අරාබි භාෂාවෙන් අල්ලාහ් යන පදයෙන් ගම්‍ය වනුයේ අපේ බසින් ‘දෙවියන්’ යන අර්ථය බව වටහාගත හැකිය. එහෙත් අරාබියේ වැසියන් අදහන ඉස්ලාම් ආගමේ ඉගැන්වීම් අනුව කියවෙන්නේ ලෝකයේ වෙසෙන්නේ සර්ව බලධාරිවූ එකම දෙව් කෙනෙකුන් පමණය. එම අර්ථයේ එම එකම දෙවියන් වහන්සේ අල්ලාහ් නම් වූ බව කියවේ. එසේ නොවි අල්ලාහ් යන්න පුද්ගල නාමයක් ලෙස වරදවා නොගත යුතුය. සමස්ත විශ්වයන් එහි වෙසෙන සියලුම සත්ව ප්‍රජාවද ඇතුළත් පරිසරය ද මුළුමනින්ම මවා වදාළ මෙම සර්ව බලධාරී දෙවියන් වහන්සේ විශ්වය පුරා වැඩ වෙසෙන බවත් ඔවුන් පෝෂණය කර ආරක්ෂා කරන බවත් ඉස්ලාම් භක්තිකයෝ විශ්වාස කරති. එනිසා අල්ලාහ් කආලා යන ගෞරවාන්විත නාමයෙන් ඔවුහු තම දෙවියන් හඳුන්වති.
ක්‍රිස්තු වර්ෂයෙන් වසර පන්සියයක් පමණ ගතව යන කාල වකවානුව වන විට මක්කම නගරය ප්‍රධාන කොටගත් අරාබි ප්‍රදේශයේ කුරෙෂී නම් වූ ගෝත්‍රික ජන වර්ගයක් ජීවත් වූහ. සමස්ත අරාබියම කුඩා කුඩා ප්‍රදේශවලට සීමා වූ ගෝත්‍රිකයන්ගේ වාස භූමි බවට පත්ව තිබුණි. එම ප්‍රදේශවලට බලපෑවේ ගෝත්‍රික නායකයාගේ නියමයයි. පොදුවේ සලකන කල සංචාරක එඬේරුන් වූ අරාබීන්ට ස්ථිර නිවාස හෝ දේපොළ තිබුණේ හෝ අවශ්‍ය වූවේ නැත. තම ඔටුවන් පිට පටවා ගත් බඩු කාණ්ඩ ස්වල්පය සහ කුඩාරම රැගෙන තම ගෝත්‍ර බල ප්‍රදේශය තුළ තැනින් තැනට සංක්‍රමණය වෙමින් ජීවිතය ගත කිරීමට මෙම ගෝත්‍රිකයෝ පුරුදුව සිටියහ. අරාබියට මධ්‍යම ආණ්ඩුවක් තිබුණේ නැත. මෙම ගෝත්‍ර අතර ද සමගියක් හෝ එකමුතුවක් හෝ තිබුණේ නැත. නිතරම පාහේ ගැටුම් සහ මරා ගැනීම් සිදුවිය.
මක්කම විසූ කුරේෂි ගෝත්‍රිකයෝ ද ඉතා ප්‍රචණ්ඩකාරී මනුෂ්‍ය පිරිසක් වූහ. කාන්තාරවාසී එඬේරුන්ටම උරුම වූ ආකාරයෙන් ඔවුන්ට කිසිදු අධ්‍යාපනයක් ලැබීමට පහසුකම් හෝ අවශ්‍යතාවක් හෝ තිබුණේ නැත. සංවරකමත් විනයත් ගැන දැන සිටියේවත් නැත. නිතරම අවි ආයුධ දරා සිටි මං පහරන්නෝ වූහ. මහ මග ගමන් කරන මගීන්ගේ දේපොළ පැහැර ගැනීම ඔවුන්ගේ දෛනික ආදායම් මාර්ගයක් වූවේය. සූදුව, බීමත්කම මෙන්ම දුරාචාරය ද, ස්ත්‍රී දුෂණය ද එම සමාජයේ රජ කළේය. සිතු විට ස්ත්‍රීන් විවාහ කර ගැනීමත් එපා වූ ඔවුන් අතහැර දැමීමත් අරාබි ගෝත්‍රිකයන්ගේ සුලබ සිදුවීමක් විය. වෙළඳාමෙහි යෙදෙන සුළු පිරිසක් ද මොවුන් අතර සිටියහ. ඔවුහු ධනයෙන් ආඪහ වූහ. දුප්පතුන්ට උදව් කරමින් ඔවුන්ට යහපත සැලසූ අය ද මොවුන් අතර කලාතුරකින් සිටියහ.
මෙකල අරාබියේ විසු මිනිස්සු බහු දේවවාදය පිළිගත්හ. ගස් ගල් පර්වතවලට චන්දනා මාන කළහ. එවැනි සමහර දේව මන්දිර ද නගරවල තිබුණු බව කියනු ලැබේ. අරාබිය මෙවැනි සමයක පවතිද් දී මුහම්මද් නබි තුමා උපත ලද්දේය. එතුමා මව්කුස සිටියදීම සිය පියා ජීවතුන් අතරින් සමු ගත්තේය. එසේ උපදින විටම අසරණ බවට පත්වූ මෙම දරුවාට වයස වසර හයක් වෙද්දී මෑණියෝද වියෝ වූහ. ඉන් පසු සිය මුත්තණුවන් වූ අබ්දුල් මුතාලිෆ්ගේ රැකවරණය යටතේ ජීවිතයට මුහුණ දුන්නේය. ඔහුගේ ද අභාවයෙන් පසු පියාගේ වැඩිමහල් සොහොයුරා වූ අබුතාලිෆ්ගේ භාරයට පත්වූවේය. තරුණ වියේදීත් ඉතා යහපත් ජීවිතයක් ගත කළ මුහම්මත් නබිතුමා මුල්ම යුගයේදී එඬේරෙකු වුවද පසුව එතුමා වෙළඳාමට පිවිසි බව කියනු ලැබේ. එකලදීත් අස් සාදික් (සත්‍යවන්තයා) සහ අල් අමීන් (විශ්වාසවන්තයා) යන ගෞරව නාමවලින් මහජනයා අතර ගෞරව ලැබ සිටියේය. මෙම සත්‍ය ගරුක බව නිසාම ඉතා ධනවත්, වෙළඳ ව්‍යාපාර හිමිකාරියක වූ කදීජා නම් වූ කාන්තාව සමග විවාහ දිවියට පත්වීමට මෙතුමාට වාසනාව අත්විය.
පිළිම වන්දනාව, වංක බව, මිනී මැරීම, සූදුව මංකොල්ලකෑම, සුරා පානය, නපුරුකම හා දුරාචාරය ආදී දුසිරිත් එදා අරාබි සමාජයේ පැතිරී තිබීම දුටු නබි (සල්) තුමාණෝ බොහෝ සේ සිත් වේදනාවට පත් වූහ. සමාජය මේ තත්ත්වයෙන් මුදවාගෙන යහපත් මිනිස් ප්‍රජාවක් බවට වෙනස් කරනු සඳහා මගක් ගැන සිතමින් හුදකලාව විසීම එතුමාගේ සිරිත විය. මේ සඳහා මක්කම නගරයට සැතපුම් තුනක් පමණ දුරින් පිහිටි හීරා නම් ගල්ගුහාවට යාම පුරුද්දක් කර ගත්තේය. මෙසේ හුදකලාව සිතුවිලි සයුරේ නිමග්නව සිටින නබිතුමා හමුවට පැමිණි අල්ලා තආලා, තමාගේ වහියු නමැති දේව වාක්‍යය නබිතුමාට ප්‍රදානය කළේය. මෙසේ වසර තුනක් මුළුල්ලේ අල් කුරානයේ සියලුම ධර්ම පාඨ නබිතුමා මගින් අල්ලා නවාලා විසින් ලෝකයට දානය කරන ලදී. මේ බව දැනගත් නබිතුමාගේ ආදරණීය බිරිය වූ කදීජා මව්තුමිය ඉස්ලාම් දහම වැලඳ ගත්තාය. මෙම දහම වැලඳගත් ප්‍රථමයා වශයෙන් ඉතිහාසයට එක්වෙන්නේ එතුමියයි. ඉස්ලාම් ඉගැන්වීම් සහ නබිතුමාගේ දූතභාවය පිළිගත් ඊළඟ පුරෝගාමීන් වන්නේ එතුමාගේ මෙහෙකරු වූ සෙයිද් පියාගේ සොහොයුරාගේ පුත් අලි ඉබ්නු අබුතාලිබ් හා හිතවත්ම මිතුරා වු අබුබකර් යන අයයි.
මෙම නව ධර්මය ගැන ඇසු කුරේෂි ගෝත්‍රිකයේ ඉමහත් කෝපයට පත්වූහ. එම නිසා නබිතුමාට ඉතා රහසිගතව තම කටයුතු කරගෙන යාමට සිදුවිය. වසර තුනක්ම මෙසේ ඉස්ලාම් ධර්මය ප්‍රචාරය කිරීම සිදු කළද නබිතුමාට එරෙහිව කුරේෂිවරු යුද වැදුනහ. මෙම අවධියේදීම ප්‍රසිද්ධියේ ඉස්ලාම් දහම ප්‍රචාරය කරන ලෙස අල්ලාහ් තආලාගෙන් නබිතුමාට අණ ලැබුණු බව ඉස්ලාම් ග්‍රන්ථවල සඳහන් වේ. අල්ලාහ් තආලා කෙරෙහි මහත් බැඳීමකින් සිටි නබිතුමා තම ආගම් ප්‍රචාරය කිරීම නොනැවැත්වූවේය. කෝපයට පත් කුරේෂිවරු ඉස්ලාමය වැලඳගත් අයට මහත් හානි සිදු කළහ. එනිසා නව දහම වැලඳ ගත් මුස්ලිම්වරු බොහෝ දෙනෙක් අසල්වැසි රටක් වූ ඇබිසීනියාවට පලා ගියහ. මෙම පීඩාවන් විඳ දරාගැනීමට අපහසු වූ නිසාත් ඉස්ලාමය ආරක්ෂා කර ගැනීමටත් අවශ්‍ය වූ නිසාත් මහම්මත් නබි (සල්) තුමාත් මක්කම වාසය අතහැර වෙනත් නගරයකට පලා ගියේය. එය වර්තමානයේ හැඳින්වෙන්නේ මදීනා නමිනි. එදා එහි සිටි වැසියෝ මහත්මත්තුමා ගෞරවයෙන් පිළිගෙන ඉස්ලාමය වැලඳගෙන එතුමාට බොහෝ උපකාර කළහ. පසු කලෙක මක්කම නගරයේ ජනතාව ද ඉස්ලාම් ආගම පිළිගන්නා ලද බැවින් නබි (සල්) තුමා ආපසු එම නගරයට පැමිණියේය. එය මූලස්ථානය බවට ද පත් විය. ඒ අනුව නබි (සල්) තුමාට දෙආකාර නායකත්වය හිමිවූ බව පැහැදිලිය. එනම් ඉස්ලාම් ආගමේ නායකත්වය සහ එය බලපවත්වන බලා ප්‍රදේශවල ලෞකික රාජ්‍ය නායකත්වයයි. ලෞකික රාජ්‍ය නායකත්වය හඳුන්වන ලද්දේ කලීෆා ධුරය වශයෙනි. කලීෆා හෙවත් කාලිෆ් ධුරය මුස්ලිම් අධිරාජ්‍යය පාලනය කරන අධිරාජයා යන අර්ථයෙන් වටහා ගැනීම සුදුසු වේ. මෙම තනතුර දැරූ මුල්ම නායකයා ලෙස සඳහන් වන්නේ මහම්මත් නබි (සල්) තුමාය.
කුරෛෂිවරුන්ගේ විරෝධතා සහ යුද සටන් නිසා මක්කම අතහැර මදිනා නුවරට මහම්මත් නබි (සල්) තුමා නික්ම යාම හිජ්රාත් නම් අරාබි වචනයෙන් හඳුන්වනු ලැබේ. එය මිනිස් ඉතිහාසය වෙනස් කළ විශේෂ සිදුවීමක් ලෙසද සමහර විචාරකfාය් හඳුන්වති. එතැන් සිට ඉස්ලාම් ධර්මයේ පැතිරීම ආරම්භ වූ බව සලකන කල්හි එදා පැවති ගෝත්‍රික සමාජ මානසිකත්වයට සාපේක්ෂව විශාල සමාජ පරිවර්තනයක් සිදුවූ බවද ඔවුහු පවසති. මෙම හිජ්රත් නික්ම යාමෙන් අවුරුදු හතකට පසු නබිතුමා විජයග්‍රාහී ලෙස මක්කමට ආපසු පැමිණියේය. ඒ මක්කම නායකයා වශයෙනි. එසේ පැමිණීමට පෙර එතුමා ලෝකයේ වෙසෙන්නේ එකම දෙවි කෙනෙකු බවත් තමා එම දෙවියන්ගේ එකම දූතයා බවත් පිළිගන්නා ලෙසත් ලෝකයේ සියලුම බලවත් අධිරාජ්‍යන්ට දැනුම් දුන් බව කියවේ. නැගෙනහිර රෝම අධිරාජයා වූ තුර්කියේ හැරැක්ලියස්ට මෙම පණිවුඩය ලැබුණේ පර්සියන් අධිරාජ්‍යයට විරුද්ධව සිරියාවේ යුද්ධ කරමින් සිටියදීය. පර්සියානු අධිරාජයාටත් එම ලියමන ලැබුණි. ආත්ම ශක්තියෙන් හා ආත්ම විශ්වාසයෙන් යුතුව තම ජනතාව ධෛර්යමත් කළ පුරුෂයා මෙම අධිරාජ්‍ය දෙකම තම වසඟයට ගත්තේය. දුර ඈත කාන්තාරවල ඇති මහත් ලෙස දුක් විඳිමින් සිටි ජනතාවට ලෝකයෙන් අඩක් පමණ අත්කරදීමට තරම් නායකත්වයක් දීමට මහත්මහත් නබිතුමා සමත්විය.
ක්‍රිස්තු වර්ෂ 632 දී සිදුවූ හිජ්රත් හෙවත් නික්ම යාමෙන් වසර දහයකට පසු නබිතුමා පරලෝසැපත් විය. එයින් පසු කලීෆා තනතුරට පත්වූයේ එතුමාගේ සමීපතමයෙකි. අබුබකර් ඉස්ලාමය වැළඳගත් දෙවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටියි. හිජ්රා ගමනේ දී වරක් නාගයෙකු නබිතුමාට දෂ්ට කිරීමට පැමිණි විට නබිතුමන් ආරක්ෂාකර ගැනීම සඳහා තම පාදය නයාට දිගු කළ බව කියවේ. එතරම් ගෞරවයෙන් සහ විශ්වාසයක් ඇතිව සිටි මෙම හිතෛෂිවරයා එතුමාගේ අනුප්‍රාප්තිකයා වීම විශේෂත්වයකි.
ඉන්පසු කලීෆා තනතුරට පත්වූවේ ඔමර් නම් නායකයාය. තුර්කි අධිරාජ්‍යය සහ පර්සියා අධිරාජ්‍යද ජය ගැනීම නිසා ඔවුන්ට අයත්ව පැවති ජෙරුසලම දක්වා පලස්තීනයද මුස්ලිම්වරු දිග්විජය කළහ. ක්‍රිස්තියානි සහ යුදෙව් යන ආගම් දෙකේම නිජබිම වූ ජෙරුසලම අරාබි පාලනයට නතුවීමද සදාකාලික දේශපාලන ආරවුලකට මග පෑදුනු බව කියනු ලැබේ. මෙ අනුව සිරියාව, ඉරාකය. පර්සියාව (ඉරානය) සහ පලස්තීනය ද අරාබි අධිරාජ්‍යයේ කොටස් බවට පත්විය.
ඉස්ලාම් ධර්මයේ ආශ්වාදයෙන් ප්‍රබෝධමත්ව සිටි අරාබීහු රටවල් අල්ලා ගනිමින් පෙරටම ගමන් කළහ. අර්මේනියාව, මිසරය ආදී රටවල් ද තමනට නතු කරගත් අරාබිහු අප්‍රිකාවේ උතුරු දිගටද නෙත් හෙළාගෙන සිටියෝය. සමහර රටවල් යුද්ධයකින් තොරවම මුස්ලිම් රටවල් බවට පත්විය. නැගෙනහිරින් ඇෆ්ගනිස්ථානය, මොන්ගෝලියාව දක්වාත් උතුරු අප්‍රිකාවේ මොරොක්කෝව දක්වාත් මුස්ලිම් රටවල් බවට පත්විය. එයිනිදු නොනැවතී පෙරට ගිය අරාබිහු මධ්‍යධරණී මුහුද තරණය කර ස්පාඤ්ඤය නමැති බලගතු රටද තම අණසක යටතට ගත් බව කියවේ. ඉන් පසු ප්‍රංශයටද පහරදී එයින් කොටසක්ද අල්ලා ගැනීමට සමත් වූහ. යුරෝපය අරාබි ආක්‍රමණයෙන් බේරා ගැනීමට ඒකාබද්ධ හමුදාවක් ගොඩ නගාගත් අතර චාල්සි මාටෙල් නම් සෙන්පතියකු යටතේ යුද වැදී ප්‍රංශයේ ටුවර්ස් නම් රණබිමේ දී අරාබි හමුදාවන් ආපසු හැරවීමට සමත් විය. නැගෙනහිර දෙසින් මොංගෝලියාවේ සිට ස්පාඤ්ඤය දක්වා විශාල භූමි ප්‍රදේශයක් අරාබි පාලනයට ඇතුළත්ව තිබුණි. මේ වනවිට ක්‍රිස්තු වර්ෂ 732 වසර විය. කෙසේ වුවත් ප්‍රංශය අල්ලා ගැනීමට ඔවුන්ට අවස්ථාව නොලැබුණි. මේ සියලු ජයග්‍රහණ අත්පත් කර ගැනීමට නායකත්වය දුන්නේ කාලිෆ්වරුය. මහමත් නබිතුමාගෙන් පසු කාලිෆ් පදවියට පත් අබුබකර් ඔමර් යන නායකයෝ මෙම අධිරාජ්‍යය ගොඩනැගීම සඳහා මහත් කැප කිරීමක් සිදු කළහ. ඉන්පසු මෙම සුවිශාල අධිරාජ්‍යයේ කාලිෆ් පදවිය ලැබුණේ මහම්මත් නබිතුමාගේ දියණිය වූ පාතිමා කුමරියගේ සැමියා වූ අලි වෙතටය. ඉන්පසු ඔහුගේ පුතුන් දෙදෙනා වු ඉමාම් හසන් සහ ඉමාම් හුසෙන් යන දෙදෙනාටය. මෙම හුසේන් කලීෆා ධුරයේ කටයුතු කරද්දී ඇතිවුණු මහභේදයක් නිසා ෂියා සහ සුන්නි යනුවෙන් භේදයක් හටගත් බව ඉතිහාසයේ සඳහන් වෙයි. ඉරාකයේ කර්බලා මිටියාවතේදී යුද්ධයක් දක්වා වර්ධනය වූ බව කියන මෙම භේදය මුස්ලිම් ජනසමාජයේ අද දක්වාම නොයෙක් දේශපාලන අර්බුද ඇති කරවමින් මෝරා යන අවස්ථා දැකගත හැක.
ආරම්භයේදී මක්කම නගරය කාලිෆ් අධිරාජ්‍යයේ මූලස්ථානය ලෙස පැවතියද පසු කලකදී එය සිරියාවේ දමස්කස් නගරයටත් තවත් පසු කාලෙකදී ඉරාකයේ බැග්ඩෑඞ් වෙතටත් ගෙන යන ලද බව කියවේ. මහම්මත්තුමාගේ යුගයේදී පැවති චාම් සහ සරල දිවි පැවැත්ම මෙන්ම ආගමානුකූලව බවින් දුරස්ව අනෙක් අධිරාජ්‍යවල පවතින ආකාරයෙන් සුර සැප විඳින රජවරු පන්තියක් කාලිෆ් ධුරයටද පත්වූ බව සමකාලීන ඉතිහාසයේ දැක්වේ. විශාල රාජ මන්දිර තැනීම සැප සම්පත් ආදිය පරිහරණය බහුල විය. හරුන් අල් රෆීඞ් වැනි කාලිෆ්වරු එබඳු වූහ. සමාජය ක්‍රමයෙන් වෙනස් වී ගියේය. ලෝකයේ සෑම දෙයක්ම වෙනස්වන සුලු බව අපි දනිමු. වෙනස් නොවන එකම දෙය නම් වෙනස්වීම බවද එසේම දැන සිටිමු. මුස්ලිම් අධිරාජ්‍යයට ද එවැනි කල දසාවක් ලැබුවක් වැන්න. කලක් තිස්සේ අර්බුද මතු වෙමින් තිබුණි. ඉස්ලාම් ධර්මය අදහන රටක් වූ මොන්ගෝලියාවෙන් ප්‍රබල සතුරෙක් පැන නැංගේය. ඔහුගේ නාමය ජෙංගිස් ඛාන් නම් විය. ඈත කඳුකරයේ මොන්ගෝලියාවේ සිට පැමිණි ජෙන්ගිස් ඛාන් නමැති මුස්ලිම් භක්තික රණශූරයා අරාබි තැනිතලාව හරහා ඉරාකයේ බැග්ඩෑඞ් නුවර දක්වා ගොස් ලෝකයේ විස්මයක් බඳු වූ එම මනරම් පුරවරය අළු ගොඩක් බවට පත් කළ බව කියනු ලැබේ.
ක්‍රිස්තු වර්ෂයෙන් සියවසක් ඉක්ම ගිය පසු ලෝකය සම්පූර්ණයෙන්ම විනාශ වන්නේ යැයි එම භක්තිකයන් අතර තරයේ මුල් බැසගෙන තිබුණු මතයක් විය. එනිසා එම වකවානුව ළං වෙද්දී භීතියෙන් යුතු වූ ලොව පුරා වෙසෙන ක්‍රිස්තු භක්තිකයෝ පිං රැස්කර ගැනීම පිණිස බොහෝ සෙයින්ම වන්දනා මානයෙහි යෙදුනහ. තමන්ගේ ශාස්තෘවරයාණන් වූ යේසුස් ක්‍රිස්තුස් වහන්ස් උපත ලැබු ජෙරුසලම වන්දනා කිරීම ඒ මොහොතේ කළ යුතු හොඳම උපාය මාර්ගය ලෙස ඔවුහු වටහාගෙන සිටියහ. එනිසා ලක්ෂ සංඛ්‍යාත වූ ක්‍රිස්තු භක්තිකයෝ යුරෝපයේ සිට ජෙරුසලම පිහිටි පලස්තීනය බලා ගමන් ඇරඹූහ. මේ වනවිට පලස්තීනය පාලනය කරනු ලැබුවේ මුස්ලිම් ජනවර්ගයට අයත් තුර්කි ජන කොටසකි. ඔවුහු නොයෙකුත් ක්‍රම උපයෝගී කර ගනිමින් මෙම වන්දනාකාර කිතුනුවන්ට බොහෝ හිරිහැර කරදර කළහ. එනිසා මෙම යුරෝපීය ජනයාට ජෙරුසම වැඳ පුදා ගැනීමේදී බොහෝ දුක් ගැහැටවලට මුහුණ දීමට සිදුවිය. මෙයින් කෝපයට පත් ක්‍රිස්තියානි අධ්‍යාත්මික නායක පාප්තුමාණෝ තම සියලුම රාජ්‍යවල රජවරුන් සහ අධිරාජ්‍යයන් වෙත ආඥාවක් නිකුත් කරමින් තම පූජනීය නගරය වන ජෙරුසලම බේරා ගැනීම සඳහා ශුද්ධ වූ යුද්ධයක් ආරම්භ කරන ලෙස නියමයක් කරන ලදී. එම යුගයේ සියලු ක්‍රිස්තියානි රටවල රජවරුද අධිරාජයෝද පාප් වහන්සේ නියෝගයක් කඩ කළ නොහැකි අන්දමින් යටත් පහත්ව බැඳී සිටියහ. එකල පාප් වහන්සේගේ දේශපාලන බලය එතරම් ශක්තිමත් විය. ඒ අනුව 1095 දී යුරෝපා අරාබි හමුදාවෝ පලස්තීනයේදී මුහුණට මුහුණ ගැටී මහා යුද්ධයකට අවතීර්ණ වූහ. වසර පනහක් පුර පැවති මේ මහා යුද්ධය කුරුස යුද්ධ යනුවෙන් සඳහන්වේ. පලස්තීනය මුළුමනින්ම මිනිස් රුධිරයෙන් තෙත් කළ මෙම කුරුස යුද්ධයෙන් ජය ගත්තෙක් නොවීය. ජෙරුසලම තවත් බොහෝ කාලයක් ඉස්ලාම් භක්තිකයන් සතුවම පැවැතුනි. එංගලන්තයේ රිචඞ් රජු යුද පිටියේම සිටිමින් යුරෝපීය හමුදාව මෙහෙයවූ අතර පසුකාලීනව අරාබි හමුදා මිසරයේ සුල්තාන් සල්ඛින් නායකත්වය දුන් බව ඉතිහාසයේ දැක්වේ.
මෙවැනි ලේ වැගිරීම් සහ මත ගැටුම් ඔස්සේ ඉතිහාසය ගලා ගියේය. මධ්‍යධරණි මුහුද සහ රතු මුහුද යා කෙරෙමින් තනන ලද සුවස් ඇළ හැර වෙනත් සුවිශේෂී සම්පත්වලින් තොරව මැද පෙරදිග සංස්කෘතින් සභ්‍යත්වයන් සහ සාහිත්‍ය කලාවන් ආදී ජාතික වටිනාකම් පොළවට පස් වී ගියේය. වටිනා සම්පත් වලින් තොර වාලුකා තලයක් වූ බැවින් අරාබිය බටහිර ධනවතුන්ගේ අවධානයට යොමු වූ රාජ්‍යයක් වුවේ නැත. එහෙත් 1900 වසර උදාවන විට මෙම අඳුරු පසුබිම වෙනස් වෙමින් තිබුණි. ඉස්ලාම් ධර්මයේ නිජබිම ලෙස සැලකෙන මක්කම වන්දනාවේ පැමිණෙන දස දහස් ගණන් වන්දනාකරුවන්ට පූජනීය වූ මක්කම මදීනා ශුද්ධ නගර මෙන්ම ජෙඩා වරාය ද ඇතුළු විශාල භූමි ප්‍රමාණය අයත් වූ හෙජාස් නම් රට පිහිටියේය. එයට නැගෙනහිරින් පර්සියානු බොක්ක (ගල්ෆ්) දක්වා මහා තැනිතලාව නම් කෙරුණේ නෙජ් රාජ්‍යය වශයෙනි. මෙම බෙදීම් දෙකට අයත් අරාබිය යන ප්‍රදේශය අද වනවිට සෞදි අරාබිය යනුවෙන් සිත තබා ගැනීම ඔබට පහසුවක් වනු ඇත.
පළමුවැනි ලෝක සංග්‍රාම අවස්ථාවේ දී (1914 - 1918) අරාබිය බි්‍රතාන්‍ය කූට උපක්‍රමවලට හොඳ මධ්‍යස්ථානයක් විය. නොයෙක් අරාබි නායකයන්ට අල්ලස් දීමට බි්‍රතාන්‍යයේ මුදල් වැපුරූහ. එවකට කලාපයේ බලවතා හා බි්‍රතාන්‍යයට එරෙහිව යුද වැදුණු පිලේ බලවෙතකු වූ තුර්කියට විරුද්ධව කැරැල්ලක් මෙහෙයවීම සඳහා මෙම මුදල් යෙදවූහ. එපමණක් නොව යුද ජයග්‍රහණයෙන් පසු ලබාදෙන ත්‍යාග හැටියට නොයෙක් දේ පොරොන්දු වූහ. මේ වනවිට මක්කම ඇතුළු හෙජාස් රාජ්‍යයේ පාලකයා වූවේ ඉබන් සවුද් අල් අසීස් නම් කුමරුවාය. එම රාජ්‍යයේ තවත් ප්‍රබලයෙක් සිටියේය. ඔහු ෂෙරීප් හුසේන් නම් නායකයෙකි. මහමත් නබිතුමාගේ පරම්පරාවෙන් පැවතෙන්නෙකැයි පවසමින් සිටි ඔහුගේ එම ප්‍රකාශය බොහෝ දෙනා විශ්වාස කළහ. එනිසා ඔහු අරාබියේ ජනප්‍රිය නායකයෙක් විය. තුර්කි පාලනය මෙම කලාපයේම ස්ථාවරව පැවති නිසා ඔවුන් දුර්වල කිරීමට බි්‍රතාන්‍යයෝ මෙම නායකයන් දෙදෙනාටම කප්පම් ගෙවූහ. හෙජාස් සහ නෙජ් යන රාජ්‍යයෙන් දෙක එක්කොට එහි රජකම ෂෙරීප් හුසේන්ට දෙන බවට ඔවුහු පොරොන්දුවක් දුන්හ. එනිසා ඔහු තම නොවක් සහාය බි්‍රතාන්‍යයන්ට ලබා දුන්නේය. එයට හිලව් වශයෙන් ෂෙරීෆ් හුසේන්ගේ වැඩිමහල් පුත්‍රයා වූ අබ්දුල්ලාට ජෝර්දානයේන් (එවකට ට්‍රාන්ස් ජෝර්දානයේත් අනෙක් පුත්‍රයා වන පයිසාල් කුමරුට සිරියාවේ රජකමත් බි්‍රතාන්‍යයන් විසින් ලබාදෙන ලදී. ඉරාකයේ ජනතාව එම පත්කිරීමට එරෙහිව බලවත් ලෙස උද්ඝෝෂණය කිරීම නිසා ඔහු සිරියාවේ රජු ලෙස පත්කළ බවත් ඉතිහාසයේ සඳහන්ව තිබේ. මෙම අවධියේ හෙජාස් රටේ පාලකයා වශයෙන් කටයුතු කළ ඉබන් සවුද් කුමරු ඉතා ඥානාන්විතව සහ උපක්‍රමශීලිව කටයුතු කර යාබද නෙජ් රාජ්‍යය ද ඒකාබද්ධ කොටගෙන වර්තමාන සවුදි අරාබි රාජ්‍යයේ රජු වශයෙන් ප්‍රකාශයට පත් කළේ 1926 වසරේදීය. තෙල් සම්පත් සොයා ගැනීමෙන් මැද පෙරදිග කලාපයේ වටිනාකම බොහෝ සෙයින් ඉහළ ගියේය. එනිසාම ලෝක අවධානය වර්ධනය වූවක් තෙල් නිසා ගලා ආ ධනයෙන් ඉසුරුමත් බවට ද පැමිණියේය. සවුදි අරාබිය කුවේටය බහරේනය ඕමානය කටාර් රාජ්‍යය එක්සත් අරාබි එමීර් රාජ්‍යක මිත්‍ර රාජ්‍ය හයෙන් සමන්විත ගල්ෆ් රාජ්‍ය පද්ධතිය කලාපයේ පමණක් නොව සමස්ත ලෝකයටම අතිමහත් බලපෑමක් ඇති කළ හැකි ආර්ථික හා දේශපාලන බලයෙක් ගොඩනගා ගත්තේ ඒ ආකාරයටය. එමෙන්ම මහම්මත් නබිතුමාණන්ගේ සිටම පැවත ආ කාලිෆ් තනතුර 1924 දී තුර්කි පාර්ලිමේන්තුව විසින් අහෝසි කර දමන ලදී.
මැද පෙරදිග ත්‍රස්තවාදයට අදාළව ලියවෙන මෙම ලිපියට එයට බොහෝ සෙයින්ම ඉවහල් වූ සාධකයක් වුණ පලස්තීනයට දෙකට බෙදා ඊශ්‍රායලය නම් වූ යුදෙව් රාජ්‍යයක් බිහිකිරීමට බි්‍රතාන්‍යය සහ ඇමරිකාව ප්‍රමුඛ බටහිර කඳවුර සිදු කළ කාර්යභාරය සඳහන් කළ යුතුමය. ක්‍රිස්තු උපත සිදුවන යුගයේ පලස්තීනයේ යුදෙව් ජනයා වාසය කළ බවත් පසුකාලීනව ඔවුන් ලොව පුරා විසිර ගිය බවත් පැරණි වෘත්තාන්තයන්හි දැක්වේ. දෙවියන් වහන්සේ විසින් ඔවුනට පොරොන්දු වූ දේශයක් ඇතැයි යන විශ්වාසය මත ඔවුහු තමන් වෙනුවෙන් රටක් ඇති වනතුරු බලා සිටියහ. ලෝක ජනගහනය අනුව සලකන විට යුදෙව්වන් ඉතා සුළු ජන සංඛ්‍යාවක් වුවද ඔවුහු ඉතා බලවත් ආර්ථික ශක්තියකින් යුත් ජන කොට්ඨාසයක් වූහ. ඉහළම පන්තියේ ධන කුවේරයෝ යුදෙව්වෝ වූහ. යුදෙව් ජාතික කර්මාන්ත හිමියෝ ව්‍යාපාරිකයෝ බැංකුකරුවෝ යුරෝපයේ බොහෝ රටවලත් ඇමරිකාවේත් බහුල වූහ.
පළමුවැනි ලෝක මහා සංග්‍රාමයේ උග්‍රම අවස්ථාව වනවිට බි්‍රතාන්‍යය උග්‍ර ආර්ථික අර්බුදයකට මැදිවී සිටියේය. ඔවුන්ට යුද්ධය තවදුරටත් කරගෙන යාම සඳහා මුදල් සොයා ගැනීමේ අවශ්‍යතාව බරපතළ ලෙස දැනී තිබුණේය. ඒවා ලබාගත යුතුව තිබුණේ යුදෙව් බැංකුවලින් සහ ව්‍යාපාරික ධනවතුන්ගෙනි. ඔවුන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට මෙන්ම තම අවශ්‍යතාව ඔටෝමන් සපුරා ගැනීමට ද උපාය මාර්ගයක් වශයෙන් දේශපාලන නිවේදනයක් නිකුත් කරමින් පලස්තීනයේ යුදෙව් රාජ්‍යයක් පිහිටුවීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් එකඟ බව කියා සිටියේය. ඒ වනවිටත් නැගෙනහිර යුරෝපයෙන් විශාල යුදෙව් ජාතිකයෝ පිරිසක් පලස්තීනයට සංක්‍රමණය වී තමන්ට වෙනම රාජ්‍යයක් අවශ්‍ය බවට හඬ නගමින් සිටියහ. ඔවුන් සහ එහි පදිංචිව සිටින අරාබි වැසියන් අතර නිරන්තර ගැටුම් ඇතිවෙමින් තිබුණි. යුදෙව් ජාතිකයන්ට පලස්තීනයෙන් කොටසක් ලබාදී වෙනම රටක් ලබාදීම යනු තමන්ට මරු පහරක් බව ඔවුහු දැන සිටියහ.
යුද්ධය අවසානයේ ඔටෝමන් තුර්කි අධිරාජ්‍ය විනාශයට පත් වූ අතර එය සතුව තිබූ බොහෝ රටවල් බි්‍රතාන්‍ය අධිපතිත්වය යටතට පත්විය. එයින් එක් රටක් වූවේ පලස්තීන රාජ්‍යයයි. එවකට තිබුණු ජාතීන්ගේ සංගමයේ අනුමැතිය ඇතිව ආරක්ෂක බලය සහිතව අධිකාරි පත්‍රයක් මගින් ආරක්ෂිත රාජ්‍යයක් වශයෙන් බි්‍රතාන්‍යයට භාරදෙන ලදී. මේ කාලයේ දී රුසියාවේ සහ වෙනත් නැගෙනහිර යුරෝපයේ රටවල සිට යුදෙව්වෝ දහස් ගණනින් පලස්තීනයට නොකඩවා ගලා එමින් සිටියහ. බලගතු යුදෙව් ජාත්‍යන්තර සංවිධාන ඔවුනට ආර්ථික ආධාර සැපයුවේය. වැඩි මිල ගෙවා ඔවුහු යුදෙව්වන්ට ඉඩම් හා නිවාස ලබා දුන්හ. මේ කාලය වනවිට පලස්තීන අරාබිහු නිදහස ඉල්ලා සටහන් ආරම්භ කළහ. අරාබි මුස්ලිම්වරු සහ ක්‍රිස්තියානුහුද එක්ව නිදහස ඉල්ලා සටනට පිවිසි නමුදු යුදෙව්වෝ නිදහස ලබා දීමට විරුද්ධව බි්‍රතාන්‍යයන්ට සහාය දුන්හ. පෙර සඳහන් කළ බැල්ෆර් ප්‍රකාශනය මගින් වෙනම යුදෙව් රාජ්‍යයක් පිළිගන්නා බව පැවසීම ඔවුනට සහනයක් විය. බෙදා පාලනය කිරීමේ අධිරාජ්‍යවාදී උපක්‍රමය අනුව කටයුතු කරමින් අරාබි යුදෙව් ජනවර්ග දෙක හප්පා තමන්ගේ බලය රැක ගැනීමට ඔවුහු ක්‍රියා කළහ. දෙවැනි ලෝක යුද්ධයේ දී හිට්ලර්ගේ ගෑස් කාමරවල දස දහස් ගණන් යුදෙව්වෝ ඝාතනයට ලක්වූහ. පෝලන්තය, හංගේරියාව, චෙකොස්ලෝවේකියාව ආදී රටවල ඉතිරි වී සිටි යුදෙව්වෝ ද පලස්තීනයට ක්‍රමයෙන් සංක්‍රමණය වෙමින් සිටියහ.
ඇමරිකාවේ සහ බි්‍රතාන්‍යයේ උවමනාව පරිදි පලස්තීනය දෙකට බෙදා එක් කලාපයක් අරාබින්ට ද අනෙක් කලාපය යුදෙව් ජනයාටද පවරා දෙන ලදුව දෙවනුව කී යුදෙව් රාජ්‍යය ඊශ්‍රායලය නමින් ප්‍රකාශයට පත්විය. මෙසේ ඊශ්‍රායලය නමින් 1948 ප්‍රකාශයට පත්වූ රාජ්‍යයේ කලින් පදිංචිව සිටි අරාබි මුස්ලිම් ජනතාව අනාථ කඳවුරු රැසක ගාල් කරන ලද අතර මෙම දස දහස් සංඛ්‍යාත පිරිස රටක් දේපොළක් හෝ නිජබිමක් නැති අසරණ පිරිසක් බවට පත් විය. ඔවුහු කෝපයෙන් යුතුව දිවි ගෙවූහ. ඔවුන්ට සිදුවූ අසාධරණය ගැන වගකිවයුතු පාර්ශ්වයන්ට කොනෙක් කරුණු ඉදිරිපත් කළද දේශපාලන බලය නිසා සියල්ල නිරර්ථක විය.
එක්සත් ජාතීන්ගේ සංවිධානය ද මේ පිළිබඳව අනුගමනය කළේ නිහඩ පිළිවෙතකි. වෙනත් කිසිදු විකල්පයක් නොමැති තැන මෙම පලස්තීන අනාථයෝ ඊශ්‍රායලයට රිදවීමට සහ පළිගැනීමටත් තම නිජබිම දිනාගැනීමත් යන කරුණු වෙනුවෙන් අවි අතට ගැනීමටත් ත්‍රස්තවාදී මගට යොමුවීමටත් ඔවුන්ට සිදුවිය. තමන්ට රටක් සහ නිදහස පිළිබඳ අරගලය සඳහා විවිධ මතධාරී කණ්ඩායම් බහුල වශයෙන් බිහි විය. මේවායේ සටන් ක්‍රමය වූවේ ත්‍රස්තවාදයයි. එමගින් ලෝක අවධානය දිනා ගැනීමත් එමගින් තම අරමුණ ඉටුකර ගැනීමත් ඔවුන්ගේ අභිප්‍රාය විය. යසර් අරපත් නායකත්වය දුන් අල් පාටා සංවිධානය ඉන් ප්‍රබලම සංවිධානය විය.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප අන්තර්ජාලයෙනි