මරණ දඬුවම අහෝසියට ඇන්.ඇම්.ගෙන් තල්ලුවක්


දේශපාලන ලෝකය කැලඹූ ‘මරණ දඬුවම’ - 02

1956 බණ්ඩාරනායක මැතිඳුන්ගේ ආණ්ඩුව පත් වූ විගසම ප්‍රථම කැබිනට් මණ්ඩල රැස්වීමේදී තීරණ තුනක් ගන්නා ලදි. මහ රැජින විසින් ලාංකිකයන්ට පිරිනමනු ලබන නම්බුනාම නවතා දැමීම මරණ දඬුවම අහෝසි කිරීම සහ රාජ්‍ය උත්සවවලදී මත්පැන් භාවිතය නවතා දැමීමයි. අධිකරණ ඇමැති ඇම්. ඩබ්ලිව්. එච්. ද සිල්වා ගේ නියෝගයෙන් මරණ දඬුවම නතර වූ අතර මුලින්ම නිදහස් වූයේ පෙම්වතිය මරා එල්ලුම් ගසට නියම වූ එරික් බචෝ ය.


අනතුරුව අධිකරණ උප ඇමැති මහානාම සමරවීර විසින් මරණ දඬුවම අහෝසි පනත පාර්ලිමේන්තුවට ගෙන ආ අතර වසරක පරිවාස කාලයකට යටත් වන ලෙසටය.


ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා තම මතය මෙසේ පළකළේය. “මගේ අත්දැකීම් අනුව ශ්‍රී ලංකාවේ මිනීමැරුම් චෝදනා ලබන වැඩි දෙනාට ඝාතනයට මොහොතකට පෙර එවැනි සිතුවිල්ලක් තිබුණේවත් මරණයෙන් පසු ගෙවිය යුතු ජීවිත වන්දිය ගැනවත් හැඟීමක් නැහැ”


කොමියුනිස්ට් පක්‍ෂයේ පීටර් කෙනමන්ගේ අදහස වූයේ “අපේ රටේ ඝාතනවලට වැඩියෙන් බලපාන්නේ ඉඩම් ආරවුල්. අඟල් 9ක තීරුවක් අහිමි වුණා කියලා, මඤ්ඤොක්කා පැළ විස්සට මිනිස් ජීවිතයකින් වන්දි ගෙවනවා”
අගමැති බණ්ඩාරනායක විවාදය අවසන් කළේ මෙම නීතිය අහෝසි කරන්නේ වසර 03 කට බව කියමිනි. ව්‍යවස්ථාදායක සභාවේදී සම්මත වූ (68 ට 67 ක් ලෙස) මෙම යෝජනාව සෙනෙට් මන්ත්‍රී සභාවේදී 12 ට 10 වශයෙන් පරාජයට පත්විණ.


“මිනීමරුවා ගැන මිස මැරුණ අහිංසකයා ගැන අනුකම්පාවක් නැද්ද?”


“ආණ්ඩුව හදන්නේ මිනීමරු එරික් බචෝ බේරා ගන්නයි.


සෙනට් මන්ත්‍රී ඊ. බී. වික්‍රමනායක තම විරෝධය ඊට පළ කළේ මෙසේය.


“එරික් බචෝ සමස්ත ලංකා බෞද්ධ මණ්ඩලයට ලිපියක් ලියමින් තමා බුද්ධාගම වැලඳගැනීමට කැමැත්ත පළකරන බව පැවසූ අතර කොතලාවල ආණ්ඩුව එය ගණන් ගත්තේ නෑ. නමුත් මේ ආණ්ඩුව මරණ දඬුවම නතරකරන්න හදනවා. ආත්ම ගෞරවයක් ඇති ආණ්ඩුවකට එහෙම කරන්ඩ බෑ” මන්ත්‍රීවරයා පැවසුවේය.


“මිනීමරුවන් බන්ධනාගාර ගත කළා කියලා අපරාධ අඩුවෙන්නේ නෑ. සමහරු එළියට ගිහින් නැවත ඇවිත් හිරගෙදර විනෝදෙන් ඉන්නවා” සෙනට් සභික එස්. නඬේසන් ද මුල් කාලයේ තර්ක කළේය.


සෙනෙට් සභාවේ මෙම හැසිරීමට විරෝධය පළකරමින් පත්තර පිටු පිරෙන්නට විය. “සෙනෙට් සභාව නිදි වැදිලා “සෙනෙට් සභාව ඔවුන්ට තොණ්ඩුව දාගත්තා.” යනුවෙන් පළවිය. එජාප මන්ත්‍රී ඒ. එච්. මාකන් මාකර් පැවසුවේ “එල්ලුම් ගහ නැති නිසා මටත් මිනිහෙක් දෙන්නෙක් මරල බලන්න හිතෙනවා” කියාය


ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මරණ දඬුවම අහෝසි කිරීම ප්‍රගතිශීලී පියවරක් ලෙස ප්‍රශංසා කළේය. මෙලෙස ව්‍යවස්ථාදායක සභාව තුළත් සෙනෙට් සභාව තුළත් ඇවිළුණ මෙම මතගැටුම රට පුරා පැතිර යන්නට විය.
අගමැති බණ්ඩාරනායක මැතිඳුන් පැවසූ පරිදි මරණ දඬුවම අහෝසිකර ගත වූයේ හරියටම වසර තුනකි. 1959 සැප්තැම්බර් 25 වැනිදා අගමැතිවරයාට චීවරධාරී සෝමාරාම විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. 1959 ඔක්තෝබර් 26 දින හදිසි නීතිය යටතේ ගැසට් පත්‍රය මගින් මරණ දඬුවම යළිත් සක්‍රීය කෙරිණි.


මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන ආ විට බලවත් විරෝධ රැල්ලක් හමා ආවේය. මෙම පනත අතීතයටත් බලපාන ලෙස සකස් කර තිබීම ඊට හේතුවක් විය.


හිටපු අගමැතිවරුන් වන ඩඞ්ලි සේනානායක හා ජෝන් කොතලාවල එම පනත අනුමත කළ අතර මරණ දඬුවම අහෝසි නොකළ යුතුව තිබූ බව පවසා ඇති බව සඳහන් වේ.


අතීතයට බලපාන අන්දමින් මරණ දඬුවම පැනවීම නිසා නීති කොමිසම හා ජාත්‍යන්තර මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට සතුරු වනු ඇතැයි නීතිවේදීයෝ තර්ක කළහ. කොල්වින් ආර් ද සිල්වා විමසා ඇත්තේ මෙය ආණ්ඩුවට නොගැළපෙන ක්‍රියාවක් බවයි. නමුත් අගමැති බණ්ඩාරනායක ඝාතනයට  මරණ දඬුවම පැන වූ නිසා රටේ අපරාධ අඩුවී ඇතැයි උප ඇමැති එම්. එස්. කාරියප්පර් පැවසූ විට කොල්වින් අපූරු විග්‍රහයක් කළේය.


එහෙම මිනීමැරුම් අඩුවෙනවා නම් එම තත්ත්වය දිගටම තබාගන්න හැම අගමැතිවරයාම මරන්න වේවි. කෙසේ වෙනත් මරණ දඬුවම නැවත පැනවීමේ පනත ඡන්ද 43 ට 13 වශයෙන් සම්මත වූ අතර මුලින් විරුද්ධ වූ එස්. නඬේසන් මහතා පැවසුවේ ලියෝ ටෝල්ස්ටෝයි ගේ අපරාධය සහ දඬුවම පොත කියවා තමා වෙනස් වූ බවයි.


සෙනට් සභාවේ දී ද ඡන්ද 23 ට 04 ලෙස පනත සම්මත වූ අතර චූදිත සෝමාරාමගේ මරණ දඬුවම ක්‍රියාත්මක විය. හදිසි නීතිය ද ඉවත් කෙරිණ.


1965 දී යළි ඩඞ්ලිගේ ආණ්ඩුව බලයට පැමිණි අතර පෝරකය වෙනුවට මරණ දඬුවම සඳහා විදුලි පුටුව ගෙන ඒමට අසාර්ථක තැතක් ගැනිණි. ඔහුගේ යුගයේ මරණ දඬුවම ක්‍රියාත්මක නොවුණද සිරිමාවෝ අගමැතිනි යුගයේ එය ක්‍රියාත්මක විණි.


යසපාල වනසිංහගේ පෝරකයේ දෝංකාරය පරිවර්තනයේ සඳහන් පරිදි 1946 දී සියදෙනකුද 1957 දී 97 දෙනකු ද මේ රටේ අපරාධවලින් ඝාතනය වී ඇති අතර මරණ දඬුවම අත්හිටුවීමට පෙර එම වසර දෙක තුළ පිළිවෙළින් 109 දෙනකු හා 96 දෙනකු එල්ලා මරා දමනු ලැබූ බවයි.


1974 දී එල්ලා මැරූ පිරිස 24කි. මානව හිමිකම් කොමිසම මරණ දඬුවම අහෝසි කිරීමට කැමැතියි. අධිකරණ ඇමැති ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගෙන් විමසූ විට ඔහු එකහෙළා කැමැත්ත පළකළේය. 71 කැරැල්ලේ චූදිතයන්ට පවා මරණ දඬුවම දීමට අපරාධ යුක්ති කොමිසමට බලතල දුන්නේ නැත.

 

 

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි