මහත්වරුන්ගේ සමුගැනීම්


 

 

1956 අප්‍රේල් 5, 7 සහ 10 වැනි දිනවල පැවැත් වූ මහා මැතිවරණයෙන් විශිෂ්ට ජයග්‍රහණයක් මහජන එක්සත් පෙරමුණේ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ පාර්ශ්වයට හිමිවිය. 


1956.04.11 වැනි දින ඡන්ද ප්‍රතිඵල නිකුත් කර අවසන් වූ අතර කිසිදු විරුද්ධත්වයක් හෝ ආරෝවක් නොමැතිව පරාජිත එක්සත් ජාතික පක්‍ෂයේ අගමැතිව සිටි මහා මාන්‍ය සර් ජෝන් කොතලාවල එදිනම අග්‍රාමාත්‍ය ධුරයෙන් ආරක්‍ෂක හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යධුරයෙන් ද ඉල්ලා අස්විය. එම ලියැවිල්ල අග්‍රාණ්ඩුකාර ධුරය දැරූ සර් ඔලිවර් ගුණතිලකයන් වෙත භාර දුන්නේය. 
අනතුරුව සර් ජෝන් අලුතින් පත්වූ තම හිතවත් බණ්ඩාරනායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවට සුබපතමින් ජාතිය අමතා කතා කළේය.
“මා පදවිය බාරගනිද්දී’ තිබු රුපියල් තුන්කෝටි හැටලක්‍ෂය වෙනුවට අලුතින් ආණ්ඩුවට රුපියල් දහනව කෝටි හැත්තෑ ලක්‍ෂයක් ඉතිරිකර තබා යමි” යැයි ඔහු පැවසීය. 
‘විපක්‍ෂයේ වෙනත් කණ්ඩායමක් ලෙස සිටිමින් පක්‍ෂයේ ප්‍රතිපත්ති රැක ගන්නා අතරම රජය විසින් රටේත් එහි ජනතාවගේත් යහපත උදෙසා කරන හැම කටයුත්තකටම සහයෝගය දක්වන” බව සර් ජෝන්ගේ කතාවේදී සඳහන් විය. එය ලංකාදීප පුවත්පත වාර්තා කළේ මෙසේය.
“මම අවුරුදු දෙක හමාරක් අගමැතිව සිටියෙමි. මගේ පක්‍ෂය බලයට පත්වූ කාලය තුළ රටේ සාමයත් අභිවෘද්ධියත් පැවැතියේය. අපි නීතියක් සාමයත් රැක්කෙමු. ඒ සඳහා මහජනතාවගේත්, ආණ්ඩුවේ සේවයන්ගේත් ප්‍රවෘත්ති පත්‍රවලිනුත් මට ලැබුණු සහයෝගය කෘතඥතා  පූර්වකව මෙහි සඳහන් කරමි. අභිනව ආණ්ඩුවටත් එම සහයෝගයම ඔවුන් දක්වතැයි මම බලාපොරොත්තු වෙමි.”


සර් ජෝන් එසේ මාධ්‍යයට ප්‍රශංසා කළ ද එකල පැවති පුවත්පත් තරම් සර් ජෝන්ගේ ක්‍රියා පිළිවෙත විවේචනයට හා විචාරයට ලක්කළ වෙනත් මාධ්‍යක් නොවිණ. සර් ජෝන්ගේ එදිනෙදා වැඩ හා කියුම් පුවත්පත් කාටුන් මගින් පතුරු ගසා තිබිණ. ගුවන් විදුලියේ විහිළු තහළු වැඩ සටහන් නිර්මාණය කළ එච්.ඩී. විජයදාස වැනි නිර්භීත මාධ්‍යවේදීන්ට දඬුවම් වෙනුවට ලැබුණේ පැසසුම්ය.
සර්ජෝන් කොතලාවල  කොතරම් ප්‍රජාතාන්ත්‍රික නායකයකුද කිවහොත් ඔහු තම පරාජය ගැන කිසිවකුට ඇඟිල්ල දිගු නොකළ අතර ඔහු තමා ඉතිරි කර යන  මුදල් භාණ්ඩාගාරය ගැන ඉතාම තෘප්තිමත් අයුරින් කතා කළේය. 
“අලුත් ආණ්ඩුව වෙනුවෙන් මා ඉතිරි කළ මුදල දහනව කෝටි හැත්තෑ ලක්‍ෂයක්. චිනයට හා බුරුම ආණ්ඩුවට ගෙවා ඇති හයකෝටි පනස් ලක්‍ෂයක අත්තිකාරම් මුදල් මීට ඇතුළත්  කළේ නෑ. අපි භාණ්ඩාගාර ණයකර පිළිබඳ ලඝු කාලීන ණය, රුපියල් අටලොස් කෝටි හතළිස් ලක්‍ෂයෙන් හය ලක්‍ෂය දක්වා අඩු කළා.’
“ප්‍රධාන බැංකුවෙන් කල්තබා ලබාගත් මුදලින් රුපියල් හත්කෝටියකුත් අර්ධ රාජ්‍ය දෙපාර්තමේන්තුවලින් ගත් ණය මුදල්වලින් රුපියල් තුන්කෝටි අනු ලක්‍ෂයකුත් ආපසු ගෙව්වා. ගතවූ වසර දෙකහමාර තුළ සාවුරුදු සංවර්ධන යෝජනා  ක්‍රමයට යෙදවීම සඳහා මේ විශාල මුදල ඉතිරි කර ගැනීම රටේ භාග්‍යයක්.”
මෙතරම් පැහැදිලිව පරාජිත නායකයකු භාණ්ඩාගාරය ගැන කතා කළ අවස්ථා විරලය.
සහල් මිල අඩුකිරීම පිණිස ද කොතලාවල පාලනය දැරූ උත්සාහය විශිෂ්ටය. ඒ සඳහා සමාජවාදි චීනයෙන් හා බුරුමයෙන් අඩු මිලට සහල් ගෙන්වා ගැනීමට ඔහු උත්සාහ කළත් එයින් වැළකුණේ මහ මැතිවරණය ළඟ නිසා එය ඡන්ද ගැටයක් යැයි සමහරු සැලකිය හැකි බැවිනි.


එක්සත් ජාතික පක්‍ෂය ලද බරපතළ පරාජය වසා ගැනීමට අගමැති තනතුර දැරූ සර් ජෝන් පාක්‍ෂිකයනට දොස් නොපැවරිය. ඔවුන්ට මෙසේ පැවසීය.
“ඔබට මම හදපත්ලෙන්ම කෘතඥ වෙනවා. ඒත් රටවැසියන් වශයෙන් ලැබිය යුතු අයිතිවාසිකම් හා වරප්‍රසාද ආරක්‍ෂා කර ගැනීමට කල්පනාකාරි වන්න. අවශ්‍යතාවක් උද්ගත වුවහොත් මගේ පක්‍ෂයත් මමත් ඔබ ළඟම ඉන්නවා.”
1956 මහ ඡන්දයෙන් එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරු 10 දෙනෙක් පරාජය වූහ. ස්වාධිනව කැලණිය හා දඹදෙණිය යන අසුන් දෙකටම බණ්ඩාරනායක මැතිඳුගේ ආශිර්වාදය මැද තරග කළ රිචඞ් ගෝඨාභය සේනානායක හෙවත් ආර්. ජී. එම අසුන් දෙකම විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළේ මෙරට මැතිවරණ වාර්තාවක් තබමිනි.
උතුරු - නැගෙනහිර ඡන්ද කොට්ඨාසවලින් ද්‍රවිඩ සංගමය පරදවා ෆෙඩරල් පක්ෂයට ජය අත් වූණත් ද්‍රවිඩ සංගමයේ නායක ජී. ජී. පොන්නම්බලම් තම අසුන දිනා ගත්තේය.
එජාපයේ බලකණුවක්වූ ජේ. ආර්. ජයවර්ධන පැරදවූ ආර්. ජී. මෙසේ ප්‍රකාශයක් නිකුත් කළේය.”
“මගේ ආදරණීය සුන්දර කල්‍යාණියගේ මෙම මංගල දිනයේදී කිසිම කලකෝලහාලයකින් තොරව ශාන්ත ලෙස ජයග්‍රහණයේ ප්‍රිතීය භුක්ති විඳින්න”.
කොළඹ කච්චේරි භූමියට එක් රැස්වූ පිරිස එම කතාව අසා මහත් උද්වේගයක් දැක්වූ බව පළවිය.
අනතුරුව කතා කළේ ආහාර අමාත්‍ය ධුරය දැරූ පරාජිත ජේ. ආර්. ජයවර්ධන මහතාය.
“එක්සත් ජාතික පක්‍ෂය කැලණියෙන් පමණක් නොව ලංකාවෙන්ම මහත් පරාජයකට පත්වූ  බව නිහතමානිව පිළිගනිමි. ප්‍රජාතන්ත්‍රවාදය පිළිගන්නා අප මින් ඉදිරියට කල්පනාවෙන් කටයුතු කරමු.”

 


සර් ජෝන් කොතලාවල හා බණ්ඩාරනායක යන ජනනායකයෝ මැතිවරණ ප්‍රතිඵල අසමින් විවේක සුවයෙන් පසුවූ බව අප්‍රේල් 07 වැනිදා ලංකාදීපය වාර්තා කළේය. ඒ අනුව සර් ජෝන් වැඩි වේලාවක් ගතකර ඇත්තේ රත්මලාන කඳවල වත්තට වී පුවත්පත් කියවමිනි.
රොස්මිඞ් පෙදෙසේ සිය නිවසට පැමිණි බණ්ඩාරනායක මහතා මිතුරන් හමුවීමෙන් අනතුරුව කොටුවේ පොත් සාප්පුවකට ගොස් පොත් රැසක් මිලට ගෙන එදින රැයේම හොරගොල්ලට පිටත් විය.
ලංකා ගුවන් විදුලි සේවයේ ප්‍රවෘත්ති ප්‍රකාශනය නගරයෙන් ඔබ්බට ගම් නියම් ගම් සිසාරා ජන හදවත් වැලඳගත්තේය. ප්‍රවෘත්ති ප්‍රචාරය පාන්දර 03ට නතර කරන තෙක්ම ඔල්වරසන් දෙමින් ගී කියමින් හා නටමින් ද ජය සැමරූහ.
යළි ප්‍රතිඵල ඇසෙත්ම කන් බිහිරි කරවන හඬින් රතිඤ්ඤා පිපිරෙන්නට විය. නොයෙක් ප්‍රදේශවල මඟුල් බෙර වයා රබන් ගසා කැවුම් කිරිබත් හදා ජනතාව ප්‍රතිචාර දැක්වූහ.
අප්‍රේල් 05 වැනිදා ඡන්දයෙන් පරාජයට පත්වූවන් අතර හිටපු පොලිස්පති රිචඞ් අලුවිහාරේ මෙන්ම ශ්‍රීලනිපයෙන් අස්වී එජාපයෙන් තරග කළ බර්නාඞ් අලුවිහාරේ යන දෙසොහොයුරෝ ද වූහ. කලාවැව අසුනේ සර් රිචඞ් අලුවිහාරේ වෙනුවෙන් ඡන්ද කටයුතු කළ ලොරියක් මාතලේ එලගමුවේදී අනතුරට පත්ව රියැදුරාට බරපතළ තුවාල සිදුවී තිබිණ.


ආර්. ජී. සේනානායකයන්ගේ මව හෙවත්, එෆ්. ආර්. සේනානායක විරුවාගේ බිරිඳ මිය ගියේද අප්‍රේල් 05 වැනි බ්‍රහස්පතින්දාය. මැතිවරණ කටයුතු නතර  කළ ආර්. ජී. එම ආදාහනෝත්සවයට සහභාගි විය.

මහනුවර අසුන දිනු පී.තෙන්නකෝන් මහතා සහ බිරිඳ ගමන්ගත් මොටෝරියද 05 වැනිදා රාත්‍රි අකරතැබ්බයකට ලක්වුණි. ඒ ත්‍රිකුණාමල විදියේදී ගල් හා බෝතල් වලින් පහරදීමෙන් රිය නතර කර තිබුණේ ඡන්ද දායකයන්ගේ පිළිගැනීමකට සහභාගිවීමටය. 
ඡන්ද ප්‍රතිඵල නිකුත්වන විට ජයනියත බව නිහතමානිව පිළිගැනීමට බණ්ඩාරනායක මහතාට සිදුවිය.
මා බලාපොරොත්තු වුණාටත් වඩා දරුණු පහරක් එක්සත් ජාතික පක්‍ෂයට වැදුණු බව පේනවා. ඔවුන් ගැන ජනතා විශ්වාසය සම්පූර්ණයෙන් නැතිවෙලා. ඒත් මා එම සතුට විඳින්නේ ප්‍රීතිමත් හැඟීමකින් නොව නිහතමානි කමින්. ඒ වගේම මගේ පූර්ණ ශක්තියෙන් අවංක ලෙසත් හිතවත් ලෙසත් රටට සේවය කිරීමේ අදිටනින්.”
“අර්බුද හෝ කලබල වලින් තොරව සාමකාමීව අණ්ඩුවක් වෙනස් කිරීමට හැකිවීම ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රධාන ලක්‍ෂයක් යැයි එතුමා ලංකාදීපයට පැවසීය.
නව ප්‍රතිපත්ති හා වැඩ පිළිවෙළවල් ස්වභාවික ලෙස ක්‍රියාවේ යොදවන අතර සියලු ආගම් සහ සුළු ජන කොටස්වලට යුක්තිය හා සාධාරණය ඉටුකරන බවත් දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළි නොගන්නා බවටත් එතුමා සහතික විය.


එහෙත් සර්ජෝන් වැරදෙන්නට කලින් කියා තිබූ කතාවක් මෙහිදී මතකයට නැංවිණ.
“එක මන්ති්‍රීවරයකු හිටියත් දහයක් හිටියත් මං අගමැති වෙනවා. මේ ගැන මාධ්‍යවේදීන් කළ විමසීමට බණ්ඩාරනායක මහතා මෙසේ ප්‍රති උත්තර දුන්නේය.
“මා මිත්‍ර ජෝන් සමහර විට අපරීක්‍ෂාකාරී ප්‍රකාශ කර තිබෙනවා. එහෙත් ව්‍යවස්ථා විරෝධීන් හෝ පාර්ලිමේන්තු විරෝධීව ක්‍රියා මාර්ග අනුගමනය නොකිරීමට අතිගරු අග්‍රාණ්ඩුකාරතුමා පියවර නොගනි යයි බලාපොරොත්තු වනවා.”


මෙරට තුන්වන ලෙස අගමැති බණ්ඩාරනායක මැතිදුන් සහ අමාත්‍ය මණ්ඩලය 1956 අප්‍රේල් 12 වන බ්‍රහස්පතින්දා අග්‍රාණ්ඩුකාරතුමා දිවුරුම් දෙනු ලැබිණ. නමුත් එම අවස්ථාව යෙදි තිබුණේ 13 වැනිදාටය. ඒත් සර් ජෝන් එදිනම අග්‍රාමාත්‍ය පදවියෙන් නිහතමානීව ඉවත්වීම නිසා දිනය 12 දිනය විය.
ස්වාධීන මන්ත්‍රී ආර්. ජී. සේනානායකයන්ද මහජන එක්සත් පෙරමුණට බැඳුණහොත් අමාත්‍ය පදවියත් ලැබෙනු ඇතැයි දේශපාලන විචාරකයෝ අදහස් පළ කළහ.
අගමැති හා ආරක්‍ෂක හා විදේශ  කටයුතු ධුරය බණ්ඩාරනායක මැතිදුන්ට ද මුදල් අමාත්‍ය ධුරය ස්ටැන්ලි ද සොයිසා වෙත ද අධිකරණ අමාත්‍යධුරය රාජ නීතිඥ ඇම්. ඩබ්ලිව්. එස් ද සිල්වාට ද  ගමනා ගමන අමාත්‍ය ධුරය මෛත්‍රීපාල සේනානායකයන්ට ද, ස්වදේශ කටයුතු අමාත්‍යධුරය ඒ. පී. ජයසූරියටද, ගොවිකම් ආහාර හා ඉඩම් අමාත්‍යාංශය සී. පී. ද සිල්වාට ද, පළාත් පාලන, සංස්කෘතික හා ආගමික අමාත්‍යාධුරය ජයවීර කුරුප්පුට ද, අධ්‍යාපන අමාත්‍ය ධුරය විජයානන්ද දහනායකටද, කම්කරු සමාජ සේවා අමාත්‍ය ධුරය ටී. බී. ඉලංගරත්නට ද, කර්මාන්ත හා ධීවර අමාත්‍ය ධුරය ජී. එච්. විලියම් සිල්වාටද, තැපැල් හා විදුලි සංදේශ අමාත්‍ය ධුරය සී. ඒ. එස්. මරික්කාර්ට ද හිමිවිය.
කථානායක ධුරයට පුත්තලම මන්ත්‍රී එස්. එම්. ස්මායිල් මහතා නම් කෙරිණ. මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රථම වරට කාන්තා මන්ත්‍රීවරියකට ද අමාත්‍ය පදවියක් පිරිනැමින. සෞඛ්‍ය ඇමැතිනිය ලෙස විමලා විජයවර්ධන මැතිනිය දිවුරුම්  දුන්නේ එබැවිනි.


අප්‍රේල් 14 වැනිදා සිංහල අලුත් අවුරුද්දේ සවස 3ට දළදා මාළිගාව වෙත සාධුකාර නාද මැද පියමන් කළ නව අගමැතිදුන් ඇතුළු පිරිස ලංකා රාජ්‍යයේ අනාගතය භාර ගත්හ.

 

 

පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි