මැතිවරණයකදී ජනතාව අතරට ගොස් ඉතා නිහතමානීව ඡන්දය ඉල්ලීමටත් දහසකුත් එකක් පොරොන්දු දීමටත්, දුප්පත් ජනතාවගේ දෙපා ළඟට ගොස් කුඩා දරුවන් පවා වඩා ගනිමින් ඔවුන්ගේ සිත් දිනාගැනීමටත් ඡන්ද දායකයින් සමග එකට හිඳිමින් එකට කෑම බීම ගනිමින් ඉතා කපටි ආකාරයෙන් කටයුතු කිරීමටත් බොහෝ ලාංකීය දේශපාලනඥයින් හුරුපුරුදුවී සිටීම කවුරුත් දන්නා කරුණකි. එහි අරුමයක් නැත. ප්‍රජාතන්ත්‍රවාදය ගැන පරමාධිපත්‍යය ගැන සංවර්ධනය ගැන හදවතේ ගැඹුරුම තැනින් මතුවන්නාක් මෙන් අදහස් පළ කරන්න ඔවුන් ඡන්දයෙන් පසුව ඒ සියල්ල අමතක කරමින් මහජන මතය තුට්ටුවකටවත් මායිම් නොකරමින් හිතුවක්කාරයන් සේ ක්‍රියා කිරීම ඉතාම පැහැදිලිව පෙනෙන කරුණකි.
දුන් පොරොන්දු මග හරිමින් හිතුමතේ වැඩ කරන ඔවුහූ මහජන මතය පිළිබඳව මහා භීතියක් මවා ගනිති. ඒ නිසාම අතුරු මැතිවරණ - හදිසි මැතිවරණ හා හදිසි ජනමත උරගා බැලීම් කිසිවක් කෙරෙහි උනන්දුවක්- පැහැදීමක් නොදක්වන ඔව්හූ බලය අත හැරීමට ද කිසිසේත් කැමැත්තක් නොදක්වති. බලයට පැමිණීමේදී ප්‍රකාශ කළ අදහස් සියල්ලටම වෙනස්ව කටයුතු කරන ඔවුහු දිනෙන් දින මහජනතාව කලකිරෙමින් සිටින බව අවබෝධ කර නොගනිති. ඒ නිසාම ඔවුන් දිනෙන් දින හිතුවක්කාර ක්‍රියා තුළින් බලය රැක ගැනීමට උත්සාහ කළ අයුරු දේශපාලන ඉතිහාසය පිරික්සීමේදී මැනවින් පෙනී යන කරුණකි.
1975 සිට 1977 දක්වා මහජන මත විමසුමකින් තොරව ආණ්ඩුවේ කාලය අවුරුදු 2ක් දික්කර ගැනීම, 1983 කුප්‍රකට ජනමත විචාරණය 1993 දකුණු පළාත් සභා මැතිවරණය හා ප්‍රැන්සිස්කුකරණය ආදී සිදුවීම් තුළින් පෙන්නුම් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව බලය අත හැරීමට දේශපාලනඥයින් හා දේශපාලන නායකයින් දැක් වූ මැළිකමයි. සමහර අවස්ථාවල සමහර පාලකයින් ඡන්ද ප්‍රතිඵල නිකුත්කොට දවසක් දෙකක් යනතුරු තනතුරුවලින් නික්ම නොගිය අවස්ථාද ඉතිහාසය තුළ නැත්තේ නොවේ.
කෙසේ වුවද මේ ලිපියෙන් මා පෙන්නුම් කරන්නේ 1993 වර්ෂය පමණ වනවිට එක්සත් ජාතික පක්ෂ රජය ජනතාව තුළින් මෝරමින් ආ විරෝධතා ගැන බරපතළ ලෙස නොසැලකීමෙන් දිගින් දිගටම පසුබෑමේ ලක්ෂණ පෙන්නුම් කිරීමක් දකුණු පළාත් සභා මැතිවරණයේ දී වැඩි බලයක් හිමිකරගත් පිරිසට බලය ලබාදීමට මැළිවීමෙන් සිදුකරගත් දේශපාලන හානිය විදහා දැක්වීමක්ය. 1988 ජනාධිපතිවරණයෙන් බලයට පත් ප්‍රේමදාස ජනපතිතුමන්ගේ රජය රටේ සංවර්ධනයට යම් වැඩ කොටසක් ඉටු කරමින් කටයුතු කළ ද වැඩිකල් යන්නටත් මත්තෙන් 1991 අගෝස්තු 29 දින ඉදිරිපත් කළ දෝෂාභියෝග යෝජනාවත් සමග සලිත විය. ඉන් ඇති වූ තිගැස්ම අතරතුර යම් යම් වැඩ කොටස් සිදු කළත් දෝෂාභියෝගයේ ගිනිපුපුරු අළුයට ගිනිමෙන් වරින්වර මතුවන්නට විය. එන්න එන්නම එහි තීව්‍රතාව වැඩිවීමත් සමග පක්ෂය දෙකඩවී “රාජාලියා” කණ්ඩායමක් බිහි වූ අතර ලලිත් ඇතුලත්මුදලි - ගාමිණී දිසානායක වැනි ප්‍රබල ඇමැතිවරු එහි පෙරමුණ ගත්හ. කෙසේ වුවද 1993 පමණ වනවිට එහි උච්ඡතම අවස්ථාවට ළඟා වූ අතර 1993 අප්‍රේල් මාසයේදී ලලිත් ඇතුලත්මුදලි මහතා ද 1993 මැයි මාසයේදී ප්‍රේමදාස ජනාධිපතිතුමාද ඝාතනය වූහ.
එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ප්‍රශ්නත් උතුරේ ත්‍රස්තවාදී භීෂණයත් ඉතා උච්ඡතම අවස්ථාවට පත්වී තිබූ මෙම අවධියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ විපක්ෂය ද ආණ්ඩුවේ ක්‍රියාකලාපයන්ට එරෙහිව විවිධ වැඩසටහන් දියත් කර තිබුණි. පාද යාත්‍රා - දේවකන්නලව් - සත්‍යග්‍රහ ආදිය රටපුරා පැවැත්වීම තුළින් පෙරළිය නොහැකි බවට වහසිබස් දෙඩූ ප්‍රේමදාස රජය ද දෙදරීමට හෙල්ලීමට ලක්වී තිබිණි.
මේ අතරතුර 1993 මුලදී දකුණු පළාත් සභා ඡන්දයට මුහුණ දීමට සිදුවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පොදු පෙරමුණත් එක්සත් ජාතික පක්ෂයත් ගාල්ල - මාතර - හම්බන්තොට යන දිස්ත්‍රික් තුනේ කඳවුරු බඳිමින් දැඩි මහන්සියක් ගත්තේ තම තමන්ගේ කණ්ඩායම් කෙසේ හෝ ජයග්‍රහණය කරවීමටයි. අභ්‍යන්තර ප්‍රශ්න නිසා දෙදරීමකට ලක්වී තිබූ එක්සත් ජාතික පක්ෂය කල්පනා කළේ මෙම මැතිවරණයෙන් පරාජය වුවහොත් ඉදිරි මහ මැතිවරණය සඳහා ද එය ලොකු බලපෑමක් විය හැකි බවයි. ඒ නිසා රජයේ මැති ඇමැතිවරු දිස්ත්‍රික්ක 3 හි පදිංචිවී ඉතාමත් වෙහෙසකාරී ඡන්ද ව්‍යාපාරයක නිරත වූ අතර “රාජාලියා” කණ්ඩායමද තම ව්‍යාපාරයේ බලවත්කම පෙන්නුම් කිරීමට දැඩි ව්‍යායාමයක නිරත වූහ. පෙරමුණ ආණ්ඩුවේ අඩුපාඩු ජනතාව අතරට ගෙන ගියේ ඉතාම ප්‍රබල අන්දමින්. මෙහි අවසාන ප්‍රතිඵලය වුණේ එක්සත් ජාතික පක්ෂයට ආසන 26 කුත් පොදුජන එක්සත් පෙරමුණට ආසන 24 කුත් ලබා ගැනීමයි. මේ අතර රාජාලියා කණ්ඩායම ආසන 3ක් ලබා ගත්තේය. ඔවුන්ගේ සහායද පොදු පෙරමුණට ලැබුණු නිසා එක්සත් ජාතික පක්ෂයට වඩා එක් ආසනයක් පොදුජන එක්සත් පෙරමුණ ඇතුළු කණ්ඩායමට හිමිවුණා. එසේ එක් ආසනයකින් වැඩි වූ විපක්ෂ කණ්ඩායමේ බහුතර බලය ආණ්ඩුව පිළිගැනීමට මැළි වූ අතර එසේ වූයේ අහිමි වූ බලය වෙනත් පිරිසකට දීමට බලයේ සිටින පිරිස් නිරතුරුවම මැළිකමක් දැක්වීමය.
එසේ බලය දුනහොත් ඊළඟ මැතිවරණවලට එය විශාල බලපෑමක් වන බව ආණ්ඩුව කල්පනා කළේය. ඒ අනුව එක්සත් ජාතික පක්ෂය උසාවියේ පිහිට පැතූ අතර උසාවියෙන් තීන්දු වූයේ පොදුජන එක්සත් පෙරමුණට දකුණු පළාත් සභාව පිහිටුවන්නට හැකියාව ඇති බවය. එසේ වුවද ආණ්ඩුවේ ප්‍රබලයන් තැන් තැන්වල රැස්වී සාකච්ඡා කළේ කෙසේ හෝ පළාත් සභාවේ බලය විපක්ෂයට යාමට ඉඩ නොදී රැකගෙන සිටීමට යම් යම් උපක්‍රම අනුගමනය කිරීමටයි. නමුත් විපක්ෂය ද (පොදුජන ප්‍රමුඛ එය අත නොහැරම කෙසේ හෝ පළාත් සභාව පිහිටවමු යි කියන අධිෂ්ඨානයේ සිටියේය.
ඒ අනුව නඩු තීන්දුවෙන් පසුව ආණ්ඩුකාරවරයා මුනගැසී දිව්රුම් දිය යුතුව තිබුණි. ඒ සඳහා ආණ්ඩුකාරයා මුණ ගැසීමට සොයා බැලුවේය. එසේ සොයා බලද්දී දැන ගන්නට ලැබුණේ දකුණු පළාත් ආණ්ඩුකාර අල්හාජ් බාකීර් මාකර් මහතා දකුණේ කිසිම තැනක නොමැති බවයි. මේ අවස්ථාවේ දී පොදු පෙරමුණු කණ්ඩායම සමඟ ඉතාමත් කිට්ටුවෙන් ශක්තිමත්ව ක්‍රියාකළ මහින්ද රාජපක්ෂ මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ “අපි කොහොම හරි ආණ්ඩුකාරයා සොයල දිව්රුම් දෙන්නම ඕන” කියලයි ඊට පසුව අමරසිරි දොඩංගොඩ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පිට ලංකාවේ කොයි පළාතෙද දකුණේ ආණ්ඩුකාරතුමා ඉන්නෙ කියල සොයා බැලුව පසුව ආරංචි වූයේ ආණ්ඩුකාර මාකර් මහතා මාතලේ පැත්තෙ වත්තක බංගලාවක සිටිනවා බවටය.
ඒ අනුව කණ්ඩායම් නායක අමරසිරි දොඩංගොඩ මහතා හා පිරිස මාතලේ වතු බංගලාවකට ගිහින් ආණ්ඩුකාරතුමා හමු වූහ. හමුවෙලා කිව්වා “දැන් ප්‍රශ්නයක් නෑනේ දිවුරුම් දෙමුණේ” කියලා. මාතලේට පැමිණීම ගැන පුදුමවුණු ආණ්ඩුකාරතුමා පිරිසට තේ වලින් සංග්‍රහයකුත් කරලා කීවේ අද නිවාඩු දවසක් නිසා දිව්රුම් දීම හොඳ නැහැ ඔබතුමන්ලා යන්න මම ගාල්ලේ ඩික්මන් පාරේ බංගලාවට සඳුදාට එනවා එතැනදි අපි දිව්රුම් දෙමු කලබල හදාගන්න ඕන නැහැ යනුවෙන් ඒ අනුව එය පිළිගත් දොඩංගොඩ මහතා ඇතුළු පිරිස ගාල්ලට පැමිණියහ.
එසේ පැමිණ සියලුමදෙනා මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළහ. කුමක්ද දැන් කරන්නේ අපි ඒ ගැන සාකච්ඡා කළේ. දිව්රුම් දීම කල් ඇරිය හැටිත් මග අරින හැටිත් පිළිබඳව මහින්ද මහතාට ඒ වනවිට හොඳ අවබෝධයක් ඇතිවී තිබිණි.
ඒ අනුව පළාත් සභාව පිහිටුවීමට මහ ඇමැතිවරයා වශයෙන් දොඩංගොඩ මහතාට දිව්රුම් දීමට නොහැකිවන පරිදි කවර හෝ වැඩ පිළිවෙළක් ආණ්ඩුව දියත් කරනු ඇතැයි බරපතළ සැකයක් ඇති වූ අතර එය සනාථ වූයේ පසු දින එනම් සඳුදා වනවිට මුලු ගාලු කොටුව පුරාත් නගරයේත් පොලිසියත් හමුදාවත් රැකවල් දාගෙන සිටීමෙනි.
මේ ගැන අවධානය යොමු කළ මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දකුණේ පොදු පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පළාත් සභාවට තේරී පත් වූ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ සැලසුම් කළේ කවර බාධක ආවත් සඳුදා දින කෙසේ හෝ දිව්රුම් දී පළාත් සභාව පිහිටු විය යුතු බවයි.
ආණ්ඩුකාරතුමා ගාල්ල කොටුව ආණ්ඩුකාර කාර්යාලයට සඳුදා දිනයේ උදෑසනම ගියත් දිව්රුම් දීමට යෑමට කිසිවෙකුටත් නොහැකිවනසේ ආරක්ෂක රැකවල් දැමීම සිදුකර “ආණ්ඩුකාරතුමා දිව්රුම් ගන්න සූදානමින් සිටියත් කවුරුවත් දිව්රුම් දෙන්නට ආවෙ නෑ කියලා ප්‍රචාරය කරන්නටයි ආණ්ඩුවට ඕනෑ වුණේ. එසේ ප්‍රචාරය කරල කුමක් හෝ කුමන්ත්‍රණයක් කරලා බලය ලබා නොදීමට සැලසුම් කරගෙන සිටියත් මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන කණ්ඩායම ආණ්ඩුවේ සියලු සැලසුම් ව්‍යර්ථ කරමින් ජයග්‍රහණය කරා යාමට සූක්ෂ්ම සැලසුම් දියත් කළේය. ඒ සඳහා ඔවුන් කළේ කුමක්ද? ඉහතකී තත්ත්වය ආරංචිවීමත් සමඟ පොදුජන එක්සත් පෙරමුණේ ආධාරකරුවන්ගෙන් ගාල්ලේ කොටුව ප්‍රදේශය පිරෙන්නට ගත් අතර පළාත් සභාවට තේරුණු මන්ත්‍රීවරු සියලුදෙනාත් ගාල්ලේ එක් තැනකට රැස් වුණා. ඒ අනුව පළාත් සභා මන්ත්‍රීවරු බස් එකක නග්ගා ගත් මහින්ද රාජපක්ෂ මහතා දකුණේ පොදු පෙරමුණේ මන්ත්‍රීවරුන් සමඟ ඒ බස්එක ඉදිරියෙන් තමන්ගේ ජිප් එකේ නැගල ගාලු කොටුව පැත්තට ගියේය. මහින්ද මහතා අධිනීතිඥයකු නිසා නීතිඥ ලෝගුවක් ඇඳගෙන, තමයි ජිප් එකේ ඉදිරිපසින් ගියේ. මෙසේ යනකොට ගාලු කොටුව ළඟ බැරියර් එකක් දාලා වහලයි තිබුණෙ විශාල පොලිස් භට පිරිසක් එතන සිටියා. හමුදාවත් සන්නද්ධව සිටියා. ඔවුන් සිටියේ විශේෂයෙන් මහින්ද මහත්මයා සමග එන පිරිස කොටුවට ඇතුල්වීම වළක්වන්නටයි. බැරියර් එක නිසා වාහනය ඇතුලට ගැනීමට නොහැකි වූ නිසා රාජපක්ෂ මහතා ජිප් එකෙන් බැහැල පයින් කොටුවට යෑමට සූදානම් වුණා. ඒ සමඟ එතැන සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කීවේ “කිසි කෙනෙකුට කොටුවට ඇතුල් වෙන්න දෙන්න බෑ’ කියලා එයින් කෝපයට පත් මහින්ද රාජපක්ෂ මහතා මහ හයියෙන් කීවේ ” මම අධිනීතිඥයෙක් මට උසාවියේ වැඩ වගයක් තියෙනව. ඒ හින්ද කොටුව ඇතුලට යන්න ඕන” කියලා. ඒත් එස්.එස්.පී කිව්වා “කොහොමවත් යන්න දෙන්නම බෑ’ කියලා ඒකට මහින්ද මහත්තයට හොඳටම කේන්ති ගිහින් එස්.එස්.පී ගෙ ඇඟට අත තියල ටිකක් එහාට කරල බැරියර් එක තල්ලු කරල බස් එකේ හිටපු අයට හයියෙන් කෑ ගහල “වරෙල්ලා” කියල කිව්වා විතරයි සියලුමදෙනා පොලිසිය හමුදාව ගානකට ගන්නේ නැතිව මහින්ද මහතාත් එක්කම හයියෙන් දුව ගෙන ගාලුකොටුව ඇතුලටම ගියා. පොලීසියටත් හමුදාවටත් කර කියා ගන්නට දෙයක් නැති වුණා.
මහින්ද රාජපක්ෂ මහතාත් පළාත් සභා මන්ත්‍රීවරු පිරිසත් නතර වුණේ ආණ්ඩුකාර කාර්යාලයට එතැනට යනකොට ආණ්ඩුකාර කාර්යාලය වසා දමා තිබුණා.
නමුත් ආණ්ඩුකාරතුමා, උදේ සිටම ආණ්ඩුකාර කාර්යාලයේ සිටියේය. මහින්ද මහතා ඇතුළු පිරිස ආණ්ඩුකාර කාර්යාලයේ දොර වැරෙන් තද කළේ එය අරින්නැයි කිහිපවිටක්ම ප්‍රකාශ කිරීමෙන් පසුවයි. අගුල කැඩී දොර විවෘත වූ අතර මහින්ද රාජපක්ෂ මහතා ආණ්ඩුකාරතුමාට කීවේ අපිට දැන් දිව්රුම් දෙන්න අවශ්‍යයි. ඔබතුමා ඇයි මෙච්චර රැකවල් දාගෙන බයවෙලා ඉන්නෙ. අපි කාටවත් කරදර කරන්න නෙවෙයි ආවෙ අපේ ප්‍රජාතන්ත්‍රීය අයිතිය දිනාගන්න කියලා. ආණ්ඩුකාරතුමා එයට කිසිවක් නොකී අතර ඔහු කීවේ ‘අපි එහෙනම් පහළ තියෙන ශාලාවට ගිහින් දිව්රුම් දෙමු” කියල. රාජපක්ෂ මහතා දැනගත්තා මේක තවත් උප්පැරවැට්ටියක් කියලා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා කීවා. මේ පහසුකම් හොඳයි මොකටද පහළට යන්නෙ? මෙතැනම දැන් දිව්රුම් දෙමු කියලා ආණ්ඩුකාරතුමාට කර කියාගන්න දෙයක් නැති උනත් මේසෙ උඩ තිබුණු පත්‍රිකා වගයක් හෙමි හෙමින් අතට ගත්තා එම පත්‍රිකා වහා අතට ගත් අමරසිරි දොඩංගොඩ මහතා මහ ඇමැති විධියට එවේලේම දිව්රුම් දුන්නා. ඒ දිව්රුම ආණ්ඩුකාරතුමා භාරගත් අතර ආණ්ඩුකාරතුමා සියලු දෙනාට සුබ පැතූ අතර පැමිණි සියලු දෙනාත් ආණ්ඩුකාරවරයාට ආචාරකර පිටත් වූහ.