මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් සරණ මංගල්‍යය


 

සිංහල මහා සභාවේ 24 වැනි ශාඛාව සබරගමුවේ බළංගොඩදී ආරම්භ කිරීමටත් බළංගොඩ ගම්සභාවේ කටයුතු පිරික්සීම සඳහාත් නිල ගමනක් සංවිධානය කළ නානායක්කාර මහතා මනාල මහතෙකු කැඳවාගෙන එන බැවින් අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මනාලියගේ දෙමාපියන්ට දැනුම් දුන්නේය. බළංගොඩදී සිදු කිරීමට නියමිතව තිබූ නිල කටයුතු අවසන් වූ පසු නානායක්කාර මහතා ඇමැතිවරයාට කීවේ මනාලියක් බැලීම සඳහා කිට්ටු ස්ථානයකට යා යුතුව තිබෙන බවයි.


බණ්ඩාරනායක මහතා ද එයට එකඟවීමෙන් පසු ඔවුහු බළංගොඩ මහවලතැන්න වලව්ව බලා පිටත් වූහ. මහනුවර මහයියාව වලව්වේ බාන්ස් රත්වත්තේ තරුණ මහතා බළංගොඩ මහවලතැන්න දිසාවගේ එකම දියණිය හිල්ඩා කොන්ස්ටන්ටයින් කුමාරිහාමි මෙනවිය සමග විවාහ වී බළංගොඩ පදිංචි වූ අතර මාමණ්ඩියගේ අභාවයෙන් පසු දිසාවේ තනතුරට ද පත්වූවේය. මෙම යුවළගේ වැඩිමහල් දියණිය වූ සිරිමාවෝ යුවතිය මේ බැලීමට ගිය මනාලිය වූවාය. දිසාවේ මහතා සහ පවුලේ අප විසින් සාදරයෙන් පිළිගනු ලැබූ ඇමැතිවරයා සඳහා උසස් අන්දමේ දිවා භෝජන සංග්‍රහයක් ද සූදානම් කර තිබුණි. චාරිත්‍රානුකූලව මනාලිය විසින් බුලත් හෙප්පු පිළිගැන්වීම සිදු වූ අතර දිවා ආහාරය ගැනීමෙන් පසු ඇමැතිවරයා තම සගයා ද සමඟ ආපසු කොළඹ බලා පිටත් වූහ. මෙසේ එන ගමනේදී නානායක්කාර මහතා විමසුවේ “මනාලිය ගැන ඇමැතිවරයාගේ අදහස කුමක්ද?” කියාය ඔහු පිළිතුරු දුන්නේ “මම ඒ දැරිවිව බැඳ ගන්න ඕනෑ” යනුවෙනි.


ඉන් පසු වැඩිහිටි ඥාතීන් මුණ ගැසී සිදුවූ සාකච්ඡා, නම් ප්‍රසිද්ධ කිරීම ආදී නොයෙකුත් චාරිත්‍ර ආදියෙන් පසු විවාහ මංගල්‍යය 1940 ඔක්තෝබර් 03 වැනි දිනට යොදා ගනු ලැබුණි. ඒ පිළිබඳව ආරාධිතයන්ට ලැබුණ මංගල ආරාධනා පත්‍රයෙහි මෙසේ සඳහන්ව තිබුණි. 


“බළංගොඩ බාන්ස් රත්වත්තේ දිසාපති සහ
මහවලතැන්නේ රත්වත්තේ කුමාරිහාමි
යන අපගේ ප්‍රිය ජ්‍යෙෂ්ඨ දියණිය වන 
සිරිමාවෝ කුමරිය,


පළාත් පාලන ඇමැති තැන්පත් ඇස්. ඩබ්ලිව්. ආර්. දියෙස් බණ්ඩාරනායක මහතා සමග සිරිත් ප්‍රකාර ශුභ ශරණ බන්ධනයට ඇතුළත් වීමේ ප්‍රීතිය සඳහා වර්ෂ 1940 ඔක්තෝබර් මස 03 වැනි දින පස්වරු 12.30ට බළංගොඩ රත්වත්තේ වලව්වට පැමිණෙන මෙන් සාදරයෙන් ආරාධනය කරමු.
පෝරුවේ සිටුවීම පස්වරු 1.03ට සිදු කරනු ලැබේ.


වලව්ව
බළංගොඩ
1940.9.10”


මෙම උත්සවය අතිවිශේෂ සිදුවීමක් ලෙස එදා ද මහජනයා විසින් සලකන ලද බව පැරණි ලේඛනවල සඳහන් වේ. එයට එක් හේතුවක් වන්නේ මෙරට ජනතාව දුටු ඇමැතිවරයකුගේ ප්‍රථම විවාහය වීමයි. මෙම විවාහ මංගල්‍යය පිළිබඳව එකල පුවත්පත් පවා විශේෂ තැනක්දී පුවත් පළ කර තිබුණි. 1940-10-05 වැනි දින ස්වදේශ මිත්‍රයා පත්‍රයේ පළකර තිබුණු පුවතේ මෙසේ සඳහන් විය.
“මල් වර්ෂාවෙන් ආශිර්වාද ලත් සරණ මංගල්‍යය බණ්ඩාරනායක - රත්වත්තේ ඉතිහාසයේ ලියවිය යුතු සිද්ධිය - උඩ - පාත දෙරට එක්වීම ඇමැතිවරයාගේ මංගල්‍යයට මහජනයා සහභාගි වීම.


අපේ විශේෂ වාර්තාකරු විසිනි
ඉතිහාසයේ ලියවිය යුතු සිද්ධිය.


ලංකා ඉතිහාසයෙහි ශත වර්ෂයකට අධික කාලයකින් මෙහා සිට ඇති ශ්‍රේෂ්ඨ ශුභ ශරණ මංගල්‍ය මහෝත්සවය පිළිබඳව රාවය දැන් මුළු රට එකණින් නාද කරමින් පැතිර යයි. වර්ෂ 1940 ඔක්තෝබර් 03 වැනි ගුරු දින බළංගොඩදී මේ මංගලෝත්සවය සිද්ධ විය. මෙදින බළංගොඩ නගරය අතිශය ශෝභා සම්පන්න ශ්‍රී විභූතියෙන් බැබළිණි. නගරයේ මහා වීථිය ප්‍රභාමය තොරණයකින් ද සිත්කලු සැරසිරිවලින් ද ලෙළ දුනි. මහත් උනන්දුවෙන් ප්‍රබෝධමත් වූ ස්ත්‍රී පුරුෂ බාල මහලු නගරවැසියෝ කුල්මත් වූ ලීලාවෙන් ඔබමොබ හැසුරුනෝය. තවද මෙම දර්ශනය බළන්ගොඩට පමණක් නොවූවකි. රත්නපුර නගරයේ පටන් බලන්ගොඩ දක්වා මෙදින මහත් උජ්වලික ස්වභාවයක් දැක්විණ. මාර්ගයේ තැනින් තැන තොරණ, ගොක් රෑන් සැරසිලි ආදියෙන් අලංකෘත විය. මාර්ගාසන්න වැසි බාල, මහලු, ස්ත්‍රී, පුරුෂ වැස්සෝ ප්‍රීතියෙන් ඉල්පී මග දෙපස බලා සිටියහ. 


සිංහල මහා සභාවේ නායක ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාණන් සහ රත්වත්තේ කුමරිය අතර සිද්ධ වූ මේ ශුභ සරණ මංගල්‍යය නිසා උඩ - පාත දෙරටේ පැරණි සිංහල පවුල් දෙකක් එක් වූවා පමණක් නොව සිංහල ජාතික සමගිය ස්ථිර වේ. ඒ සන්තුෂ්ඨි ජනක ප්‍රතිඵලයේ පූර්ව නිමිත්තක් වශයෙන් අභිනව යුවළ විවාහ ලේඛනයේ අත්සන් තැබූ කෙනෙහි මංගල වර්ෂාවකින් ආශිර්වාද ලැබුණේය. ඒ අද්භූත සිද්ධිය රැස්ව සිටි සියලු දෙනාගේම මවිතයටත් චිත්ත ප්‍රීතියටත් හේතු විය.


රත්නපුර නගරය පසු කරන්නට මත්තෙන් බටුගෙදර වලව්ව ඉදිරිපිටදී ද පැල්මඩුල්ලේ ගම්කාර්ය සභාව ඉදිරිපිටදී ද හුනුවල, ඕපනායක, හොරකැටිය, බෙලිගල්ල යන ස්ථානවල ද අලංකාර තොරණ බැඳ මාර්ගය සරසා තිබුණේය..... පළාත් වැසියන්ගේ මෙම ප්‍රබෝධයට හේතුව වේයන්ගොඩ හොරගොල්ල වලව්වේ කීර්තිමත් සර් සොලමන් දියෙස් බණ්ඩාරනායක කේ. සී. ඇම්. ජී. නමෝපලක්‍ෂිත මහමුදලිතුමන්ගේ එකම පුත්‍රරත්නය වූද රජයේ පළාත් පාලන අමාත්‍ය ධුරන්ධර වූද සිංහල මහා සභාවේ සභාපතිවූ ද ගරු ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාණන් බලංගොඩ වලව්වේ බාන්ස් රත්වත්තේ දිසාපති තුමන්ගේ හා මහවල තැන්නේ කුමාරිහාමිගේ ජ්‍යෙෂ්ඨ දියණියන් වූ රත්වත්තේ සිරිමාවෝ කුමරිය සමග ශ්‍රී ශුභ සරණ බන්ධනයට පත්වීමේ මහෝත්සවයයි. 


විවාහාපේක්‍ෂකයා වූ තරුණ බණ්ඩාරනායක ඇමැතිතුමා ස්වකීය පළාතේ සම්පාදිත කදාර් වස්ත්‍රයෙන් සාදන ලද අදනය, අංගරාකාව, උතුරු සළුව වන ආදර්ශමත් ජාතික ඇඳුමින් සැරසී දුටුවන් නෙත් සිත් ඇදගන්නා රමණීය ලීලාවෙන් සැරසී සිටියේය. එතුමා සිය පියාණන් වූ සර් සොලමන් දියෙස් බණ්ඩාරනායක මහමුදලිතුමාත් මංගල යහළු ජස්ටින් පීරිස් දැරණියගල මහතාත් සමග අවශ්‍ය ඥාතීන් විසින් පිරිවරන ලදුව පැමිණියේය....


මනාල මැතිණියගේ මාමා කෙනෙකු වූ සෑම් ඇලපාත රටේ මහතාණන් විසින් නව යුවලගේ අත නූල් බැඳ පැන් වඩා ශූභාශිංසනය කළේය. පෝරු මස්තකයෙහි අත පැන් වත්කිරීම සඳහා පාවිච්චි කරන ලද්දේ රුවන්වැලි සෑය කොත් පැළඳවීමේ උත්සවයේදී පරිත්‍රාණ සජ්ඣායනා කරන ලද පිරිත් පැන් ස්වල්පයක් හා නූලකි....


පෝරු මස්තකයෙහි මංගල චාරිත්‍රවිධි නිමවීමෙන් පසු අභිනව යුවතිපති යුවළගේ සරණ බන්ධනය ව්‍යවස්ථානුකූල ලෙස රත්නපුරේ, ආණ්ඩුවේ ඒජන්ත ආර්. ඇම්. ඬේවිස් මහතා විසින් ලියාපදිංචි කරන ලදී. ඊට සාක්‍ෂි වශයෙන් ගරුතර සර් ඇන්ඩෘ කොල්ඕකොට් ආණ්ඩුකාරතුමාත් සර් ජේම්ස් උබේසේකර මහ මුදලිතුමාත් අත්සන් කළහ.
මනමාල මැතිණිය ඇයගේ පියාණන් විසින් භාර දෙන ලදී. පැටී්‍රෂියා රත්වත්තේ, තරුණ මානවිකාවත්, මානෙල් විජේසිංහ තරුණ මානවිකාවත් මනමාල මහත්මියගේ කුළුපග සේවිකාවන් වශයෙන් පෙනී සිටියෝය. ප්‍රේමනී එල්ලාවල, ඉන්ද්‍රාවෝ රත්වත්තේ, ප්‍රීති රත්වත්තේ යන කුඩා මානවිකාවෝ පුෂ්ප කුමරියන් මෙන් ක්‍රියා කළහ.”


(මේ පෙර කී පුවත්පතින් උපුටාගත් කොටසකි.)
මංගල මහා සභාවේ ප්‍රධාන කථාව කිරීම බාරව තිබුණේ ලංකාවේ ආණ්ඩුකාරවර සර් ඇන්ඩෘ කොල්ඕකොට් මහතාටය. ඉතා දීර්ඝ කථාවක් කරමින් ඔහු නව යුවළට සුභ පැතුවේ “මේ ලොව සිටින වාසනාවන්තම අඹු - සැමි යුවළ වන්නේ මමත් මගේ භාර්යාවත් යැයි මම සිතමි. එවැනිම වූ විවාහ දිවියක් ගත කිරීමට නව යුවතිපතින්ට ද හැකිවේවා යි මම පතමි.” යැයි කියමිනි. ඊළඟට නැගී සිටියේ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක සහ ස්වදේශ කටයුතු ඇමැති සර් බාරොන් ජයතිලක මහතාය. රටට විශාල මෙහෙයක් සිදු කරමින් සිටින එමෙන්ම ඉදිරියට ද සිදුකිරීමට අපේක්‍ෂවෙන් සිටින පළාත් පාලන ඇමැති බණ්ඩාරනායක මහතාට එම සේවය වඩාත් ශක්තිමත්ව කිරීමට ධෛර්ය ලැබීමට මෙම විවාහය හේතුවනු ඇතිබව පැවසීය. රටටත් ජාතියටත් සේවය කිරීමට ඒ මහතා තුළ පවතින උනන්දුව මෙම සරණ බන්ධනය නිසා සිය ගුණයකින් වර්ධනය වේවායි එතුමා ප්‍රාර්ථනය කළේය. පිළිතුරු කථාව කළ මනාල මහතා මෙම උත්සවයට සහභාගිවීමෙන් සුබ පැතුම් පිරිනැමීමෙන් කාරුණික වූ සැම දෙනාටම මනාල යුවළ වෙනුවෙන් ස්තුතිවන්ත වන බවත් ප්‍රකාශ කළේය. කුල ආගම් ආදියෙන් පමණක් නොව උඩ - පාත දෙරට වශයෙන් ද බෙදී ඇති සිංහල ජාතිය එකමුතු කර අනෙකුත් ජාතීන් සමග එක්ව රටට නිදහස දිනාගැනීම ළඟදීම සිදුකර ගත යුතුව ඇති බව ප්‍රකාශ කළ බණ්ඩාරනායක මහතා එයින් පසුව ද රටට විශාල සේවයක් සිදුකිරීම තමන්ගේ අභිප්‍රාය වන බැවින් තම මනාලියගේ ද සහාය ඇතිව රටට මෙම සේවය සලසා දීමට තමාට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තුව ද පළ කළ බව එම පුවත්පතේ සඳහන් විය. මනාල මහතාගේ සුළු පියා වූ වැලිගම් පත්තුවේ මුදලි තැන්පත් ජෝන් විලියම් ඉලංගකෝන් මහතාගේ ස්තුති කථාවෙන් පසු උත්සව කටයුතු නිම වූ අතර උභය පාර්ශ්වයේ ඥාති මිත්‍ර සැමදෙනා සතුටු සිතින් විසිර ගිය අතර මනාල යුවළ මධුසමය ආරම්භ කිරීමේ අපේක්‍ෂාවෙන් පසු වූ බව කියැවුනි.


වසර හැත්තෑ හතක් ගතව ඇත. බොහෝ සිදුවීම් අතරින් කාලය ගලා ගියේය. එම හැත්තෑ හත් වසර සමකාලීන ඉතිහාසය තුළ මෙම මනාල යුවළට හිමිවූ ස්ථානය සහ ඔවුන්ගේ දායකත්වය බලපෑ ආකාරය අපි බොහෝ දෙනෙක් දනිමු. එම දෙදෙනාම අද ජීවතුන් අතර නැත. එහෙත් ඔවුනගේ බලපෑම නොයෙක් අතින් අපට දැනේ. තවත් බොහෝ කාලයක් එය එසේමවනු ඇතැයි සිතීමට කරුණු කාරණා ද බහුලය.


සෝමසිරි වික්‍රමසිංහ