මන්ත්‍රී තාත්තා ගැන දියණියකගේ මතකය


යාපනයේ මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉලංචේලියන් මහතා තමාගේ ආරක්‍ෂාවට සිටි සැරයන් සරත් හේමචන්ද්‍ර මහතාගේ මරණය පිළිබඳව තම හදවතින්ම ශෝක වූ ආකාරය ඒ හඬා වැටීමෙන් පිළිඹිමු වූ බව දුටුවෙමු. සැමියාගේ මරණය හමුවේ ඒ බිරිඳ කම්පා වු ආකාරයත්, විනිසුරුතුමා, ආරක්‍ෂකයාගේ දරුවන් දෙදෙනාගේ මතු දියුණුව භාරගත් සැටි ප්‍රශංසනීයයි.
 
මේ සිදුවීම මාධ්‍යය මගින් දුටු විට මට මගේ තාත්තා මතක්විය. 1947 අවුරුද්දේ අවසාන කාලයයි. එවකට මම අවුරුදු 9ක කුඩා දැරියකි.
 
මට මතක ඇති ආකාරයට එවකට ලිපිකරුවෙකුව (පසුව, මන්ත්‍රී ඇමතිවරයෙකු වූ ටී. බී. ඉලංගරත්න මහතා ප්‍රමුඛ ලිපිකරුවන් පිරිස් තම සේවා ස්ථානවලින් එළියට බැස පෙළපාළියක් අරඹා ඇත. ගෝල්ෆේස් පිටියෙන් ආරම්භ කර කොළොන්නාව දක්වා යන විට ඊට පොලිසිය හරස් වී ඇත.
 
එයට අවනතනොවූ පිරිස ඉදිරියට යාමට උත්සාහ කළ විට පොලිසිය පෙළපාළිකරුවන්ට වෙඩි තබා ඇත. වෙඩි වැදී මිය ගියේ “කන්දසාමි” නම් දෙමළ ලිපිකරුවෙකි. මේ වෙඩි තැබීම යුක්ති සහගත බව එවකට විනිසුරුවරයකු වූ ‘මර්වින් ජෝසප් මහතා ඒ ස්ථානයේදී කියා ඇත.’
 
මේ තීන්දුවට විරුද්ධව මගේ තාත්තා, තමාම පළකළ “නිදහස” පුවත්පතට ලිපියක් ලියා පළකළේය. උසාවියට අපහාස කළ බව කියා නඩු දමා සති 6කට සිරගෙට යවන ලදි. 
 
මේ වන විට පළමු පාර්ලිමේන්තුවේ “මොරටු” ආසනය සඳහා තාත්තා සූදානම් වී සිටියා. තාත්තා සිරගත වීමෙන් පසු එතුමාගේ හිතවතුන් ආසනය පුරාම රැස්වීම් තබමින් තාත්තා වෙනුවෙන් කැපවී සිටියහ. පළමු වරට දේශපාලන වේදිකාවේ තාත්තා වෙනුවෙන් මා කිව් කවිය මෙසේය. 
 
 
මොරටු පුරේ මහතුනි මෙය අහගන්න
හැකිවෙද මගෙ පියා අමතක කරලන්න
දනපති හාමුලාහට තරු විසිවෙන්න
හිරකාරයා වෙනුවෙන් චන්දය දෙන්න
පීඩිත මිනිසෙකුට හිර ගෙටවුනි බිල්ල
ඡන්දය පුදන ලෙස කියමින් ඇවිටිල්ල
ඔබ හට යදින්නේ මේ නම නම බෙල්ල
හිරකාරයාගේ දුව ‘මාලනි’ කෙල්ල
 
 
තාත්තාට නිදහස ලැබුණේ සැප්තැම්බර් 11 වැනිදාය. ඊට පසු දින මැතිවරණය විය. 13 වැනි දින දහවල් වන විට 13,466 ලබා ‘මොරටු’ ආසනය තාත්තා ජයග්‍රහණය කළේය.
 
 
 
මාලනී චන්ද්‍රසිරි