වර්ෂ 1917 ඔක්තෝබර් විප්ලවය ජයග්‍රහණය කිරීමෙන් පසු එරට රාජ්‍ය මට්ටමින් මැයි දිනය පැවැත්වීම ආරම්භ කළේය. ඒ 1918 මැයි දිනයේදීය. එතෙක් මැයි දින සමරු රැස්වීම් පවත්වනු ලැබුවේ ලොව සමහර රටවල ක්‍රියාත්මකවූ මාක්ස්වාදී දේශපාලන පක්ෂ සහ වෘත්තීය සමිති සංගම්වල නායකත්වය යටතේය.
1886 වසරේ ඇමෙරිකා එක්සත් ජනපදයේ චිකාගෝ නගරයේ හේ මාකට් ප්‍රදේශයේ ඇතිවූ වෙඩි තැබීම් නිසා මියගිය කම්කරුවන්ගේ ජීවිත පරිත්‍යාගය සැමරීම පිණිස මැයි පළමුවැනි දින ජාත්‍යන්තර කම්කරු දිනය වශයෙන් පැවැත්වීමට තීරණය කරන ලදී. එම යුගයේ කර්මාන්ත හා වැඩබිම්වල සේවයට නියමිත කාල වේලාවක් සම්මතව තිබුණේ නැත. එය එම ආයතන හිමියාගේ අභිමතය අනුව තීන්දු වූවේය. දිනකට පැය විස්සේ සිට පහළොව දක්වා කාලයක් සේවය කිරීම සාමාන්‍ය පිළිවෙත විය.
ලාභය ඉපයීම සඳහාම මෙම ව්‍යාපාර හිමියෝ තමන්ගේ අභිමතය පරිදි කම්කරු ශ්‍රමය ලබාගැනීමේ ප්‍රතිපත්තියක ගැලී සිටියහ. එහෙත් ඔව්හු මෙම සේවක ජනයාගේ මෙම පීඩනයට ඔරොත්තු දිය හැකි කායික මානසික තත්ත්වයක මෙම සේවක පිරිස් සිටීදැයි සිතුවේවත් නැත.
මේ ගැන අවධානය යොමු කළ චිකාගෝ නුවර හේ මාකට්හි කම්කරු ජනයා 1886 වසරේ මැයි මස මුලදී විශාල වැඩ වර්ජනයක් සංවිධානය කර පැය අටක වැඩ දිනයක් ලබාදෙන ලෙස අභියෝග කළහ. එයින් චිකාගෝ නගරය මුළුමනින්ම අඩපණ විය. වැඩ වර්ජනය අතිශය සාර්ථකත්වයට පත්විය. එහෙත් ලොව කොතනදීත් කවදත් සිදුවෙන්නාක් මෙන් පොලිසිය මැදිහත්ව කම්කරුවන්ගේ පෙළපාළියකට බාධා කිරීමේදී ඇතිවූ ගැටුමෙන් කම්කරුවෝ කීපදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. එම අවස්ථාවේදී වෙඩිවැදුණු තම සගයන්ගේ රුධිරයෙන් රතු පැහැ ගැන්වුණු ධජ පතාක ප්‍රදර්ශනය කරමින් ඔව්හු චිකාගෝ නගරය දෙවනත් කරමින් පෙළපාළි දැක්වූහ.
එම යුගයේ කම්කරුවන්ගේ වර්ණය ලෙස භාවිත වූයේ සුදු පැහැය බව කියැවේ. රතු වර්ණය ඒ වෙනුවට පිළිගැනුණේ මෙම අවස්ථාවේදීය. මෙම සිදුවීම ලෝක අවධානයට දැඩිලෙස යොමුවීම නිසා මැයි පළමුවැනි දිනය සමස්ත ලෝකවාසී වැඩ කරන ජනතාවගේ දිනය වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
සෝවියට් රුසියානු විප්ලවයෙන් පසු ආණ්ඩු මට්ටමින් මැයි දිනය සැමරීම ආරම්භ වූ බව පෙර සඳහන් කළෙමි. එයට පෙර වෘත්තීය සමිති, මාක්ස්වාදී දේශපාලන පක්ෂ හෝ වෙනත් බහුජන සංවිධාන විසින් මෙම සැමරුම කරගෙන එනු දක්නා ලදී. පසුව තව තවත් රටවල් රතු කොඩිය සෙවණේ රාජ්‍ය බලය ලබාගැනීමත් සමග එම රටවල්ද පුරුද්දක් වශයෙන් මැයි දිනය සැමරීම රාජ්‍ය මට්ටමින් සිදු කිරීම ආරම්භ විය. එය හුදෙක්ම තම රටවල යුද ශක්තිය ලොවට පෙන්වීමට ගත් ප්‍රයත්නයක් ලෙස හසුරුවන ආකාරය දක්නට ලැබුණි.
එම මැයි දිනවලට වෙනත් රටවල නියෝජිතයන් යැවීම කොමියුනිස්ට් පක්ෂවලට හිමිවූ වරප්‍රසාදයක් විය. 1969 වසරේදී සෝවියට් මැයි දිනය දැක බලා ගැනීමේ වාසනාව මටද හිමිවිය. එවකට සෝවියට් නායකයා වූ ලියොනිඞ් බ්‍රෙස්නොවේගේ නායකත්වයෙන් පැවති එම පෙළපාළියේ රුසියාව සතුව පැවති න්‍යෂ්ටික ආයුධ කන්දරාව ප්‍රදර්ශනය කරමින් ගෙන ගිය ආකාරය මට මතකය. තම දේශපාලන ප්‍රතිවාදී කඳවුර වූ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර පිලට කෙළින්ම එල්ල කළ තර්ජනයක් ලෙස එය විවිධ ජනමාධ්‍යවලින් හඳුන්වා දෙන ලදී. මේ අයුරින් වැඩ කරන ජනතාවගේ දිනයේ මුඛ්‍ය අර්ථය වෙනත් අරමුණු ඔස්සේ යොමු කිරීමට විවිධ බලවේගයන් විසින් පියවර ගනු ලැබීය.
ශ්‍රී ලංකාව 1948 වනතුරු පැවතියේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යයේ කොටසක් වශයෙනි. එනිසා 1920 දශකය ඇරඹෙන තුරුත් කොළඹ නාගරික කම්කරු පන්තිය අතරේවත් මැයි දිනය සැමරීමට තරම් දේශපාලන අදහස් මෝරා තිබුණේ නැත. 1915 සිංහල - මුස්ලිම් අරගල සමයේ ඇතිවූ යම් යම් නොපනත්කම් හේතුවෙන් යම්කිසි ජාතිකවාදී බලවේගයක් මේ රට තුළ ගොඩනැගෙන්නට පටන් ගැනුණි. එහි ප්‍රමුඛතම නායකයෙක් වූවේ අනගාරික ධර්මපාලතුමාය.
සිංහල බෞද්ධ ජනතාවට ආමන්ත්‍රණය කරමින් අධිරාජ්‍යවාදීන්ට යටත්ව නිවටව සිටීමට විරුද්ධව හඬ නැගීම නිසා ජාතික ආගමික ප්‍රබෝධයක් ඇතිවූ බව පිළිගත යුතු සත්‍යයකි. එතුමා කිසිවිටෙකත් දේශපාලන කරුණු කෙරෙහි එම දෘෂ්ටිකෝණයෙන් මැදිහත්වීමක් සිදු නොකළා වුවත් එම රණ හඬ ඔස්සේ ජනතා සේවයට ඇදී ආ බොහෝ පුද්ගලයෝ දේශපාලන බිමටද අවතීර්ණ වූහ. මහනුවර ධර්මරාජ විද්‍යාලයේ අධ්‍යාපනය ලබන සමයේදීම ධර්මපාලතුමාගේ ජාතික ආගමික සටන් ව්‍යාපාරය ගැන පැහැදුණු තරුණයෙකු වූ ඒ. ඊ. ගුණසිංහ මහතා එවැන්නෙකි.
දෛවයේ නියමයකට මෙන් 1891 මැයි පළමුවැනි දින (එනම් මැයි දිනයකදී) උපත ලද ඒ මහතා 1915 ජාතිවාදී අරගල සමයේදී ඇෆ්. ආර්. සේනානායක, ඩී. ඇස්. සේනානායක, සර් ඩී. බී. ජයතිලක, හෙන්රි පේද්‍රිස් ආදී නායකයන් සමග බන්ධනාගාර ගතකරනු ලැබීය. එවිට ඔහුගේ වයස අවුරුදු විසිහතරක් වූවා පමණකි. සිර ගෙදරින් නිදහස්වූ ඒ මහතා යටත් විජිත ආණ්ඩුව විසින් පනවන ලද ඇඟ බද්දට විරුද්ධව දැඩි සටනකට අවතීර්ණ විය. එම බද්ද සෑම නිරෝගී පුද්ගලයෙකු විසින්ම ගෙවීම අනිවාර්ය වූ අතර එසේ බදු මුදල් නොගෙවන පුද්ගලයන් නියමිත දින ගණනක් මහපාරවල් තැනීම සඳහා කළුගල් කැඩිය යුතු විය.
අධිරාජ්‍යවාදී ආණ්ඩුව දුප්පත් ජනතාව මත පැනවූ මෙම අසාධාරණ බද්දට විරුද්ධව මහ ජනයා පොළඹවමින් හා නායකත්වය දෙමින් මහ පාරේ කළුගල් කැඩීමට ඒ. ඊ. ගුණසිංහ මහතා ඉදිරිපත් විය. මෙම තත්ත්වයන් නිසා වැඩි කල් නොගොස්ම ඔහු ජාතික නායකයෙක් බවට පත්විය. එකල කම්කරු ජනයාට මුහුණදීමට සිදුව තිබුණේ අන්ත අසරණ පීඩාකාරී පසුබිමකටය. එම දුඃඛදායක තත්ත්වය පිටුදැකීම උදෙසා ගුණසිංහ මහතා මැදිහත් විය. 1922 සැප්තැම්බර් මස 26 වැනිදා ලංකා කම්කරු සංගමය පිහිටුවා ගනු ලැබූවේ ඒ අනුවය. පසුව ලංකා කම්කරු පක්ෂය බවට පත්වූවේ එම සංවිධානයයි.
එතෙක් කාලයක් හඬක් නොමැති කම්කරු ජනතාවට එම නායකත්වය මනා පිටිවහලක් විය. ට්‍රෑම් කාර් වර්ජනය මෙහෙයවමින් මුළු කොළඹ නගරයේම ගමනාගමනය අඩපණ කර දැමීමට නව කම්කරු පක්ෂයට හැකිවිය. සුද්දන්ගේ යාන වාහනවලට අවහිරවන නිසා එකල බඩු ප්‍රවාහනයේ ප්‍රධාන අංගය වූ බර කරත්ත කරුවන්ට කරත්තයේ බෝන් ලීයේ වාඩිවී ගමන් කිරීම තහනම් කිරීමට කොළඹ නගර සභාව නීතියක් පනවනු ලැබීය. එයින් දුප්පත් කරත්ත කරුවන්ට සිදුවන අසාධාරණයට විරුද්ධව කරත්ත කරුවන්ගේ සටනක් මෙහෙයවීමටද ගුණසිංහ මහතා නායකත්වය දුන්නේය. මෙම නිර්භීත නායකයා යටතේ එම සටනද ජයග්‍රහණයෙන් නිමාවට පත්විය.
මේ අනුව ටික කලක් ගතවෙද්දී ඒ. ඊ. ගුණසිංහ මහතා ලංකා කම්කරු පක්ෂයේ පමණක් නොව කොළඹ නාගරික කම්කරු ජනතාවගේද අසහාය නායකයා බවට පත්වීමට වැඩි කලක් ගතවූවේ නැත. මෙම පදනම මත 1928 වසරේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම මැයි දිනය පැවැත්වීමේ ගෞරවය හිමිවන්නේ ඒ. ඊ. ගුණසිංහ මහතාටය.
වර්ෂ 1935 දෙසැම්බර් 19 වැනිදා ලංකා සමසමාජ පක්ෂය පිහිටුවා ගැනීම මෙරට දේශපාලන ගමන් මගේ හැරවුම් ලක්ෂයක් ලෙස බොහෝදෙනා සලකති. මාක්ස්වාදය පදනම් කොටගෙන ආයුධ සන්නද්ධ විප්ලවයක් සිදුකොට ශ්‍රී ලාංකේය සමාජවාදී රාජ්‍යය පිහිටුවීම අරමුණු කොටගත් එම පක්ෂය මුල්තැනෙහිලා සැලකුවේ කම්කරු පන්තිය සංවිධානය කිරීමකි. ඒනිසා ඊළඟ වර්ෂයේදීම මැයි දිනයක් පැවැත්වීමට කටයුතු කළේය. එය වසරක් පාසා සිදුවිය.
දෙවැනි ලෝක මහා සංග්‍රාමය පිළිබඳව ඇතිවූ මතභේදයක් නිසා සමසමාජ පක්ෂයේ බලගතු කණ්ඩායමක් ඉවත් කරනු ලැබීය. උඩකැන්දවල සිරි සරණංකර හිමි, දොස්තර ඇස්. ඒ. වික්‍රමසිංහ, ඇම්. ජී. මැන්දිස්, කේ. රාමනාදන් ඇතුළු එම පිරිස 1943 ජූලි තුන්වැනිදා ලංකා කොමියුනිස්ට් පක්ෂය පිහිටුවා ගන්නා ලද්දේ ඒ අනුවය. එම පක්ෂයද මාක්ස්වාදී ප්‍රතිපත්තිය මත ක්‍රියා කරන විප්ලවවාදී පක්ෂයක් වූ බැවින් එම පක්ෂයද වෘත්තීය සමිති බලයක්ද සහිතව මැයි දිනය පැවැත්වීම කෙරෙහි යොමු වූවේය.
යුද සමයේ යටත් විජිතවාදී ආණ්ඩුව සමසමාජය නීතිවිරෝධී කරන ලදුව නායකයෝ සිර භාරයට පත්වූහ. සමහරු සිරභාරයෙන් පැන ගත්හ. ඉන්දියාවට ගියහ. එකම පක්ෂයක් වශයෙන් ඉන්දියාවට පලා ගිය එම නායකයන් වසර කීපයකට පසු ආපසු ආවේ පක්ෂ දෙකක් වශයෙනි. එයින් ඇන්. ඇම්. කණ්ඩායම නව ලංකා සමසමාජය වශයෙන්ද කොල්වින්ගේ කණ්ඩායම බෝල්සේවික් ලෙනිනිස්ට් පක්ෂය වශයෙන්ද මැයි දිනය සැමරූ බව වමේ ඉතිහාසයේ සඳහන් වේ. මෙසේ විවිධ අවස්ථාවල ඇමීබා න්‍යායට අනුව නිරන්තරයෙන්ම පාහේ බෙදී ගිය වමේ කණ්ඩායම නොයෙක් නම්වලින් මැයි දිනය සැමරූ බව අපට මතකය. බාලා තම්පෝ මහතාගේ ලංකා වෙළෙඳ සේවක සංගමය, එඞ්මන්ඞ් සමරක්කොඩි මහතාගේ විප්ලවකාරී සමසමාජ පක්ෂය වික්‍රමබාහු කරුණාරත්න මහතාගේ කණ්ඩායම, නාගලිංගම් ශන්මුගදාසන් මහතාගේ චීන කොමියුනිස්ට් පක්ෂය එයින් කණ්ඩායම් කීපයකි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් 1956 දී මහජන එක්සත් පෙරමුණු රජය බිහිවීම මෙරට මැයි දින ඉතිහාසය වෙනස් කළ සුවිශේෂී සිදුවීමක් විය. එම වසරේ ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අනුග්‍රහය සහිතව මැයි දිනය පවත්වන ලදී. කොමියුනිස්ට් නොවන ධනවාදී රජයකට මැයි දිනය සැමරීමට සදාචාරාත්මක අයිතියක් තිබේදැයි වමේ නායකයෝ බණ්ඩාරනායක අගමැතිවරයාගෙන් එකල ප්‍රශ්න කළහ. 1956 දී මැයි දිනය රජයේ නිවාඩු දිනයක් බවට ද පත්විය. එතෙක් පැවතියාට වඩා කම්කරුවන් කෙරෙහි සහනශීලී ප්‍රතිපත්තියක් එම රජය අනුගමනය කරනු දැකිය හැකි විය.
එජාපයට මහා පරාජයක් අත්කර දුන් 1956 මැතිවරණයෙන් පසුව එම පක්ෂය නැවත නගා සිටුවීමට නම් තම පක්ෂයද කම්කරු සමිති ගොඩනැගිය යුතුයැයි ජේ. ආර්. ජයවර්ධන මහතා අත්දැකීමෙන් වටහාගෙන සිටියේය. ඔහු ඒ අනුව ක්‍රියා කළේය. 1957 දී එම පක්ෂයද මැයි දිනය පවැත්වනු ලැබීය. ප්‍රාග්ධනය නියෝජනය කරන ධනපති නායකත්වයෙන් යුතු යූ.ඇන්.පියට මැයි දිනය පැවැත්වීමට අයිතියක් නැතැයි කම්කරු නායකයෝ මහ හඬ දුන්හ.
එජාප සහ ශ්‍රීලනිප මැයි දිනය පැවැත්වීම ආරම්භ කිරීමෙන් පසු මැයි දිනය පිළිබඳව පැවති කම්කරු පන්තියේ සටන්කාමී බව, උද්වේගකාරී බව මෙන්ම කම්කරු සහෝදරත්වයේ ජීව ගුණයද වියැකී ගිය බව සත්‍යයකි. ඇමෙරිකාවට තර්ජනය කිරීමට රුසියානු නායක බ්‍රෙස්නෙව් සෝවියට් මැයි දිනයේදී කළ දෙයම ලංකාවේදීද සිදුවිය. ප්‍රධාන පක්ෂ දෙකේ නායකයෝ සමස්ත ලංකාවේම තම ගම්බද සාමාජිකත්වය දස දහස් ගණන් කොළඹට රැගෙනවිත් තම පක්ෂවල ශක්තිය පෙන්වීමට කටයුතු කළහ. වැඩි වැඩියෙන් ඔළුගෙඩි පෙන්වමින් ප්‍රතිවාදීන්ව අභියෝග කළහ.
අද මැයි දිනවල කම්කරු පන්තිය නියෝජනය වන්නේ ඉතා සුළු වශයෙනි. බහුතරය විශාල පක්ෂවල ගම්බද සාමාජිකත්වයයි. කාල් මාක්ස්ගේ විග්‍රහයට අනුව දෑකැති මිටි ලාංඡනයෙන් කියැවෙන ගොවි කම්කරු ජනතාව දැන් ලෝකයේ විරලය. නව තාක්ෂණයේ දියුණුවත් සමග විශාල යන්ත්‍ර සූත්‍ර බිහිවී ඇත. පරිගණක නිසා ලිපිකරු පන්තියක්ද නැත. එනිසා “සාදුකින් පෙළෙන උන් දැන් ඉතින් නැගිටියව්” වැනි සටන් පාඨ අද හුදු වචන මාත්‍ර බවට පත්ව ඇත.
ප්‍රශ්න නැතිවාම නොවුණත් රුසියානු විප්ලවයේදී පීටර්ස්බර්ග් මාලිගාවට පහර දුන් පීඩිත කම්කරු පන්තිය අද ශ්‍රී ලංකාවේ නම් නැත. එහෙත් සකල ලෝකවාසී කම්කරු පන්තියට පැය අටේ වැඩ දිනයක් ලබාදීමේ අරගලයේදී සිය වටිනා ජීවිතය පුද කළ චිකාගෝ නුවර හේ මාකට් සටනේ වීරයන් සිහි කිරීමට අපට යුතුකමක් මෙන්ම වගකීමක්ද ඇත.
කොළඹ විවිධ ස්ථානයන්හි එජාප, ජවිපෙ, පොඑපෙ වැනි පක්ෂ ශ්‍රීලනිප ගම්පහදීත්, වතුකරයේ ජනතාව කඳුකරයේදීත් සිහිපත් කරනු ලබන්නේ එම උදාර ප්‍රාණ පරිත්‍යාගී වීරවරයන් නම් අපිද ඒ සඳහා එක්වෙමු. නොඑසේම ගොඩවැඩි කර පෙන්වීමේ පටු පරමාර්ථයක් කෙරෙහි මැයි දිනයේ අරමුණ ලඝු කරන්නේ නම් මහජනතාව කිසිවිටෙකත් එය අනුමත නොකරන බව සහතිකය..
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි