මන්ත්‍රී මෛත්‍රීගේ වැඩ


 

 

  • “ගරු කතානායකතුමනි” යන්නට පගානායකතුමනි යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් තමන්ගේ නිලයට සිදු වූ අපහාසය පිළිබඳව කථානායකතුමා බලවත් සේ කෝප විය. වහාම එතුමා කීවේ ‘මන්ත්‍රීවරයා වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න’ කියාය. කථානායකවරයාගේ එම නියෝගය කිසිසේත් ගාණකට නොගත් මෛත්‍රීපාල සිරිසේන මහතා “ඒක ඉල්ලා අස්කර ගන්නේ නෑ” කියල තදින්ම ප්‍රකාශ කළේය.

 

දේ ශපාලන ලෝකයේ චරිත දෙස බලන විට ඒවා විවිධ විචිත්‍ර හා භින්නරුචික ඒවා බව පැහැදිලිවම පෙනෙන්නට තිබේ. ඒ අතුරින් දේශපාලන නායකයින්ගේ චරිත එක් එක් ආකාරයටත් වෙනත් දේශපාලනයේ නියැළෙන්නන්ගේ චරිත තවත් විධියකටත් ක්‍රියාත්මක වන බව පෙනේ. සමස්තයක් වශයෙන් පොදු මහජනතාව දේශපාලනඥයින් එකම ගොඩකට ඇතුළත්කර කථා කිරීමට අද පෙලඹී ඇත්තේ එම විෂයය පිළිබඳව ඇති කලකිරීම නිසාය.


කලකිරීම් කොතරම් තිබුණ ද ඡන්දයක් පවත්වන අවස්ථාවක කාට හෝ ඡන්දය දීමට ජනතාව තවමත් සූදානමින් සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳව ඔවුන් තුළ මුල් බැස ගෙන තිබෙන විශ්වාසය නිසාය.


මෙවන් පසුබිමක් යටතේ වර්තමාන ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ නොබෝදා ප්‍රකාශකළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධ 19 වැනි සංශෝධනය රටට ඉතාම අහිතකර බවයි. ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ තබාගෙන එසේ ප්‍රකාශ කළේ තමන් අගමැතිතුමා ඇතුළු සියලු දෙනා මේ සංශෝධනය හරහා ගැටලු රැසකට මුහුණු දී ඇති බවයි. 18 හා 19 වැනි සංශෝධනයන් පිළිකා බඳු යයි ප්‍රකාශ කළ එතුමා වැඩිදුරටත් කීවේ එම සංශෝධන නොතිබුණි නම් යහපත් වැඩ කොටස් රාශියක් කිරීමට හැකියාව තිබූ බවයි. නායකයින් කීප දෙනෙක් එක තීරණයක් නොමැතිකම ප්‍රධානීන් දෙපැත්තට ඇදීම ආදී අවිනිශ්චිත හා අස්ථාවර ස්වරූපයන් ඇති වී තිබෙන අයුරු එතුමා පැහැදිලි කර ඇත.


ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවේ. එකල කතාවට මෙන් බොහෝ දෙනා කීවේ ජේ. ආර්. ගේ ව්‍යවස්ථාවට ඇඟිලි ගැසුවහොත් ප්‍රශ්න රැසක් මතුවන බවයි. එහි සත්‍යතාව මැනවින් ඔප්පු කරන එක් අවස්ථාවක් නම් 13 වැනි සංශෝධනයයි. පළාත් සභා ඇතිකිරීම උතුරු - නැගෙනහිර එක්කිරීමට යෝජනා කිරීම බලය බෙදා හැරීම ආදී නිමක් නැති ප්‍රශ්න මේ වනතෙක් ඇදී එන්නේ 13 වැනි සංශෝධනයේ ප්‍රතිඵලයක් ලෙසයි. එමෙන්ම 18 වැනි සංශෝධනය මගින් ජනාධිපතිවරයාගේ ධුර කාලය අසීමිත කිරීම ප්‍රශ්න රැසක් මතු කළේය. ආණ්ඩු පෙරළියකට පවා හේතු සාධක කරගත් එම සංශෝධනයෙන් පසුව පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකුට වැඩි බලතල ලබාදීම හා ජනාධිපති සතු බලතල අඩු කිරීම ආදී කරුණු ඇතුළත් 19 වැනි සංශෝධනය අවුරුදු 4 1/2ක් මුළු රජයක්ම අවුලෙන් අවුලට වියවුලෙන් වියවුලට පත්කළ ආකාරය අමුතුවෙන් කිවයුතු නොවේ. එපමණක් නොව යම් යම් දේශීය සම්පත් විදේශකරණය කිරීමට යෝජනා ගෙන එන විට ඒවාට විරුද්ධ විය. බැරිම තැන පසුගිය වසරේ ඔක්කෝබර් මාසයේ අග්‍රාමාත්‍ය ධුරය පවා වෙනස් කිරීමට කටයුතු කළේය. ආණ්ඩුවේ කටයුතු ඉවසිය නොහැකි හැම අවස්ථාවකම තදින් සිටි එතුමා ඒවාට විරුද්ධව සටන් කළේය.


මෙසේ කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ චරිතය දෙස බලන විට එතුමා හැම විටම ක්‍රියාකර ඇත්තේ අයුක්තියට අසාධාරණයට හා අවනීතියට විරුද්ධව බව පැහැදිලිව පෙනෙන්නට තිබෙන කරුණකි. 1989 පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවීමට පෙරත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වූ පසුත් ඇමතිවරයකු වූ පසුත් ජනාධිපතිවරයෙකු වූ පසුත් පෙන්නුම් කරන්නේ විප්ලවවාදී හැඟීමෙන් යථාර්ථවාදීව අදහස් ඉදිරිපත් කරන ආකාරයයි. එවැනි අවස්ථාවල දී අභීතව ක්‍රියාකරන ආකාරය පිළිබඳව නිදසුන් රැසක් ඇතත් මා මෙහිදී පෙන්නුම් කිරීමට අදහස් කරන්නේ 1989 එතුමා පාර්ලිමේන්තුවට තේරී පත් වූ පසු 1990 වසරේදී දිනක පාර්ලිමේන්තුවේදී සිදු වූ සිදුවීමකි.


පාර්ලිමේන්තු කටයුතු භාර රාජ්‍ය ඇමැතිවරයා වශයෙන් ක්‍රියා කළ මට එම සිදුවීම මතකයේ හොඳහැටි රැඳී පවතී. පාර්ලිමේන්තුවේ වාද විවාදවලදී හා ගොවි ජනතාවගේ ප්‍රශ්නවලදී ඉතා ඕනෑකමින් කරුණු ඉදිරිපත් කළ එතුමා පොළොන්නරු ගොවි ජනතා ප්‍රශ්නත් තමන් දුෂ්කර ප්‍රදේශයකින් පාර්ලිමේන්තුවට එවා ඇති බවත් කිසිවිටෙකත් අමතක නොකළේය. 1989 දී පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට පැමිණි එකම ශ්‍රීලනිප මන්ත්‍රීවරයා වශයෙන් තනියම වුවද පාර්ලිමේන්තුවේදී යම් යම් ප්‍රශ්නවලදී විශාල සටනක් ගෙන යාමට එතුමාට සිදුවිය.


සමහර අවස්ථාවල පාර්ලිමේන්තුවේ ආන්දෝලනාත්මක චරිතය ක් වූ මෛත්‍රීපාල සිරිසේන මහතා නිර්භීතව අදහස් පළ කිරීම නිසා පාර්ලිමේන්තුවේ සභාරැස්වීම් තහනම් වූ අවස්ථා ද තිබූ බව මට මතකය. ඒ වනවිට පාර්ලිමේන්තුවේදී කතානායක පදවිය දරන ලද්දේ එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයෙන් පත්වූ බොරැල්ල කොට්ඨාසය මූලිකව පදනම් වූ ඇම්. එච්. මොහොමඞ් මහතාය. එතුමා මේ සිද්ධිය වීමට දින කීපයකට පෙර පැවැති විවාදයකදී විපක්‍ෂයේ අදහස් පිළිබඳව වැඩි සැලකිල්ලක් නොදක්වා ඒවා ගණන් නොගෙන ආණ්ඩු පක්‍ෂයට වාසි වෙන ආකාරයෙන් කටයුතු කරන බවට හැඟීමක් විපක්‍ෂයේ මන්ත්‍රීවරුන් තුළ ඇති වී තිබුණි. ඒ අතරතුර දිනක පාර්ලිමේන්තුවේ පැවති විවාදයකදී කථා කරන්නට ගිය මෛත්‍රීපාල සිරිසේන මන්ත්‍රීතුමාට කිසිසේත් කථාකරන්නට ඉඩ නොදුන් ආකාරය මට අද මෙන් මතකය. මේ අතර විපක්‍ෂ මන්ත්‍රීවරුන් නොයෙක් දූෂණ හා චෝදනාවන්ද කතානායකවරයාට වරින්වර ඉදිරිපත් කළේය. කතානායකතුමාත් විපක්‍ෂයේ කවර චෝදනාවක් ඉදිරිපත් වුවත් ඔහුගේ දක්‍ෂතාව පෙන්නුම් කරමින් ඒවාට මුහුණදෙමින් සභාව මෙහෙයවූ ආකාරයද අමතක නැත. කෙසේ වුවද දිනක් විවාදයකදී මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කතානායකතුමා ඇමතුවේ “ගරු පගානායකතුමනි” යනුවෙනි. ඔහුගේ මෙම ඇමැතීමෙන් මුළු සභා ගර්භයම තිගැස්සී ගිය අතර සියලු දෙනා එය සිරිසේන මන්ත්‍රීතුමාගේ කටහඬ බව තේරුම් ගත්හ. “ගරු කතානායකතුමනි” යන්නට පගානායකතුමනි යනුවෙන් ප්‍රකාශ කිරීමෙන් තමන්ගේ නිලයට සිදු වූ අපහාසය පිළිබඳව කතානායකතුමා බලවත් සේ කෝප විය. වහාම එතුමා කීවේ ‘මන්ත්‍රීවරයා වහාම එම ප්‍රකාශය ඉල්ලා අස්කරගන්න’ කියාය. කතානායකවරයාගේ එම නියෝගය කිසිසේත් ගාණකට නොගත් මෛත්‍රීපාල සිරිසේන මහතා “ඒක ඉල්ලා අස්කර ගන්නේ නෑ” යැයි තදින්ම ප්‍රකාශ කළේය. එයින් තව තවත් කෝපයට පත් එම්. එච්. මොහොමඞ් මහතා “ඉල්ලා අස්කර ගන්නෙ නැත්නම් වහාම පාර්ලිමේන්තුවෙන් යන්නැ”යි නියෝග කළේය. එවිටම සිරිසේන මහතා මහ හයියෙන් කෑගසා කීවේ “මම යන්නෙම නෑ” කියාය. කීප විටක් කතානායකවරයා සභාවෙන් පිට වන ලෙස කීවත් ඔහුගේ අණට කීකරු නොවූ නිසා කතානායකවරයාට සිදුවූයේ සභාව ටික වේලාවකට කල් තැබීමටයි. කල්තබා නැවත ටික වේලාවකින් රැස්වුවද මෛත්‍රීපාල සිරිසේන මහතා ඇමතූ ආකාරය ඉල්ලා අස්කර නොගත් නිසා කතානායකරයා කළේ පොලිසිය කැඳවීමයි. ඒ අනුව පැමිණි පාර්ලිමේන්තුවේ පොලිස් නිලධාරීහු මන්ත්‍රීවරයා ඔසවාගෙන පාර්ලිමේන්තුවෙන් එළියට ගෙන ගියහ. මෙසේ පාර්ලිමේන්තුවේ උණුසුම්කාරී වාතාවරණය පැවති සෑම අවස්ථාවකම නොබියව ක්‍රියාකළ මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුදු අයුක්තිය අසාධාරණය නිරන්තරව පිටු දකිමින් ක්‍රියාකරන අයුරු එතුමාගේ ප්‍රකාශවලින් හා ක්‍රියාකලාපය තුළින් පෙන්නුම් කරන බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.