමිව තිබේ. එක්සත් අරාබි එමීර් රාජ්‍ය කටාරය, බහරේනය, කුවේටය ලිබියාව සහ දකුණු ඇමෙරිකාවේ වෙනිසියුලාව ශාන්තිකර කලාපයේ බෘනායි ආදී රටවල් ඔපෙක් සාමාජිකයෝ වෙති. මැද පෙර දිග කලාපයේ තවත් රටවල් රැසක සුළු පරිමාණයේ තෙල් නිශ්පාදනය සිදු වුවත් ඔවුන්ට ඔපෙක් සාමාජිකත්ව හිමිවී නැත.


ලෝකයේ බොහෝ රටවල ආණ්ඩු පෙරළි සිදුවීමට පවා තෙල් සම්පත බලපෑ බව ඉතිහාසයේ කියැවේ. 1953 දී එවකට ඉරාන අගමැති මොසාඩෙක්ගේ රජය පෙරළාදැමූ හමුදා කුමන්ත්‍රණය එවැන්නකි. ඉරානයේ තෙල් නිශ්පාදනය සම්පූර්ණයෙන්ම අයිතිව තිබුණේ බි්‍රතාන්‍යය සතු ඇන්ග්ලෝ ඉරානියන් තෙල් සමාගමටය. තම රටේ භූමියෙන් ලබා ගන්නා සම්පත් හිතුමනාපේ බි්‍රතාන්‍යයේ භාණ්ඩාගාරයට ඇදගන්නා අසාධාරණ ක්‍රියාමාර්ගය, ප්‍රගතිශීලි මතධාරියෙකු වූ මොසාඩෙක්ගේ නොසතුටට හේතුවිය. පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් නොවුවත් තම රටේ ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ පරමාර්ථයෙන් ඉරානයේ තෙල් ව්‍යාපාරය ජනසතු කිරීමට ඔහු පියවර ගත්තේය. මෙම ක්‍රියාවෙන් බි්‍රතාන්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කෝපයට පත් වූ එවකට ඇමරිකානු ජනාධිපති ඩිවයිට් අයිසන්හවර් වහාම ක්‍රියාත්මක වන ලෙස සී.අයි.ඒ. සංවිධානයට රහසේ උපදෙස් දුන් බව කියවේ. ඉරානයේ යුද හමුදාවේ ඔත්තුකාර නිලධාරී පිරිසක් කුලියට ගත් සී.අයි.ඒ. සංවිධානය, 1953 අගෝස්තු මාසයේදී මොසඩෙක්ගේ ප්‍රගතිශීලි රජය පෙරළා දමා ඉරාන හමුදා ඒකාධිපති ජුන්ටාවක් ස්ථාපිත කළේය. 1990 දශකයේ අග භාගයේදී සදාම් හුසේන්ගේ ඉරාකය තුළ යුද ගිනි අවුළුවා කෲර යුද්ධයක් නිර්මාණය කිරීමට ඇමරිකාව කටයුතු කළේ අන් කිසිදු හේතුවක් නිසා නොව එරට තෙල් සම්පත කෙරෙහි පැවති තෘෂ්ණාව නිසා බව පසුව හෙළි විය. සදාම් හුසේන් ඉරාක ජනාධිපතිවරයා සතුව න්‍යෂ්ටික අවි තිබෙන බවත් ඔහු හිතුවක්කාරීව එම අවි පාවිච්චි කළහොත් කලාපීය සාමයට තර්ජනයක් එල්ලවිය හැකි බවටත් ප්‍රවාදයක් ගොඩ නැගූ ඇමරිකාව සමෘද්ධිමත් ඉරාකය ආක්‍රමණය කළාය. එදා මෙදා තුර එම රට තවමත් යුද ගිනි දැල්වලින් වෙළී පවතී. මිනිස් ශිෂ්ටාචාරයේ තොටිල්ල ලෙස හැඳින්වෙන බැබිලෝනියානු සහ මෙසපොටේමියානු ශිෂ්ටාචාර බිහි වූ ඉරාක භූමිය මැද පෙරදිග කලාපයේ අළුගොඩ බවට පත්ව ඇත්තේ තම රාජ්‍යය සතු වූ තෙල් සම්පත නිසා බව නොරහසකි.


අරාබි ඊශ්‍රායල් ගැටුම හිඟන්නාගේ තුවාලය මෙන් කිසි දිනෙක නොවිසදෙන, එමෙන්ම විසඳීමට ඉඩ නොදෙන මහා අර්බුදයකි. දහස් ගණන් ජීවිත බිලි ගනිමින් දශක හත අටක සිට දිග ඇදෙන මෙම ජාත්‍යන්තර ආරාවුල නිසා තෙල් යනු මූලෝපායික අවියක් බවට පත් කර ගත් ආකාරයක්ද දකින්නට ලැබුණි.


එක් දහස් නවසිය හැට හතේ ජුනි මාසයේදී ඊශ්‍රායලය වටකොට සිටින අරාබි රාජ්‍ය වළල්ලම එක්ව ඊශ්‍රායාලය ආක්‍රමණය කළේ එම රට ලෝක සිතියමෙන් මකා දමන බවට වහසි බස් දොඩමිනි. එවකට ඊජිප්තු ජනාධිපති ධුරය දැරූ ගමාල් අබ්දුල් නාසර්ගේ නායකත්වයෙන් ආරම්භ වූ මෙම යුද්ධය දින හයක් තුළ ජය ගන්නට බටහිර බලවතුන්ගේ උපකාර ඇතිව යුද කළ ඊශ්‍රායලය සමත් වූවාය. ඊජිප්තුවේ ගාසා තීරය සහ සිනායි කාන්තාරය ද ඇතුළත් විශාල භූමි ප්‍රදේශයක්, සිරියාවේ ගෝලාන් කඳුකරයත් ජෝර්දානයට අයත් ජෙරුසලමේ ජෝර්දාන් නදියේ බටහිර ඉවුරත් යන කොටස් ඊශ්‍රායලය විසින් අල්ලා ගන්නා ලදී. එය අරාබි රාජ්‍යයන්ගේ අභිමානයට මහත් පහරක් වූ අතර එම ප්‍රදේශ ආපසු ලබාගැනීම සඳහා දැඩි රාජ්‍ය තාන්ත්‍රික මෙහෙයුමක් දියත් කරන ලද නමුත් ඊශ්‍රායලය එයට ප්‍රතිචාර දැක්වූවේ නැත. මෙයින් කෝපයට පත් අරාබි නායකයෝ 1973 ඔක්තෝබරයේදී සන්ධාන ගත වී යළි ඊශ්‍රායලයට පහර දුන්හ. එහි පරම අභිලාෂය වූවේ 1967 දී තමන්ට අහිමි වූ ප්‍රදේශ අවිබලයෙන් ආපසු අල්ලා ගැනීමය. එහි ප්‍රතිඵලය වූවේ සූවස් ඇළ දක්වා තවත් විශාල භූමියක් ඊශ්‍රායලය සතුවීමය. සූවස් ඇළේ නාවික ගමනා ගමනයටද බලපෑම් කළ හැකි ආකාරයේ ජයග්‍රහණයක් නැවත වරක් ඔවුන්ට ලැබුණි.

 


මෙම දැවැන්ත පරාජයෙන් වියරු වැටුණු අරාබි බලවත්තු මැද පෙරදිග කලාපයේ තෙල් නිශ්පාදනය කරන සියලු රටවල් ද එකඟ කරවාගෙන ඊශ්‍රායලයට අවි ආයුධවලින්, ආර්ථික පහසුකම්වලින් සහ රාජ්‍ය තාන්ත්‍රික සහ දේශපාලන මට්ටමින් උදව්, උපකාර කරන ඇමරිකාව, බි්‍රතාන්‍යය, ප්‍රංශය ඇතුළු බටහිර රටවලට පාඩමක් ඉගැන්වීමේ අපේක්ෂාවෙන් තෙල් නිෂ්පාදනය අඩුකර මිල නැංවීමට මග පැදූහ. අරාබි නායකයන්ට අවශ්‍ය වූවේ එළඹෙමින් පැවති ශීත සෘතුවේදී තම දෛනික ජීවිතය පවත්වා ගැනීමට අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩය වූ තෙල් හිඟයක් ඇති කර ඒ රටවල ජනතාව පාලකයන්ට එරෙහිව උසි ගැන්වීමයි.


එහෙත් සිදුවූවේ අනෙකකි. එවකට වහරේ හැටියට දියුණු වෙමින් පවතින රටවල් යැයිද තුන්වැනි ලෝකයේ රටවල් ලෙස ද හැදින්වුණු ආසියාවේ, අප්‍රිකාවේ සහ ලතින් ඇමරිකාවේ පැවති දුප්පත් රටවල් සියල්ල මෙම මර උගුලට අසුවිය. බලවත් රටවල් මෙම අර්බුදයට මුහුණ දීම සඳහා අත්‍යාවශ්‍ය නොවූ ද්‍රව්‍ය ආනයනය කිරීම අත්හිටවා දැමීය. ඒ නිසා දිළිඳු රටවලට වෙළදපොළ අහිමිවිය. මුදල් නැතිවිය අධික මිල ගෙවා තෙල් මිලදී ගතයුතු නිසා දුප්පත් රටවල ජාතික ආදායම තෙල් මිලදී ගැනීමට පමණක්වත් ප්‍රමාණවත් වූවේ නැත “විදේදෙ හාවාට වැදුණෙ පඳුරට” කිවාක් මෙන් දුප්පත් රටවල් ආර්ථික පරිහානියේ අගාධයටම වැටුණි. 1973 දී ශ්‍රී ලංකාව මුහුණ දුන් මහා ආර්ථික අර්බුදයටද ප්‍රධාන සාධකයක් වූවේ මෙම තෙල් අර්බුදයයි. 1977 දී එවකට පැවති රජය මුළුමනින්ම පරාජයට පත්විය. 1947 දී නිදහස ලබන අවස්ථාවේ සිට ඉන්දියාව පාලනය කළ ඉන්දියානු ජාතික කොන්ග්‍රසයේ පාලනය බිද වැටුණි. අගමැති ඉන්දිරා ගාන්ධිට මැතිවරණයේදී සිය අසුන පවා අහිමිවීමට හේතු වූ එක් ප්‍රධාන සාධකයක් වූවේ ජීවන වියදම දරා ගැනීමට නොහැකි වීම බව එකල පුවත්පත්වල පළවිය. ඉන්දිරා ගාන්ධි මැතිනිය සිය සුපුරුදු රායිබෙරෙල්ලි ආසනය පරාජය වූවේ වැඩි ඡන්ද එක්ලක්ෂ විසිපන් දහසකිනි. ඇයගේ බාල පුත් සංජේ ගාන්ධි අමෙති ආසනයේදී පරාජය වූවේ ලක්‍ෂ දෙකකට වැඩි ඡන්දයෙනි. ඇමරිකාවට එල්ල කළ බඳින තුවක්කුව ආසියාවට පත්තුවූවේ ඒ අයුරිනි.


ලංකාවේ තෙල් ගෙන්වීම, බෙදා හැරීම සහ අලෙවිය යන අංශ සියල්ලම අයත්ව තිබුණේ විදේශීය බහු ජාතික සමාගම්වලටය. බි්‍රතාන්‍යයට අයත් ෂෙල් සමාගම ඇමරිකාවට අයත් කැල්ටෙක්ස් සමාගම සහ එසෝ සමාගම එම ඒකාධිකාරය අයත් කරගෙන තිබුණි. රටේ දේශපාලන ක්‍රියාමාර්ගවලට පවා අත පොවමින් ඒවාද හසුරුවමින් අතිවිශාල ධනස්කන්ධයක් සිය රටවලට ලාභාංශ ලෙස රැගෙන යාම රටේ බහුතර ජනතාව අතර ඉමහත් විරෝධයකට හේතුවිය. එහෙයින් මෙසේ විදේශයට රැගෙන යන ධන සම්පත රටේ සහ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් යොදා ගත හැකි වන ආකාරයේ වැඩි පිළිවෙළක් සකස් කරන ලෙස උද්ඝෝෂණ දියත් වුණි. විශේෂයෙන්ම ලංකාවේ වමේ ව්‍යාපාරය කලක සිටම මෙම අදහස මතුකරමින් සිටියේය. මේ 1962 වසර විය. ලංකාවේ ප්‍රධාන අපනයන ආදායම සැපයූ තේ කර්මාන්තයට තිබුණු වෙළඳපොළ ඇහිරෙමින් තිබුණි. සම්ප්‍රදායික ගැනුම්කරුවන් වූ මැද පෙරදිග රටවල් අපේ තේ මිල දී ගැනීමෙන් ඉවත් වෙමින් සිටියේය. යටත් විජිතවාදයෙන් අලුත නිදහස් වෙමින් පැවති රටවල් කාටත් පොදු වූ විදේශ විනිමය හිඟය මෙම තත්ත්වයට මූලික හේතුව විය. ලංකාවේ තේ මුදල් ගෙවා ලබා ගැනීමට නොහැකි නිසා ද්විපාර්ශ්වික ගනුදෙනුවක් ලෙස තෙල්වලට තේ හුවමාරු කර ගැනීමට රජය වෙත යෝජනා ඉදිරිපත් විය. එහෙත් මෙරටට තෙල් ගෙන්වන බහු ජාතික සමාගම් එයට එකඟ වූවේ නැත. අර්බුදය නිමා වනතුරු තෙල් ගෙන්වීම පමණක් රජයට භාර දෙන ලෙසත් බෙදා හැරීම සහ විකිණීම සමාගම්වලින් කරගෙන යන ලෙසත් රජය ඉල්ලා සිටි නමුදු එයද ඉටුවූවේ නැත. තේ අලෙවිය සිදු නොවූනොත් රටේ දෛනික කටයුතු පවත්වාගෙන යාම සිදු කළ නොහැකි බව වටහා ගත් රජය සමස්ත තෙල් ව්‍යාපාරය රජයට පවරා ගැනීමට තීරණය කළේය. සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියත් එවකට වෙළඳ ආහාර සහ නාවුක කටයුතු පිළිබඳ ඇමති ටී. බී. ඉලංගරත්න මහතාගෙන් නායකත්වය යටතේ කිසිදු බලපෑමකට යට නොවී තෙල් ජනසතුවේ කටයුතු ඉදිරියට මෙහෙයවූහ. මෙහිදී ඇමරිකාව ඉතා දැඩි පියවරක් ගනිමින් තම රටේ අයිතිය ඇති තෙල් සමාගම් රජයට පවරා ගතහොත් එම රටින් ලබා දෙන සියලු ආධාර නවතා දමන බවට තර්ජනය කළේය. එවකට පාසල් දරුවන්ට දිවා ආහාරය සැපයූ කෙයාර් සංවිධානය එම ව්‍යාපෘතිය නවතා දැමීය. පාසල් සිසුන්ගේ දිවා ආහාරය නැවතුනි. නොයෙකුත් සමාජ සේවා කටයුතු මෙහෙයවමින් සිටි ඇමරිකානු සාම පදනම ඒවා නවතා ආපසු සිය රට බලා පිටත් විය. 


මෙරට සිටි ඇමරිකානු තානාපතිවරිය වූ ෆ්‍රාන්සස් විලීස් මහත්මිය පැයෙන් පැයට අගමැතිනිය සහ වෙළඳ ඇමතිවරයා දුරකථනයෙන් අමතමින් තර්ජනය කරන්නට වූවාය. පී.එල්. 480 ගිවිසුම යටතේ ලංකාවට ලබාදෙන තිරිඟු පිටි ගනුදෙනුව නවතා දමන බවත් එසේ වුවහොත් ජනතාව සාගින්නෙන් මිය යනු ඇති බවත් ඇය තර්ජනාත්මකව පැවසුවාය. ආණ්ඩුවේ සමහර ඇමතිවරු පවා බියට පත්වූහ. බි්‍රතාන්‍යයද උරණව සිටියේය. තම ෂෙල් සමාගම ජනසතු කළහොත් ලංකාවේ තේ මිලදී නොගන්නා බව බි්‍රතාන්‍ය රජය නිල වශයෙන්ම දැන්වීය.


මේ පිළිබඳව සාකච්ඡා කිරීමට වෙළඳ ඇමති ඉලංගරත්න මහතා ඇතුළු දූත පිරිසක් ලන්ඩනයට ගියහ. එම සාකච්ඡාවේදී ද බි්‍රතාන්‍ය පාර්ශ්වයෙන් මෙම තර්ජනය ඉදිරිපත් කෙරුණි. එහිදී වෙළඳ ඇමතිවරයා ඉතා සන්සුන්ව ප්‍රකාශ කළේ මෙසේය “රටේ ජාතික අවශ්‍යතාව මත, තේ වෙළඳපොළ ආරක්ෂා කර ගැනීම සඳහා අපේ රජය සහයෝගයෙන් යුතුව උපකාර ඉල්ලා සිටියා ඔබ එයට අනුකූලතාව දැක්වූවේ නැහැ. ෂෙල් සමාගම ජනසතු කළොත් අපේ රටේ නිපදවන තේ මිලදී නොගන්නා බව කියනවා. එහෙත් මේ ටික අමතක කරන්න එපා. ලංකාවේ තේ නිපදවන ඉඩම් අක්කර දස දහස් ගණනක් අයත් වන්නේ බි්‍රතාන්‍ය සමාගම්වලටයි, ඒවා පාලනය කර ලාභාංශ බි්‍රතාන්‍යයට එවන “ඒජන්සි හවුසස්” සියල්ල අයිති බි්‍රතාන්‍ය සමාගම්වලටයි. වතු ආශ්‍රිතව ඇති තේ කම්හල්වලින් අති බහුතරය තේ කම්හල් දහස් ගණනක් අයිති බි්‍රතාන්‍යයටයි. අපේ තේ මිලදී ගැනීම ඔබලා ප්‍රතික්ෂේප කළහොත් අපි මේ සියල්ල ජනසතු කරනවා. ඉලංගරත්න මහතා බි්‍රතාන්‍ය තර්ජනයට තර්ජනයකින්ම පිළිතුරු දුන්නේය. මෙහෙම ගියොත් දැනට තිබෙන වතු ටිකත් අහිමි වන්නට බැරිකමක් නැතැයි වටහාගත් බි්‍රතාන්‍යය හිස සඟවා ගත්තේය.


ඇමරිකාවේදී එඞ්වින් එල් ඩාකේ තෙල් සොයා ගනු ලැබූ වකවානුවේදීම වාගේ නැගෙනහිර යුරෝපයේ රුමේනියාව, පෝලන්තය සහ රුසියාවේදී ද තෙල් සොයා ගනු ලැබුණි. විශේෂයෙන්ම රුසියාවට අයත් මහා සයිබීරියානු කාන්තාරයේ පොළෝ ගැබෙහි විශාල තෙල් සංචිතයක් ඇති බව සොයා ගනු ලැබීය. එරටේ සෝවියට් බලය පිහිටුවීමෙන් පසු සිදු වූ සංවර්ධනයේ ප්‍රතිපලයක් වශයෙන් සෝවියට් රුසියාවද මේ වන විට දැවැන්ත තෙල් නිශ්පාදකයෙකුගේ තත්ත්වයට පැමිණ සිටියේය. ලංකාව බටහිර තෙල් සමාගම් ජනසතු කිරීම නිසා එම රටවලින් එල්ල කරන ලද ආර්ථික පීඩාවන් නිසා තෙල් සපයා ගත නොහැකිව අර්බුදයකට මුහුණ දෙමින් සිටි ලංකාවට උපකාර කිරීමට සෝවියට් දේශය ඉදිරිපත් වූවාය. එවකට රුසියාවේ ලංකා තානාපති ලෙස කටයුතු කළ ටී. බී. සුබසිංහ මහතාගේ දක්ෂ මැදිහත්වීම මත අපට අවශ්‍ය සම්පූර්ණ ඛනිජ තෙල් සැපයීමට රුසියාව එකඟ වූවාය. එම තෙල් තොග ලැබෙද්දී බටහිර තෙල් සමාගම් සහ මෙරට සිටි ඔවුන්ගේ සහචරයෝ අමුතු ප්‍රචාරයක් ගෙන යමින් “රුසියාවෙන් ගෙනෙන තෙල්වලින් අධික දුගඳක් නිකුත් කරන බවත් ඒවා භාවිතයට ගැනීම නිසා ඉක්මනින්ම වාහනවල එන්ජින් යන්ත්‍ර අබලන්වන බවටත් බලවත්” බොරු ප්‍රචාරයක් ගෙන යන ලදී. එම බොරු ප්‍රචාර මැඩ පැවැත්වීම සඳහා ද අවශ්‍ය පියවර ගැනීමට රජයට හැකිවිය. 


මෙම ප්‍රශ්නය ගැන පාර්ලිමේන්තුව අමතමින් වෙළඳ ඇමති ඉලංගරත්න මහතා ගැමි කථාවකින් පිළිතුරු දුන්නේ “අනුන්ගේ දේවලට නාසය නොදමනු. අනුන්ගේ ගඳ දැනෙන්නේ එවිටයි” යන උපහාසාත්මක වදනින්ය. දැවැන්ත ලාභයක් උපයන තෙල් ගෙන්වීම බෙදාහැරීම සහ අලෙවිය යන ව්‍යාපාරික අංශ තුනම ලංකාවාසී ජනතාව සන්තක කොට විදේශවලට ඇදී ගිය ධනස්කන්ධය මේ රටේ ජනතාවගේ සහ ජාතික ඕනෑ එපාකම් උදෙසා වැය කිරීමට කටයුතු කළේ දැඩි අපහසුතා සහ බාධක මැදිනි. එම තත්ත්වයන් අවබෝධ කර ගැනීම වර්තමානයේදී අප මුහුණ දෙන ගැටලු විසඳා ගැනීමටද කදිම උපාය මාර්ගයක්  වනවා  නිසැකය.

සෝමසිරි වික්‍රමසිංහ