මළ කඳන් මැදින් සටන පෙරටම


සයිටම් විරෝධී සටන තවමත් නොනිමී දැල්වෙමින් තිබේ. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සිදු කෙරෙන මෙම සටන හා සමාන සටනක් 80 දශකයේදී රට දෙවනත් කළේය. මේ ඒ සටන සම්බන්ධයෙන් “ත්‍රීමා විතාන සමරු පදනම” ප්‍රකාශයට පත් කළ “සිසු අරගලයට මග කියන පහන් තරුව” ප්‍රකාශනයෙන් උපුටා ගත් කොටසකි. 


1983 වෛද්‍ය ශිෂ්‍ය අරගලය අවදියේ කළු ජූලිය මඟින් සිදුවූ සමස්ත දේශපාලන ක්ෂේත්‍රයේ වෙනස් වීම් වෛද්‍ය ශිෂ්‍ය අරගලයට බල පෑ ආකාරයෙන්ම 87/88 වකවානුවේ රටේ සිදුවූ දේශපාලනික පෙරළීම් ශිෂ්‍ය අරගල කෙරේ සෘජුවම බලපාන ලදි. වෛද්‍ය පීඨයන්හි අධ්‍යයන කටයුතු නතර වී ශිෂ්‍යයන් පූර්ණකාලීන සටන්කරුවන් බවට පත්කර තිබූ මේ අවධියේ උතුරේ දෙමළ සන්නද්ධ ව්‍යාපාරයේ නැගී සිටීම හා ඔවුන් විසින් කොළඹ හා තදාසන්න ප්‍රදේශවල බෝම්බ පිපිරවීමත් ඉන්දියානු බලපෑම උච්චස්ථානයට පත්වීමත් සමඟ මෙරට දේශපාලන ක්ෂේත්‍රයේ ජයවර්ධනගේ භූමිකාව පැහැදිලි වෙනස්කම් වලට භාජනය වෙමින් පැවැතිණි.

කොළඹ සිදුවූ බෝම්බ පිපිරීම් හේතුකොට ගෙන ජයවර්ධන විසින් මැයි දින පෙළපාළි තහනම් කරන ලද්දේ රට තුළ රජයට එරෙහිව ගොඩ නැඟෙමින් පවතින විරෝධතාවන් පසු බස්වනු පිණිසය. එහෙත් ඒ වන විට රටේ දේශපාලන ක්ෂේත්‍රය උණුසුම් වී පැවැති අතර අරගල සඳහා ජනතාව කැමැත්තෙන්ම ඉදිරිපත් වූහ.


මැයි දින තහනම කඩ කරමින් මැයි රැලි සහ පෙළපාළි පැවැත්වීමට කටයුතු කර තිබුණු එක්සත් සමාජවාදී සන්ධානය ඉබ්බන්වල හන්දියේ රැස්වීමක් පැවැත්වූ අතර පොලිසිය මැදිහත් වී එය විසිරුවා හරින ලදී.


 නාරාහේන්පිට අභයාරාමයේ පවත්වන ලද මැයි රැලිය මහජන එක්සත් පෙරමුණ, මව්බිම සුරැකීමේ පෙරමුණ, අ.වි.ශි.බ.ම. සහ ජවිපෙ විසින් සංවිධානය කරන ලද අතර මෙම පෙළපාළිය මාර්ගයට ප්‍රවේශ වීමට උත්සාහ කිරීමේදී එයට පහර දී විසිරුවා හැර වෙඩි තබන ලදී. මෙම අවස්ථාවේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල සිසුවෙකු වූ කිත්සිරි මෙවන් රණවක සොයුරා පසුපස එළවා ගෙන ගොස් බුදුමැදුර තුළදී වෙඩි තබා ඝාතනය කරන ලදී. එම ඝාතනය ශිෂ්‍ය ප්‍රජාව අතර බලවත් කම්පනයක් ඇති කළ අතර පානදුර පොදු සුසාන භූමියේ පැවැති ඔහුගේ අවමංගල්‍ය උත්සවයට අතිමහත් ශිෂ්‍ය හා කම්කරු ජනතාවක් සහභාගි වූ අතර නිවසේ සිට ඉතා දිග අවමංගල්‍ය පෙරහැරකින් සොහොන් බිමට පිවිසියේය. එම අවස්ථාවේ මාදුළුවාවේ සෝභිත හිමි හා කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරයෙකු දේශන පවත්වන ලදී.


 දකුණේ සන්නද්ධ අරගලය පරාජය වීමෙන් පසු තරුණයින් සන්නද්ධ වීම පිළිබඳ දැඩි ලෙස විවේචනය කළ මේ මහාචාර්යවරයා එදා දේශනයේදී සඳහන් කළේ මේ මරණය සිදු වූයේ නිරායුධව පැමිණීම නිසා බවත් දැන් තරුණයන්ට ආයුධ අතට ගැනීමට කාලය පැමිණි ඇති බවත්ය. නිරායුධ ජනතාවට වෙඩි තබා ඝාතනය කිරීම ඇරඹුණු මෙම සිද්ධියත් සමඟ අ.වි.ශි.බ.ම.ය වඩා සංවිධානාත්මකව අරගලයට අවතීර්ණ විය. වෛද්‍ය ශිෂ්‍ය අරගලයේ මුල් පෙළේ අ.වි.ශි.බ.ම. හා දැඩි ලෙස බද්ධ විය.


1987 කළු ජූලිය ඇරඹුණේ මේ අතරය. වඩමාරච්චි මෙහෙයුම මඟින් ශ්‍රී ලංකා රජය යාපනයේ යුද්ධය තීව්‍ර කරද්දී එම මෙහෙයුම නතර කිරීමට තර්ජනය කළ ඉන්දියාව එම තර්ජනය ක්‍රියාවට නංවමින් ශ්‍රී ලංකාවේ ගුවන් කලාපය නීති විරෝධී ලෙස ආක්‍රමණය කරමින් යාපනය අර්ධද්වීපයට ගුවනින් ආහාර හෙළන ලදී.


 ඉන්දියාවේ මෙම සෘජු ආක්‍රමණයෙන් තිගැස්සුණු ජයවර්ධන ඉන්දියාව ඉදිරිපත් කළ සියලු කොන්දේසිවලට එකඟ වෙමින් ඉන්දු-ලංකා ගිවිසුමට එළැඹියේය.


ගිවිසුම අත්සන් කරනු ලැබූ දිනට පෙර දින කැලණිය විද්‍යාලංකාර පිරිවෙනට රැස්වූ භික්ෂුන් ගිවිසුමට විරුද්ධව අරගල කිරීමට සනාථ කළ අතර එදින රාත්‍රී කැලණිය විශ්වවිද්‍යාලය තුළ රැස් වූ අ.වි.ශි.බ.ම. යන පසුදින පිටකොටුවේදී පැවැත්වීමට තීරණය කර ඇති විරෝධතා ව්‍යාපාරයට සහභාගි වීමට  සංවිධානය  විය. ඉන්දු-ලංකා ගිවිසුම මගින් උතුරු නැගෙනහිරට බලය බෙදා දීමට කටයුතු කර තිබුණු බැවින්ද විරෝධතා ව්‍යාපාරය පැවැත්වීමට නියමිත පිටකොටුව ප්‍රදේශයේ ද්‍රවිඩ ව්‍යාපාර රැසක් පැවැති බැවින් ද මෙතෙක් පැවැති බොහෝ විරෝධතාවලදී ද්‍රවිඩ ජනතාවගේ දේපලවලට හානි සිදුවූ බැවින් ද එම දේපල ආරක්ෂා කරගැනීම සඳහා එම පෙදෙසට ජනයා ඇතුළු වීම වැළැක්වීමට ද සාකච්ඡා කරන ලදී.


 මේ වන විට ක්‍රියාකාරී වෛද්‍ය සිසුන් සියලු දෙනාම පාහේ අ.වි.ශි.බ.ම. සමඟ ඒකාබද්ධ සටන් ව්‍යාපාරයකට එළඹ සිටියහ.


ඉන්දු-ලංකා ගිවිසුමට එරෙහිව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ඇතුළු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ ආදී පක්ෂ කොළඹ නව නගර ශාලාව ඉදිරිපිට විහාරමහා දේවි උද්‍යානයේ විරෝධතා සංවිධානය කර තිබුණ ද එම ස්ථානයට ජනයා රැස්ව නොසිටි බැවින් පිටකොටුව බෝගහ අසල මව්බිම සුරැකීමේ පෙරමුණ, අ.වි.ශි.බ.ම. අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලය සංවිධානය කර තිබූ විරෝධතා ව්‍යාපාරයට එක් වීමට ඔවුනට ද සිදුවිය.


මෙහිදී පොලිසිය විසින් සත්‍යග්‍රහයේ යෙදුණු විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් ගසා වෙඩි තබන ලදී. කෝපයට පත් ජනතාව රජයේ වාහන ගිනි තබමින් කොළඹ නගරය පුරා විරෝධතා පැවැත්වූ අතර පොලිස් වෙඩි තැබීම්වලින් 150 කට අධික නිරායුධ උද්ඝෝෂකයින් පිරිසක් මරණයට පත් විය. ඒ අතර මොරටුවේ ඉංජිනේරු පීඨයේ ක්ලිෆඞ් හා නිමල් ද විය. රජයට එරෙහි සුවිශාල වීදි සටන් ව්‍යාපාරයන් සිදු වුවද පිටකොටුව ප්‍රදේශයේ එකදු ද්‍රවිඩ දේපළකට හානි නොකිරීමට තරම් උද්ඝෝෂකයෝ හා සංවිධායකයෝ විනය ගරුක වූහ.
මෙම අරගලයත් සමඟ රටේ දේශපාලනය වෙනස් මඟකට අවතීර්ණ විය. දකුණේ සන්නද්ධ ව්‍යාපාරයක් ගොඩ නැගුණු අතර රජය එම සන්නද්ධ ව්‍යාපාරය මර්දනය කිරීම මුවාවෙන් රට පුරා මහත් ඝාතන රැල්ලක් ඇති කරන ලදී.


මෙතෙක් අත්අඩංගුවට ගැනීම් හා පහරදීම් ප්‍රධාන මර්දන ක්‍රමවේදය වුවද රාජ්‍ය විරෝධීන් ඝාතනය අලුත් ක්‍රමවේදය විය.


ඉන්දියානු හමුදා ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිරට පැමිණීමෙන් පසු එම ප්‍රදේශවල සිටි ශ්‍රී ලාංකික හමුදාව දකුණේ කඳවුරු වෙතට ගෙන ආ රජය දකුණේ විරෝධතා විනාශ කිරීමට මෙම හමුදාව යොදවන ලදී. ඉන්දියානු මැදිහත් වීම නිෂ්ඵල වූ අතර උතුරේ සන්නද්ධ ව්‍යාපාරය ඉන්දියානු හමුදාවට එරෙහිව සටන් වැදුණි. එසේම උතුරේ ජනතාව තුළ දැඩි ඉන්දියානු හමුදා විරෝධයක් ඇති විය.


ඝාතනය ප්‍රධාන මර්දන ක්‍රමවේදය වෙමින් පැවැති තත්ත්වය තුළ වෛද්‍ය ශිෂ්‍ය අරගලය ද තියුණු අභියෝගයකට මුහුණදුණි. රටේ පැවැති නොසන්සුන් උණුසුම් වාතාවරණය අතරතුර වෛද්‍ය ශිෂ්‍ය අරගලය නොනිමි පැවැතියද එහි උණුසුම අඩු වෙමින් පැවැතින. මෙයට පිළියමක් ලෙස අරගලයට වසරක් සම්පූර්ණ වන 1988 ජූලි මාසයේදී නැවත වරක් වෛද්‍ය ශිෂ්‍ය අරගලය උත්සන්න කිරීමට වෛද්‍ය ශිෂ්‍ය කමිටුව කටයුතු කරන ලදී.


“වෛද්‍ය අධ්‍යාපනය නැවැතී වසරයි- පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරව්.” ලෙස අලුත් පෝස්ටර් ව්‍යාපාරයක් ඇරඹි අතර එකම ආකාරයෙන් අතින් ලියන ලද මෙම පෝස්ටර් ලක්ෂ  ගණනක් රට පුරා අලවන ලදී. නැවතත් වෛද්‍ය ශිෂ්‍ය අරගලය පණ ගැන්වුණු අතර වීදි පෙළපාළි, පිකට් ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් ආදිය අරඹන ලදී.
 

 

 

 

 

සකස් කළේ : 
ප්‍රසන්න සංජීව තෙන්නකෝන්