දේශපාලන දින දර්ශනයේ මැයි පළමු වැනි දිනට යෙදී ඇත්තේ ජාත්‍යන්තර කම්කරු දිනයයි. 1886 වසරේ ඇමරිකාවේ චිකාගෝ නුවර හේ මාකට් හි පැවති පැය අටේ වැඩ දිනයක් ලබාගැනීම උදෙසා වූ කම්කරු සටනේදී මියගිය සටන් සගයන් සිහිපත් කිරීමේ අවස්ථාව එමගින් අපේක්ෂා කෙරේ. එහෙත් මෙරට පැවති කෲර තිස් අවුරුදු යුද්ධය හේතු කොට ගෙන ශ්‍රී ලංකා රාජ්‍යය වෙළා ගත් භීෂණයේ අතුරු ඵලයක් වශයෙන් මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූත් පොදු ජනතාව අතරින් ජනතා වරමින් බිහි වූ ප්‍රථම රාජ්‍ය නායකයාවූත් රණසිංහ ප්‍රේමදාස මහතාණන් 1993 මැයි දින රැලියට සහභාගී වෙමින් සිටියදී ඝාතනයට ලක්වීම නිසා එතුමාගේ ගුණානුස්මරණය කිරීමද මැයි පළමු වැනි දිනට යෙදීම නිසා පෙර කී දින දර්ශනයේ වෙනසක් සිදුව තිබේ.
ආර්. ප්‍රේමදාස මහතා මෙරට දේශපාලන ක්‍රියාකාරිත්වයේ සුවිශේෂී චරිතයක් බව නිසැකවම ප්‍රකාශ කළ හැක. ධෛර්ය, අධිෂ්ඨානය, එඩිතරව ප්‍රශ්නවලට මුහුණදීම සහ සැලසුම් සහගත බව යන සියලු ගුණාංගයන්ගේ සංකලනයක් ලෙස හඳුන්වා දිය හැකි ප්‍රේමදාස භූමිකාව මෙරට දේශපාලන ක්ෂේත්‍රය ආලෝකවත් කළ පරමාදර්ශී නිදසුනක් ලෙස සමකාලීන විචාරකයෝ ඔහු අගය කළහ. ජනතා සේවය පිළිබඳව පැවති උනන්දුව, කැපවීම, ප්‍රේමදාස මහතාගේ ජයග්‍රාහී ගමනේ ප්‍රධාන සාධක විය. ඔහුගේ චතුර කථිකත්වය, සූර සංවිධායකත්වය මෙන්ම නිර්මාණශීලි සංකල්ප ද උපයෝගී කර ගැනීමට එතුමාට හැකි විය. ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකත්වය පාරම්පරික ප්‍රභූ පන්තියකට අයත් යැයි පොදු ජනතාව අතර පැවති මුල් බැස ගත් ආකල්පය ප්‍රායෝගිකවම බිඳ දැමීමට මෙම උද්යෝගිමත් නායකයාට හැකි විය.
පහළ මධ්‍යම පන්තියේ සුළු ව්‍යාපාරික පවුලක උපත ලද රණසිංහ ප්‍රේමදාස දරුවා ජීවිතය ආරම්භ කළේ එදා කොළඹ නගරයේ පීඩිත ජනතාව දිවි ගෙවූ ප්‍රදේශයකිනි. එම පෙදෙසේ පැවති සංස්කෘතිය රාජ්‍ය නායකයන් බිහි වූ කොළඹ හතේ පරිසරයට සාකල්‍යයෙන්ම වෙනස් වූවේය. දුක් විඳින ජනතාවගේ දහඩිය සුවඳ ඔවුන්ගේ කුසගින්න, ඔවුන් විඳින දුක් පීඩා ළමා අවදියේ සිටම දැන හඳුනා ගැනීමට ඒ මහතාට මගෝපකාරී වූවේ මෙම සමාජ වටපිටාව බව නිසැකය. “දුක් විඳින්නා වූද, බර උසුලන්නා වූද සියලු ජනයිනි! මා වෙත වරෙල්ලා.” යි යනු දේව පුත්‍රයාණන්ගේ වචනය බව කියනු ලැබේ. ඔවුන් පාපයෙන් මුදවා ගැනීමට එම උත්තමයාණන්ගේ අරමුණ විය. කිසිවිටෙකත් එම ශාස්තෘවරයාණන් සමග කිසිවෙකු සංසන්දනය කිරීමට උත්සාහ නොකරමි. එහෙත් ප්‍රේමදාස මහතා ස්වකීය ජීවිතය ආරම්භ කළේම පෙර කී වදන්වලට සමගාමීවය. කොළඹ, කෙසෙල්වත්ත ප්‍රදේශයේ දුගී දුප්පත් ජනතාවගේ දරුවන් දැනුම්වත් කර එම ප්‍රදේශය වෙළාගෙන තිබූ දුරාචාරවලින් හා පාදඩ සංස්කෘතියෙන් ගලවාගෙන යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම උදෙසා සුචරිත ව්‍යාපාරය නමින් නව ආරේ සංවිධානයක් බිහිකර නොයෙකුත් ක්‍රියාකාරකම්වලට නායකත්වය දුන්නේය. මෙම කටයුතු හරහා තම ප්‍රදේශයේ ජනතාව සමග සමීප සබඳතා ගොඩනගා ගැනීමට මෙම උද්යෝගිමත් තරුණයා සමත් විය. තමා අධ්‍යාපනය ලැබූ කොළඹ ශාන්ත ජෝසප් විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය වෙතින් ලද මඟ පෙන්වීමද උපයෝගී කර ගනිමින් කටයුතු කරගෙන යද්දී එවකට කොළඹ නගරයේ ප්‍රබල දේශපාලන නායකයෙකු මෙන්ම කොළඹ නගරාධිපතිවරයෙකු ද වූ ඒ. ඊ. ගුණසිංහ මහතාගේ සමීප ඇසුර ලැබීමට භාග්‍යය ලද්දේය.
ඒ අනුව එතුමාගේ ලංකා කම්කරු පක්ෂය නියෝජනය කරමින් කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයෙකු වශයෙන් පත් වීමට අවස්ථාව සැලසුණි. ශ්‍රී ලංකාවේ ජන වරමින් පත් වූ විධායක ජනාධිපති ධුරය දක්වා පැමිණි දීර්ඝ ගමනේ ආරම්භය ඇති වූවේ එවැනි පුංචි තැනකිනි. 1954 පැවති නාගරික මැතිවරණයේදී ද කොළඹ සන්ත බස්තියම කොට්ඨාසය ජයග්‍රහණය කිරීමට හැකිවීම එතුමාගේ ජීවිතයේ තීරණාත්මක වෙනසක් ඇති කිරීමට හේතු විය. එවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය ආසන 12 ක් ද ලංකා සම සමාජ පක්ෂය ලංකා කොමියුනිස්ට් පක්ෂය සහ විප්ලවකාරී සම සමාජ පක්ෂය යන වමේ බලවේගයට ආසන 12 ක් ද වශයෙන් වම දකුණ සම ආසන ගණනක් දිනා ගෙන තිබුණු වාතාවරණය හමුවේ ප්‍රේමදාස මහතා සහ පසුව ඇමතිවරයෙකු වූ නිව් බසාර් කොට්ඨාසය දිනා සිටි ඇම්. වින්සන්ට් පෙරේරා යන කම්කරු පක්ෂ මන්ත්‍රීවරු දෙදෙනාගේ ඡන්දය ඉතා වැදගත් විය. වමට බර ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙකු ද තේරී පත් ව සිටි නිසා නගරාධිපති තේරීමේදී පැවතියේ කඳවුරු දෙකටම සම ආසන සංඛ්‍යාවකි. නගරාධිපතිවරයා තේරීමේදී කාසිය උඩ දැමීමෙන් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා නගරාධිපති වශයෙනුත් ආර්. ප්‍රේමදාස මහතා උපනගරාධිපති වශයෙනුත් තෝරා පත් කර ගන්නා ලදී. කම්කරු පක්ෂය ගුණසිංහ මහතාගෙන් පසුව අක්‍රීය වන වට ප්‍රේමදාස සහ වින්සන් පෙරේරා යන නාගරික මන්ත්‍රීවරු එක්සත් ජාතික පක්ෂය තුළ තහවුරු වී සිටියහ. ඔවුහු දිගටම එම පක්ෂයෙන් දේශපාලනය කළහ.
ඉතා වැදගත් දේශපාලන සංසිද්ධියක් ඇති වූයේ 1956 පාර්ලිමේන්තු මැතිවරණයේදීය. මෙහිදී ප්‍රේමදාස මහතා තරග කිරීමට තෝරා ගත්තේ තම ගම් ප්‍රදේශය වූ මැද කොළඹ ආසනය නොව හතර මායිම් පවා නොදන්නා ඈත සබරගමුවේ රුවන්වැල්ල ආසනයයි. එය අපූරු තෝරාගැනීමක් විය. එවකට රුවන්වැල්ල ආසනය නියෝජණය කළේ 1936 රාජ්‍ය මන්ත්‍රණ සභා යුගයේ සිට එම අසුන රැක ගත්තේත් එවකට ලංකා දේශපාලනයේ පතාක යෝධයෙකු වූත් සම සමාජයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා විසිනි. 1956 මැතිවරණයට පෙර සිටම සුළඟ හමන අත පැහැදිලිව පෙනෙද්දී තම නගරාධිපතිවරයා සමග උප නගරාධිපතිවරයා තරග බිමට පිවිසිම වූ කලී තමාගේ පෞද්ගලික ජයග්‍රහණයට වඩා පක්ෂය ඉහළින් තබා කටයුතු කිරීමේ ප්‍රතිපත්තිමය තීරණය යූ.ඇන්.පියේ බොහෝ දෙනා අගය කළහ. ප්‍රේමදාස මහතා රුවන්වැල්ලේදී පරාජය වූ බව ඇත්තය. මන්ත්‍රීකම කෙරෙහිම බලාගෙන ඔහු මැද කොළඹට තරග කළා නම් ඔහු මන්ත්‍රීවරයකු වන බව ස්ථිර යැයි කොමියුනිස්ට් නායක පීටර් කෙනමන් මහතා උඩකැන්දවල සරණංකර හිමියන් සමග පසු කලෙක පවසනු මම අසා සිටියෙමි. එදා ආසන අටට බහිද්දීත් මැද කොළඹ දෙවැනි මන්ත්‍රී ධුරය හිමිවූයේ එම පක්ෂයේ සර් රාසික් පරීඞ් මහතාටය. පළමුවැන්නා පීටර් කෙනමන් මහතාය.
එක් දහස් නව සිය හැටේ මාර්තු මැතිවරණය එළඹෙන විට ප්‍රේමදාස මහතා ඉහළ මට්ටමේ යූ.ඇන්.පී. නායකයෙකු බවට පත්ව සිටියේය. පනස් හයේ අන්ත පරාජයෙන් පසු බොහෝ බලවත්තු පක්ෂය හැර ගියහ. සමහරු උකටලීව නිද්‍රෝපගත වූහ. එහෙත් පරාජය ජයග්‍රහණයක් බවට හරවා ගැනීම පිණිස ජේ. ආර්. ජයවර්ධන සහ ඩඞ්ලි සේනානායක යන නායකයන් සමග දිවි පරදුවට තබා කටයුතු කළේය. 1960 මාර්තු ඡන්දයේදී මැද කොළඹ තුන්වැනි මන්ත්‍රීවරයා ලෙස ප්‍රථම වරට පාර්ලිමේන්තුවට පත් වූ නමුදු එම වසරේම ජුලි මැතිවරණයේදී පරාජයට පත් වූයේ පක්ෂයේම අය ජාති භේද අවුස්සමින් ගෙන ගිය යටිකූට්ටු වැඩ නිසාය.
එහෙත් පාර්ලිමේන්තුවෙන් පිටත ජනතා අරගලයේදී ඔහුගේ චතුර කථිකත්වය එක්සත් ජාතික පක්ෂයට මහත් සම්පතක් වූ බව අපි දුටිමු. පුවත්පත් නිදහස අහෝසි කරමින් පුද්ගලයාගේ කථාකිරීමේ මානව නිදහස උල්ලංගණය වන්නේ යැයි එම පක්ෂය ගෙන ගිය සටන එවැනි එක් නිදසුනකි. එදා පැවති රජය බිඳවැටී 1965 මාර්තු 22 වැනිදා පැවති මැතිවරණයේදී මැද කොළඹ බහු මන්ත්‍රී ආසනයෙන් නැවතත් පාර්ලිමේන්තුවට තේරී පත් වූ ප්‍රේමදාස මහතාට හිමිවූයේ ජාතික රජයේ පළාත් පාලන උපඇමති ධුරයයි. ෆෙඩරල් පක්ෂය නියෝජනය කරමින් පළාත් පාලන ඇමති ධුරය හෙබවූ රාජනීතිඥ ඇම්. තිරුවෙල්චම් මහතා තම පක්ෂයේ දේශපාලන ප්‍රතිපත්තිය ඉස්මතු කරමින් දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් නිරන්තර කේවෙල් කිරීමක යෙදී සිටියදී අමාත්‍යාංශය වෙනුවෙන් කටයුතු කිරීමට උපඇමති ප්‍රේමදාස මහතා වගබලා ගත්තේය. විවිධ සංකල්පය හඳුන්වා දෙමින් තම කාර්යපරාසය පුළුල් කර ගනිමින් මහජනයාට සේවය කිරීමට ඔහු වග බලා ගත්තේය. පූට්ටු පාලම් තැනීම් ඉන් එකකි. ගම්බද ප්‍රදේශවල ඇළ දොළ හා කුඩා ඔයවල් නිසා එගොඩ මෙගොඩ යාමට ප්‍රවාහන පහසුකම් නොමැතිවීමෙන් සංවර්ධන ප්‍රතිලාභ අත්කර ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටින ස්ථාන හඳුනාගෙන ඒවාගේ පෙර සවි පාලම් තැනීම මෙම යෝජනා ක්‍රමය විය. මෙම ව්‍යාපෘතිය පොදු ජනතාව හඳුන්වන ලද්දේ පූට්ටු පාලම් ව්‍යාපෘතිය යනුවෙනි. දශක ගණන් කාලයක් තම ගමට පාලමක් ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලමින් සිටි ජනයාට මෙම කඩිනමින් වැඩපිළිවෙළ නිසා විපුල ඵල ලැබුණි.
දවසේ පැය දහසයක් පමණ ජනතාගේ කටයුතුවල යෙදීම ප්‍රේමදාස උප ඇමතිතුමාගේ සිරිත විය. අලුයම හතරට පුවත් පත් සියල්ල කියවන ඔහු සුචරිතයේදී මහජනයා හමුවීම අරඹයි. පුවත්පත්වල සඳහන් වන මහජන ගැටලු තීරය උනන්දුවෙන් කියවන ප්‍රේමදාස ඇමතිතුමා සියලු මහජන ගැටලු ගැන දැනුම්වත් විය. අලුයම පහට නිලධාරීන්ට දුරකථනයෙන් අමතන ඔහු අසවල් තැනට ගොස් අසවල් ප්‍රශ්නය උදේ 9.00 ට පෙර විසඳන ලෙස තම නිලධාරීන්ට නියෝග කළේය. පසු කලෙක ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුවද ප්‍රේමදාස මහතා අනුගමනය කළේ මෙවැනිම ප්‍රතිපත්තියකි. අලස නිද්‍රාශීලී සහ වැඩ නොකරන ඉහළ පහළ කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට එතුමා බුරුලක් දැක්වූවේ නැත.
පළාත් පාලන උපඇමතිවරයා වශයෙන් කටයුතු කරද්දී මාලිගාවත්ත නව නගරය ගොඩනැගීමේ යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී රජයෙන් ලැබුණේ මිශ්‍ර ප්‍රතිචාරයකි. දැන් මහා නගරයක් බවට පත්ව ඇති එම ප්‍රදේශය එදා පැවතියේ චිරි විරි ගාමින් වතුර මතුපිට අඩිය තැබිය නොහැකි වගුරු තණ බිමක් වශයෙනි. “යට කල මහ වගුරු බිමකි - එහි නැග එන නව නුවරකි” යනුවෙන් සඳහන් වන විශාල පුවරුවක් එහි සවි කර තිබුණා මට මතකය. මෙම බෑරෑරුම් යෝජනා ක්‍රමය ගැන අගමැති ඩඞ්ලි සේනානායක මහතා වුවද එකඟවූවේ සැක සහිතවය. රජයෙන් සම්පූර්ණ බර දැරීමට නොහැකි බව එතුමාගේ මතය විය. එහෙත් දෙස් විදෙස් දානපතියන්ගේ ආධාර මත ව්‍යාපෘතිය ආරම්භ කිරීමට ප්‍රේමදාස මහතා සමත් වූ බව එකල පුවත්පත්වල සඳහන් විය. අහස උසට ගොඩනැගුණු තට්ටු නිවාස සංකීර්ණයක් සහිතව වර්තමානයේ දක්නට ලැබෙන එම නව නගරය එතුමාගේ සිහිනය සැබෑවීමකි.
මැද කොළඹ ජනතාවගේ සහයෝගය මත මන්ත්‍රී අසුන රැක ගත්තද 1970 මහා මැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂයේ රජය පරාජයට පත් විය. තුන් හවුලේ ආණ්ඩුවක් බලයට පැමිණියේය. එකල පැවතියේ දුර්වල විපක්ෂයකි. තුනෙන් දෙකේ බලයක් සහිත බල සම්පන්න රජයකට එරෙහිව මැති සබයේදීත් ඉන් පිටතදීත් විශාල ජන බලයක් ගොඩ නැගීමට ආර්. ප්‍රේමදාස මහතාගේ දායකත්වය මහෝපකාරි විය. වැඩ කිරීමෙන්, ක්‍රියාකාරිත්වය තුළින් තමා පක්ෂයේ දෙවැන්නා බව ඔහු පාක්ෂිකයාට ඒත්තු ගැන්වීය. පැරණි ජ්‍යෙෂ්ඨයන් අබිබවා ඔහු පෙරට පැමිණියේය. 1977 මහා මැතිවරණයේදී ද මහා ජයග්‍රහණයෙන් පසු දෙවැනි ජනරජ ව්‍යවස්ථා ක්‍රියාත්මක කිරීමේදී ඔහුට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුණේ එම පසුබිම මතය. අගමැති ධුරය නාමමාත්‍රික තනතුරක් වූ අතර එයට කිසිදු බලයක් හිමිව තිබුණේ නැත. එහෙත් බලතල ඉල්ලා නාහෙන් ඇඬීමට ඔහු පෙළඹුණේ නැත. ඔහු වැඩ කිරීමට මඟ හදා ගත්තේය. උදාගම් සංකල්පය බිහි කර රට පුරා නිවාස යෝජනා ක්‍රම ආරම්භ කළේය. මාලිගාවත්ත නව නගරය තැනීමෙන් ලත් අත්දැකීම් මත ග්‍රාමීය ජනතාවට අදාළ වන අයුරින් තම නිවාස ප්‍රතිපත්තිය හසුරුවා ගැනීමක් ලෙස එම ක්‍රියාවලිය පෙනී ගියේය.
කෙසේ වුවත් එය අතිශය සාර්ථක සහ ජන ආකර්ෂණය දිනාගත් වැඩපිළිවෙළක් බවට පත් වූ ආකාරය අපට දැකිය හැකි විය.
කාලය වේගයෙන් ගෙවී ගියේය. ජේ. ආර්. ජයවර්ධන මහතා විධායක ජනාධිපති ධුරය හොබවන දෙවැනි ධුර කාලය නිමා වෙමින් තිබුණි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව තවත් වාරයක් තරග කළ හැකි අයුරින් ව්‍යවස්ථාව වෙනස් කළ යුතු යැයි හඬක් මතු වෙමින් තිබුණි. එමෙන්ම අනුප්‍රාප්තිකයන් වශයෙන් තවත් නම් යෝජනා වෙන ආකාරයක් ද දක්නට ලැබුණි. තවත් දක්ෂයන්ගේ නම් කියැවිණි. ප්‍රේමදාස මහතා අභියෝග වලට බිය වන්නෙක් නොවේ. රටේ පැවතියේ ද ව්‍යාකූල තත්වයකි. මෙම සියලු සාධකයන් මැද 1988 දෙසැම්බර් මාසයේදී බලවත් ප්‍රතිවාදිනියක ලෙස සැලකුණු සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය පරදවා ජය ගැනීමට සමත් වූවේය. එය අමාරු සටනකි. සියයට පනහේ සීමාව ඉක්මවූවේ ඉතා අපහසුවෙනි. වෙනත් කිසිම යු.ඇන්.පී. අපේක්ෂකයෙකුට එම සටන ජය ගත නොහැකි බව සක්සුදක් සේ පෙනී ගියේය.
ජනාධිපති ධුරයේ දිව්රුම් දී රණසිංහ ප්‍රේමදාස මහතා භාර ගත්තේ දෙකොන පත්තු වූ විලක්කුවකැයි විචාරකයෝ පැවැසුහ. උතුරින් කොටි යුද්ධය නිසා රට අකර්මණ්‍ය කර තිබුණි. ත්‍රස්තවාදී කල්ලි විශාල ගණනක් රට පුරා භීෂණය වපුරමින් සිටියහ. 1987 ඉන්දු - ලංකා ගිවිසුම යටතේ ඉන්දියානු සාම සාධක හමුදාවේ භටයෝ දස දහස් ගණනක් උතුරු - නැගෙනහිර ක්‍රියාන්විතයේ යෙදී සිටියහ. ශ්‍රී ලංකා හමුදාව සිටියේ කෝපයෙනි. ඔවුන්ගේ කටයුතු සීමා වී තිබුණි. මෙම පසුබිම හමුවේ රටේ දකුණු ප්‍රදේශ වල දැඩි ආණ්ඩු විරෝධයක් සහ ඉන්දියානු විරෝධයක් ව්‍යාප්ත වෙමින් තිබුණි. රජයට විරුද්ධ ආයුධ සන්නද්ධ කණ්ඩායම් මෙන්ම රජයට පක්ෂපාත සන්නද්ධ කල්ලි ද පැවතුණු අතර රාජ්‍ය අණසක මුළුමනින්ම බිඳ වැටී තිබුණි. උතුරු නැගෙනහිර මෙන්ම කොළඹ නගරයද අනාරක්ෂිත විය. ජන ජීවිතය අවුල්ව ගියේය. මේ සියල්ල හමුවේ ප්‍රේමදාස මහතා උත්සාහ කළේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රිියාදාමය ඔස්සේ සාකච්ඡාවෙන් සම්මන්ත්‍රණයෙන් හා සම්මුතියෙන් මෙම ප්‍රශ්න විසඳා ගැනීමටය. එහෙත් එය බැරෑරුම් කාර්යභාරයකි. කොටි ත්‍රස්තයෝ අවංක නොවූහ. ඉන්දියානු හමුදාවේ අනුග්‍රහය මත මහ ඇමති වර්ධරාජා පෙරුමාල් ඊළාම් රාජ්‍යයක් ප්‍රකාශ කළේය. දිග කථාවක් කෙටියෙන් පැවසුවොත් ප්‍රේමදාස ජනාධිපතිවරයා මෙම සියලු ගැටලු වලට පිළිතුරු දුන්නේය. ඉන්දියානු හමුදාව මෙරටින් පිටමං කළේය. දකුණේ සන්නද්ධ අරගලය නිමා වූවේය. දකුණේ රාජ්‍ය අණසක පිහිටුවා රට ස්ථාවර තත්ත්වයකට ගෙන ආවේය. මෙම කටයුතු වලදී බොහෝ අත් වැරදීම්, නොසලකා හැරීම්, මතභේදාත්මක සිදුවීම් බහුලව සිදුවූවා නිසැකය.
ජනාධිපතිවරයාගේ පැත්තෙන් සලකන විට ඔහුගේ ක්‍රියා මාර්ග ගැන සාධාරණ හේතූන් තිබුණා වන්නට ද ඇත. කොටි ත්‍රස්තවාදය නිමා කිරීමට ඔහුට නොහැකි විය. පැවතියේ සංකීර්ණ හා විපරිත දේශපාලන තත්ත්වයකි.
දේශපාලන ක්ෂේත්‍රයේදී ස්ථිර සතුරන් මිතුරන් නැත්තේ යැයි කියමනක් වේ. ප්‍රේමදාස ජනාධිපතිතුමා කෙරෙහිද එය නිසැකවම බලපෑවේය. එය කරළියට ආවේ එතුමාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් කතානායක ඇම්.එච්. මොහමඞ් මහතාට භාර දුන් බව ප්‍රකාශයට පත් වූ අවස්ථාවේදීය. තමා සමග එකට කටයුතු කළ අයද ඒ වන විටත් තමා සමග තනතුරු දරන අය ද එක්සත් ජාතික පක්ෂයේ සමහර ජ්‍යෙෂ්ඨයෝ ද එයට දායක වී සිටියහ. ලංකා දේශපාලනයේ පවතින අවස්ථාවාදී ස්වභාවය දැන සිටි ජනාධිපතිවරයා සුදුසු උපක්‍රම මගින් එය අක්‍රීය කර දැමීමට සමත් වූවේය. එම අර්බුදකාරී තත්ත්වය එතුමන් විසින් හඳුන්වනු ලැබුවේ වරප්‍රසාද ලත් පන්තියේ අය සාමාන්‍ය ජනතාව අතරින් පැමිණි තමා නායකත්වයේ සිටීම නුරුස්සන නිසා මෙවැනි අර්බුදයක් නිර්මාණය කළ බවය.
1993 මැසි පළමු වැනිදා උදා විය. තම පක්ෂයේ මැයි දිනය අත්‍යාලංකාරයෙන් පැවැත්වීම නායකතුමාගේ අපේක්ෂාව විය. ජාත්‍යන්තර කම්කරු දිනය අතිශය සාර්ථක කර ගැනීම සහ එයට නායකත්වය දීමට පෞද්ගලිකවම මැදිහත් වීම එතුමාගේ අරමුණ විය.
මෙරට කම්කරු පන්තිය වෙනුවෙන් ඉදිරියට පැමිණි, එයට පුරෝගාමී නායකත්වය දුන් ඒ. ඊ. ගුණසිංහ මහතාගේ සෙවණේ තම දේශපාලන දර්ශනය පෝෂණය කර ගත් රණසිංහ ප්‍රේමදාස මහතාට මැයි දිනයට නායකත්වය දීමට තිබුණේ සදාචාරාත්මක අයිතියකි. ත්‍රස්තවාදයට තැනක් නොතැනක් නැත. ඔවුනට අවශ්‍ය විනාශය පැතිර වීම පමණි. එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරා ගෙන මැරෙන බෝම්බ කරුවෙකු වූ බාබු නමැති ත්‍රස්තයා විසින් පුපුරවා හරින ලද සයිකල් බෝම්බයක් හේතු කොට ගෙන ජනාධිපතිතුමා ඇතුළු 30 දෙනෙක් වූ පිරිසක් මරණයට පත් වූහ. ඒ අය අතර ජනාධිපතිතුමාගේ කාර්ය මණ්ඩලයේ සහ ආරක්ෂක සේවාවල බොහෝ අයද වූහ. දැඩි ආරක්ෂක විධි විධාන සලස්වා තිබුණු මොහොතක එවැන්නක් සිදුවීම ආරක්ෂක අංශ වල දුර්වලතාවක් බව බොහෝ දෙනාගේ මතය විය.
රටකට නායකයෙකු බිහි වීම අහම්බයෙන් සිදුවන්නක් නොවේ. දශක ගණනාවක පරිශ්‍රමයකින්, ක්‍රමානුකූලව පරිණාමය වන්නකි. විශේෂයෙන්ම ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ භූමිකාව එවැන්නකි. කුමන දෙයක් හෝ විනාශ කිරීම මොහොතකින් සිදු කළ හැකිය. එහෙත් ගොඩනැගීම අපහසුය. එසේම එතුමාගේ කටයුතු කෙරෙහි කුමන මතභේද පැවතියද එවැන්නෙකු බිහි වීමට තවත් බොහෝ කලක් ගත වන බව නම් සත්‍යයකි. ඒ ඔහු අධිෂ්ඨානය, ඇප කැප වීම, ධෛර්යවත් බව සහ අනලස් බව දෝතින් දරා කටයුතු කළ අයෙකු වන බැවිනි.
සෝමසිරි වික්‍රමසිංහ