එස් . ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා අගමැතිව සිටි 1957 දී පමණ වන විටත්, ආරම්භයේදී සිටම ඔඩු දුවන අවාසනාවන්ත තත්ත්වයෙන් පැවති, ඉන්දීය හා පාකිස්ථාන සම්භවයක් ඇති ලංකාවේ වතු ද්‍රවිඩයන් හා පාකිස්ථානුවන් සම්බන්ධ ප්‍රශ්නයට විසඳුමක් සෙවීම සඳහා ගනු ලැබූ තවත් ප්‍රයත්නයකදී පක්ෂ දේශපාලනය කරපින්නා නොගෙන, රටේ තවත් ජාතික නායකයෙකු වූ හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතාගේ සහායද ලබාගත්තේ, ඒ සම්බන්ධව නියැළීමෙන් ලබා තිබූ අත්දැකීම් සම්භාරයෙන් උපරිම ප්‍රයෝජනය ලබාගැනීම සඳහා විය හැකිය.
එහෙත්, එහි ප්‍රතිඵලයද පෙර මෙන් සතුටුදායක නොවුණත් 1965 දී බලයට විත් ඩඞ්ලි සේනානායක මහතා අගමැති වීමෙන් පසු ඉන්දු - ලංකා ප්‍රශ්නයට යළිත් අත ගැසීමේදී බණ්ඩාරනායක මහතාගෙන් පසු අගමැතිවූ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක මහත්මිය ඉන්දීය අගමැති ලාල් බහදූර් ශාස්ත්‍රි වෙත යැවූ ලිපියද මල්වතු නාහිමිට තමන් යැවූ ලිපියට යාකර, 1967 මැයි 14 වැනි දින යවන ලද්දේ, එහි ඇති යෝජනා පිළිබඳව උන්වහන්සේද දැනුම්වත් කිරීමේ අටියෙන් විය යුතුය.
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිනිය, 1965 ජනවාරි 09 වැනි දින ශ්‍රී ජවහර්ලාල් නේරුගේ අභාවයෙන් පසු, එවකට ඉන්දීය අගමැතිව සිටි ලාල් බහදූර් ශාස්ත්‍රි 1964 නොවැම්බර් 27 වැනි දින එවූ ලිපියට පිළිතුරු වශයෙන් ඇය පැහැදිලිවම කියා සිටියේ, 1964 ඔක්තෝම්බර් 20 වැනි දින, ඉන්දු - ලංකා ගිවිසුම යටතේ ලංකා පුරවැසිභාවය ලබාගන්නා ඉන්දියානු හා පාකිස්ථාන පදිංචිකරුවන්, වෙනම ඡන්ද ලැයිස්තුවකට අඩංගු කිරීමේ තමාගේ යෝජනාව කෙරෙහි ශාස්ත්‍රීගේ සැලකිල්ල යොමු කරවීමේ ඇති වැදගත්කමය.
මෙහි වෙනම ඡන්ද ලැයිස්තුවක් යන යෝජනාව පිළිබඳව සමහරුන් දක්වන සැලකිල්ල හා විවේචන, වරදවා තේරුම් ගැනීමක් වන බවත්, ඉන්දු - ලංකා ගිවිසුම යටතේ වාසි සැලසෙන පුද්ගලයන්ට රටේ සෙසු ජනතාව සමග සමාන අයිතිවාසිකම් විඳීම වළක්වන වෙනස්කමක් කෙරෙන, දෙවන පන්තියේ ලාංකික රටවැසි පිරිසක් ඇති කෙරෙන, අහිතකර ක්‍රියාවක් වශයෙන් මේ යෝජනාව බොහෝවිට හඳුන්වා ඇති බවත්, පවසන ඇය එහෙත් මෙයින් බලාපොරොත්තුවූ දෙය නම් ඉන්දියානු හා පාකිස්ථානු පදිංචිකරුවන්ගේ (රටවැසි) පනත යටතේ, රටවැසිභාවය ලබාගන්නා අයට, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට නියෝජිතයන් පත්කර ගැනීමට හැකිවන පරිදි වෙනම ඡන්ද කොට්ඨාස ඇති කිරීම අපේක්ෂිත අරමුණ බවය.
1954 ජනවාරි 18 වැනි දින ඇති කරගත් ඉන්දු - ලංකා යෝජනාවලියෙන්, ඉන්දියානු හා පාකිස්ථානු පදිංචිකරුවන්, රට වැසියන් වශයෙන් ලියාපදිංචි වීමෙන් පසු සෙසු ජනතාව සමග පවතින සබඳකම් සුළුවීම හෝ කිසිම සබඳකමක් නැතිවීම, පදිංචි ප්‍රදේශවල භාෂාව ඔවුන් කතා නොකිරීම යනාදීය නිසා, ඔවුන් සඳහා වෙනම ඡන්ද ලැයිස්තු ඇති කිරීමට ඉඩ සලසා දී ඇති බවද එම ලිපියේ ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත.
තවදුරටත් කරුණු දැක්වූ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය, පිටරට පුරවැසිභාවය ලබාගන්නා ඉන්දියානුවන් හා පාකිස්ථානුවන් ඒ රටවල ජනතාව සමග සම්මිශ්‍රණයට පත්වීම, තමා මෙම රටේදීත් බලාපොරොත්තු වන බවත් එසේ සම්මිශ්‍රණවීමෙන් පසු මෙම ගිවිසුම තවදුරටත් වලංගුවීමේ ස්වභාවයක් ඇති නොවිය හැකි බවත් සඳහන් කර ඇත.
“මේ ජනතාව සඳහා වෙනම ඡන්ද කොට්ඨාස පිහිටුවීම අදහස් කිරීමට තවත් හේතුවක් තිබේ. ඉන්දියානු හා පාකිස්ථානු සම්භවයක් ඇති පදිංචිකරුවන්ගේ (රටවැසි) පනත යටතේ, ලංකා රටවැසියෙකු වශයෙන් ලියාපදිංචි වන කිසිම පුද්ගලයෙකු මේ දක්වා නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට තේරීපත්වීමට සමත්වී නැති බව ඔබතුමන් නොදන්නවා විය හැකිය. ඔවුන් කිසිසේත් පාර්ලිමේන්තුවට නියෝජනය නොවූ නිසා, 1960 ජූලි මාසයේදී මා ආණ්ඩුව පිහිටවූ විට ඔවුන්ගෙන් කෙනෙකු පත් කරන ලද මන්ත්‍රීවරයෙකු වශයෙන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට පත් කළෙමි. එහෙත් ඒ අන්දමින් නියෝජනය කිරීම මා යෝජනා කළ පරිදි වෙනම ඡන්ද ලැයිස්තු මාර්ගයෙන් නියෝජිතයන් පත් කිරීම තරම් ප්‍රජාතන්ත්‍රවාදී නැත යනුවෙන් ඇය ඉන්දීය අගමැතිවරයාගේ අවධානයට යොමුකරන ලදී.
සිරිමා අගමැතිනියගේ ලිපියේ තවදුරටත් සඳහන් වූයේ, 1964 ඉන්දු - ලංකා ගිවිසුම යටතේ අවුරුදු 15 ක් තුළදී වුවද කෙරෙන අලුත් ලියාපදිංචි කිරීම් වලින් පොදු ලැයිස්තුවට අඩංගු කිරීමෙන් තම නියෝජිතයන් සෑහෙන ප්‍රමාණයක් තෝරා ගැනීමට ඉඩ ප්‍රස්ථාවක් නොලැබෙන බැවින්, වෙනම ඡන්ද කොට්ඨාස පිහිටුවීමෙන් එම බාධාව මගහැරෙන බවය.
ඉන්දු - ලංකා ගිවිසුම අනුව මෙරට පුරවැසිකම් ලබන හා ආපසු ඉන්දියාවට යවන ඉන්දියානුවන්ගේ ලැයිස්තුව පිළියෙල කිරීම ගැනද අදහස් දැක්වූ සිරිමා බණ්ඩාරනායක අගමැතිනිය, එම ගිවිසුමෙන් 825,000 ක් සම්බන්ධව පමණක් ගිවිසුම ක්‍රියාත්මක වන අතර, 150,000 ක් පමණ වන ඉතිරි සංඛ්‍යාව සම්බන්ධ තීරණයක් ගැනීම පසුවට කල් තැබෙන බවත් මෙම ලැයිස්තු සකස් කරනු ලබන්නේ, වතු කම්කරු (ඉන්දියානු) පනත යටතේ වතුවල තබා ඇති නාම ලැයිස්තු, ඉන්දියානු පාකිස්ථානු පදිංචි කිරීමේ පුරවැසි පනත යටතේ පුරවැසිකම ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් සහ ආහාර පනත යටතේ ඇති ගෘහ මූලික ලැයිස්තු ආදිය පදනම් කරගෙන බවය.
සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක රජයේ 1964 ඉන්දු ලංකා ගිවිසුම අනුව වෙනම ඡන්ද ලැයිස්තු පිළියෙල කර එමගින් ඔවුන්ගේ නියෝජිතයෙකු මන්ත්‍රී මණ්ඩලයට පත්කරගැනීම යනු, එහි වෙසෙන බහුතර ජනතාව සිංහල නම්, එවැන්නකට ඉඩ සැලසෙන පරිදි ඔවුන් එම ඡන්ද කොට්ඨාශයෙන් ඉවත් කිරීමක් සිදු කළ යුතුය.
ගිවිසුම අනුව වැඩි වශයෙන් ඔවුන්ගේ නියෝජිතයන් පත්කර ගැනීමට නම් එවන් ඡන්ද කොට්ඨාසයන්ද වැඩිපුර ඇති කළ යුතුය. එසේ වුවහොත් එය අදාළ ගිවිසුම අනුව පුරවැසිභාවය ලැබූ ඉන්දියානුවන් හා පාකිස්ථානුවන් බහුල ඡන්ද කොට්ඨාස වලින් සමන්විත බලප්‍රදේශයක් ඇතිවීම වැළැක්විය නොහැක.
අගමැති ඩඞ්ලි සේනානායක මහතා මල්වතු මාහිමියන්ගේ අවධානය පිණිස තම ලිපිය සමග සිරිමා අගමැතිනිය ශාස්ත්‍රී අගමැතිට යැවූ ලිපිය අමුණා යැවීමට හේතුවූයේ දූරදර්ශී දේශපාලනඥයකු වශයෙන් අනාගතයේදී එයින් ඇති විය හැකි ව්‍යසනය පිළිබඳව උන්වහන්සේගේ අවධානයද යොමුකරවීම විය හැක..
එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර