මහ පාරට ඇද වැටුණු රජයේ සේවකයෝ


බංකුව යටට ගිය ජේ.ආර්.ගේ  රස්සා බැංකුව-2

මුල් පියවරක් වශයෙන් මෙරට විසූ රැකියා විරහිත තරුණ තරුණියන් 317,000 කට එම තාවකාලික සහන දීමනාව ගෙවනු ලැබුවේ 1978 ජනවාරි මාසයේ සිටය.


“හැබැයි අපට මේ දීමනාව ගෙවන්න පුළුවන් වෙන්නේ එක පවුලක දෙන්නෙකුට විතරයි. රැකියාවක් ලැබුණු ගමන් ඒකත් නතර කරනවා.” යි මුදල් ඇමැතිවරයා කල් තියාම ප්‍රකාශ කර තිබුණේය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගනු ලැබුවේ ලෝක බැංකුවේ ආධාරයෙනි.

මේ අතර ජේ. ආර්. ජයවර්ධන මහතා යටතේ පැවැති සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් වැඩ භාර ගත් ආචාර්ය වික්‍රම වීරසූරිය මහතාගේ මුල්ම කාර්ය භාරය වූයේ තම අමාත්‍යාංශය යටතේ රැකියා බැංකුවක් ආරම්භ කිරීමය. 1978 මාර්තු මස 01 වැනිදා සිට නව රැකියා බැංකු ක්‍රමය ආරම්භ කෙරුණු අතර රට පුරා විසිරී සිටි එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර රැකියා බැංකු පෝරම 1000 බැගින් බෙදා හැරුණේය.


“1977 මහ මැතිවරණයට කලින් එ.ජා.ප සාමාජිකත්වය ගත් ජොබ් කාඞ් හිමියන්ට විතරයි මේ රැකියා බැංකු පෝරම දෙන්න ඕනෑ...” යි එම මැති ඇමැතිවරුන්ට කල්තියා උපදෙස් දී තිබුණද ඒ සම්බන්ධව නොයෙකුත් අක්‍රමිකතා සිදුවී ඇතැයි අමාත්‍යාංශයට පසුව පැමිණිලි රාශියක්ම ලැබී තිබුණේය.


කෙසේ වෙතත් රටපුරා පිහිටි සෑම ග්‍රාම සේවා වසමක් පාසාම වගා නිලධාරින් පත් කෙරුණේ එම රැකියා බැංකු ව්‍යාපෘතියේ එක් පියවරක් වශයෙනි. ඒ සඳහා නිශ්චිත අධ්‍යාපන සුදුසුකමක් ද නොතිබිණි. අවශ්‍ය එකම සුදුසුකම වූයේ අදාළ පුද්ගලයා තම ඡන්දකොට්ඨාසයේ ස්ථිර පදිංචිකරුවකු වීම සහ එජාපයේ ජොබ් කාඞ් හිමියෙකු බවට ප්‍රදේශයේ මන්ත්‍රීවරයා විසින් නිර්දේශ කර තිබීම පමණි. එකල ගුරු පත්වීම් ලබාදීමේදී ද ඊට සමාන ක්‍රමයක් ක්‍රියාත්මක කෙරුණද අ.පො.ස සා.පෙළ අසමත් අයට තම පත්වීම ලබා ගැනීමෙන් පසු යම් සීමිත කාලයක් තුළ එම අධ්‍යාපන සුදුසුකම් සපුරා ගැනීමේ කොන්දේසියකට යටත් වීමට සිදු වී තිබුණේය.


“මොනම හේතුවක් නිසාවත් රැකියා බැංකුවෙන් බාහිරව කිසිවකුට හෝ රැකියාවක් ලබා නොදිය යුතු බවට සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත සැලසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය මගින් චක්‍ර ලේඛයක් යවා තිබුණේ මේ අතරතුරය. එසේ වූවද ඒ වන විටත් ඇතැම් දේශපාලනඥයන් සහ ඔවුන්ගේ හෙන්චයියන් රැකියා බැංකු පෝරම අතයට අලෙවි කරන බවට රජයට තොරතුරු ලැබී තිබුණේය.


මේ වන විට රජයේ රැකියා බැංකු ක්‍රමය ආරම්භ වී දෑවුරුද්දක පමණ කාලයක් ගත වී තිබිණි. කෙසේ වෙතත් රජයේ වාර්තාවලට අනුව ඒ වන විට තරුණ තරුණියන් දහස් ගණනකට එමගින් රැකියා පහසුකම් සැලසී තිබුණ බවද නොරහසිකි. රැකියා බැංකු වැඩපිළිවෙළ යටතේ රැකියා පහසුකම් ලබාදුන් තරුණ පිරිසට අමතරව තවත් තරුණ තරුණියන් අති විශාල පිරිසක් රජයේ ලියාපදිංචි වී සිටියහ.


මේ අතර තමන්ට ලැබෙන මාසික වැටුප රුපියල් 300කින් වැඩිකරන ලෙස රජයේ බලධාරින්ගෙන් ඉල්ලා සිටි මෙරට වෘත්තීය සමිති කීපයක් එම ඉල්ලීමට කන් නොදෙන්නේ නම් දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් අරඹන බවට රජයට අනතුරු අඟවා තිබුණේය. එහෙත් තමන් සතුව තිබුණු 5/6 පාර්ලිමේන්තු බලයෙන් අන්ධ වී සිටි ආණ්ඩුව “ඕනෑ කෙනෙක් වැඩ වර්ජන කරපුවාවේ. ඒ වැඩට නොපැමිණෙන හැම දෙනෙක් වෙනුවෙන්ම අපි අලුත් අය රැකියා බැංකුවෙන් බඳවා ගන්නවා... යි කියමින් රාජ්‍ය මාධ්‍යයන් හරහා වහසි බස් දෙඩුවේය.


එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ 1980 ජුලි වැඩ වර්ජනයට සහභාගි වූ සියලුම වැඩ වර්ජකයන් වෙනුවට රැකියා බැංකුව හරහා අලුතින් සේවකයන් බඳවා ගැනීමය. ඒ අනුව එම දීප ව්‍යාප්ත සේවක වැඩ වර්ජනය සහමුලින්ම අසාර්ථක කරවීමට ජේ. ආර්. ආණ්ඩුවට හැකිවිය. එහෙත් එමගින් ඇති වූ තවත් බරපතළ සිද්ධියක් වූයේ ආණ්ඩුවේ එම අගතිගාමී තීරණය නිසා හතළිස් දහසකට අධික රජයේ සේවකයන් පිරිසක් තම රැකියා අහිමි වී මහපාරට වැටීමය. ඔවුන් අතරින් තවත් පිරිසක් තම අඹු දරුවන් පෝෂණය කිරීමට හැකියාවක් නොමැති කමින් සියදිවි හානිකර ගත් බවද ඒ දිනවල අසන්නට ලැබුණේය. පසුව රජය විසින්ම ගත් තීරණයක් යටතේ එලෙස රැකියාවලින් නෙරපා දමන ලද තවත් සේවක පිරිසකට හිඟ වැටුප් ද සහිතව රාජ්‍ය සේවයට බඳවා ගනු ලැබූවද ඒ වන විටත් වසා දමා තිබූ ඇතැම් රාජ්‍ය සංස්ථාවල සේවකයින්ට මුහුණ පෑමට සිදුවූයේ අතිශය කණගාටුදායක ඉරණමකටය. අඩුම වශයෙන් සාධාරණ වන්දි මුදලක් පවා ඔවුන්ට නොලැබිණි.


ජේ. ආර්. ගේ එම ජොබ් කාඞ් සහ රැකියා බැංකුව නිසා ඔහු ඇතුළු එ.ජා.ප ය අවස්ථා දෙකකදී ගොඩ ගියේය. ඒ 1977 මහ මැතිවරණයෙන් ජය ගැනීමෙන් සහ 1980 ජූලි වැඩ වර්ජනය අසාර්ථක කිරීමට හැකි වීමෙනි. එහෙත් එමගින් සිදු වූ අයහපත් ප්‍රතිඵලයක් වූයේ 1980 ජුලි වැඩ වර්ජකයන් වෙනුවට රැකියා බැංකුව හරහා අලුත් සේවකයන් බඳවා ගැනීමත්, පසුව රජය විසින්ම ගත් තීරණයක් යටතේ වැඩ වරා සිටි සේවකයන් අතරින් බහුතරයක් යළි සේවයේ පිහිටුවීමත් නිසා මෙරට රජයේ සහ රාජය අංශයේ බොහෝ ආයතනවල උග්‍ර සේවක අතිරික්තයත් ඇති වීමය.

 

 

 

 

 

නිහාල් ජගත්චන්ද්‍ර