ගාමිණී දිසානායක යනු ශ්‍රී ලාංකේය දේශපාලන ඉතිහාසයේ නොමැකෙන චරිතයකි. ලංකාවේ මෙතෙක් බිහිවූ දැවැන්තම සංවර්ධන ව්‍යාපාරය වන මහවැලි යෝජනා ක්‍රමය අවුරුදු 30කින් අවසන් කිරීමට තිබූ නමුත්, වර්ෂ 5කින් අවසන් කිරීමේ කඩිනම් මහවැලි ව්‍යාපාරය මෙහෙය වූ මහා සෙන්පතියා ගාමිණී දිසානායක බැව් කවුරුත් දන්නා කරුණකි. ප්‍රබල ඇමැතිවරයකු හා ජනාධිපති අපේක්ෂකයකු වූද ගාමිණී දිසානායක මහතාගේ මුල් දේශපාලන ජිවිතය පිළිබඳව මෙසේ සටහන් තබමි.
ගාමිණී දිසානායක මහතාගේ පියා ද කලකට පෙර මන්ත්‍රීවරයකු වූ නමුත් එතුමා දේශපාලනයට පිවිසියේ පියාගේ උදව්ව මත නොවේ. 1965 මහ මැතිවරණයේදී නුවරඑළිය ආසනයට එක්සත් ජාතික පක්ෂයෙන් නාමයෝජනා ලැබුණේ ටයිම්ස් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති ඩොනල්ඞ් ජේ. රණවීර මහතාටය. එක්සත් ජාතික පක්ෂය බලයට පැමිණි එම මැතිවරණයේදී ඩොනල්ඞ් ජේ. රණවීර මහතා නුවරඑළිය ආසනය ජයග්‍රහණය කරන ලදී. රණවීර මහතාගේ කාර්ය බහුලත්වය මත 1970 මැතිවරණයේදී නැවත තරග නොකිරීමට රණවීර මහතා තීරණය කොට තිබිණ.
එජාප නායක ඩඞ්ලි සේනානායක මහතාට නුවරඑළිය ආසනයට සුදුසු අපේක්ෂකයකු සෙවීම ගැටලුවක් වී තිබිණ. මේ අතර තරුණ අධිනීතිඥයකු වූ ගාමිණී දිසානායක මහතා ඩඞ්ලි සේනානායක මහතාට අඳුනා ගැනීමට අවස්ථාව ලැබිණ. ගාමිණීගේ කර්යශූරත්වය, දක්ෂතාව හා හැකියාව, දුරදක්නා නුවණින් අවබෝධ කර ගත් ඩඞ්ලි සේනානායක මහතා නුවරඑළියේ එජාප අපේක්ෂකත්වය ගාමිණීට දීමට තීරණය කරන ලදී. මා දන්නා පරිදි එවකට මහනුවර ප්‍රසිද්ධ හෝටලයක්ව තිබූ යටිනුවර විදියේ “සිල්වඬේල්” හෝටලයේ හිමිකාරීත්වය ද තිබුණේ දිසානායක පවුලටයි.
1970 මැතිවරණයේදී නුවරඑළියට නාමයෝජනා දීමේදී එජාපයෙන් ගාමිණී දිසානායක මහතා ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ටී. විලියම් ප්‍රනාන්දු මහතා ද ඉදිරිපත් වූහ. ස්වාධීන අපේක්ෂකයන් දෙදෙනෙක් සිටිය ද සටන පැවතියේ එජාපය හා ශ්‍රීලනිපය අතරය. ශ්‍රීලනිප අපේක්ෂකයාට එකල ප්‍රබලව පැවැති ලංකා සමසමාජ සහ කොමියුනිස්ට් පක්ෂවල සහයෝගය ද හිමි වූ අතර, ශ්‍රීලනිප, ලසසප, කො.ප යන පක්ෂ තුනෙන් සැඳුම්ලත් සමගි පෙරමුණ අති ජනප්‍රිය තත්ත්වයක පැවතින. ශ්‍රීලනිප අපේක්ෂක ටී. විලියම් ප්‍රනාන්දු මහතා නුවරඑළියේ ප්‍රබල දේශපාලන චරිතයක් වූ අතර, ප්‍රබල පවුල් පසුබිමකින් යුත් පවුලකින් පැවත එන්නෙක් ද විය.
1970 මැයි 27 වැනි දින මහ මැතිවරණය පැවැති අතර, එදින රාත්‍රිය වනවිට මුළු ලංකාවම ගුවන් විදුලිය අසලට වී (එම දිනවල රූපවාහිනිය නැත) මැතිවරණ ප්‍රතිඵල ශ්‍රවණය කරන ලදී. රාත්‍රී 11ට පමණ පළමු ප්‍රතිඵලය ලෙස නිකුත් වූ මිහින්තලය ශ්‍රීලනිපයේ පතිරාජ තෙන්නකෝන් මහතා ජය ලබා තිබිණ. දෙවෙනියට නිකුත් වූ ප්‍රතිඵලය වූ මහනුවර එජාපයේ ඊ.එල්. සේනානායක මහතා ජය ලැබීය. තුන්වැනි ප්‍රතිඵලය ශ්‍රීලනිපයට හිමි වූ අතර, හතරවැනි ප්‍රතිඵලය ලෙස නුවරඑළිය නිකුත් විය. ප්‍රබල විලියම් ප්‍රනාන්දු මහතාව පරදවමින් නවක අපේක්ෂක ගාමිණී දිසානායක මහතා වැඩි ඡන්ද තුන්දහස් ගණනකින් නුවරඑළිය ආසනය දිනාගැනීමට සමත් විය. ඊටපසු නිකුත් වූ ප්‍රතිඵල අනුව සමගි පෙරමුණට විශිෂ්ට ජයක් හිමිවූ අතර, එය මුළු මන්ත්‍රී සංඛ්‍යාවෙන් තුනෙන් දෙක ද ඉක්ම විය. එක්සත් ජාතික පක්ෂයට ජය ගැනීමට හැකි වූයේ බහුමන්ත්‍රී ආසන ද සමග 17ක් පමණි.
කෙසේ වුවද ගාමිණී දිසානායක මහතාගේ පත්වීමට විරුද්ධව නුවරඑළිය ආසනය සඳහා ඡන්ද පෙත්සමක් ඉදිරිපත් විය. පැමිණිල්ල චෝදනාව ඔප්පු කිරීමට සමත්වූයෙන් ගාමිණී දිසානායක මහතාට ආසනය අහිමි විය. ගාමිණී දිසානායක මහතාට විරුද්ධව චෝදනාව වූයේ ගාමිණී දිසානායක මහතාගේ දේශපාලන නියෝජිත (ආසන ක්‍රමයට අනුව අපේක්ෂකයකු මැතිවරණ නියෝජිතයකු පත් කළ යුතු අතර, ඔහු කරන වැරැද්ද අපේක්ෂකයාට බලපායි) ප්‍රතිපක්ෂ අපේක්‍ෂක විලියම් ප්‍රනාන්දු මහතාගේ චරිතයට අපහාස වන අන්දමින් කතාවක් කර ඇති බවයි.
තීන්දුව දීමේදී විනිසුරුතුමා සඳහන් කළේ හොඳ අනාගතයක් ඇති මෙම තරුණ මන්ත්‍රීවරයාගේ ආසනය අහිමි කිරීම පිළිබඳව එතුමා පුද්ගලිකව කනගාටු වන බවයි.
විනිසුරුතුමා එසේ සඳහන් කළේ එවකට පැවති නීතිය අනුව ඡන්ද පෙත්සමකින් ආසනය අහිමි වුවහොත් ඔහුට නැවත අවුරුදු 7ක් මැතිවරණවලට තරග කිරීමට නොහැකිවීමයි. එසේ වූවා නම් ගාමිණී දිසානායක මහතාගේ දේශපාලන දිවිය ද අවසන් වීමට ඉඩ තිබිණ.
මෙම කාලයේදීම රත්නපුර ශ්‍රීලනිප මන්ත්‍රී නන්ද එල්ලාවල මහතාගේ ආසනය ද ඡන්ද පෙත්සමක් මගින් අහිමි විය. තරුණ රැඩිකල් මන්ත්‍රීවරයකු වූ නන්ද එල්ලාවල මහතාගේ ආසනය අහිමිවීම අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සසල කිරීමට හේතුවක් විය. නන්ද එල්ලාවල මහතාව නැවත පාර්ලිමේන්තුවට ගෙන ඒමේ දැඩි අවශ්‍යතාවක් අගමැතිනියට තිබූ බැවින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලය උපයෝගී කර ගනිමින් විශේෂ පනතකින් “ඡන්ද පෙත්සමකින් ආසනය අහිමි වුවද ඔහුට නැවත මැතිවරණවලට තරග කිරීමට හැකිය” යන්න සම්මත කිරීමට යෙදුණි. ඒ දිනවල විපක්ෂය මෙම පනත හඳුන්වන ලද්දේ ‘එල්ලාවල පනත’ යනුවෙනි.
කෙසේ වුවද මෙම පනතින් නුවරඑළිය අහිමි වූ ගාමිණී දිසානායක මහතාට ද වාසනාව උදා විය. ඔහුට ද අතුරු මැතිවරණයේදී නැවත නුවරඑළියට තරග කිරීමට හැකියාව ලැබිණ. නන්ද එල්ලාවල මහතා ශ්‍රීලනිපයෙන් රත්නපුර ආසනය තරග කරනවිට නුවරඑළියට ගාමිණීත් එජාපයෙන් ඉදිරිපත් කරන ලදී.
මෙවර ද ප්‍රතිඅපේක්ෂකයා වූයේ ශ්‍රීලනිපයේ ටී. විලියම් ප්‍රනාන්දු මහතායි. 1972 පැවැති අතුරු මැතිවරණයේදී ආණ්ඩු පක්ෂය (සමගි පෙරමුණ) සම්පූර්ණ ශක්තිය නුවරඑළියට යොදවන ලදී. මැතිවරණය මෙහෙවන ලද්දේ ආණ්ඩුවේ සිටි ප්‍රබලම ඇමැතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතායි. අතුරු මැතිවරණය ඡන්දයකට වඩා යුද්ධයකට ආසන්න වී තිබූ අතර, ආණ්ඩුවේ බලය හමුවේ නුවරඑළිය එජාප ක්‍රියාකාරීන් බොහෝ දෙනෙක් නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදී. එජාපයේ තරුණ පෙරමුණ හා සමාජවාදී ශිෂ්‍ය පෙරමුණ මැතිවරණ ව්‍යාපාරය කරට ගෙන සටන මෙහෙයවීය. ප්‍රතිඵලය වූයේ දෙවන වරට ද විලියම් ප්‍රනාන්දු මහතා පරාජය කරවමින් ගාමිණී දිසානායක මහතා වැඩි ඡන්ද එක්දහස් ගණනකින් නුවරඑළිය මන්ත්‍රී පදවියට පත්වීමයි.
නුවරඑළියට අමතරව මෙදිනම ශ්‍රීලනිපයට හිමිව තිබූ රත්නපුර, පුත්තලම, කැස්බෑව යන ආසනවල ද අතුරු මැතිවරණ පවත්වන ලදී. ශ්‍රීලනිපයට ජයග්‍රහණය කළ හැකි වූයේ රත්නපුරය පමණි. පුත්තලම හා කැස්බෑව එජාපය විසින් දිනා ගන්නා ලදී.
අලුත් තත්ත්වයන් යටතේ එජාපයට පාර්ලිමේන්තුවේ ආසන 19ක් හිමිව තිබිණ. නවක මන්ත්‍රීවරයකු වුවද ගාමිණී දිසානායකට පාර්ලිමේන්තුවේදී සෑම පනතක් පිළිබඳවම එජාපය වෙනුවෙන් තර්කානුකූලව කතා කිරීමට සිදුවී තිබිණ. ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් වූ ආචාර්ය ඇන්. එම්. පෙරේරා, ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, මෛත්‍රීපාල සේනානායක, පී. බී. ජී. කළුගල්ල, ටී. බී. ඉලංගරත්න වැනි අය සමග වාද කිරීමට සිදුවිය. ගාමිණීට ඉහළින් කතාවට දක්ෂයින් වශයෙන් සිටියේ ජේ. ආර්. ජයවර්ධන හා ආර්. ප්‍රේමදාස යන මහත්වරුන් පමණි. එජාපයේ මන්ත්‍රීවරු 19 දෙනාගෙන් බොහෝ දෙනෙක් සම්ප්‍රදායික එජාප ආසනවලින් පැමිණි මන්ත්‍රීවරු බැවින් ඔවුන් කතාවට විශේෂ දක්ෂතා ඇති අය නොවූහ. ඔවුන් අතර මැදකොළඹ පලීල් කපූර්, මීගමුවේ ඩෙන්සිල් ප්‍රනාන්දු, ජා-ඇල පාරිස් පෙරේරා, කල්කුඩාවේ කේ. ඩබ්. දේවානායගම්, පදිරිප්පුවේ එස්. තම්බිරාසා, නිත්තවුර් එම්. එම්. මුස්තාපා, පුත්තලමේ නයින මරික්කාර් වූහ. ආණ්ඩු පක්ෂය උපහාසයට ලක්කරමින් කතා කිරීමට හැකියාව තිබූ මන්ත්‍රීවරුන් අතර ගාල්ලේ විජයානන්ද දහනායක, හිරියාලේ එස්. බී. හේරත්, උතුරු කොළඹ වී. ඒ. සුගතදාස, අකුරණ ඒ. සී. එස්. හමීඞ් වූහ. හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතා අසනීප තත්ත්වය නිසා නිහඬ පිළිවෙතක් අනුගමනය කරන ලදී.
එවකට විපක්ෂයේ සිටි සුළු මන්ත්‍රී සංඛ්‍යාව විපක්ෂ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා විසින් හඳුන්වන ලද්දේ “දත් තිස් දෙක මැද දිව” ලෙසයි. 1977 මහා මැතිවරණයේ ප්‍රචාරක පත්‍රිකාවල කථිකයින් හඳුන්වන ලද්දේ මැදකොළඹ ප්‍රේමදාස, නුවරඑළිය ගාමිණී, රත්මලානේ ලලිත්, දෙවිනුවර රොනී, බොරැල්ල මොහොමඞ්, අකුරණ හමීඞ් යනුවෙනි. මෙය ජනතාවට වඩා ලංවීම පිණිස කරන ලද ප්‍රචාරයක් විය.
සියලුම බාධක මැද ජේ. ආර්. සහ ප්‍රේමදාස මහතුන්ට ශක්තියක් වෙමින් පාර්ලිමේන්තුවේ මෙන්ම පිට ද ජේ. ආර්. ට සහ ප්‍රේමදාසට පමණක් දෙවැනි වෙමින් 1977 වනවිට එක්සත් ජාතික පක්ෂය හයෙන් පහක බලයක් දක්වා ගෙන ඒමට ගාමිණී දිසානායක මහතාගේ වූ දායකවීම අත්විශිෂ්ටය.
කැපුන්ගොඩ - ආනන්ද ජයකොඩි