අද පවතින මාධ්‍ය ක්‍රියාවලියට එකඟ නොවන පිරිසක් මාධ්‍ය ආයතන ගණනාවක් ඉදිරිපිටට පැමිණ විරෝධතා දැක්වීම පසුගිය සතියේ මහත් ආන්දෝලනයකට ලක් වූ සිදුවීමක් විය. විද්‍යුත් මාධ්‍ය ආයතන සහ මුද්‍රිත මාධ්‍ය ආයතන කීපයක් ඉදිරියට පැමිණි මෙම පිරිස අපේ ලංකාදීප කාර්යාලය ඉදිරිපිට ද විරෝධතා දැක් වූ බව අසන්නට ලැබුණි. මෙයට එක් වූ බව කියැවෙන සංවිධානයක් ලෙස වාර්තා වූවේ ශ්‍රී ලංකාවේ කාන්තාවෝ, අලුත් පියාපත්, අලුත් පරපුර, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ සමනල්ලු, අතුරුදන් වූවන්ගේ පවුල් එකමුතුව, චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය ඇතුළු සංවිධාන දාහතරකි.
රාජ්‍ය පාලනය සම්බන්ධයෙන් විස්තර කෙරෙන ලේඛනවල දැක්වෙන ආකාරයට ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය යන වෙන් වෙන් ආයතනවල විධිමත් ක්‍රියාකාරිත්වය මත සමාජ සාධාරණත්වය හා යහපාලනය පවත්වා ගත හැකි වේ යැයි අපේක්ෂා කරනු ලැබේ. අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය ද රැඳී ඇත්තේ මෙම කුලුනු තුන මත බව ද කිය වේ. එහෙත් වර්තමානයේදී මෙම තත්ත්වය විස්තර කරන බෙහෝ විද්වත්හු එයට ජනමාධ්‍ය යන සිව්වෙනි කුලුනක් ද එක් කරති. ඒ නිසා ජනමාධ්‍යයන් යන ක්ෂේත්‍රය ද අඩුවැඩි වශයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන ආයතන පමණටම හෝ ඒ ආසන්නයට වැදගත් සමාජ අංගයක් බව පිළිගැනීමට හේතු තිබේ. එයට එක් හේතුවක් වන්නේ ජනමාධ්‍ය නොතිබුණා නම් සමස්ත සමාජය, ආණ්ඩු, රාජ්‍යයන් පමණක් නොව සකල ලෝකධාතුවම අල්ලසින්, දූෂණයෙන්, වංචාවෙන්, අක්‍රමිකතාවන්ගෙන් හා අසාධාරණයෙන් පිරුණු නරාවළක් බවට පත්වීමට ඉඩ තිබුණු බැවිනි. ජනමාධ්‍ය තිබියදීත් ලෝකයේ නොයෙක් තැන සිදුවන වැරදි දේ අපි කොතෙකුත් අසන්නෙමු. දකින්නෙමු. එසේව තිබියදී මාධ්‍ය නොතිබුණා නම් කුමන තත්ත්වයක් උදාවේ දැයි සිතන්නටවත් නොහැකි වනු නිසැකය. එහි අනිවාර්ය ප්‍රතිඵලය වන්නේ පොඩි එකා ලොකු එකාගේ ගොදුර බව කියවෙන කැලෑ නීතියට සෑම දෙනාටම යටත්වීමට සිදු වීමය.
ජනමාධ්‍යයෙන් කුමක් කීවත්, කෙතරම් බැණ වැදුනත්, නොදුටු ඇස්ව නොඇසු කන්ව සිටින බලවත්තු ලෝකයේ විරල නොවෙති. ඔවුහු මාධ්‍ය මර්දනය කරති. මාධ්‍යවේදීන් මරා දමති. නොයෙකුත් අණපනත් උපයෝගී කර ගනිමින් විවිධ දඬුවම් දෙති. එහෙත් මාධ්‍යවේදීහු මේ සියලු තාඩන පීඩන විඳගෙන ජනතාව වෙනුවෙන් තමනට පැවරී ඇති ජාතික වගකීම ඉටු කරති. ජුලියස් පූචික් වැනි මාධ්‍යවේදීන් ඉතිහාසයට එක්ව ඇත්තේ එම නිසාය. මානව ඉතිහාසයේ බිහි වූ කෘරම පාලකයා ලෙස නම්දරා සිටින ඇඩොල්ප් හිට්ලර්ගේ මිනීමරු පාලනයට විරුද්ධව පුවත්පත්වලට ලිවීමේ වරදට ජුලියස් පූචික් නම් වූ මාධ්‍යවේදියාට ජීවිතයෙන් වන්දිගෙවීමට සිදුවිය. ලෝක ඉතිහාසයේ එවැන්නෝ බොහෝ වෙති. ඒ නිසා මෙවැනි විරෝධතා දැක්වීම මගින් තරුණ පිරිසක් මාධ්‍ය ක්ෂේත්‍රය ගැන උනන්දුවක් දැක්වීමම සතුටට කරුණකි. එය යහපත් ප්‍රවණතාවකි. එහෙත් කුඩු කතත් සිරිත්තමකට කළ යුතු යැයි අපේ පැරැන්නෝ කීහ.
මේ සමනලුන් ඒවා අසා නැතිවා වන්නට පුළුවන. කුමන හරි දෙයක් වුවද වැරදි ආකාරයට කරන්නට යාමේ විපාකය දරා ගැනීමට මෙම සමනලුන්ට සිදුව ඇත්තේ එබැවිනි.
ඔවුන්ගේ උද්යෝගය නිසි ආකාරයෙන් නිසි තැන්වලට යොමු වූවා නම් එය උදාර හා උත්කෘෂ්ට සේවාවක් ලෙස හැඳින්වෙන්ට ඉඩ තිබුණි.
මෙම සිදුවීම රූපවාහිනී නාළිකා මගින් ප්‍රචාරය වෙද්දී සමහර නායකයෝ ක්ෂණිකව ප්‍රතිචාර දැක්වූහ. ඔවුහු එම ක්‍රියාව හෙළා දුටහ.
හරි දෙයක් වූවා නම් එම ගෞරවයේ මල්මාලයට ගෙල දිගු නොකරන අයෙකු වෙත්ද? සමාජයේ සාමාන්‍ය පුරුද්ද එයයි. සියල්ල දේශපාලන මිම්මෙන් බැලීම යුක්තිසහගත නොවුණත් මේ තරුණ පිරිස් ඒ ගැන ද සිතා බැලීම ඔවුන්ගේම ඉදිරි ක්‍රියාමාර්ගවලට ප්‍රයෝජනවත් වනු නිසැකය. ජුලියස් පූචික් ගැන මම මුලදී සඳහන් කළෙමි. එම අතිඋදාර මිනිසා මරණය වැලඳ ගත්තේ මානව නිදහසේ මූලික අංගයක් වූ කතා කිරීමේ නිදහස වෙනුවෙනි. මරණයට පත් නොවුවත් දැඩි මර්දනයකට මුහුණ දෙමින්, සිර භාරයට පත්වෙමින් විශාල අධිකරණ ක්‍රියා මාර්ග යටතට මුහුණ දෙමින් අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව සටන් කළ අපේ කාලයේ එඩිතර මාධ්‍යවේදිනියකගේ කතාවක් මගේ සිහියට නැගුණි. මේ එම අධිකරණ ක්‍රියාවලියේ දීර්ඝ කතා පුවතයි.
මත්ස්‍යයෙකුට තම දිවිපැවැත්ම රැකගැනීමට ජලය අවශ්‍ය වන්නේ යම් සේද දේශපාලනඥයෙකුට තම පැවැත්ම ශක්තිමත් කර ගැනීමට මාධ්‍යවල සහාය අවශ්‍යය. 1954 වසර ආරම්භ වන විට එවකට විපක්ෂ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා මුහුණ පා සිටියේ මාධ්‍ය නොමැතිව ඉදිරියට යාමට නොහැකි වීමේ අර්බුදයකටය. එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරය සහ එම රජයේ සභානායකකමත් සෞඛ්‍ය හා පළාත් පාලන අමාත්‍ය ධුරයත් අතහැර දමා එම තනතුරු වලින් ඉවත්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නමින් තමාගේම වූ නව දේශපාලන පක්ෂයක් පිහිටුවාගෙන සිටි බණ්ඩාරනායක මහතාට රාජ්‍ය බලය දරන එක්සත් ජාතික පක්ෂයෙනුත් විපක්ෂයේම සිටින උග්‍ර මාක්ස්වාදී බලවේගවලද දැඩි විවේචනයන්ට නිරන්තරයෙන්ම මුහුණ දීමට සිදුව තිබුණි. එක්සත් ජාතික පක්ෂයේ ‘සිය රට’, ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ‘මව්බිම’, එහි ඉංග්‍රීසි පුවත් පත වූ ‘ෆෝවර්ඞ්’ සම සමාජ පක්ෂයේ ‘සමසමාජය’ එහි ඉංග්‍රීසි පුවත් පත වූ ‘සමසමාජිස්ට්’ සහ දෙමළ බසින් පළ වූ ‘සමසමාජ ධර්මම්’ ආදී පුවත්පත් වලින් නිරන්තරයෙන් පහර වදිමින් සිටි බණ්ඩාරනායක මහතාට තමාගේ වාග් චාතුර්යයෙන් පමණක් මේවාට පිළිතුරු සැපයිය නොහැකි බව අවබෝධ කරගෙන සිටියේය. ඒ නිසා පුවත්පතක් ඇරඹීමේ අවශ්‍යතාව ඔහුට තදින්ම දැනී තිබුණි. මේ අතරවාරයේ ඔහුට ලැබුණු ආරංචියකින් කියවුණේ නිදහස් ප්‍රවෘත්ති පත්‍ර සමාගම නම් ආයතනයකට අයත් ට්‍රයින් නම් පත්‍රය විකුණා දැමීමට එහි අයිතිකරුවන් බලාපොරොත්තු වන බවයි. මෙම සමාගමේ හිමිකාරිය වූවේ තේජා ගුණවර්ධන නම් වූ ප්‍රකට මාධ්‍යවේදිනියකි. ඇය එම පත්‍රයේ ප්‍රධාන කතුවරිය ලෙස ද කටයුතු කළාය.
ඇය එසේ කටයුතු කළා වුවද ඇෆ්. ඒ. සිල්වා නමැති මහතෙක් එහි ප්‍රධාන කර්තෘ වශයෙන් ලියාපදිංචිව සිටියේය.
ප්‍රකට වාමාංශික මතධාරී දේශපාලන චරිතයක් වූ තේජා ගුණවර්ධන මහත්මිය බණ්ඩාරනායක මහතාට පුවත්පත විකිණීමට එකඟ වූවාය. දෙපාර්ශ්වය අතර ඇතිකරගත් ගිවිසුමට අනුව 1954 ජූලි මස පළමු වන දින සිට ට්‍රයින් පත්‍රයේ අයිතිය බණ්ඩාරනායක මහතාට හිමි විය යුතු විය. එදිනම පුවත්පතේ පළ වූ ලිපියකින් රජයත් මහජනයාත් දැඩි කලබලයට පත් වූ බවත් වාර්තා විය. සෝල්බරි සාමිවරයාගේ නික්මයාමෙන් පසු අග්‍රාණ්ඩුකාර තනතුරට නම් කර සිටියේ සර් ඔලිවර් ගුණතිලක මහතාය. දේශපාලන කටයුතු කෙරෙහි දැඩි ලෙස මැදිහත්ව සිටි සහ හිටපු ඇමැතිවරයකු ද වූ සර් ඔලිවර් මෙම තනතුරට පත් කිරීම ගැන එකල බලවත් තත්ත්වයක සිටි මාවාංශිකයෝ දැඩි ලෙස විරුද්ධ වූහ. 1954 ජූලි පළමු වැනි දින නිකුත් වූ ට්‍රයින් කලාපයේ සඳහන් වූවේ මහ බැංකු අධිපතිවරයාත් ආග්‍රාණ්ඩුකාර ධුරයට නම් කර ඇති තැනැත්තාත් එක්ව නීති විරෝධී ආකාරයේ රත්රන් ජාවාරමක් පවත්වාගෙන යන බැවින් ඒ ගැන සාධාරණ නඩු විභාගයක් පැවැත්විය යුතු බවය. කාරණයට අදාළ නොයෙක් විස්තර ද සහිතව පළ වූ එම පුවත කෙරෙහි මහජනයා කෙතරම් උනන්දුවක් දැක්වූවේ ද යත් වැඩිපුර මුද්‍රණයක් නිකුත් කිරීමට සිදුවූ බව කියනු ලැබේ. මෙමගින් ඇති වූ මහජන කැලඹීම සැලකිල්ලට ගත් සර් ඔලිවර් ගුණතිලක මහතාට කර ඇති සාපරාධී අපහාසය සම්බන්ධයෙන් නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ තේජා ගුණවර්ධන මහත්මියට විරුද්ධව නඩු පැවරූවේය. එවකට නීතිපතිවරයා වූ පසුව අගවිනිසුරු පදවියේ ද කටයුතු කළ හේම බස්නායක මහතා මෙම නඩුව ගැන දැඩි උනන්දුවක් දැක් වූ බව කියනු ලැබේ. නොබෝ දිනකින් රටේ පළමු පුරවැසියා වශයෙන් පත් කිරීමට බි්‍රතාන්‍ය මහ රැජින වෙත තමන් නිර්දේශ කර ඇති සර් ඔලිවර් ගුණතිලක මහතාට මෙවැනි බරපතළ චෝදනාවක් එල්ල වීම නිසා රජය මහත් අසීරුවට පත්වීම එයට හේතුව වූවා විය හැකිය. මෙම නඩුව විභාග වීමට නියම කර තිබුණේ ජූරි සභාවක් නොමැතිව යුක්තිය පසිඳලන ට්‍රයල් ඇට් බාර් ක්‍රමයටය. එවකට අග්‍රවිනිශ්චයකාර සර් ඇලන් රෝස්, ඊ. ඇම්. ටී. ගුණසේකර සහ ඇම්. ඇස්. පුල්ලේ යන රජ තුන් කට්ටුව හමුවේ නඩු විභාගය ආරම්භ විය. ඉතා ධනවත් සමාජ ක්‍රියාකාරිනියක වූ තේජා ගුණවර්ධන මහත්මිය තමා වෙනුවෙන් පෙනී සිටීම සඳහා ලොව පුරා පතළ කීර්තියක් පැවති රාජනීතිඥ ඩී. ඇන්. ප්‍රිට් මහතා තෝරා ගත්තාය. කෙන්යාවේ ජෝමෝ කෙන්යාටා සිරභාරයට ගෙන රාජද්‍රෝහී නඩුවක් පැවරූ අවස්ථාවේදී බි්‍රතාන්‍යයට එරෙහිව කෙන්යාටා වෙනුවෙන් පෙනී සිටි ඔහු නිවැරදිකරු බව ඔප්පු කළේ මෙම දක්ෂ නීතිඥයා විසිනි. එවැනි දක්ෂ නීතිවේදියෙකු මෙරටට ගෙන්වාගෙන පෙනී සිටීමට සැලැස්වීමෙන් නඩුවේ පදනම දෙදරුම් කා ගිය බව වරක් එතුමිය මා සමග පැවසුවාය.
මෙම නඩුවේ පැවති සුවිශේෂත්වයක් වූවේ නිදහස් පුවත්පත් සමාගම මිලදීගත් ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාත් ඔහු පත් කළ සමාගමේ කළමනාකරු වූ පසුව ඇමතිවරයෙකු වූ ඒ. පී. ජයසූරිය මහතාත් පත්‍ර කාර්යාලයේ කළමනාකරු වූ එච්. පී. ජයවර්ධන මහතාත් සාක්ෂිකරුවන් ලෙස ඉදිරිපත් වීමය. මෙම එච්. පී. ජයවර්ධන යනු පසුකලෙක කරළියට පැමිණි බණ්ඩාරනායක ඝාතනයේ දෙවැනි සැකකරු ලෙස ජීවිතාන්ත සිර දඬුවමට නියම වූ පුද්ගලයාය. නඩුව ආරම්භයේදීම රජයේ පාර්ශ්වයෙන් පැමිණිලි කර තිබුණේ විත්තිකාරිය විදේශගතවීමට සූදානම් වන බව කියමිනි. ඒ ගැන නිකුත් කළ වරෙන්තුවකට අනුව ඇය අත්අඩගුංවට ගනු ලැබුවාය. දීර්ඝ නඩු විභාගයකින් පසු දක්ෂ ලෙස තර්ක විතර්ක ඉදිරිපත් කළ රාජ නීතිඥ ඩී. ඇන්. ෆ්‍රීට් මහතාගේ දක්ෂතාව මත තේජා ගුණවර්ධන මහත්මිය නිදහස ලැබුවාය. සාපරාධී අපහාස චෝදනාව මත වසර කීපයක සිර දඬුවමක් ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වූ වගකිවයුත්තෝ ඇයගේ වික්‍රමය හමුවේ පරාජය පිළිගත්හ.
මෙම දීර්ඝ අධිකරණ ක්‍රියාවලිය මෙරට මාධ්‍ය නිදහස වෙනුවෙන් සිදු කරන ලද අසහාය නීති සටන ලෙස ඉතිහාසයට එක්ව ඇත.
මෙවැනි නිර්භීත සටනකට මුහුණ දුන් තේජා ගුණවර්ධන මහත්මිය ගැන ද යමක් සටහන් කිරීම උචිත වේ යැයි මම සිතමි. කොළඹ ධනවත් ව්‍යාපාරිකයෙකුගේ එකම දියණිය වශයෙන් 1917 දී මෙලොව එළිය දුටු ඇය මරදානේ ක්ලිෆ්ටන් බාලිකා විද්‍යාලයෙත් කොළඹ කාන්තා විද්‍යාලයෙත් මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබුවාය. දීප්තිමත් සිසුවියක වූ ඇය එකල ඉතා දුර්ලභ අවස්ථාවක් වූ කොළඹ විශ්වවිද්‍යාල කොලීජියට ඇතුළු වීමේ භාග්‍යය උදාකර ගත්තාය. එදා පැවති සරසවි අධ්‍යාපන රටාවට අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින්ම ලන්ඩන් විශ්වවිද්‍යාලයේ බාහිර උපාධි පරීක්ෂණවලට ඉදිරිපත්ව විශිෂ්ට ලෙස සමත් වූවාය. පසුකලෙක ඇමරිකාවේ සරසවියක අධ්‍යාපනය ලැබීමට පුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය දිනාගත් ඇය සමාජ සුබසාධනය, ග්‍රාමීය සංවර්ධනය හා දේශපාලන විද්‍යාව ගැනද පුළුල් අවබෝධයක් ලබා ගත්තාය.
මෙරට ග්‍රාමීය කාන්තාවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ආරම්භ කරන ලද පුරෝගාමී සංවිධාන ව්‍යුහය වූ ලංකා මහිලා සංගමයේ මුල්පෙළේ නායිකාවක් වූ තේජා එකල එහි නායිකාවක් හා අගමැති බිරිඳ ද වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය සමග ද කිට්ටු ඇසුරක් ඇතිව සිටියාය. ආරම්භයේ සිටම මාක්ස්වාදය සහ කොමියුනිස්ට් දර්ශනය ගැන මනාව දැන ගෙන සිටි තේජා ගුණවර්ධන මහත්මිය එමගින් ලෝකයේ දුක් විඳන ජනතාවගේ සටන්වලදී සෑමවිටම සහාය දුන්නාය. ඇය ඇමරිකාවේ අධ්‍යාපනය ලබන සමයේදී එරට වෙසෙන කළු ජනතාවට එරට සුදු සමාජය වෙතින් සිදුවන අයුක්තිය අසාධාරණය ගැන දැකීමෙන් අතිශය කම්පාවට පත් වූවාය. එකල කළු ජාතිකයන්ගේ මානව හිමිකම් වෙනුවෙන් දියත් වූ උද්ඝෝෂණ ව්‍යාපාරවලදී ඇය ඒවාට ක්‍රියාකාරීව සහාය දුන්නාය. චීන සමාජවාදී සමූහාණ්ඩු රාජ්‍යය පිළිබඳවත් චීන විප්ලවය සහ එහි නායක මා ඕ සේතුංතුමා ගැනත් අතිමහත් ගෞරවයකින් කටයුතු කළ අතර ලංකා සාම මණ්ඩලයේ ප්‍රධාන නිලතල ද දැරුවාය. එමෙන්ම ආසියා, අප්‍රිකා ලේඛක සංගමය ලෝක සාම මණ්ඩලය ආදියේ ද උසස් තනතුරු දැරුවාය.
ඇය විවාහ වූවේ ලංකා දුම්රිය සේවයේ උසස් නිලධාරියෙකු වූ ආර්. ගුණවර්ධන මහතා සමගය. ඇය තේජා ගුණවර්ධන වූවේ ඒ අනුවය. මෙම යුවළ පදිංචිව සිටියේ මගේ ගමට යාබද උඩුගම්පොල ග්‍රාමයේ වීම නිසා මට ඇය හඳුනා ගැනීමට අවස්ථාව ලැබුණි. දිනක් උඩුගම්පොළ නයිවල පාරේ පිහිටි කොස්පිල්ලෑව පන්සලේදී මම උඩකැන්දවල සරණංකර හිමියන් සමග කතාබහක යෙදී සිටියෙමි. එම විහාරස්ථානයට පෙනෙන දුරින් පදිංචිව සිටි තේජා ගුණවර්ධන මහත්මිය එහි ප්‍රධාන පෙළේ දායිකාවකද වූ බව මම සුළු වශයෙන් දැන සිටියෙමි. සම මතධාරීන් නිසාත් සරණංකර හිමියනුත් ලේඛන කටයුතු කෙරෙහි උනන්දුවක් දැක්වූ නිසාත් හාමුදුරුවනුත් තේජා ‘නෝනාත්’ හොඳ සහෘදයෝ වූහ. මේ අවස්ථාවේදී මා හඳුන්වා දුන් සරණංකර හිමියෝ මේ ළමයා මිනුවන්ගොඩ සෙන්ට්‍රල් එකේ ඉගෙන ගන්නේ. නෝනාත් උදව් කරන්න යැයි පැවසූහ.
ඇත්තෙන්ම ඇය මට උදව් කළාය. කීප වරක් මට පාසල් පොත් මිලදී ගැනීමට උපකාර කළාය. වරින් වර විවිධ දේශපාලන පොත්පත් රාශියක් මට ලබා දුන්නාය. පෙර සඳහන් කළ සර් ඔලිවර් ගුණතිලක අපහාස නඩුවෙන් නිදහස් වීමට තේජා ගුණවර්ධන මහත්මිය ගත් ප්‍රබල උත්සාහය හා එය සාර්ථක වීම ගැන මත ප්‍රකාශ කළ එවකට සභානායක ජේ. ආර්. ජයවර්ධන මහතා “පිරිමින් විසිපන් දහසකට වඩා එක තේජා ගුණවර්ධන කෙනෙක් වටිනවා” යැයි කියා තිබුණි. මෙය පෞද්ගලික සාකච්ඡාවකදී කියූ බවද ප්‍රචාරය වී තිබුණි. මම දිනක් ඇයගෙන් මේ ගැන විමසීමි. එතුමිය සිනාමුසු මුහුණින් පෙරළා මගෙන් විමසුවේ ඔයාට මාව එහෙම පෙනෙනවාද කියාය. ඒ ළාබාල වයසේදීත් යම් පමණකට චීන දේශපාලන ඉතිහාසය කියවා තිබුණු මම “නෝනා මහත්තයා හරියට සුං චිං ලිං වගෙයි මට පෙනෙන්නේ” යැයි මම පිළිතුරු දුනිමි. එයින් ප්‍රසාදයට පත් ඇය වහා නිවස තුළට ගොස් විශාල පොතක් සහ ඒ මත තැබූ ඉදුණු ලොකු ඇන්බුන් කෙසෙල් ගෙඩියක් මට ගෙනැවිත් දුන්නාය. කෘෂෙප්වාදය නමින් ඇය විසින්ම ලියා පළ කළ එම පොත අදත් මගේ පොත් එකතුවේ සුරක්ෂිතව තිබේ. ජාත්‍යන්තර කොමියුනිස්ට්වාදී ව්‍යාපාරයේ මූල බීජයේ සිට මහා වෘක්‍ෂයක් දක්වා වැඩී ගිය ආකාරය මනාව විස්තර කෙරෙන එම ග්‍රන්ථය ජාත්‍යන්තර දේශපාලනය ගැන හදාරන්නෙකුට මනා අත්වැලකි.
ශ්‍රීමත් ෆ්‍රිට් වැනි නීතිවිශාරදයෙකු මෙරටට ගෙන්වා මාධ්‍ය නිදහසේ ගරුත්වය ආරක්‍ෂා කිරීමට අය-වැය කළේ තම පෞද්ගලික ධනයයි. අති සුඛෝපභෝගී ජීවිතයක් ගත කිරීමට තරම් සුවිශාල දේපොළක් හිමිව තිබුණු මෙම උදාර කාන්තාව මෙලොව හැර යන විට ජීවත්වූවේ සැමියාගේ විශ්‍රාම වැටුපෙන් බව දැනගන්නට ලැබුණි. “මෙච්චර ලොකු නීතිඥයෙක් ගෙන්වා නඩු කියන්න විශාල මුදලක් වියදම් වන්නට ඇති නේදැයි” දිනක් මම මෝඩ ප්‍රශ්නයක් ඇය වෙත යොමු කළෙමි. “නෑ එච්චර වියදමක් ගියේ නැහැ. අන්න අර වත්ත වැටෙන් එහාට ගියා” කියමින් වැට දෙසට අත දිගු කළේ නිහතමානී සිනාවක් මුවට නංවා ගනිමිනි
අද කරළියේ මාධ්‍ය නිදහස ගැන ‘විසූක දස්සන’ පෙන්වන සමනල් සංවිධාන සහ ඒවායේ කටයුතු කරන කුරුල්ලන්, කිරිල්ලියන් මෙවැනි උදාර චරිත ගැන හැදෑරිය යුතුය. ආදර්ශයට ගත යුතුය. මම ඔබට යෝජනාවක් කරන්නෙමි. මානව නිදහසේ උතුම් ගුණාංගයක් වන අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නිමා වෙන්නට ආසන්න බවක ඉඟි පළ වෙමින් තිබේ. සුළු මුදලකට අතක් බරට ලබා දුන් පුවත්පත් අද වැහැරී ගොසිනි. පිටු අඩුවෙමින් තිබේ. ඒ අතර මිල නිරන්තරයෙන් ඉහළ යයි. මේ කඩදාසි මිල ඉහළයාම සහ අධික බදු බර නිසාය. පාඨකයෝ පුවත්පත් මාධ්‍යයෙන් ඉවත් වෙමින් සිටිති. කළු ඇඳගත් වීදිසටන්කරුවන් මේ ගැන අවධානය යොමු කළ යුතුය. මාධ්‍ය නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ මානව අයිතීන් සුරැකෙන්නේ එවිටය. ඒ සටනේ දී අපත් ඔබ සමගය. මිත්‍රවරුනි කරනවා නම් මෙන්න වැඩ!
සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : ළහිරු හර්ෂණ සහ අන්තර්ජාලය