මහජන සේවයට ප්‍රතිචාර


“අත්තා ඔහු නියෝජනය කළ පක්ෂයේ අයට විතරක් නෙමේ සුදුසුකම් තියෙනවා නම් විරුද්ධ පාක්ෂිකයන්ට පවා රැකියා දුන්නා. සුදුසුකම් තියන අය කොළඹට කැඳවාගෙන ගිහින් රැකියා දුන්නා. ඒ මිසක් අත්තා තෝරලා යැව්වේ නැහැ. රැකියා සඳහා තේරුවේ ඒ ඒ ආයතන හා දෙපාර්තමේන්තුවල ඉන්නා ලොකු මහත්වරු. මම මේ අය පත්කරන්න කියා නියෝග දීලා නැහැ කියා අත්තා කියනවා මට අද වගේ මතකයි. අත්තාගෙන් රැකියා ලබාගෙන විශ්‍රාම අරගෙන ජීවතුන් අතර ඉන්න අය අදටත් අත්තා ගැන කියන්නේ ගෞරවයෙන් සිහිපත් කරමින් තමා” යැයි එස්. බී. ලේනව හිටපු මන්ත්‍රීවරයාගේ මිනිබිරිය පවසන්නීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ ඇතිවූ මත ගැටුමක් නිසා 1964 වසරේ දෙසැම්බර් මාසයේ 3 වැනිදා සභානායක සී. පී. ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනෙක් විපක්ෂයට ගොස් රාජාසන කතා විවාදයේදී එයට විරුද්ධව ඡන්දය භාවිතා කිරීම නිසා සභාග රජය එක් ඡන්දයකින් පරාජයට පත්විය.


සී. පී. ද සිල්වා මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 14 අතර එස්. බී. ලේනව මහතාද සිටියේය.


මේ හේතුව නිසා 1964 වසරේ දෙසැම්බර් මාසයේ 14 වැනිදා පාර්ලිමේන්තුව විසුරුවා හැර නැවත 1965 වසරේ මාර්තු මාසයේ 23 වැනිදා මහ මැතිවරණයක් පැවැත්වූ අතර එස්. බී. ලේනව මහතා එවර මහ මැතිවරණයට කැකිරාව ආසනයෙන් තරග කළේ එක්සත් ජාතික පක්ෂයෙනි.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වී එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ අපේ අත්තා 1965 ඒ මැතිවරණයෙන්ද ජයග්‍රහණය කළා. එකල ඡන්දදායකයන් ඡන්දය පාවිච්චි කළේ පක්ෂය බලලා නොවේ. පුද්ගලයා ගැන කල්පනා කරලයි. අන්න ඒ නිසා තමා අපේ අත්තා පක්ෂය මාරු කළත් ජයග්‍රහණය කරලා ආයෙත් පාර්ලිමේන්තු ගියේ. අපේ අත්තා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් විදිහට ඉන්න කාලෙත් ජනතාවට ලොකු සේවයක් කළා. අන්න ඒ සේවයට පක්ෂය මාරු කළත් මිනිස්සු අත්තාට කෘතගුණ සැලකුවා” යැයි කුමාරි ලේනව මහත්මිය වැඩිදුරටත් පැවසුවාය. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. ලේනව මහතාගේ මිනිබිරිය තවදුරටත් සිය මතකය අවදිකරමින් මෙසේද කීවාය.


“සී. පී. ද සිල්වා මහත්මයා මහවැලි ඇමතිවරයා වුනාට පස්සේ මහවැලි සංවර්ධන කටයුතු සැලසුම් සකස් කිරීමේදී එතුමාට අපේ අත්තා ලොකු සහයෝගයක් දුන්නා. ඒ කාලයේ මේ පළාතට විදුලිය බලය තිබුණේ නැහැ. ජපන් ආධාර ඇතිව සුමිටෝමෝ ව්‍යාපෘතිය යටතේ විදුලිය ලබාදීමට මූලිකත්වය ගෙන කටයුතු කළා. මගේ සහෝදරයා වන ධම්මික ලේනවගේ නිවස පවා ජපන් ඉංජිනේරුවරුන්ට නවාතැන් ගැනීමට ලබාදී තිබුණා. කැකිරාව මධ්‍ය මහා විද්‍යාලය හා කැකිරාව දිසා රෝහල වැඩිදියුණු කිරීමටද අපේ අත්තා කටයුතු කළා.


ඒ කාලයේ කැකිරාව මැතිවරණ කොට්ඨාසයේ දුෂ්කර ගම්මානවලට ප්‍රවාහන පහසුකම් තිබුණේ නැහැ. අත්තා මුල්වෙලා එවැනි දුෂ්කර ගම්මානවලට ලංගම බස් රථ ලබාදුන්නා. ඒ බස්රථ ලබාදුන් දවසේ කැකිරාව නගර සභා පිට්ටනියේ ලොකු රැස්වීමක් තිබුණා මට මතකයි. මේ රැස්වීමට එවකට අග්‍රාමාත්‍යවරයාව සිටි ඩඞ්ලි සේනානායක මහත්තයා තමා ආවේ. අග්‍රාමාත්‍යවරයා ඇතුළු මේ උත්සවයට සහභාගිවෙන්න ආපු සියලුම මැති ඇමතිවරුන් දිවා ආහාරය ගන්න ආවේ අපේ අත්තාගේ ලේනව වලව්වට.


මැති ඇමතිවරුන් පමණක් නෙමේ අපේ ගෙදරට එන ඕනෑම අයකුට හොඳින් සංග්‍රහ කිරීම අපේ අත්තා පුරුද්දක් වශයෙන් කරගෙන ගියා. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම අපේ අත්තා පරමාදර්ශි දේශපාලනඥයෙක්. කිසිම කෙනෙකුගේ හිත රිදෙන ආකාරයට කතා කරන්නේ නැහැ. හැකි ආකාරයට හැම කෙනෙකුටම ආධාර උපකාර කළා. දේශපාලනය කිරීමට මුදල් අවශ්‍යවුනාම අත්තා එයාට අයිති ඉඩම් විකුණුවා. කාගෙන්වත් මුදල් ඉල්ලන්න ගියේ නැහැ. දේශපාලනය නිසා දේවල් නැතිකරගත්තා මිස හම්බකරගත්ත දෙයක් නැහැ. අත්තා මහත්මා දේශපාලනයේ යෙදුනු කෙනෙක් බව හරියටම කියන්න පුළුවනි.


1970 මහ මැතිවරණයට අත්තා ඉදිරිපත්වුණෙත් එක්සත් ජාතික පක්ෂයෙන්. ඒ මැතිවරණයෙන් අත්තා පරාජයට පත්වුණා. ඒ පාර කැකිරාව ආසනයට තේරී පත්වුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළ ඒ. එම්. ජිනදාස මහත්තයා. නමුත් අත්තාට කිසිම කරදරයක් හිරිහැරයක් සිද්ධවුණේ නැහැ. අද වාගේ එදා පළිගැනීමේ හෝ වෛරී දේශපාලනයක් තිබුණේ නැහැ. ඡන්දයෙන් පැරදුනාට පස්සේ අත්තා ‘අද මට ලොකු සැනසීමක් ලැබුණු දවසක්’ කියා හමුවෙන හැමෝටම කියමින් හිනාවෙමින් අපේ ගෙදර ආවා. අත්තා කවදත් බොහොම සැහැල්ලුවෙන් ජීවිතය ගෙන ගිය කෙනෙක්.


අපි කුඩා කාලේදී තමා අපේ අප්පච්චි (පුලස්ති බණ්ඩාර ලේනව) නැතිවුණේ. එදා ඉඳන් අපි හතරදෙනා රැකබලා ගත්තේ අත්තා. අප්පච්චි නැති අඩුව අත්තා පිරිමැසුවා. අපේ සෑම ඕනෑ එපාකමක්ම සොයා බැලුවා. ධම්මික බණ්ඩාර ලේනව මගේ අයියා. එයාට කුරුණෑගල මලියදේව ඉස්කෝලෙට එක්කගෙන ගියේ ඉස්කෝලේ ඉඳලා ආපහු ගෙදර එක්කගෙන ආවෙත් අත්තා. අත්තා 1972 මාර්තු මාසයේ 15 වැනිදා අපෙන් සදහටම සමුගත්තා. අත්තාට අවසන් ගෞරව දක්වන්න මහ සෙනගක් ආවා. අත්තා ඡන්දෙන් පැරදුනත් එයා හැකි හැම අවස්ථාවකම මියයන තෙක්ම පොදු වැඩ කටයුතුවල නිරතව සිටියා. හැකි අයුරින් උදව්වක් ඉල්ලගෙන එන අයට උදව් කළා. අත්තා මියයද්දී එයාට අවුරුදු 72 ක් විතර වයසයි”


එස්. බී. ලේනව මහතා පදිංචිව සිටි ලේනව වලව්වේ අද පදිංචිව සිටින්නේ ඔහුගේ දියණියවූ තිලකා ලේනව මහත්මියගේ දියණියක වන යමුනා කුමාරි සෙනවිරත්න මහත්මිය වන්නීය.


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. ලේනව මහතාගේ අභාවයෙන් පසු දේශපාලනයට පිවිසියේ ඔහුගේ මුණුපුරෙක්වූ ධම්මික බණ්ඩාර ලේනව මහතාය. හිටපු ජනාධිපතිවරයෙකු වූ ජේ. ආර්. ජයවර්ධන මහතා පළාත් සභා ක්‍රමය මෙරට ඇති කළේ ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් වශයෙනි.


ශ්‍රී ලංකාවේ පැවති පළමු පළාත් සභා ඡන්දයට ශ්‍රී ලංකා මහජන පක්ෂයෙන් උතුරු මැද පළාත් සභාවට ධම්මික බණ්ඩාර ලේනව මහතා තරග කළේය. උතුරු මැද පළාත් සභාවට ඔහු තේරීපත්වූයේ පළාත් සභාවක පළමුවැනි ලාබාලම විපක්ෂ නායකවරයා බවටද පත්වෙමිනි.


උතුරු මැද පළාත් සභාවේ විපක්ෂ නායකවරයා ලෙස ප්‍රදේශයට සුවිශේෂී මෙහෙවරක් කළ ධම්මික බණ්ඩාර ලේනව මහතාද පසුගිය වසරේ ජනවාරි මාසයේ 10 වැනිදා මියගියේ හදිසියේ රෝගාතුරවීමෙනි.


සිය සහෝදරයාගේ ජයග්‍රහණයට අත්තාගේ දේශපාලන ක්‍රියාකාරකම් ද බෙහෙවින් ඉවහල්වූ බව කුමාරි ලේනව මහත්මිය පවසන්නීය.


ඒ ගැන අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් මෙසේද කීවාය.


අත්තා ඡන්දය ඉල්ලන්න ගමකට ගියාට සාමාන්‍ය මිනිස්සුන්ගේ ගෙවල්වල අගුපිලේ වාඩිවෙනවා. මම මේ පාර ඡන්දෙ ඉල්ලනවා ඒකයි ආවේ කිව්වාම ආයෙත් එන්න ඕනෑ නැහැ. අපි ඔබතුමාට ඡන්දය දෙනවා කියනවා. ගමක එක ගෙදරකට ගියාම ඒ ගමේ ඉන්න හැමෝම ඒ ගෙදරට එනවා. අඩු කුලයක යැයි සම්මත ගමකට ගිහින් ඒ ගමේ නිවසක අගුපිලේ වාඩිවුනාම ගමේම අය පුදුමවෙලා. ඒ ගමේ සේරම දෙනා අත්තාට තමා ඡන්දය දීලා තියෙන්නේ. අපේ අයියා උතුරුමැද පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වුනාම අයියාටත් ඒ ගමේ සේරම දෙනා ඡන්දය දීලා තිබෙනවා. ඒ අපේ අත්තාට කරන ගෞරවයක් වශයෙන්”


ශ්‍රී ලංකා මහජන පක්ෂය බිහිකිරීමට විජය කුමාරතුංග මහතා සමග එක්ව පුරෝගාමී මෙහෙවරක් ධම්මික බණ්ඩාර ලේනව මහතා ඉටුකර ඇති අතර පසුකාලයක ඔහු එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයෙක් වශයෙන්ද කටයුතු කර ඇත.


කියන්නට අමතකවී ගිය කතාවක් ගැන ගීතා කුමාරි ලේනව මහත්මිය සිය මතකය අවදිකළාය. ඒ කතාව මෙසේ සටහන් කරන්නේද ඇයගේ මතකය ඔස්සේය.


“අනුරාධපුරය ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ශාඛාවකට කිසියම් පුද්ගලයෙක් හානිකර තිබුණා. ඒ 1935 වසරේදී කියා තමා අත්තා මාත් එක්ක කියා තිබුණේ. එවකට අටමස්ථානාධිපතිව වැඩ විසුවේ රේවත නායක හාමුදුරුවෝ අපේ අත්තාගේ (එස්. බී. ලේනව) මාමා කෙනෙක්. හානි කළ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඒ ශාඛාවට ප්‍රතිකාර කර තියෙන්නෙත් අපේ අත්තා බව ඔහු මාත් එක්ක කියා තිබෙනවා. අත්තා කෘෂිකර්ම උපදේශකයෙක් විදිහට රැකියාව කළ නිසා ඒ ගැන දැනුමක් තියෙන්න ඇති” 
තොරතුරු සොයා ගැනීමේදී සහාය දුන් ධම්මික බණ්ඩාර ලේනව මහතාගේ බිරිඳ නිශාන්ති බණ්ඩාර මහත්මියට විශේෂ ස්තුතිය.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය