1969 වන විට රැකියා විරහිත බව දැවෙන ප්‍රශ්නයක් බව පිළිගන්නට ආණ්ඩුවට ද සිදු විය. ලංකා කොමියුනිස්ට් හා ප්‍රගතිශීලී තරුණ සමිති සම්මේලනයේ රත්නපුර දිසා සභාව දීප ව්‍යාප්ත මහා උද්ඝෝෂණයක් සහ කොළඹ දක්වා දැවැන්ත පෙළපාළියක් සංවිධානය කළහ. ජුලි මස 20 වැනිදා රත්නපුර නගර ශාලාව අසලින් “රැකි රක්ෂා දියව් ජීවනාධාර දියව්” ආදී සටන් පාඨ කියමින් විරෝධතා පුවරු ඔසවා ගෙන සරත් මුත්තෙට්ටුවෙගම ප්‍රධාන පෙළපාළිය පිටත් විය.
අතර මඟ සියලු පිළිගැනීම් ආහාර පාන හා නවාතැන් සැපයුවේ ශ්‍රීලනිපය හා සම සමාජය ඇතුළු ප්‍රගතිශීලී ජනතාවය, පුරා දින 03 ක් ගමන් ගත් මෙම පෙළපාළියට අවිස්සාවේල්ලේ දී ද කොස්ගම තුනී ලෑලි කම්මල අසලදී ද බොරලුගොඩ, කළුඅග්ගලදී ද, හංවැල්ල නගරයේ දී සහ වැල්ලම්පිටියේදී ද ගල් මුඟුරු ප්‍රහාරයක් එල්ල විය හැකි බව ප්‍රචාරය විය.
එසේම අන්තිම දිනයේ ඔවුන්ට එරෙහිව උසාවි නියෝගයක් ගෙන හරවා යැවීමට හෝ කඳුළු ගෑස් බැටන් පොලු ප්‍රහාරයක් දී වෙඩි තැබීමට ආරක්ෂක හමුදාව බලා සිටින බව ද සැල විය. මේ ආරංචිවලට සරත් බිය නොවීය. “උඹලා බය වෙන්න එපා. ගහන අය ගහනකම් අපි අත් දෙක බැඳ ගෙන නිකම් ඉන්නෙ නෑ. අපි පාරට බැස්සේ ඕනෑම දේකට ලෑස්ති වෙලයි.”
සරත් පෙළපාළියේ පෙරමුණ ගනිමින් කීවේ “ගහන, වෙඩි තියන එකෙක් මුලින්ම මාව මරාපියව්” කියාය. උපදෙස් ලබා ගැනීමට නොහැකි වූ නිසා දෝ එසේ නොවිණ. පාර්ලිමේන්තු මන්දිරය අසල දී තරුණ විරෝධී පෙත්සම සරත් කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහට භාර දුන්නේය.
මේ දිනවල සරත්ගේ සෙවණැල්ල මෙන් සටන් පෙරමුණේ සිටි ගඟුල්පිටියේ ඤාණාලංකාර හිමියෝ අපවත් වූහ. හෘදයන්ගම ලෙස ජනසටනට එක් වූ උන් වහන්සේගේ අවසාන කටයුතු කරටගත්තේ සරත්ය.
දේශීය ප්‍රතිගාමීන් මුහුණ දෙන අතර අධිරාජ්‍යවාදී සතුරන් සමග සටන ද ඔවුහු අතරමං නොකළහ. ඇමරිකාව වියට්නාමයේ සිදු කළ අමානුෂික මිනිස් ඝාතනයට විරෝධය පළ කිරීමේ සමාජවාදී සටන ද ඇවිළි ගියේය. එදා සැන්ඳෑ කළුවර දෙබෑකරමින් දල්වන ලද පොල්තෙල් පන්දම් රැගෙන රත්නපුර පුරහලේ සිට ශ්‍රී සුධර්මා ශාලා පිරිවෙන වෙතට ගිහි පැවිදි මහා පෙළපාළියක් ගමන් ගත්තේය. කොමිනියුස්ට්වරුද බුඳුන් වැඳ මෙසේ පැතූහ.
“ඇමරිකානු යුද වැද්දන්ගේ මනුස්ස ඝාතනයට එරෙහිව වියට්නාමයේ හාමුදුරුවරු ගිනි තබා ගන්නවා. උන්නාන්සේලා ලෝකයට දෙන පණිවුඩයට අපිත් ගරු කරන්න ඕනෑ.”
සරත් පැවසුවේ එහි භික්ෂූන්ට පුණ්‍යානු මෝදනා කිරීමේ පින්කමට මූලිකත්වය දෙමිනි.
රත්නපුරයේ මෙසේ වෙද්දී රට පුරා යුද විරෝධී පෙළපාළි ඇරඹිණ. මෙම නොසිතූ විරු සිද්ධියෙන් බලගතු ඇමරිකාව මෙන්ම ශ්‍රී ලංකාවද මහත් කම්පනයට හා භීතියට පත් වූ නමුත් සරත් කළේ ඊට චෝදනා ලැබු වාමාංශික කඳවුරේ තරුණයන් 16 දෙනා වෙනුවෙන් පෙනී සිට ඔවුන් නිදහස් කර ගැනීමය.
1970 මහ මැතිවරණය සරත් මුත්තෙට්ටුවේගම ඇතුළු වාමාංශිකයන්ට තීරණාත්මක සමයක් විය. මේ වන විට රත්නපුර මන්ත්‍රී ධනපාල ආටිගලගේ අභාවය සිදු වූ බැවින් අතුරු මැතිවරණ සටනට සරත් යෝජනා විය. එසේ නොහැකි නම් නිවිතිගල ආසනය ඔහුට සුදුසු බව ජන සංවිධාන හඬ නැගූහ. අන්තිමට පක්ෂය හා කඳවුර වෙනුවෙන් විශිෂ්ට සේවයක් කළ සරත් දෙස විපක්ෂයේ කාරුණික ඇස යොමු විය.
ඒ අනුව කලවාන අසුන කොමියුනිස්ට් පක්ෂය දීමට ශ්‍රීලනිපය එකඟ විය. 70 මහ මැතිවරණයෙන් යුඇන්පීය ආසන 17කට බසින විට තුනෙන් දෙකක බලයක් තුන් හවුල් ආණ්ඩුවට හිමි විය. සරත් කලවාන දිනුවේ ද වැඩි ඡන්දයෙනි. එම ප්‍රතිඵලය මෙසේය.
සරත් මුත්තෙට්ටුවේගම (කොප.) 11,109
අබේරත්න පිලපිටිය (එජාප) 6314
පී. සෝමා මැතිව් (ස්වාධීන) 85
එම ජයග්‍රහණය නිසා ඉබ්බා දියේ දැම්මා වැනි උද්යෝගයකින් සරත් තම ඡන්ද දායකයන්ට පිහිට වීම ඇරැඹීය. කලවානේ නොදියුණු පාසල් ගැටලු ගුරු හිඟය, විදුහල්පති අඩුපාඩුව කලවානේ රෝහලේ විදුලි ප්‍රශ්නය, විධායක ඉංජිනේරු කාර්යාලයේ හා තැපැල් හලේ ගැටලු, අබලන් මංමාවත්, ග්‍රාමීය විදුලි බල යෝජනා ක්‍රම, බැංකු ශාඛා හා කෘෂි සේවා මධ්‍යස්ථාන ආදී ගැටලු සහගත තැන්වලට රජයේ මුදල්වලට වඩා පොදු සහ පෞද්ගලික ධනයෙන් විසඳුම් ලබා දුන්නේය.
සරත් හා වාමාංශිකයන් සිතූ පරිදිම 70, 77 සමගි ආණ්ඩුවට ද පාලනය කර ගත නොහැකි සේ තරුණ අසහනය උත්සන්න වු අතර අන්තීමේ එය කැරැල්ලක් බවට පත් විය. මර්දනය ඇරඹිණ.
රට පුරාත් විශේෂයෙන් රතු බළ කොටුවක් වූ රත්නපුරෙත් කොල්ලෝ කෙල්ලොත් බුරුතු පිටින් කැරැල්ලට දායක වූහ. විශේෂයෙන් පොලිසියේ හා ආරක්ෂ නිලධාරීන්ගේ සැකය යොමු වුයේ සරසවි සිසුන්ටය.
ඉතිහාසයේ නොවු විරු දස වධ දී තරුණ තරුණියන්ගෙන් ප්‍රශ්න කළ අතර පෞද්ගලික විරුද්ධවාදීන්ට ද මෙය සතුරාගෙන් පළිගැනීමට අවස්ථාවක් විය.
ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය මෙහෙය වූ මෙම කැරැල්ලට වාමාංශික පක්ෂවල සහය නොලැබිණ. අතුරුදන් වූ අසාධාරණයට ලක් වූ අත්අඩංගුවට ගත් හා මරා දැමූ තරුණ තරුණියන් හා ඔවුන්ගේ පවුල් වෙනුවෙන් පෙනී සිටියේත් නීතිමය පිහිට ලබා දුන්නෙත් සරත් මුත්තෙට්ටුවේගමය.
මැණික් ව්‍යාපාරයකට සම්බන්ධ නොවු රත්නපුරේ එකම දේශපාලනඥයා ලෙස සරත් විරුදාවලි ලබයි. සරත්ලවා මැණික් සංස්ථාවට ගලක් විකුණා ගැනීමට පැමිණි ඡන්දදායක මුදලාලි කෙනෙකුට සරත් වරක් උපකාර කළේය.
ඊළඟ සතියේ මුදලාලි සහ තැරැව්කරුවෝ මහත් උද්යෝගයකින් සරත් හමුවීමට ආවේ තෑගි බෝග පමණක් නොව ලක්ෂ ගණනක මුදල් සන්තෝසමක් ද රැගෙනය.
“මේ මොනවා ද?” සරත් විමසීය.
“අප්පොගෙ උදව් නිසා ගල නොසිතුව ගාණකට දීගන්න පුළුවන් වුණානෙ. ඉතින් අපි ආවේ අප්පොගෙ තැරැව් මුදල දීලා සුබ පතන්න.” මුදලාලි කීවේය.
“පිස්සුද උන්නැහෑ, මං කළේ මට කරන්න පුළුවන් යුතුකමක් විතරයි. මට ඔය තැරැව් සල්ලි එපා. කරුණාකර ඕවත් අරන් යන්න.” සරත් ගෙරවීය.
පේරාදෙණිය සිසු අරගලයකදී මරා දමනු ලැබු සරසවි සිසුවකු වු ඩබ්ලිව්. ඇම්. වීරසූරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි මැති සබය තුළ හා ඉන් පිටතදීත් සටන් කළේ සරත් නම් මානවවාදියාය. ශ්‍රී ලංකා සම සමාජ කොමියුනිස්ට් ආණ්ඩුවට සරත් කෙතරම් ඇප කැප වී සේවය කළත් දුර දිග නොබලා ආණ්ඩු ගන්නා තීරණවලදී තම විරෝධය පෑමට මැළි නොවීය.
71 කැරැල්ලේ චූදිතයන් සඳහාම පත් කළ අපරාධ යුක්ති විනිශ්චය කොමිසන් සභාවට තම පක්ෂයේ නියෝජිතයන් ඇතුළු සියල්ලන් අත එසවුවද සරත්ගේ තර්කය ඊට වඩා බැරෑරුම් විය. මේ පනත සදාකාලෙට බලපාන පරිදි අනාගතයේදී මේ නීති ක්‍රියාත්මක කරන අය කවුද කියලා කියන්න අමාරුයි.
ඒ නිසා මේ නීති යම් කාල සිමාවකට යට කළ යුතුයි.
නමුත් ආණ්ඩුවට මෙම නීති කඩිනමින් සම්මත කර ගැනීමට උවමනා විය. දැම්මම සම්මත කර ගන්න එපා. නැවත පනත කියවන්න කාලයක් දෙන්න. සරත්ගේ ඉල්ලීමට ආණ්ඩුව කන් නොදුන්නේය. මෙයට එරෙහි වූ සරත් මුත්තෙට්ටුවේගම ආණ්ඩුවටත් තමන් නියෝජනය කළ කොමියුනිස්ට් පක්ෂ්‍යටත් පිටුපා ස්වාධීනව පනතට එරෙහිව ඡන්දය දුන්නේය.
මෙයින් සරත්ට ආණ්ඩු පක්ෂ සාමාජිකත්වය තහනම් කෙරිණි. සමබරව කටයුතු කිරීම නිසා ධනවාදී ප්‍රචාරක මාධ්‍යය ද සරත් මුරුංගා අත්තෙහි නැංවු නමුත් කවදත් සරත් සිටියේ ජනතාවගේ පිලෙහිය.
මිණිපුර සිරිසේනයන්ගේ “තිස්වසරක සටන් ඉතිහාසය” ග්‍රන්ථය ඇසුරිනි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාඅරච්චි