මර්දනය දලුලා වැඩෙයි


වෛද්‍යවරයකු වීමට වරම් හිමිකරදෙනු ලැබූ නිදහස් අධ්‍යාපනය රැක ගැනීම වෙනුවෙන් වෛද්‍යවරයකුවීමේ සිහිනය අත්හැර අද දවසේ ජීවත්වන, හෙට දවසේ ජීවත්වන පරපුරක් වෙනුවෙන් ජීවිතය පූජා කළ සැබෑ මිනිසකු පිළිබඳ මතකය සදාකාලිකවම අප සමඟ රැඳී තිබේ.ත්‍රිමාගේ මරණයෙන් උත්පාදනය වූ ජන රැල්ලෙන් උඩට ගසාගෙන ආ ගොමරිටිය. ඔවුන් සියල්ලෝම මෙහි වග උත්තරකරුවෝය. 1988 මානව සංහාරයේ ත්‍රිමා එක් අයෙක් වුවද ඔහු ජීවිත පරිත්‍යාගයක සංකේතයක් ලෙස සියල්ලන්ටම ඉහළින් සිටියි.


ශිෂ්‍ය අරගලයට නායකත්වය දුන් සියල්ලෝම රාජ්‍ය භීෂණයේ ගිලටීනයෙන් හිස සිඳිනු ලැබුවෝය.


අ.වි.ශි.බ.ම. කැඳවුම්කරුවකු වූ මොරටුව සරසවියේ නිමල් බාලසූරිය මිය යන්නේ එම බෝම්බය පිපිරි යාම හේතුවෙනි. ඔහුගේ මරණයේ සැබෑ වග උත්තරකරුවෝ ජාතික වීරයන් ලෙස අද ජාතික දේශපාලනයේ සිටිනු දැකිය හැකියි.

 

 

“බාලසූරියගේ මරණය සිදු වනවිට අ.වි.ශි.බ.ම. ය සමඟ ක්‍රියාකාරී ශිෂ්‍ය නායකයන් අතර ඉදිරියෙන්ම සිටියේ කොළඹ වෛද්‍ය ශිෂය කමිටු නායකයන්ය. සංවිධානාත්මක දීර්ඝ අරගලයක පන්නරය ලත් අවංක, කැපවීමෙන් යුත් නායකයන් වූ ඔවුන් අතුරින් මීළඟට අ.වි.ශි.බ.ම. නායකත්වයට පත් වන්නේ වෛද්‍ය ශිෂ්‍ය වෙනුර එදිරිසිංහය. ඔහු පැහැර ගැනීමෙන් පසු භීෂණ යුගය පුරා අතුල සේනාරත්න, සිසිර ජයවර්ධන අ.වි.ශි.බ.ම. ට නායකත්වය සපයනු ලැබූහ. වෛද්‍ය ශිෂ්‍ය අරගලය සැබෑ ශිෂ්‍ය නායකයන්ට පන්නරය ලබා දුන් අව්‍යාජ ශිෂ්‍ය අරගලයක් වූ බවට සැබෑ සාක්ෂිය මෙයයි.


වෛද්‍ය ශිෂ්‍ය අරගලය අතරතුර ශිෂ්‍ය අරගලයට එක්වූ සරසවි සිසුන් වෛද්‍ය සිසුන් පාසල් සිසුන් සිය ගණනක් මේ රටේ මේ පොළොවේ නාඳුනන විරුවන්ගේ සොහොන් තුළ මිහිදන් වූයේ නිදහස් අධ්‍යාපනය හෙට දවසේ පරපුරට ඉතිරිකැර දීමටය. ඒ වෙනුවෙන් දිවි දුන් කොළඹ වෛද්‍ය පීඨයේ සිසු විරුවන් නම දෙනෙකි.


ශත වර්ෂ අඩකින් අඩකට පෙර අපෙන් උදුරාගත් ඒ උදාර මානව හිතවාදීන් වෙනුවෙන් අපේ හදවතේ උපන් සහෝදරත්වයේ මල් කළඹ පුද කරන්නේ එවැනි අභාග්‍ය සම්පන්න යුගයක් නැවත මේ පොළොව මත ඇති නොවන්නට කෙරෙන ප්‍රාර්ථනයත් සමගිනි.


විසිපස් වසරක් පුරා ජන අරගලය මඟින් පාගා දමා පසුබස්වා ඇති පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය මේ පොළොවේ පැළ කරන්නට වලි කන්නේ ජයවර්ධනගේ දේශපාලන උපාය හමුවේ කිසි කලෙක රාජ්‍ය බලය ලබා ගත නොහැකි බවට පත්කර සිටි ශිෂ්‍ය අරගලය මගින් වෙනස් කරනු ලැබු දේශපාලන බිමේ මතු වුවෝය. අධ්‍යාපනය මානව හිමිකමක් බවත් සමාජය සාමුහිකව සිදු කළ යුතු ආයෝජනයේ ඵල ජාතියේ දරුවන් තමන්ගේ දක්ෂතා අනුව නෙළා ගත යුතු බවත් වටහා නොගෙන, අධ්‍යාපනය පෞද්ගලික වෙළඳ භාණ්ඩයක් කරලීමටත් එමඟින් තමන්ගේ පරපුරේ දු දරුවන් හට තමන් විසින් සුරා ගන්නා ලද ධනයෙන් අධ්‍යාපන ඵලය ලබාදිමට උත්සහ ගන්නවුන් සමාජය නොදියුණු ගෝත්‍රික සමාජයක් බවට පත් කරලීමට වළකමින් සිටින අයුරු අද අප ඉදිරියේ සිතුවම් කැර ඇත. 


මේ සිතුවම ඉරා දමා සංවර්ධනයේ ඵල සාධාරණ ලෙස බෙදී යන, අධ්‍යාපනය සමාජ වගකීමක් ලෙස පොදු ආයෝජනයක් කර දේශයේ දරුවන්ට නිදහස් නිවහල් හෙට දවසක් උදා කැරලිය හැකි පරපුර ත්‍රිමාවිතානලා අපට ඉගැන්වු පාඩම හොඳින් අධ්‍යයනය කළ පරපුරයි.
අන්තර්ජාලයේ බ්ලොක් අඩවිය ත්‍රිමාවිතාන සොයුරා පිළිබඳව පළවී තිබුණු හෘදයංගම සටහනක් මෙලෙස උපුටා දක්වමු.


ඒ අසූ අට වසරේ මැද භාගයයි. උසස් පෙළ ලිවීමට බලාපොරොත්තු වූ වාරයයි. දිනපතා පන්ති යන්නට පාසල් යන්නට බලා සිටියද, කැලෑ ඇදිරි නීතිය නිසා ඒවා එකක් වත් කර ගත නොහැකි විය.


පන්ති ගොස් එද්දී ගෝනි බිල්ලන්ට කොටුවේ. ඒ අනෙක් විදියේ ප්‍රශ්නයකි. රෑට පාඩම් කරන්නට ලාම්පුවක් දැල්විය නොහැකියි. යන්තම් කළුවර වැටෙද්දී උයාගත් යමක් බඩට දාගන්නේ ඒ නිසායි. රාත්‍රියට දොට්ට පිලට හෝ යාමට දොරක් අරින්නේ කලාතුරකිනි. අයියා මේ වන විට කොළඹ විශ්වවිද්‍යාලයේ ගණිත අංශයේ විශේෂ උපාධිය හදාරන සිසුවෙකි.


නිතරම විශ්වවිද්‍යාලය වසා තැබීම නිසා ඒවා විවෘත කරන ලෙස ඉල්ලීම් ඉදිරිපත් කරන ලද අතර, ඒ සඳහා තැබූ රැස්වීම්වල මුල් තැන ගත්තේ අයියායි. ඊට අමතරව නිවසේ නංගී සහ මේ ලියන මා ද සිටියේය. සාමාන්‍යයෙන් රාත්‍රී අට හමාරට ගමට එන අවසාන බස් රථය අපේ ගේ ළඟ නවත්වන්නේ අපේ ගෙදරට එන කවුරුන් හෝ සිටියොත් පමණි. ඒ දින බස් රථය නැවැත් වූ අතර, අපි නිශ්ශබ්දව ගේ තුළ සිටියෙමු. ටික වේලාවකින් ගෙයි ඉදිරි දොර ශබ්ද වන හඬ ඇසුණු අතර අයියාගේ නම කියා අමතනු ඇසුණි.


තාත්තා එවෙලේ පන්සිල් ගනිමින් සිටින අතර, අයියාටඑ ඉදිරි දොර තහනම් කර තිබුණේු පැවැති අයහපත් වාතාවරණය නිසාය. මා ක්ෂයකින් ඉදිරි දොර  වෙත ගොස් එය විවෘත කරන ලදී. යම් පැහැදිලි කිරීමක් කරන ලද අතර මා අයියාගෙන් ගෙට ගොස් ඒ පිළිබඳව විමසීමි. අයියා ඉදිරියට පැමිණ ඔහුට ගෙට එන්නට ආරාධනා කළේය. ප්‍රමාණයෙන් ඉතා කුඩා කළු පැහැපත් සමකින් යුතු තීක්ෂණ දෙනෙතකින් හෙබි මේ පුද්ගලයා අපේ ගෙදර සාලයේ තබා තිබූ රතුපාට කුඩා කුෂන් පුටුවක වාඩි ගත්තේය. හේ නමින් පද්මසිරි ත්‍රිමාවිතාන නම් විය. ඉන්පසු එළැඹියේ තාත්තාගේ ප්‍රශ්න වලට පිළිතුරු දීමේ වාරයයි. නොයෙකුත් ප්‍රශ්න රාශියක් තාත්තා විසින් අසල ලද අතර ඉතා සංයමයෙන් ඒ ප්‍රශ්න වලට පිළිතුරු ලබාදෙන ලදී.


ඉන් පසු අයියා සමග ටැංකිය ළඟට ගොස් නා ෂර්ට් එක සෝදා ගෙයිම වැනූ ඔහු රාත්‍රී ආහාර ගෙන නින්දට වැටුනේය. පාන්දරින් අවදි වී යන්නට සැරසෙද්දී තාත්තා ඔහු අත මුදලක් තැබූ බව මට මතකයේ ඇත. ඒ විතරක්ද නොවෙයි දවල්ට කන්නේ නැති බව පැවසීම නිසා දවල් ආහාරයට බත් මුලක්ද බැඳ දුන්නා මට මතකයි. ඉන්පසු හැමදාමත් මේ විදියට රාත්‍රිද ඔහුගේ නවාතැන් පොල වූයේ මගේ නිවසයි. මගේ අම්මා නිතරම අසනීපයෙන් පසුවූ නිසා ගේදොර ඉවුම් පිහුම් කටයුතු කෙරුණේ මා අතිනි. මා උයන විට කුස්සියට පැමිණ මා කතාවට අල්ලා ගන්නා ඔහු හැම විටම හොඳින් ඉගෙන ගන්නා ලෙස පැවසීය. විටෙක මා පිසින කරවල කෑල්ල විශාල වැඩි බව පවසන ඔහු තවත් වේලකට එය පිරිමසා ගත හැකි බව පවසයි. හැමදාමත් දවාලට බත් මුලක් බැඳ දුන් අතර රාත්‍රියේ පැමිණි පසු ලොකු නංගියෙ අද බත් එක නම් රසයි කියා පවසයි.

 

 

 

 

 

 

 


සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්