මහින්ද මල්ලිත් දුටු චමල් අයියාගේ හපන්කම්


මැද මුලන මහ ගෙදර ලොකු අයියාගේ කතාව 04

 

විධායක ජනාධිපති ධුරය යටතේ පැවැත්වෙන දෙවැනි ජනාධිපතිවරණය ළඟ ළඟම එයි. එක පැත්තකින් තවමත් හදිසි නීතිය ක්‍රියාත්මකය. අනෙක් පැත්තෙන් ඇඳිරි නීතියයි. ආණ්ඩුවේ ඇඳිරි නීතියට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ නීතිය ද ක්‍රියාත්මකය. ආණ්ඩුවත් ඊට පෙරළා ජනතා විමුක්ති පෙරමුණත් දියත් කළ භීෂණයෙන් මුළු රටම පැවැතියේ බියමුසු  තත්ත්වයකය. නමක් ගමක් නැති උණ්ඩයක් සමග මාරයා කවර හෝරාවක එයිද යන බිය සමස්ත සමාජය වෙළාගෙන තිබුණි. ජීවිත මෙන්ම දේපළ විනාශවූයේ සීමා මායිමක් නැතිවය. 


ඡන්දදායකයන් බිය වැද්දීම, ඡන්දය දමන මුල් පස්_දෙනා ඝාතනය කරන බව පැවසීම විසින් මැතිවරණ නිලධාරීන් තුළ පවා ඇතිකරනු ලැබුවේ භීතියකි. ජනමත විචාරණය නමින් හඳුන්වනු ලැබූ ‘කළගෙඩි - ලාම්පු හටන’ ඡන්ද මංකොල්ලය මගින් මේ වන විට පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝකරගෙන තිබිණි. විරුද්ධ පක්ෂ කියාසිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර ජනපතිවරණය පවත්වන ලෙසය. ජනාධිපති ඡේ. ආර්. ජයවර්ධන මහතාද මෙම අදහසට එකඟවූ නමුදු ඊට බලවත්ම විරෝධය පෑවේ අගමැති ආර්. ප්‍රේමදාස මහතාය.
මිද්දෙනිය නගර මධ්‍යයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ රැස්වීමට පෙර දිනයේ නීතිඥ විජයදාස ලියනාරච්චිගේ ඝාතනය විසින් හම්බන්තොට ඇතිකරනු ලැබුවේ විශාල අවුලකි. සැබැවින්ම එය මුළු රට පුරාම ලැව් ගින්නක් සේ පැතිර ගිය පුවතක් විය. ඊට හේතුව වූයේ මානව හිමිකම් ක්‍රියාකාරිකයකු හැටියටත් ජවිපෙ ක්‍රියාකාරීන් වෙනුවෙන් අධිකරණයේ පෙනීසිටි දක්ෂ නීතිඥයකු හැටියටත් විජයදාස ලියනාරච්චි මහතා ඇතිකරගෙන තිබූ ප්‍රසිද්ධියයි. භීෂණකාරී තත්ත්වය මධ්‍යයේ වුව රැස්වීම නොපවත්වා බැරිය. සංවිධාන වැඩ පැවරී ඇත්තේ චමල් පිටය. සිය ප්‍රබල මිතුරාගේ වියෝවෙන් ජනතා විමුක්ති පෙරමුණේ කැරැලිකරුවන් තව තවත් කෝපගැන්වෙන බව ද චමල්ලා නොදැන සිටියා නොවේ. එහෙත් සියල්ල යහපත් ආකාරයෙන් අවසන් විය යුතුය. කාටවත් කරදරයක් වන්නටත් බැරිය. වෙන කරන්නට දෙයක් නැත. රැස්වීම හරිහැටි සංවිධානය කරගැනීමට නම් ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරීන් සමග සන්නිවේදනය ඇතිකරගත යුතුමය. මිද්දෙනිය නගරය පුරාම එසැවී ඇත්තේ ලියනාරච්චි මහතා වෙනුවෙන් එසැවුණු සුදු කොඩිය. 
ප්‍රදේශය පුරා වසාගෙන ඇත්තේ පාළු මූසල ගතියකි. නිල් කොඩි එසැවීම යනු මේ පරිසරය වෙනස්කිරීමකි. එය ජවිපෙට කෙසේ දැනෙනු ඇතිද? චමල් රාජපක්ෂ සිටියේ උභතෝකෝටික ගැටලුවකය. පක්ෂයත් රටත් වෙනුවෙන් අවදානම්සහගත සන්නිවේදනයේ යෙදෙන්නට චමල් තීන්දු කළේය. ජවිපෙ නායකයන්ට සිය අවශ්‍යතාව කියාසිටියේ ඒ අනුවය. උත්සාහය සාර්ථකය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රැස්වීමේ සංවිධාන කටයුතුවලට බාධාවක් ජවිපෙන් නැත. සුදු කොඩි අතරේ නිල් කොඩි ඔසවන්නට ශ්‍රී ලංකාකාරයෝ කටයුතු කළහ. ජවිපෙන් අවසරදුන්නත් බලය හිමි පාලක පංතියෙන් අවසරගැනීම පහසු නැති බව චමල්ලාට අවබෝධ වන්නට වැඩි වේලා ගියේ නැත. 


කෙතරම් පැහැදිලි කළ ද ආරක්ෂක අංශවල පැමිණීම අනිවාර්ය කරුණක් විය. එහි හුදෙක් ආරක්ෂාවට එහා ගිය දේශපාලනයක් ද විය. මිද්දෙනිය නගරයට පැමිණි යුද හමුදා නිලධාරින් අවට වටපිටාවේ වෙළෙඳසැල් වසා දමන්නට යකඩ කටින් නියෝග දුන්නේ චමල් රාජපක්ෂලා ඊට විරුද්ධ වෙද්දීය. සංවිධායකයන්ගේ ඉල්ලීම තුට්ටුවට ගණන් නොගත් හමුදා ලොක්කන්ට කඩවල් වසාදමා යන්නට ඉඩහළ චමල් ඇතුළු ශ්‍රීලනිපකාරයන් කළේ වෙළෙඳසැල් හිමියන්ට ඇති තතු පැවසීමය. 


බියක් ඇතිකරගන්නට කරුණක් නැති බවත් ආරක්ෂාව සම්බන්ධයෙන් පූර්ණ වගකීමක් ගන්නට තමන්ට හැකි බවටත් රාජපක්ෂ පවුලේ ලොකු අයියා කළ ප්‍රකාශය මිද්දෙනියේ ව්‍යාපාරිකයන්ට සහතිකයක්ම විය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ රැස්වීම ආරම්භ වන විට සුපුරුදු පරිදි වෙළෙඳ සැල් නැවත විවෘත වී තිබුණු අතර කිසිදු සිදුවීමක් නැතිව සාමකාමීවම රැස්වීමේ කටයුතු සිදුවිය.  


1988 දෙසැම්බර් 19 වැනිදාට එළිවිය. 1988 ජනාධිපතිවරණය සඳහා ලියාපදිංචි මුළු ඡන්ද සංඛ්‍යාව 9,375,742 කි. එහෙත් මරණයේ පණිවුඩය සමග ඡන්ද පොළවල් කරා පාක්ෂිකයන් රැගෙනයාම පහසු කරුණක් නොවීය. ඡන්ද පොළ රැසක ගේට්ටු පුපුරා ගියේ කල් තියා ඇට වූ බෝම්බවලිනි. මේ නිසාම ඡන්ද පොළ කරා ඡන්දදායකයන්ගේ පැමිණීම ඉතා පහළ මට්ටමකට වැටුණේය. මග දිගට කපා හළ ගස් නිසා ඡන්ද පොළ කරා ගමන ගවේෂණ චාරිකාවක් කරගැනීමට චමල්ලාට සිදුවිය. ඇණගසන ලද ලෑලි හා පොලු නිසා රථවාහන ගමනාගමනයට ද ඉඩක් නොවීය. අවසානයේදී චමල් රාජපක්ෂ තම කනිටු සොයුරු මහින්ද සමග ඡන්දපොළ කරා පා ගමනින්ම යන්නට තීරණය කළේය.
ජනාධිපතිවරණය ප්‍රතිපල නිකුත් කරනවිට අපේක්ෂකයන් තිදෙනා අතුරෙන් ප්‍රතිශතය 50.45 ක්වූ ඡන්ද සංඛ්‍යාවක් ලැබ ආර්. ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කර තිබිණි. නීතියට අනුව ඔහු ජයග්‍රාහකයා විය. එහෙත් ජනපතිවරණයට ලියාපදිංචිවූ ඡන්දදායකයන් 9,375,742 න් ඡන්දය දී ඇත්තේ 5,186,233කි. එනම් සියයට 55.32 කි. 1982 ප්‍රථම ජනපතිවරණයේදී ඡන්දය දී ඇති සංඛ්‍යාව සියයට 81.06 කි. කුප්‍රකට ජනමත විචාරණයෙන් පාර්ලිමේන්තුව දිගුකරගැනීමේ සිට තමන් කළ සංවර්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය මගින් ලබාගත් ජයක් හැටියට එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරණ ප්‍රතිපල ගැන නිවේදනය කළේය.

 


ධාරා අබේගුණවර්ධන
ඡායාරූපය : අන්තර්ජාලයෙනි