මහ ඇමැතිගේ වැඩ කලාව


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඌව පළාතේ හිටපු ආණ්ඩුකාර සහ හිටපු එජාප ඇමතිවරයකු ද වූ එම්. එස්. අමරසිරි මහතාට රාජගිරියේ පිහිටි ඔහුගේ නිවසේදී අවසන් ගෞරව දැක්වූ අයුරු. ඔහුගේ පුත් හිටපු එජාප මන්ත්‍රී උපාලි අමරසිරි මහතා ද මෙහි සිටී.

 

 

මධ්‍යම ආණ්ඩුවේ බලය පළාත් මට්ටමින් ක්‍රියාත්මක කිරීමට ඇති කරන්න ලද බලය විමධ්‍යගත කිරීමේ වැඩපිළිවෙළේ ඉතා වැදගත් පියවරක් වශයෙන් පළාත් සභා පිහිටුවීම සඳහන් කළ හැකිය. මෙම ක්‍රමයේ අඩුපාඩු  රැසක් ඇතත් ඒ ඒ පළාත්වල මහ ඇමතිවරුන්ගේ ආණ්ඩුකාරවරුන්ගේ හා අමාත්‍ය මණ්ඩලයේ කාර්යක්‍ෂමතාවය අනුව  වැදගත් වැඩ කොටසක් හා සේවාවක් සිදුවී ඇති බව සඳහන් කළ යුතුය. එහිලා විශේෂයෙන්ම පළාත් මහ ඇමතිවරුන්ගේ ජ්‍යෙෂ්ඨත්වය, පරිණාතභාවය, පළපුරුද්ද හා දක්‍ෂතාවය ඉතා දැඩිව බලපායි.


එබඳු පරීක්‍ෂණභවයෙන් පිරි දකුණේ දේශපාලනඥයකු වශයෙන් දකුණු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය අභාවප්‍රාප්ත ඇම්. ඇස්. අමරසිරි මැතිතුමා හඳුන්වා දිය හැකිය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ එතුමා නියෝජ්‍ය අමාත්‍යවරයකු හා කැබිනට් අමාත්‍යවරයකු වශයෙන්ද දිගු කලක් සේවය කළේය. ප්‍රථම පළාත් සභා මැතිවරණයෙන් තේරී පත්වී දකුණු පළාතේ ප්‍රථම ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වූ අමරසිරි මහතාගේ දිගු කාලීන දේශපාලන පළපුරුද්ද එවැනි තනතුරක් ලැබීමට විශේෂයෙන් හේතු පාදක විය. ඒ ඇරත් දිවංගත ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා ප්‍රථම පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරුන් වශයෙන් දක්‍ෂ හා පළපුරුදු පිරිසක් තෝරා ගත් බව වයඹ සඳහා ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා, ඌව සඳහා  පර්සි සමරවීර මහතා, බස්නාහිර සඳහා සුසිල් මුණසිංහ මහතා වැනි අය පත් කිරීම තුළින් මොනවට පැහැදිලි වේ.
ඇම්. ඇස්. අමරසිරි මහතා දකුණු පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් පත්වූ පසු එවකට ගාල්ල, මාතර, හම්බන්තොට දිස්ත්‍රික්කයන් හි සිටි කැබිනට් අමාත්‍යවරුන්ටත් වඩා ජ්‍යෙෂ්ඨත්වයෙන් යුත් පුද්ගලයා ඔහු බැවින් සියලු පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේ සැලකිල්ල එතුමාට හිමිවිය. දිස්ත්‍රික්ක තුනේම ප්‍රධාන දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් පවත්වන ලද්දේ මහ ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙනි. විශේෂයෙන් දකුණු පළාත් මහ ඇමැතිවරයාට එම රැස්වීම්වලදී පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්ගේද සහාය ඇතිව ඉතා වැදගත් හා ඍජු තීන්දු තීරණ ගැනීමට හැකිවූයේ එතුමාද කැබිනට් ඇමතිවරයෙකුව සිටි අයෙකු හා පළපුරුදු ජ්‍යෙෂ්ඨ අයෙකු වශයෙනි. දිස්ත්‍රික් සංවර්ධන රැස්වීම් හා දිස්ත්‍රික් සම්බන්ධීකරණ රැස්වීම් වැනි දේශපාලනඥයින් හා නිලධාරීන් ගේ එකතුවෙන් පැවැත්වෙන රැස්වීම් ඉතා වැදගත් වන්නේ සාමූහික ඍජු තීරණ ගෙන ඒවා කඩිනමින් ක්‍රියාත්මක කිරීමට හැකිවීම නිසාය. වර්තමානයේ අපහට දක්නට ලැබෙන ප්‍රධාන අඩුපාඩවක් නම් දිස්ත්‍රික්කයන්හි ප්‍රධාන රැස්වීම්වලදී ඍජු තීරණ නොගැනීමේ අඩුපාඩුවයි. ඉහළ තලයේ සිට ප්‍රදේශීය සභාව දක්වා තලයන්හි මැති ඇමතිවරු කරුණු දැක්වීමට වැඩි වේලාවක් ගන්නා අතර අවසානයේ තීරණයක් නොමැතිව රැස්වීම අවසන් වේ. සමහර නිලධාරීනුත් ඉදිරිපත් වන ප්‍රශ්නවලට තමන්ගේ පාර්ශ්වයෙන් කරුණු ඉදිරිපත් කිරීම විනා විසඳුමක් ඉදිරිපත් නොකරයි. 


කෙසේ හෝ නිතරම රැස්වීම් සාකච්ඡා පැවැත්වූවද ගන්නා තීන්දු තීරණ ප්‍රමාණය ඉතා අල්පය. රැස්වීමෙන් රැස්වීමට කරුණු ඉදිරිපත් කිරීම මිස එක එල්ලේ තීන්දු ගැනීමෙන් වැළකී සිටී. එසේම සමහර ප්‍රධාන නිලධාරීන්ට යම් යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට කාලයක් නොමැත. හැමදාම රැස්වීම්ය. එක්කෝ ප්‍රදේශයේ දිස්ත්‍රික්කයේ රැස්වීම් හා සාකච්ඡාය. සම්මන්ත්‍රණයන්ය. නැත්නම් කොළඹ රැස්වීම්ය. මෙසේ සිදුවන විට යම් වැඩක් ක්‍රියාවට නැංවීමට වේලාවක් ඉතිරිවේද? පැන නගින ප්‍රශ්නයට බුද්ධිමත්ව සිතා විසඳුමක් දීමට වේලාවක් තිබේද? හැමදා රැස්වීම් - සම්මන්ත්‍රණ ආදිය කාලය කා දැමීමට හොඳම මාවතක් වී ඇති බව ප්‍රායෝගිකව අපට පෙනෙන්නට තිබේ.
මේ තත්ත්වය ගැන සිතා බැලීමේදී මා මුලින් සඳහන් කළ දකුණේ මහ ඇමතිවරයා වශයෙන් එම්. එස්. අමරසිරි මහතා කටයුතු කළ කාලයේ දී එතුමා ඍජු තීරණ තීන්දු ගන්නා ලද අයුරු මට හොඳට මතකය. එතුමා මුලසුන දැරූ හම්බන්තොට දිස්ත්‍රික් රැස්වීම් සියල්ල වාගේ ඉතා ඵලදායි විය. දේශපාලන අධිකාරියේ සියලු දෙනා සහභාගි වූ අතර සෑම අංශයකම නිලධාරීහු උනන්දුවෙන් සහභාගි වූහ. රැස්වීමේදී ඉදිරිපත් වන හැම ප්‍රශ්නයක් ගැනම නිසි අවධානය යොමු කළ එතුමා නිලධාරීන්ගෙන් නිසි තොරතුරු එළියට ගැනීමට දක්‍ෂයෙක් විය. සමහර නිලධාරීන් ඉදිරිපත් කරන දියාරු කරුණු පිළිබඳව මනා අවබෝධයක් තිබූ එතුමා ඔවුන්ගේ අකාර්යක්‍ෂමතා පැහැදිලි කර දී තීන්දු තීරණ ඍජුව ලබා දුන්නේය. රැස්වීම් අවසන් වන විට වැඩ ගොඩකට තීන්දු ගෙන තිබේ. ඊළඟ රැස්වීම් වන විට ඒවා ක්‍රියාත්මක වී තිබේ. එකල සංවර්ධනයේ විශාල වැඩ කොටසක් ඉටු කිරීමට හැකිවූයේද එවැනි අයගේ නායකත්වය තුළින් කෙළින් තීරණ ගෙන ක්‍රමානුකූල වැඩසටහනක් යටතේ වැඩ කරගෙන යාමය.

 

 


මෙම මහ ඇමති අමරසිරි මහතාගේ රාජකාරි පිළිබඳව මා සතුව නිදසුන් රැසක් ඇතත් එකක් පමණක් සඳහන් කිරීමට අදහස් කරමි. මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරන සමයේ දිනක උදෑසන එතුමා හමුවීමට ගාල්ල ඩික්සන් පාරේ පිහිටි එතුමාගේ නිල නිවෙසට ගියෙමි. එසේ ගියේ කොළඹ සිට හම්බන්තොට යන අවස්ථාවේදීය. හේතුව හම්බන්තොට නගරයේ දිගුකලක් පදිංචිව සිටි නිවාසලාභීන් පිරිසකට නීත්‍යානුකූලව එම නිවාස ලබාදීමේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා ගැනීමටයි. එම නිවාසලාභීන් සමිතියක් පවා පිහිටුවා ගෙන විවිධ අංශවලින් මේ පිළිබඳව ඉල්ලුම් කරමින් දිගු කලක් තිස්සේ කටයුතු කළත් ඉටුකර ගැනීමට නොහැකිව කලකිරීමෙන් සිටියහ. මුලින් මා සඳහන් කළ පරිදි උදෑසන එතුමාගේ ගාල්ලේ නිල නිවෙසට ගිය මේ කරුණ මම කීවෙමි. මෙම නිවස පදිංචි ව සිටින අයට නීත්‍යානුකූල කර දීමට අවශ්‍ය කටයුතු කර දෙන ලෙස මම ඉල්ලුවෙමි. එතුමාගේ පිළිතුරු වූයේ “තිස්ස යන්න. මා දවල් 12.00 වන විට හම්බන්තොට කච්චේරියට එනවා. එතකොට නීත්‍යානුකූල ලියවිලි සියල්ල හදවල තියන්නම්” කීවේය. එසේ කියූ එතුමා හම්බන්තොට දිසාපතිවරයාට දුරකතන ඇමතුමක් ගෙන ප්‍රකාශ කළේ දවල් 12.00ට හම්බන්තොට එන විට අර නිවාස යෝජනා ක්‍රමයේ නීත්‍යානුකූල ලියවිලි හදල තියන්න” යනුවෙනි. මම උදේ තේ බී හම්බන්තොටට පැමිණ දවල් 11.45 ට පමණ කච්චේරියට ගියෙමි. එවිට මහ ඇමැතිතුමා පැමිණ දිසාපතිතුමාගේ කාමරේ සිටියේය.


මාගේ දැනුම් දීම අනුව එතැනට පැමිණ සිටි නිවසා යෝජනා ක්‍රමයේ පදිංචිකරුවන්ට නීත්‍යානුකූල හිමිකම් ලිපි භාරදුන්නා. වරුවක් ඇතුළත සියලු කටයුතු සිදුවී අවසන් විය.
මේ නිදසුනෙන් මා පෙන්නුම් කරන්නේ එතුමාගේ කාර්යක්‍ෂම හා කඩිසර රාජකාරීන්ගෙන් එක් කාරණයකි. මෙවැනි කරුණු ඕනෑ තරම් පෙන්නුම් කළ හැකිය. කෙසේ වුවද  දක්‍ෂ හෝ අදක්‍ෂ හෝ කාර්යක්‍ෂම හෝ අකාර්යක්‍ෂම හෝ හැම කෙනෙකුටම තම රාජකාරි කළ හැක්කේ එක්තරා කාලයකි. ටික කාලයකි. වෙනස් වන ලෝකය එකම ආකාරයකට ගමන් කරන්නේ නැත. සමහර කාලවල වැඩ ඉක්මන්ය. සමහර කාලවල වැඩ හා රාජකාරි ඉතා මන්දගාමීය. පුද්ගලයාගෙන් පුද්ගලයාටද එය වෙනස්ය. එය ලෝක ස්වභාවයයි.
කෙසේ වුවද ඇම්. ඇස්. අමරසිරි මහතාගේ ජීවිතයේ අවසාන භාගයේ දිනක මා එතුමා පදිංචිව සිටි රාජගිරියේ නිවසට ගිය විට ටික වේලාවක් පිළිසඳරේ යෙදෙන ගමන් එතුමා කීවේ “දැනට නීතිය හදාරමින් සිටින” බවයි. කෙසේ නමුත් ඊට මාස කීපයකට පසු එතුමා අභාවප්‍රාප්ත වූ බව දැනගන්නට ලැබුණි.