මීට වසර සීයකටත් එපිට කාලයක දී එනම් 1913 දී කොළඹ කුරුඳුවත්ත ප්‍රදේශයේ ඉදිකෙරුණු ශ්‍රාවස්ති මන්දිරයේ මුල් හිමිකරුවා වූයේ එකල ප්‍රසිද්ධ දානපතියෙකු වූ දොස්තර ඩබ්ලිව්. ආතර් ද සිල්වා මහතාය. එහෙත් පසු කාලයක දී සිල්වා මහතා විසින් එහි හිමිකාරත්වය රජයට පවරා දෙනු ලැබීය.
1948 වසරේ දී මහා බි්‍රතාන්‍යයෙන් මෙරටට නිදහස ලැබීමෙන් පසු පිහිටුවනු ලැබූ පාර්ලිමේන්තුවට දුරබැහැර ප්‍රදේශවලින් තේරී පත්ව ආ මන්ත්‍රීවරුන්ගේ නේවාසිකාගාරයක් වශයෙන් ශ්‍රාවස්තිය යොදාගනු ලැබුවේ ඉන් අනතුරුවය. එසේම එකල එහි නේවාසිකව සිටීමට හැකිවූයේ කොළඹින් දුරබැහැර පළාත් වලින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන්ට පමණක්වීම ද විශේෂත්වයක් විය.
ඔවුන්ට ද එහි නතරවීමට ඉඩ ලැබුණේ ඔවුන්ගේ මන්ත්‍රී ධූරය පවත්නා කාලය තුළ දී පමණක් වන අතර මැතිවරණයකින් පරාජයවීමෙන් හෝ අධිකරණ තීන්දුවකින් තම මන්ත්‍රීධූරය අහිමි කරවනු ලැබූ කිසිවකුට තව දුරටත් එහි නතරවී සිටීමට ඉඩ ප්‍රස්ථාවක් නොතිබිණි.
මෙරට පාර්ලිමේන්තු පාලන ක්‍රමය ආරම්භවී කාලයක් යනතුරුම ශ්‍රාවස්තිය මහජන මන්ත්‍රීවරුන්ගේ නිල නේවාසිකාගාරය වශයෙන් පැවැති අතර 1977 දී බලයට පත් වූ ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කොළඹ ජාවත්තේ කැප්පෙටිපොළ මාවතේ සහ කෝට්ටේ මාදිවෙල ප්‍රදේශයෙන් නිල නිවාස ලබාදීමෙන් පසු ශ්‍රාවස්තියේ පවත්වාගෙන ගිය මන්ත්‍රී නේවාසිකාගාරය අභාවයට ගියේය. එම සුවිසල් මන්දිරය බස්නාහිර පළාත් සභාවට පවරා දෙනු ලැබුවේ ඉන් අනතුරුවය.
ශ්‍රාවස්තිය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නේවාසිකාගාරයක් වශයෙන් පැවැති කාලයේ විවිධ දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීවරු එහි පදිංචිවී සිටියහ. එහි දී දකින්නට ලැබුණු විශේෂත්වයක් වූයේ පාර්ලිමේන්තු සභාගැබ තුළදී විවිධ දේශපාලන කරුණු කාරණා මුල් කරගෙන බල්ලා බූරුවා හරකා මෝඩයා.. ආදී වශයෙන් කියා ගනිමින් හා එකිනෙකා සමග දබර කරගන්නා ඇතැම් පෙරළිකාර මන්ත්‍රීවරුන් පවා සවස් කාලයේ ශ්‍රාවස්ති මන්දිරයට පැමිණ එකම මේසයේ හිඳ අල්ලාප සල්ලාපයේ යෙදෙමින් ආහාර අනුභව කිරීමයි.
එකල එවැනි විවිධ දේශපාලන පක්ෂවලට අයත් මන්ත්‍රීවරුන් සවස් කාලයේ ශ්‍රාවස්ති මන්දිරය අබියස වොලිබෝල් ක්‍රීඩාවේ යෙදෙන අයුරුද බොහෝවිට දකින්නට ලැබුණු සුලබ දර්ශනයක් විය. මේ අතර ඇතැම් වකවානුවල ශ්‍රාවස්තියේ නතරවී සිටි සමහර මන්ත්‍රීවරුන් විසින් සිදුකර ඇතැයි කියන අශෝභන ක්‍රියාවන් පිළිබඳවද එකල පැවැති ඇත්ත ජනදින සහ සියරට වැනි දේශපාලන පුවත්පත්වල වහෙන් ඔරෝ බසින් පළවී තිබුණේ ඒවාට සම්බන්ධ පුද්ගලයන් හඳුනාගත හැකි ඉඟිබිඟි ද සමගිනි.
කලින් කලට එහි නතරවී සිටි ඇතැම් විසේකාර මන්ත්‍රීවරුන් තම ගම් ප්‍රදේශවල තරුණ කාන්තාවන් ශ්‍රාවස්තියේ කාමරවලට ගෙන්වා ගෙන රජයේ සහ සංස්ථා පත්වීම් ලබාදෙන බව සඳහන් තොරතුරු දේශපාලන පුවත්පත්වල පළවී තිබුණේය.
1965-70 අතර පැවැති එජාප ආණ්ඩුව කාලයේත්, 1970-77 අතර පැවැති සමගි පෙරමුණු ආණ්ඩු කාලයේත් ශ්‍රාවස්තියේ දී එවැනි සිදුවීම් කොතෙකුත් සිදුවී තිබෙන බව හිටපු අග්‍රාමාත්‍යවරයකු මෙන්ම ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙකුද වූ ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි. 1970 සිට 77 දක්වා වූ පුරා වසර 7ක පමණ කාලයක් ශ්‍රාවස්තියේ නේවාසිකව විසූ දිමු ජයරත්න මහතා පවසන අන්දමට ඒ කාලයේ ශ්‍රාවස්තියේ නතරවී සිටි ඇතැම් මන්ත්‍රීවරුන් තමන්ගේ කාමරවලට අනියම් බිරින්දෑවරුන් කැඳවාගෙන එන බවට රාවයක් පැතිර තිබුණේය. ඒ පිළිබඳව නම් දරා සිටියේ දකුණු පළාතට අයත් එක්තරා මුහුදුබඩ මැතිවරණ කොට්ඨාසයක් නියෝජනය කළ තලතුනා මන්ත්‍රීවරයෙකි. රෙදි බැනියම් කාරයෙකු වූ ඔහු සට සට ගා ඉංග්‍රීසි බසින් කථා කළේය.
මේ දවස්වල ඒ තලතුනා මන්ත්‍රීතුමාගේ කාමරේට අල්ලපු කාමරේ හිටියේ දෙමළ මන්ත්‍රී කෙනෙක්. අර දකුණු පළාතේ මන්ත්‍රීතුමා දවසක් දෙකක් කාමරේට ගෙනාපු ගෑනු කෙනෙක් අර දෙමළ මන්ත්‍රී එක්ක හාදයි කියල මිනිහට පොඩි සැකයක් තිබුණා. අන්තිමේ දී මේ දෙන්නා අතරේ ඒ ගැන ඇති වෙච්ච කතාබහක් දුරදිග ගිහින් දකුණු පළාතේ මන්ත්‍රී දෙමළ මන්ත්‍රීට ගහන්න දොර පොල්ලක් උස්සගෙන එනකොට දෙමළ මන්ත්‍රී දුවගෙන ගිහින් තමන්ගේ කාමරේට වැදිලා දොරවහ ගත්තා. ඒ සැරේ අර මනුස්සයා පොල්ලත් අතින් අරගෙන ඉංගිරිසයෙන් බැණ බැණ තරප්පු පේළිය ළඟ රැකගෙන හිටියා. යි කියන දිමු ජයරත්න මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ පැය දෙකක පමණ කාලයක් තම කාමරයේ කොටුවී සිටි එම දෙමළ මන්ත්‍රීවරයා ජනේලයකින් එළියට ගැනීමට සෙසු මන්ත්‍රීවරුන්ට සිදුවූ බවය.
ඒ කාලයේම තවත් එවැනිම මන්ත්‍රීවරයෙකු ශ්‍රාවස්තියේ බිම් මහලේ කාමරයක නතරවී සිටියේය. ඔහු ද තලතුනා පුද්ගලයෙකු වූ අතර බොහෝ අවස්ථාවල දී තරුණ ගැහැණු ළමුන් තනිපංගලමේ ඔහුගේ කාමරයට යන එන අයුරු දිමුලා දැක තිබුණේය.
“කවුද මචං අර උඹේ කාමරේට නිතර යන එන ගැටිස්සියෝ?“
කිසිවකු එසේ ඇසූවිට ඔහු කියා සිටියේ ඒ තමන්ගේ දියණියක බවය. එසේත් නැත්නම් ලේළියක බවය.
ඉතින් ඒ මන්ත්‍රීතුමත් වයසක කෙනෙක් නිසා අපි මුලින් හිතුවේ ඒක ඇත්ත වෙන්න ඇති කියලයි. ඒත් පස්සෙ අපට තේරුණා ඒ ආපු ළමයි කවුරුවත් එයාගෙ නෑදෑයන් නෙවෙයි කියලා. දැන් මේ විස්තරේ පිටට ගියොත් එහෙම ශ්‍රාවස්තියේ ඉන්න අපි කාගෙත් සායම හේදෙනවා. ඇයි රටේ මිනිස්සු හිතන්නේ ශ්‍රාවස්තියේ නතර වෙලා ඉන්න හැමෝම එහෙමයි කියලනේ.... යි කියමින් ඒ ගැන සඳහන් කරන දිමු වරක් ආලින්දයේ අසුනක හිඳගෙන පුවත්පතක් කියවමින් සිටිය දී අර මන්ත්‍රීවරයා ළාබාල තරුණියක සමග පැමිණ තම කාමරයට ගොස් දොර වසාගන්නා අයුරු දැක තිබුණේය.
එහිදී ඔහු කළේ යාබද කාමරයේ කාඞ් සෙල්ලම් කරමින් සිටි තරුණ මන්ත්‍රීවරුන් කීපදෙනෙකු ද කැඳවාගෙන පැමිණ වසා තිබූ කාමරයේ දොරට තට්ටු කිරීමය. එහෙත් ඇතුළතින් කිසිදු හඬක් නොනැගුණෙන් මොකද ඔබතුමා දොර අරිනවද? නැත්නම් අපි දොර කඩන්නදැ යි ? හෙතෙම මහ හඬින් ඇසුවේය.
ඒ සමගම එම කාමරය තුළ කොටුවී සිටි මන්ත්‍රීවරයා තමන්ගේ නිල පිස්තෝලය ගෙන වෙඩි තැබුවේය. වාසනාවකට මෙන් එම වෙඩිල්ල දිමුට හෝ එහි සිටි වෙනත් මන්ත්‍රීවරයෙකුට නොවැදුණද දොර පියනේ පදාසයක්ම කඩාගෙන ගොස් ඉදිරිපස බිත්තියට වැදී තිබුණේය.
දැන් ඒ වෙඩි සද්දෙට ශ්‍රාවස්තියේ හිටපු සේවකයනුයි ගේට්ටුව ළඟ මුරකරපු පොලීසියේ රාළහාමිලා තුන් හතර දෙනෙකුයි දුවගෙන ආවා. දැන් අර මනුස්සයා අතේ පිස්තෝලයකුත් තියෙන නිසා මම සද්ද නැතුව උඩුමහලට ගියා. මොකද ඒ වැඬේ දුරදිග ගියා නං එහෙම තවත් ප්‍රශ්නයක් වෙනවනේ. කොහොම හරි වැරදීමකින් පිස්තෝලය පත්තුවුණයි කියලා පොලීසියත් යන්තම් ෂේප් කරගෙන තියෙනවා. හැබැයි සිද්ධිය සහසුද්ධියෙන්ම අගමැතිතුමියට ආරංචිවෙලා. ඊට පස්සෙන්දම අර මන්ත්‍රීතුමා අගමැති කාර්යාලයට ගෙන්නලා මැඩම් හොඳටම බැණලා.
දිමු එම සිද්ධිය එලෙස ආවර්ජනය කරන්නේ සිනාසෙමිනි. කෙසේ වෙතත් ඒ ගැන අගමැතිතුමියට කේලම කියා ඇත්තේ තමන් යැයි සැක කළ එම මන්ත්‍රීවරයා ඉන්පසු මාස ගණනාවක් යනතුරු තමන්ගේ මුහුණවත් නොබැලූ බව හෙතෙම පවසයි.
ඒ කාලයේ පාර්ලිමේන්තු මන්දිරය පිහිටා තිබුණේ ගාලු මුවදොර අභියසය. දිනක් එක්තරා මන්ත්‍රීවරයෙකු නොසෑහෙන සේ මත්පැන් බී දෙපැත්තට වැනෙමින් කොටුව දෙසට පැමිණෙමින් සිටිය දී එවකට බොරැල්ල ආසනය නියෝජනය කළ ල.ස.ස.පයේ කුසලා අබේවර්ධන මහත්මිය ඔහු තම රියට නංවාගෙන ශ්‍රාවස්තිය වෙත රැගෙන ආවාය. එහෙත් මත වැඩිකම නිසාම මන්ත්‍රීතුමාට රියේ ඉදිරි අසුන මත ඉතා තදින් නින්ද ගොස් තිබිණි.
“සර් සර් බහින්න අපි ශ්‍රාවස්තියට ආවා.”
මන්ත්‍රීවරියගේ රියැදුරා එසේ කියමින් ඔහු නින්දෙන් අවදි කිරීමට තැත් කරද්දී දනිපනි ගා රියෙන් බිමට බැසගත් එම මන්ත්‍රීවරයා රිය තුළට මුත්‍රා කරන්නට වූයේ තම කාමරයේ පිහිටි වැසිකිළිය යැයි සිතමිනි. අන්තිමේ දී ඔහු ඔසවා ගෙන ගොස් කාමරයේ ඇඳ මත තැබීමට සිදුවූයේ ඒ මොහොතේ එහි සිටි වෙනත් මන්ත්‍රීවරුන් කීප දෙනෙකුටය.
මදැයි අනුන්ට උදව් කරන්න ගිහින් මට සිද්ධ වෙච්ච දේයි කියමින් කෝපයෙන් දත්මිටි කෑ අබේවර්ධන මහත්මිය තම වාහනය සෝදාගෙන එන ලෙස රියැදුරාට අණකර කුලී රියක් ගෙන්වාගෙන නිවසට ගොස් තිබුණාය.
එකල ශ්‍රාවස්තියේ විසූ මන්ත්‍රීවරුන් අතර තිබූ නොහොඳ නෝක්කාඩුකම් ගුටිබැට හුවමාරු කරගැනීමට තරම් දුරදිග ගිය අවස්ථා ගැන ද දිමු ජයරත්න මහතාට මතකය. විශේෂයෙන්ම එවැනි නොහොඳ නෝක්කාඩුකම් ගුටිබැට හුවමාරු දක්වා දුර දිග ගිය අවස්ථා බොහොමයක් ඇති වූයේ 1975 වසරේ දී ලසසපය සමගි පෙරමුණු සන්ධානයෙන් ඉවත්ව යාමෙන් පසුව බව හෙතෙම පවසයි. එසේ වූයේ එකල පාර්ලිමේන්තුවේ සිටි ලසසප මන්ත්‍රීවරුන් වැඩි දෙනා සටන්කාමී අදහස් වලින් සපිරි අයවලුන් වූ බැවිනි.
සිරිමලට ඉතින් අගමැතිකම් කරන්න පුළුවන් වුණේ අපි නිසා තමයි දැන් බලන්න බැරියැ ඒ ගොල්ලො ආණ්ඩුව ගෙනියන්නෙ කොහොමද කියලා... යි කියමින් බොහෝවිට වහසිබස් දෙඩූ ඇතැම් ලසසප මන්ත්‍රීවරුන්ගේ අනුමානය වූයේ ඊළඟට පැවැත්වෙන මහ මැතිවරණයේ දී ශ්‍රීලනිපය අතුගෑවී යන බවය.
කොහොමද මල්ලී එහෙම කියන්නේ? උඹලට හිටියේ 19 දෙනයි. ඒකෙනුත් දැන් වාසු හැලිලා. ඔය 18 දෙනාගෙන් උඹල මොනව කරන්න ද? යි කියමින් දිමු කට ගසාගෙන යන්නේ ඔවුන්ගේ එවැනි වාචාල කතා තවදුරටත් ඉවසාගෙන සිටීමට නොහැකි වූ විටය. විශේෂයෙන්ම ඔහුට ඉවසුම් නොදුන් කරුණක් වූයේ ලසසපයේ දෙනියාය මන්ත්‍රී සුමනපාල දහනායක දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමාට පවා අශිෂ්ට ලෙස බැණ වැදීමය.
“සුමනේ තමුසේ එහෙම කතා කරන එක වැරදියි. බණ්ඩාරනායක මැතිනිය තමුසෙලගෙ පක්ෂයත් එකතු කරගෙන සමගි පෙරමුණ හැදුව නිසා තමයි තමුසෙලයි ලොක්කන්ටත් ඇමැතිකම් කරන්න ඉඩ ලැබුණේ. දිමු කියද්දී තරමක බීමතින් සිටි දෙනියාය මන්ත්‍රීවරයා අතපය වීසි කරමින් ඔහුට බැණ වැදුණේය. එහෙත් දිමු ඊට පිළිතුරු දීමට නොගියේ ඒ මොහොතේ එම මන්ත්‍රීවරයා බීමත්ව සිටි බැවිනි. තරමක චණ්ඩියෙකු ලෙස ප්‍රසිද්ධව සිටි දිමු එලෙස නිහඬව සිටින අයුරු දුටු සුමනපාල දහනායක මන්ත්‍රීවරයා සිතුවේ දිමු තමන්ට බියෙන් නිහඬවූ බවය. ඒ අනුව දිගින් දිගටම පරුෂ වචනයෙන් බැණවැදුණු ඔහු දිමුට පහරදීමට ද පැනගෙන ආවේය.
ඒ මොහොතේ දිමු සිටියේ රාත්‍රී ආහාර ගනිමිනි. එසැණින් කෑම පිඟාන පසෙකට දමා නැගී සිටි ඔහු තමාට පහරදීමට පැමිණි ලසසප මන්ත්‍රීවරයාගේ බඳ පටියෙන් අල්ලා තමන් වෙත ඇදගනිද්දී වාරු නැතිවී ගිය එම පුද්ගලයා පය ලිස්සා මුනින් අතට වැටෙන්නට ගියේය. ඔහු ඒ මොහොතේ බිම නොවැටී බේරුණේ ඒ අසල සිටි තවත් මන්ත්‍රීවරුන් කීපදෙනෙකු වහා ඉදිරියට පැන වත්තම් කරගත් බැවිනි. ඒ සමගම වෙනත් මේසවල සිටි මන්ත්‍රීවරුන් පිරිසද වහා එහි දුවවිත් මන්ත්‍රීවරයා අමාරුවෙන් ආම්බාන් කරගෙන ඔහුගේ කාමරය වෙත කැඳවාගෙන ගිය අතර එදින රෑ දෙගොඩ හරියක් වනතුරු තමන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට අමු තිත්ත කුණුහරුපයෙන් බැණ වදින හඬ ඇසුණු බව දිමු ජයරත්න මහතා පවසයි.
නිහාල් ජගත්චන්ද්‍ර