මන්ත්‍රී තානාපති සේවයට : මැද කොළඹට අතුරු මැතිවරණයක්


 

මහා මැතිවරණයකින් ජයගෙන මැති සබයේ අසුන් ගත් මන්ත්‍රීවරුන් පසුව විවිධ හේතූන් මත ඉල්ලා අස්වීම හේතුකොට ගෙන පවත්වන්නට යෙදුණ අතුරු මැතිවරණ පිළිබඳ තොරතුරු විමර්ශනය කරන විට ප්‍රථමයෙන් හමුවන්නේ 1950 මැයි මස 06 වැනි දින පැවැත්වූ අංක 02 මැද කොළඹ බහු මන්ත්‍රී ආසනයේ අතුරු මැතිවරණයයි.


එය 1947 ප්‍රථම මහා මැතිවරණයට අනතුරුව පැවැත් වූ අටවැනි අතුරු මැතිවරණය සහ බහුමන්ත්‍රී ආසනයක් සඳහා පැවැත්වූ ප්‍රථම අතුරු මැතිවරණය ලෙස වාර්තාගත වී ඇත.


1947 පළමු මහා මැතිවරණය පවත්වන අවස්ථාවේදී මැද කොළඹ ආසනය සඳහා මන්ත්‍රීවරුන් තිදෙනෙකු පත්කර ගත යුතු විය. එදා ඉදිරිපත්ව සිටි අපේක්ෂකයින්ගේ සංඛ්‍යාව 15 කි. පළමු මැතිවරණයේ සම්පූර්ණ නිල ඡන්ද ප්‍රතිඵලය මෙසේය.


ඒ. ඊ. ගුණසිංහ (බයිසිකලය) 23,435, ටී. බී. ජයා (කරත්ත රෝදය) 18439, පීටර් කේනමන් (කුඩය) 15,435, ඇම්. එච්. ඇම්. මුනාස් (ගෙය) 8600, අයිෂා රාවුෆ් මිය (ගස) 8486, වී. ජේ. පෙරේරා (අලියා) 5950, වී. ඒ. සුගතදාස (ලාම්පුව) 4898, ජී. ඩබ්ලිව්. හැරී ද සිල්වා (තරාදිය) 4141, වී. ඒ. කන්දයියා (ඔරලෝසුව) 3391,  ඇස්. සරවනමුත්තු (පුටුව) 2951, පී. ජිනේන්ද්‍රසිංහ (අත) 1569, කේ. දහනායක (කෝප්පය) 997, කේ. වීරයියා (යතුර) 352, කේ. සී. ඇෆ්. ඩීන් (තරුව) 345, ඇන්. ආර්. පෙරේරා (සමනලයා) 259. ප්‍රතික්ෂේප කරන ලද ඡන්ද පත්‍රිකා ගණන 3489, ඡන්දය දුන් මුළු ගණන 1,02,772 ලියාපදිංචි කරන ලද ඡන්දදායකයන් ගණන 55,994.


මේ අනුව මැද කොළඹ දෙවැනි මන්ත්‍රීවරයා ලෙස වැඩි ඡන්ද 3004න් තේරී පත්වූ ටී. බී. ජයා මහතා ප්‍රථම කැබිනට් මණ්ඩලයේ කම්කරු හා සාමජ සේවා අමාත්‍ය ධුරයට පත් කෙරිණ. එහෙත් 1950 වර්ෂයේ මුල් භාගයේදී පාකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ධුරය භාර ගැනීම සඳහා සිය මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීම හේතුවෙන් මැද කොළඹ ආසනයේ ඡන්දදායකයින්ට ප්‍රථම වතාවට අතුරු මැතිවරණයකදී ඡන්දය දීමට අවස්ථාව උදා විය. ටී. බී. ජයා මහතාගේ ඉල්ලා අස්වීමෙන් ඇතිවූ අමාත්‍ය ධුරයේ පුරප්පාඩුවට ඇම්. ඩී. බණ්ඩා (මතුරට) මහතා පත් විය.


අතුරු මැතිවරණය සඳහා නාම යෝජනා භාර ගැනීම 1950.04.01 දින කොළඹ රෙජිස්ට්‍රාර් ජෙනරාල් කාර්යාලයේදී සිදුකෙරිණ. එදින දොස්තර එම්.සී.එම්. කලීල් (එජාප), දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ (කො.ප.), ඇම්. ඇස්. අබුබකර් (ලසසප) සහ අයිෂා රාවුෆ් (ස්වාධීන) යන සිව්දෙනා නාම යෝජනා පත්‍ර භාර දුන්හ. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ඡන්ද 16,011ක් ලබා උතුරු කොළඹ ආසනයට තේරී පත්වූ ඒ. ඊ. ගුණසිංහ මහතාට එරෙහිව ඉදිරිපත් වූ ඡන්ද පෙත්සමකින් ආසනය අහිමි වූ අතර ඊළඟට ඡන්ද 13,077 ලබාගෙන සිටි එම්. සී. එම්. කලීල් මහතා දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභාවේ උතුරු කොළඹ මන්ත්‍රීවරයා ලෙස පත්කර ගනු ලැබීය.

හෙතෙම ලංකා මුස්ලිම් සංගමයේ සභාපතිවරයා ද විය. කො.ප.න් ඉදිරිපත් වූ දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ මහතා 1931 ප්‍රථම රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී අංක 27 මොරවක ආසනයට තරග කර ඡන්ද 10,749ක් ලබාගෙන ඊ. වයි. ඩී. අබේගුණවර්ධන (7327) පරදවා වැඩි ඡන්ද 3421න් ජයග්‍රහණය කළේය. 1936 දෙවැනි රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ආර්. ඩී. කන්නන්ගර මහතා (20,275) වෙතින් වැඩි ඡන්ද 2910ක පරාජයක් ලැබීය. එහෙත් 1946.02.18 දින පවත්වන්නට යෙදුන මොරවක ආසනයේ අතුරු මැතිවරණයෙන් ඓතිහාසික ජයක් ලබන්නට වික්‍රමසිංහ මහතාට හැකිවිය. ඔහු ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව 25035 කි. ප්‍රතිවාදී අපේක්ෂක ඩී. සී. ඩී. අභයගුණවර්ධන මහතාට ලැබී තිබුණේ ඡන්ද 1212 ක් පමණකි. දොස්තර වික්‍රමසිංහ මහතා මෙම අතුරු මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට දිවයිනට පැමිණ සිටියේ කොමියුනිස්ට් චීනයේ සහ රුසියාවේ මාස නවයක දීර්ඝ සංචාරයකින් අනතුරුවය. ලසසප අපේක්ෂක ඇම්. ඇස්. අබුබකර් මහතා කොළඹ මහ නගර සභාවේ උප නගරාධිපතිවරයා විය. ස්වාධීන අපේක්ෂිකා අයේෂා රාවුෆ් මහත්මිය කොළඹ මහ නගර සභාවේ පිටකොටුව කොට්ඨාසය නියෝජනය කළාය. නිදහස් අපේක්ෂිකාවක් හැටියට තරග කළ ද ඇය ලංකා ඉන්දියානු සංගමයේ සාමාජිකාවක් වූවාය. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී මැද කොළඹ ආසනයට ස්වාධීන අපේක්ෂිකාවක් ලෙස “ගස” ලකුණ යටතේ තරගකොට පස්වැනි ස්ථානයට පත්ව ඇය ඡන්ද 8486 ක් ලබා ගත්තාය. මෙම අතුරු මැතිවරණයේදී ඡන්දය දීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයින්ගේ සංඛ්‍යාව 62,571 විය. එය පළමු මැතිවරණයට වඩා 6577 ක වැඩිවීමකි. පුරප්පාඩු වූයේ දෙවැනි මන්ත්‍රීධුරය නිසා මෙවර ඡන්දදායකයෙකුට දිය හැකි වූයේ එක් ඡන්දයක් පමණක් විය.


මැතිවරණ උණුසුම වැඩිවෙත්ම  වර්තමානයේදී මෙන්ම විවිධ සංවිධාන සහ ඇතැම් සුළු පක්ෂ ප්‍රධාන දේශපාලන පක්ෂවලට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකි විය. 1950.04.14 දිනමිණ පත්‍රයේ “මැද කොළඹ ආසනය ගැන මුස්ලිම්වරු එක්සත් වීම” යන සිරස්තලය යටතේ පළකර තිබූ වාර්තාවක මෙසේ සඳහන් විය.

ඉතිරි කොටස ලබන සතියට.

ජී. ආර්. ඩී. බණ්ඩාර