ශ්‍රී ලංකාවේ ජීවත්වන පොදු ජනතාවගෙන් වැඩි පිරිසකගේ සිතෙහි තිබෙන ප්‍රශ්නයක් නම් “කවදා කෙලෙස අපේ රට ලෝකයේ දියුණු රටක් බවට පත්වේ ද?” යන්නයි. වැඩිහිටි අය සමග කථා කළත් තරුණ පිරිස් සමග සාකච්ඡා කළත් අසන්නට ලැබෙන්නේ එම ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයට පිළිතුරක් නොමැතිව ළතවන ඔවුන් ඊළඟට ප්‍රකාශ කරන්නේ “ශ්‍රී ලංකාව දියුණුවීමට නම් තව අවුරුදු සිය ගණනක් ගත විය හැකි” බවයි. එසේ ඔවුන් ප්‍රකාශ කරන්නේ අපගේ රාජ්‍ය පාලනය පරිපාලනය හා නායක කාරකාදීන්ගේ ක්‍රියාකලාප පිළිබඳව ජනතාව තුළ කිසිදු විශ්වාසයක් නොමැති බවයි.
ඡන්දයක් පවතින අවස්ථාවල දී අවස්ථානුකූලව මතුවන කාරණා ඔස්සේ අලුත් බලාපොරොත්තු ඇතිව ඡන්දය ප්‍රකාශ කළත් ඡන්දය නිම වූ දින පටන් නැවත සිදුවන්නේ පරණ සිදු වූ දේවල්මය. පොරොන්දු හමස් පෙට්ටියට යන අතර රට හරියට කර ගෙන යාමට නොහැකිව අඳුරේ අතගාමින් ක්‍රියා කරයි.
ආණ්ඩුවෙන් ආණ්ඩුවට ක්‍රියාකාරකම් වෙනස් වන අතර එම වෙනස්කම් සිදුකරන්නේ ප්‍රතිඵලදායි බව දෙස බලා නොව කුමක් හෝ වෙනස්කමක් කළ යුතුය යන හැඟීමෙන්ය. නිදහස ලබා දශක හතකටත් වැඩි වෙද්දී අප ලබා ඇති ප්‍රගතීන් කවරේද? රටේ ආර්ථික වර්ධන වේගය 3.6% දක්වා අඩු වී තිබීම කෙතරම් ඛේදජනක ද? එවැනි ඉරණමක් යටතේ සාමාන්‍ය ජනයා සුඛිත මුදිතව කෙසේ වෙතත් අනුන්ට අත නෙපා ජීවත්වන්නේ කෙසේද? ලැබෙන ආදායමට වඩා දෙතුන් ගුණයකින් වියදම් වැඩි වී ඇති රටක ජීවත්වන්නේ කෙසේද? කළු සල්ලිවලින් ජීවත්වන පිරිසක් හා උපරිමයෙන් මුදල් හම්බකරගෙන පොහොසක් වූ පරිසක් සිටිති. නමුත් වැඩි පිරිසකට ජීවත්වන්නට සිදු වී ඇත්තේ ඉතා අපහසුවෙනි.
රටේ ජනතාව කොතරම් දුප්පත් වුවත් නාස්තිකාර අනවශ්‍ය වියදම්වල කිසිදු අඩුවක් නොමැත. අපේ රටේ දේශපාලනඥයින් සහභාගී වන හැම රැස්වීමකටම තොරන් නැටුම් පෙරහරවල් අත්‍යවශ්‍යය. උඩු වියන් හා වියන් අවශ්‍යය. විශාල වියදම් දරන උත්සව ශාලා අවශ්‍යය. එක් එක් උත්සවයට ලක්‍ෂ ගණනින් වියදම්ය. කිසිම දෙයක් උත්සව වලින් තොරව නොමැත. ශෝභනය අත්‍යවශ්‍යය. අඩු වියදමකින් අවශ්‍ය කරුණ ඉටුකරගෙන මහජන බදු මුදල් ඉතිරි කර ගැනීමට කිසිදු වුවමනාවක් නැත. එසේ කරන බව කොපමණ කීවත් ක්‍රියාත්මක මට්ටමේ දී ඉතා දරුණු ලෙස වියදම් ඉහළ යයි. සමහර විට යමක් බෙදා දීමේ දී බෙදා දෙන දේවල්වල වටිනාකමට වඩා වැඩි මුදල් ප්‍රමාණයක් උත්සවය සඳහා වියදම් කරති.
වාහන පාවිච්චිය දියුණු රටකටත් වැඩි ස්වභාවයක් පෙන්නුම් කරන අතර සමහර දේශපාලනඥයෝ බොරුවට ශෝභනයට මෙන් වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කරමින් අනවශ්‍ය පරිදි ආරක්‍ෂක අංශ ද යොදා ගනිමින් සාමාන්‍ය ජනයාට හිරිහැර වන පරිදි ගමන් යති.
මෙම කරුණු මෙසේ පෙන්නුම් කරන අතරතුර ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ පරණ හැන්සාඞ් වාර්තාවක් මා අතට පත් වූයේ අහම්බෙනි. ඒ 1993 දෙසැම්බර් මස 01 වැනිදා හැන්සාඞ් වාර්තාවයි. එහි 1138 පිටුවේ සඳහන් වන්නේ ස්වදේශ කටයුතු හා පළාත් සභා අමාත්‍යංශයේ අයවැය කාරක සභා අවස්ථාවේ දී විපක්‍ෂය වෙනුවෙන් නිමල් සිරිපාල ද සිල්වා මන්ත්‍රීතුමා කරන ලද කථාවකි. මවිසින් මෙහි සඳහන් කළ සමහර කරුණු මීට අවුරුදු 27කට පමණ පෙරත් එලෙසින්ම පැවති බව එම කථාවෙන් පෙන්නුම් වෙද්දී මාගේ කල්පනාවට ආවේ මෙහි මා ඉදිරිපත් කළ කරුණු ශ්‍රී ලංකාවේ කවර ආණ්ඩුවක් යටතේ කවර කලෙකවත් විසඳේ ද යන්නයි. කථාවේ කොටස් මෙසේ උපුටා දක්වමි.
“ගරු සභාපතිතුමනි ඊළඟට විශේෂයෙන් මේ අමාත්‍යංශයේ විෂය ක්‍ෂේත්‍රයට රාජ්‍ය උත්සව අයත් වෙනවා. තමුන්නාන්සේලාගේ ප්‍රගති වාර්තාවේ රාජ්‍ය උත්සව ගැන සඳහන් වෙනවා. එම වාර්තාවේ මේ විධියට දැක්වෙන “ජාතික මට්ටමින් උත්සව පැවැත්වීම එම ශාඛාවේ වැදගත් සම්ප්‍රදායානුගත කාර්යයක් වේ. 93 මෙම ශාඛාව ප්‍රධාන වශයෙන් ජාතික දින උත්සවය, පෙර සිටි ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්ති උත්සවය....”
ගරු සභාපතිතුමනි, මේ බලන්න, රාජ්‍ය උත්සව සඳහා වැය කරන මුදල ඉතා අධිකයි. ඒ පිළිබඳව 1992 දෙසැම්බර් මාසයේ දී මේ ගරු සභාවේ දී ප්‍රශ්න කළා. ඒ පිළිබඳව පෙස්ටස් පෙරේරා අමාත්‍යතුමාට එවූ පහත සඳහන් ලිපියේ මෙසේ දක්වා තිබෙනවා. “රාජ්‍ය පරිපාලන පළාත් සභා හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ අයවැය ශීර්ෂ පිළිබඳව 1992 දෙසැම්බර් මස 02 දින පැවැත් වූ විවාදයේ දී ඉදිරියේ එන ජනපති පදවි ප්‍රාප්තවීමේ උත්සවයක් නිදහස් දින උත්සවයක් චාම් අන්දමින් පවත්වා ජනතාවගේ මුදල් නාස්තිවීම වැළැක්වීමට ක්‍රියාකරන ලෙස ඔබ විසින් කරන ලද ඉල්ලීම ගැනයි” එතුමා ඒවා බොහොම නිහතමානීව ප්‍රකාශ කර තිබෙනවා.
1993 ජනපති පදවි ප්‍රාප්තවීමේ උළෙල හා ජාතික දින උත්සවය ඉතා චාම් අන්දමින් පැවැත්වීමට විධි විධාන යොදා ඇති බවත් දන්වමි.”
“මේ විධියට කියමින් තමුන්නාන්සේලා උත්සවය පැවැත්වූයේ කොහොමද? මේ රාජ්‍ය උත්සව සඳහා කොපමණ මුදලක් වැය වුණා ද කියා මම මේ ගරු සභාවේ දී වාචික ප්‍රශ්නයක් ඇසුවා. වාචික ප්‍රශ්න අංක 119/93ට දුන් පිළිතුරේ සඳහන් වෙනවා. 1993 නිදහස් දින රාජ්‍ය උත්සවය සඳහා රු. 7,392,322ක් වැය වී ඇති බව. 1992 වර්ෂයේ රාජ්‍ය උත්සවවලට තමුන්නාන්සේලා වියදම් කළා. මුදල් පිළිබඳව මම මේ ගරු සභාවේ ප්‍රශ්න කළ අවස්ථාවේ දී 1992 රාජ්‍ය උත්සවවලට රුපියල් 4,797,730ක් වියදම් කළාය කියා මට උත්තර දුන්නා. මම කිව්වා මේ රුපියල් 47 ලක්‍ෂයක මුදල වැඩියි. ඒ නිසා චාම් විධියට පවත්වන්ට කියා. ඔව් අපි චාම් විධියට පත්වනවා” කියා 1993 දී රුපියල් ලක්‍ෂ 77ක් වියදම් කළා 1991 වර්ෂයේත් රුපියල් ලක්‍ෂ 77ක් වියදම් කර තිබෙනවා. තමුන්නාන්සේලාගේ ප්‍රතිපත්තිය මොකක්ද? උතුරු - නැගෙනහිර යුද භටයින්ට “ටූත් පේස්ට්” ටිකක් නැතුව පොල් අතු කෑල්ලක් නැතිව දුක් විඳිනවා. තමුන්නාන්සේලා රාජ්‍ය උත්සවවලට ලක්ෂ ගණන් වියදම් කරනවා.’
1993 වර්ෂයේ විපක්‍ෂ මන්ත්‍රීවරයෙකු ඉදිරිපත් කළ කරුණු ඔවුන් බලයට පත්වීමෙන් පසුව ද එලෙසම ක්‍රියාත්මක වෙමින් මේ දක්වාම හැම ආණ්ඩුවක් යටතේම පැවත එන බව අමුතුවෙන් කිව යුතු නොවේ. කවුරුත් හොඳහැටි දන්නා බැවින් වෙන වෙනම වියදම් විස්තර ඉදිරිපත් කිරීම අනවශ්‍ය යැයි සිතමි.
රට ගැන සිතා ඒවා වෙනස් වන්නේ නම් එය ජාතියේම භාග්‍යයකි. එනමුත් එය එසේ සිදුවේද? ඉටු වන තෙක් ඇතිවන සැකය කිසිවෙකුටත් වැළැක්විය නොහැක. එසේ වුවද අප ධනාත්මකව අනාගතය ගැන සිතිය යුතුය. එසේ සිතා සමස්ත පාලන තන්ත්‍රයටම සම්බන්ධ වූ සියලු පිරිස් ‘යහපත් රටක්” නිර්මාණය කිරීමට වෙහෙසී ක්‍රියා කිරීමට කාලය එළඹ තිබේ.