මහ ජාතිය අවදි කළ ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා


1925 ජුනි 16 ගරු යටත් විජිතභාර ලේකම්තුමා කොළඹ.
 
ඔබගේ 1925 ජුනි 16 වන දින ලිපියෙන් ඉල්ලා ඇති පරිදි අනගාරික ධර්මපාල පිළිබඳව සඳහනක් මේ සමග ගෞරව පූර්වකව ඉදිරිපත් කරමි.
 
“අනගාරික ධර්මපාල සිංහලයෙකි. බෞද්ධයෙකි. උස අඩි 5 කුත් අඟල් 9 ක් පමණ ඇත. හිස කෙස් අළු පැහැතිය. කෙස්ස කොණ්ඩයක් වන පරිදි බැඳ ඇතත් ගෙල මත වැටෙන සේ පස්සට පීරා ඇත.
 
සමෙහි පැහැය දුඹුරුය. ඔහුගේ දකුණු කකුල මදක් ආබාධ සහිතය. ඔහු ඇවිදින විට එය අනෙක් කකුලට වඩා මදක් උස්සයි.
 
ඔහුගේ මුල් නම දොන් ඬේවිඞ් හේවාවිතාරණ එහෙත් බුදු දහම දෙසන්නට පටන්ගත් පසු අනගාරික යැයි භාවිත කරයි. අනගාරික යනු ගිහි නොවන යනුයි.
 
රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති, අංක / එච්. ලූඩෝවිසි.
 
බි්‍රතාන්‍ය යටත් විජිත සමයේදී මිෂනාරී අධ්‍යාපන ක්‍රමයත් බටහිර සංස්කෘතියේ බලපෑමක් බුදුදහමට හා හෙළ බසට නිගරු කරමින් රාජ්‍ය බලපෑම් තුළින් ගෙන ගිය ද්‍රෝහි පිළිවෙතත් බි්‍රතාන්‍ය කිරීටයෙන් රට නිදහස් කර ගැනීමට ගෙන ගිය ජාතික ව්‍යාපාරයට නව ජවයක් ලැබුණේ අනගාරික ධර්මපාලතුමාගේ සටන්කාමීත්වය තුළිනි. එතුමාට එරෙහිව වාර්තාවක් බි්‍රතාන්‍ය යටත් විජිත ලේකම්වරයාට යවමින් 1925 දී එවකට රහස් පොලිසියේ නියෝජ්‍ය පොලිස්පති ලුඩෝවිස් කරන ලද ප්‍රකාශයකි.
 
“සැබෑ ජන නායකයකු බිහිවන්නේ ඡන්ද බලයෙන් නොව ජනතා හද තුළ දෝලනය වන්නා වූ නිහඬ උද්දාමය තුළින් යැයි දේශපාලන විචාරකයෝ පවසති. අනගාරික ධර්මපාලතුමා මෙරටට වැදගත් වන්නේ එතුමා දුන් කාලීන ආදර්ශ නිසාය.
 
“පසෙකින් මහ මුහුදය. පසෙකින් හැඩි දෙමළුය, ඉතින් මා කෙසේ අතපය දිගහැර සැතපෙම්ද?“ යනුවෙන් එදා ගැමුණු කුමරු කී ලෙසින්ම පසෙකින් අදිරදවායාදීහු පසෙකින් උන්ට කත් අදින කළු සුද්දෝය. ඉතින් අපි නිදහස් යැයි කෙසේ සැනසෙමුද?” යැයි අනගාරිකතුමා ඇසීය.
 
1864 සැප්තැම්බර් 17 වැනිදා මාතර හිත්තැටිය නම් ගමේ පාරම්පරික ප්‍රභූ පවුලක් වූ දොන් කරෝලිස් හේවාවිතාරණ මුදලිතුමාටත් මාතර මල්ලිකා ධර්මගුණවර්ධන මැතිනියටත් දාව දොන් ඬේවිඞ් නමින් එතුමා උපත ලද්දේය.
 
ව්‍යාපාරික ක්ෂේත්‍රයේ දැවැන්තයකු වූ පියාණන්ගේ අවශ්‍යතාව පරිදි අගනුවර පදිංචියට පැමිණි මෙම දරුවාට බි්‍රතාන්‍ය පාලනයත් මිෂනාරි අධ්‍යාපනයත් රටට කර ඇති වින්නැහිය දෑසින්ම බලාගත හැකිවිය.
 
මෙරට ප්‍රභූ පවුල්වල දරුවන්ගේ උපත් ලියාපදිංචියේ ද ක්‍රිස්තියානි පල්ලියේ බෞතිෂ්ම නාමය ලබාගත යුතු වූ අතර මුලින්ම දරුවා ඇතුළත් කරනු ලැබුවේද පිටකොටුවේ ලංසි දැරියන් ඉගෙනුම ලබන ඉංග්‍රීසි මිෂනාරී පාසලකටය.
 
එහි පැවතුම් රුචි නොවූ දොන් ඬේවිඞ්ගේ බලවත් ඇවිටිල්ල මත පිටකොටුවේම ශාන්ත මේරි පාසලට ඇතුළු කෙරිණ. බිෂොප්වරුන්ගේ දැඩි නීති ඔහුට හිසරදයක් විය.
අනතුරුව ශාන්ත බෙනඩික් හා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලවලට ඇතුළත් කරන ලදුව බයිබලය පාඩම් කළේය. එහිදී මතුවූ කරුණු පිළිබඳව තියුණු ලෙස විවේචනය කිරීමේ වරදට පාසලෙන් නෙරපීමට යද්දී පියා මැදිහත්ව ශාන්ත තෝමස් කොලීජියට ඇතුළත් කරන ලදී.
 
ළමා ඬේවිඞ්ගේ නිර්භීතකම දුටු මිලර් වෝඞ්න් පියතුමා දරුවාට ඇත්තම කීවේය.
 
“අපි ලංකාවට ආවේ උඹලාට ඉංග්‍රීසි උගන්වන්න නොවෙයි උඹලා අපේ ආගමට හරවාගන්නයි.”
 
මිෂනාරි බලවේගවලට ගොදුරක් නොවීමට කුඩා දරුවාට හැකිවූයේ කුඩා කලදීම තම පියා සහ මව බෞද්ධ ආගමික පරිසරයට ඔහු හුරුකර තිබූ නිසාය. හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි වැනි ධර්මධර උගතුන් ඇසුරට ඔහු යොමුකර තිබිණි.
 
පසු කලෙක සත්‍යගවේෂී ඇමරිකානු ජාතික කර්නල් හෙන්රි ඕල්කොට්තුමා ඇරඹූ පරමවිඥානාර්ථ බෞද්ධ සමාගමට එක්වී සරසවි සඳරැස පත්‍රය තුළින් කළ දැනුම්වත් කිරීම් තුළින් සැබෑ බුදු දහමට හා සිංහල ජාතියට අත්වී ඇති ඉරණම පිළිබඳ දැනමුතු බව ලැබීය.
 
ඕල්කොට්තුමා සහ බ්ලැවැට්ස්කි මැතිනිය 1880 දී මෙරටට පැමිණෙන විට 16 වියැති කොලු ගැටයකු වූ දොන් ඬේවිඞ් තම පරාධීන අදහස් ඉවතලා බුදුසමය හා සිංහල ජාතියේ අභිවෘද්ධියට තම දිවියම කැප කිරීමට ඉටා ගත්තේ ධර්මපාල නමින් හෙළ නමක් ද ගනිමිනි.
 
බෞද්ධ දරුවන් බිලිබාගන්න මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට තිත තබමින් ආනන්ද විදුහල හා මහනුවර ධර්මරාජ විදුහල බිහිවූයේ ඔවුන්ගේ උද්යෝගය තුළිනි.
 
ආචාර්ය කුමාරි ජයවර්ධනගේ පර්යේෂණ ග්‍රන්ථයක් වන ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය පොතෙහි අනගාරික ධර්මපාලතුමන් හඳුන්වා දී ඇත්තේ මෙසේය.
 
“ඉංග්‍රීසි ආණ්ඩුවට එරෙහිව සංවිධානය කළ රැස්වීම්වලට පුළුල්ව බහු ජනතාව ඇදගත් පළමු තැනැත්තා වූයේ ධර්මපාලය. එදා අනුව බලන විට ධර්මපාල යනු රැඩිකල්වාදියෙකි.”
මධ්‍යම පාන්තිකයන් ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමට එරෙහිව සටන් වැදුණු ඔහුගේ ආකර්ෂණ මහිමයට සටන්කාමී බෞද්ධයෝ වශී වූහ. බෞද්ධයන් ඔහුට සැලකුවේ නිවට නියාලුව යටහත් පහත් වූ ලාංකිකයන් අතර තම හිස කෙළින් ඔසවාගෙන ගමන් කළ එකම වංශවත් මිනිසා ලෙසිනි.
 
1911 සැප්තැම්බර් 20 වැනිදා අනගාරික ධර්මපාලතුමා සිංහල බෞද්ධයා පත්‍රයට විවේචනාත්මක ලිපියක් ලියමින් සිංහල රට සිංහලයා විසින් පාලනය කළ යුතු බව අවධාරණය කළේය.
 
මෙම වාග් ප්‍රහාරය දුටු මෙරට යටත් විදේශ භාර ලේකම්වරයා වහාම ආණ්ඩුකාරවරයාට සංදේශයක් එවීය. නමුත් ආණ්ඩුකාරවරයා ධර්මපාලතුමන් ගැන ඔහුට දැනුම් දුන්නේ මෙලෙසිනි. ධර්මපාල මහත්මයා අන්තවාදියකු බව සැබෑය. එහෙත් ඔහු නොසලකා හැරිය යුත්තෙකි.
 
එහෙත් යටත් විජිත භාර ලේකම්වරයා ඉන් නොසෑහීමට පත්ව ධර්මපාල නමැත්තා බි්‍රතාන්‍ය කිරීටයට අපහාස කරන බැවින් නඩු පැවරීමට නීතිපතිවරයාට යෝජනා කළේය. එවිට නීතිපතිවරයා අපූරු පිළිතුරක් දුන්නේය.
 
“ධර්මපාල කරන්නේ රාජ්‍ය විරෝධී පෙලඹවීමක් නොවෙයි. තමන්ගේ ආගමික මත අනුව කතා කිරීමක් විතරයි. ඔහුට නඩු පැවරීමට එය ප්‍රමාණවත් නෑ.”
 
අනගාරික ධර්මපාලතුමන්ගේ වාග් ප්‍රහාරවලින් බැට කා දේශීය කළු සුද්දන්ගෙන් එතුමාට ගැලවුමක් නොවීය.
 
ධර්මපාලතුමන් අත්අඩංගුවට ගැනීමට නොහැකිවූ තැන ඉංග්‍රීසි ආණ්ඩුවට බලපෑම් කළ මොවුන්ගේ සාක්ෂි අනුව එතුමාගේ ලිපි පළකළ සිංහල බෞද්ධයා පත්‍රයෙහි ප්‍රකාශක හා මුද්‍රණකරු වූ ඩී. ආර්. ගුණසේකර 1914 දී අත්අඩංගුවට ගෙන බරපතළ සිරදඬුවමකට ලක් කෙරුණේ ඉංග්‍රීසි ආණ්ඩුවට කළ අපහාස නිසාය.
 
1915 දී මෙරට සිදුවූ බෞද්ධ මුස්ලිම් කෝලාහලය ධර්මපාලතුමාගේ උසිගැන්වීම් මත සිදුවූවක් බවට චෝදනා කරමින් එවකට කල්කටාවේ නිවසේ ධර්ම ප්‍රචාරක කටයුතු කරමින් සිටි වියපත් ධර්මපාලතුමන් අත්අඩංගුවට ගන්නා ලදී. මහ මැදුරක මහා පරම්පරාවක උපත ලබා තම රට දැය සමයට නිදහස ලබාගැනීම් වස් බි්‍රතාන්‍ය කිරීටයට අභියෝග කළ සුදු පාලකයන්ගේ අණසකට යටත්ව නියාලුව හුන් ස්වදේශිකයන් අවදිකර බුදුරජාණන් වහන්සේගේ දේශන මෙන්ම ථේරවාදී බුදුසමය පැතිරුණු අප දේශයට අන්‍යාගමික බලවේගයන්ගෙන් බේරා ගැනීමේ ජයග්‍රාහී සටන මෙහෙය වූ අනගාරික ධර්මපාලතුමන් සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිව දඹදිව් තලයේම 1933.04.29 වැනිදා පිරිත් නද මැද අවසන් හුස්ම හෙළීය.
 
එතුමාගේ 70 වසරක ශාසන සේවයේ සිහිවටනය වූ මහා බෝධි සමාගම 1891 මැයි 31 දින පිහිටුවන ලදී. හිටපු සමාජ සංස්කෘතික ඒකාබද්ධතා අමාත්‍ය දිවංගත පී. බී.
කවිරත්නයන් එහිමියන් හඳුන්වා දුන්නේ මෙලෙසිනි.
 
සිරි දෙව්මිත් සමිඳු යන නමින් පළවුණි
කිතුගොස දස දිගත මදනලසේ විහිදුණි
සිරිමා බෝ සමිඳු බුදුපහස ද රැකදුණි
අද අප සතු වූ හැමදෙය ලැබුණෙ හිමිගෙනි
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි
ඡායාරූපය අන්තර්ජාලයෙනි