විධායක හා පරිපාලන ක්‍රියාවක් නිසා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියේ සඳහන් අයිතියක් කඩවීම මානව අයිතිවාසිකම් කඩවීමක් ලෙස අද අපි හඳුනා ගනිමු. එහෙත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මේ පිළිබඳව සටහනක් තැබීමට ප්‍රථම එවැනි අයිතීන් තිබිය යුතු බවට සටන් කළේ මාක් ඇන්තනී ලිස්ටර් බෙස්ගර්ඞ්ල් නමැත්තාය. මේ දිගහැරී යන්නේ එම සටනේ ඉතිහාසයයි.
ඒ 1936 දෙසැම්බර් 19 වැනිදාය. ලංකා සමසමාජ පක්ෂයේ ප්‍රථම සංවත්සරය කම්කරු කියැවීම් ශාලාවේදී පැවැත්වීය. දෙවැනිවරට එහි සභාපතිත්වයට ආචාර්ය කොල්වින් ආර් ද. සිල්වා තේරී පත්විය.
තමන් ජාතික නායකයන් බව කියාගනිමින්ම එංගලන්තය ප්‍රමුඛ අධිරාජ්‍යයට හිස නමාගෙන සිටීම එරට සිරිත විය. මක්නිසාද යත් එසේ හිස නමන්නෝ භාග්‍යවන්තයෝය. ඔවුන්ගේ මඩිස්සලය රන් රිදීවලින් පිරීයන බැවිනි. එහෙත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයට හානිවන අයුරින් ක්‍රියාකළ ඕනෑම අයකු පොලිසියේ දරුණු ප්‍රහාරයට ලක්විය.
1915 දී ජනතාවට වෙඩි තැබූ ඩව්බිගින් නමැති පොලිස් බලධරයා දිවයිනෙන් බැහැරයන දවසේ විරෝධතා දැක්විය යුතු බවට සම සමාජ පක්ෂය සිය පළමු සම්මේලනයේදී යෝජනා කළේය. උණුසුම් ලෙස පිළිගත්තා පමණක් නොව කැවුම් කිරිබත් කඤ්ඤං, පෙරහර කොරඤ්ඤං යැයි පිරිස මොරදෙන්නට වූහ.
සර්වජන ඡන්ද බලය ඉල්ලා සිටීමටද මෙම සමුළුවේදී යෝජනා විය. මෙයට ඉන්ධන අලෙවිය රාජ්‍ය අංශයට සීමා විය යුතු බවට වූ යෝජනාවක්ද සම්මත විය.
මේ නිසා ආණ්ඩුවට අභියෝගයක් ලෙස සමසමාජ බලවේග කරළියට ආයේය. සම සමාජ වර්ධනය වීම ආණ්ඩුවේ බලයට අභියෝගයක් ලෙස ආණ්ඩුව නිවැරදිව තේරුම්ගත්තේය.
1936 ජූලි 10 වැනි දින ටයිම්ස් පත්‍රයට ප්‍රකාශයක් කළ එවක නියෝජ්‍ය පොලිස්පති පී. එන්. බැන්ක්ස් මෙසේ කියා සිටියේය.
“අපි කොමියුනිස්ට්කාරයින්ට විරුද්ධව ස්ථිර වශයෙන්ම කටයුතු කරගෙන යන්නෙමු. ඒවා මුළුමනින්ම රහසිගතව සිදුවන හෙයින් විස්තර කළ නොහැකිය.”
ස්වදේශ කටයුතු ලේකම් වී. එස්. පෙරේරාද එය තහවුරු කරමින් එදිනම ටයිම්ස් පත්‍රයට ප්‍රකාශයක් කර තිබුණි. ඒ අනුව ජාතික සංගම් නායකයන් සමසමාජ පක්ෂය සමග එළිපිටම සටනකට අවතීර්ණ වී තිබුණි.
එම වසරේම සැප්තැම්බර් 18 වැනිදා ටයිම්ස් පත්‍රය අපූරු යෝජනාවක් ගෙන ආවේය. ඒ පුවත්පතේ කතු වැකිය මගිනි.
බි්‍රතාන්‍ය අධිරාජ්‍යයට විරුද්ධවී රාජද්‍රෝහි ප්‍රකාශ රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් (ඇන්. ඇම්. හා පිලිප්) කෙරෙන හෙයින් එයට ප්‍රතිකර්මයක් ලෙස බි්‍රතාන්‍යය ආණ්ඩු බලය යොදවා ඩොනමෝර් ආණ්ඩු ක්‍රමය අහෝසි කිරීමට කාලය පැමිණ ඇත. ලංකාවාසීන්ට දැනට ලබාදී ඇති නිදහස නිසි ලෙස පාවිච්චි නොකරයි නම් ආණ්ඩුකාරවරයාගේ විශේෂ බලතල යටතට පාලනය නැවතත් භාරගත යුතුය. “මේ ප්‍රකාශය එතෙක් අළු යට වූ ගිනි පුපුරකි. එය හිටි අඩියේ 1937 අප්‍රේල් 20 දින පුපුරා ගියේය. ආර්. ඊ. ස්ටබ්ස් ආණ්ඩුකාරවරයා පහත නියෝගය කළේය.
“අපවත් වූ වික්ටෝරියා මහරැජිනිය විසින් රාජ සභාවේදී 1896 ඔක්තෝබර් 26 වැනි දින කරනු ලැබුවා වූ නියෝගයෙහි 3 වැනි කොටසෙහි 3 වැනි වගන්තිය පරිදි මට ලැබී තිබෙන බලතල අනුව ලංකාණ්ඩුකාර මා විසින් මාක් ඇන්තනී ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් වන නුඹට 1937 අප්‍රේල් මස 24 වැනිදා සවස 6ට ප්‍රථම ලංකාද්වීපයෙන් පිටත්වීමට මෙයින් අණකරමි.”
මෙම නියෝගයට ඔහු අවනත නොවුවහොත් අත්අඩංගුවට ගෙන නැවකට නංවා පිටුවහල් කරන ලෙස ආණ්ඩුකාරවරයා පොලිසියට උපදෙස් දී තිබුණි.
ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් උග්‍රතම සමාජවාදියකු වූ අතර බොහෝ සමසමාජ රැස්වීම්වල කථිකයකු විය. යුරෝපීය වතු හිමියන් කම්කරුවන්ගේ ශ්‍රමය සූරාකන බව ඔහු කියා සිටියේය. එයට එරෙහිව නැගී සිටින ලෙස ඔහු සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.
උපතින් ඕස්ටේ්‍රලියානු ජාතිකයකු වූ ඔහු 1936 දී ලංකාවට පැමිණියේය. ඉන්පසු මඩොල්කැලේ රොලුගන් වතුයායේ උපවතුපාලක ලෙස කටයුතු කළේය. වතු කම්කරුවන්ගේ අන්ත දුක්ඛිත ජීවිතය ගැන ඔහුගේ හද කම්පා විය. එනිසා ඔහු කම්කරු පන්තියේ ශක්තිය තහවුරු කරන්නට එකතු විය.
1936 මාර්තු 08 වැනිදා ඔහු සම සමාජ පක්ෂයේ මධ්‍යම කාරක සභිකයකු ලෙස ලියාපදිංචි විය. ඉන්පසු දිගින් දිගටම සමසමාජ වේදිකාවේ කථිකයකු ලෙස ලිස්ටර් ප්‍රකට විය. ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් රටින් පිටුවහල් කිරීමේ නියෝගය ආණ්ඩුකාරවරයා අනුමත කරන ලද්දේ එවන් පසුබිමකදීය. අප්‍රේල් 22 වැනි දින සිට එම නියෝගය ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් වෙත ලැබුණි. ඒ අනුව පැය 48 ඇතුළත ඔහු රටින් පිටව යා යුතුය. අප්‍රේල් 24 වැනිදා කොළඹ වරායෙන් පිටත්ව ඕස්ටේ්‍රලියාව බලා යාමට නැවක් සූදානම්ව තිබුණි. එහි ඉඩකඩ බ්‍රෙස්ගාර්ඞ්ල් වෙනුවෙන් වෙන් කෙරුණි.
මෙම නියෝගය ලද වහාම ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සමග බ්‍රෙස්ගාර්ඞ්ල් පොලිස්පතිවරයා හමුවට ගියේය. එහි ගොස් තමා එදින ඕස්ටේ්‍රලියාවට යාමට සූදානම් බව දැනුම් දීමෙන් පසු පොලිස් ප්‍රධානියාගේ සතුට නිමිහිමි නැතිවිය. තවත් මොහොතකින් මේ නියෝගයට විරුද්ධව කළ හැකි යමක් ඇද්දැයි ඔහු පවසා සිටියේය.
“මේක ආණ්ඩුකාරතුමාගේ නියෝගයක්. එයට විරුද්ධව කිසිවක් කළ නොහැකි බවට පොලිස් බලධරයා දැනුම් දුන්නේය. හොඳයි එදාට ආවේ නැත්තම් අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරනවා. පොලිස් ප්‍රධානියා එකවර කියා සිටියේය.
රහස් පොලිසිය ඔහු පසුපසය.
නෑ මං නියමිත වේලාවට වරායට එනවා යැයි කියූ බ්‍රෙස්ගර්ඞ්ල් පොලිසියෙන් පිටවී ආවේය.
පොලිස් මූලස්ථානයෙහි හිටපු මේ සුදු ජාතික සමසමාජකාරයා කෙලින්ම පිටකොටුවට ගියේය. ලොකු ඇඳුම් බෑගයක් මිලදී ගත්තේය.
25 වැනිදා බ්‍රෙස්ගර්ඞ්ල් මුල්ටාර් නමැති නෞකාවෙන් ඕස්ටේ්‍රලියාව බලා යාමට සැරසේ. සැකයක් නැත. එහෙත් තිරය පිටුපස වෙනත් රංගනයකට සූදානම් වෙමින් තිබුණි. ආණ්ඩුකාරවරයාගේ මෙම හිතුවක්කාර නියෝගයට එරෙහිව යමක් කළ යුතු බව සමසමාජ පක්ෂය තීරණය කර තිබුණි. එය රහස් පොලිසිය හෝ පොලිස්පතිවරයා දැනසිටියේ නැත.
අප්‍රේල් 24 වැනිදා හිරු බැස ගියේය. හෙට ආණ්ඩුකාරවරයාගේ නියෝගය අනුව බ්‍රෙස්ගර්ඞ්ල් රටින් පිටව යනු ඇත. මුල්ටාර් නැවේ තැනක් ඔහුට වෙන් වී තිබේ. බ්‍රෙස්ගර්ඞ්ල්ගේ පිටව යාමට මහ පිරිසක් වරායට රැස්වූහ. තමාට ඇති බරපතළ හිසරදයක් සුවවෙන මොහොත ළඟාවී ඇති හෙයින් රැස්වූ ජනතාව ගැන නොතකා ඉන්නට පොලිස්පතිවරයා තීරණය කර තිබුණි.
මුල්ටාර් නෞකාව පස්වරු පහට පිටත් වීමට නියමිතය. මහජනතාව පැමිණ සිටියේ බ්‍රෙස්ගර්ඞ්ල්ට සුබ පැතීමටය. තත්පරයෙන් තත්පරය ගෙවී යයි. ආචාර්ය ඇන්. ඇම්. පෙරෙර්ා සහ ලෙස්ලි ගුණවර්ධන පැමිණ සිටියහ. මේ සුවිශේෂ අවස්ථාව දැක ගැනීමට “සුද්දෝ” හෝටල් කාමරයන් හි ජනෙල් පියන්පත් ඇරබලා සිටියහ. ආචාර්ය ඇන්. ඇම්. හා ලෙස්ලි ගුණවර්ධන සුබ පැතීමට පැමිණි හෙයින් බ්‍රෙස්ගර්ඞ්ල් ගේ පිටව යාම ස්ථිර බව හැම දෙනාම සිතා සිටියහ. එහෙත් ඔහු තවමත් පැමිණියේ නැත. වේලාව හයයි. නැව පිටත්විය යුතු වේලාවයි. එහෙත් ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් එහි නැත. නැව පිටත්විය යුතු වේලාවයි. එය සෙමෙන් සෙමෙන් දියමත පාවෙමින් ඉදිරියට ඇදෙන්නට විය. එහෙත් තවමත් බ්‍රෙස්ගර්ඞ්ල් නැත. නැව ඈතට ඇදෙයි.
“ආණ්ඩුකාරවරයාගේ අවලං නියෝගය කඩ කළ බ්‍රෙස්ගර්ඞ්ල්ට ජය වේවා!” ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා කෑගැසීය. ඒ සමගම පිදුරු ගොඩකට ගිනි ගත්තා සේ මහජනතාවද වීදි බසිමින් බ්‍රෙස්ගර්ඞ්ල්ට ජයවේවා යි කෑ ගසන්නට වූහ.
ආණ්ඩුකාරවරයාට අබ! බ්‍රෙස්ගර්ඞ්ල් කෝ යනුවෙන් 1937 අප්‍රේල් 30 වැනිදා නිකුත්වූ සම සමාජ පත්‍රයේ විශේෂ කලාපයේ සිරස්තලය විය.
මේ අතර ලේක්හවුස් ආයතනයේ ඬේලි නිවුස් පුවත්පතේ සේවය කළ අයකු සමසමාජ පක්ෂයේ සාමාජිකයකුට අභියෝග කළේය. බ්‍රෙස්ගර්ඞ්ල් ලංකාවේ ඉන්නවා නම් තමාට පෙන්වන්න” යි ඔහු කීය. එම අභියෝගය පිළිගත් සමසමාජ සාමාජිකයා මාධ්‍යවේදියාගේ දෑස බැඳ බ්‍රෙස්ගර්ඞ්ල් සිටි තැනට රැගෙන ගියේය. පසුදාම එය ඬේලි නිවුස් පුවත්පතේ වාර්තා කෙරුණි.
මේ සිදුවීම පිළිබඳව වික්ෂිප්ත වූ පොලිස්පතිවරයාත් ආණ්ඩුකාරවරයාත් බලාහුන්නේය. 1937 මැයි 04 වැනිදා බ්‍රෙස්ගර්ඞ්ල් සිද්ධිය පිළිබඳ රාජ්‍ය මන්ත්‍රණ සභාවේදී විවාදයට ගැනුණි. මෙහිදී මාතලේ මන්ත්‍රී කියා සිටියේ ආණ්ඩුකාරවරයාගේ එම නියෝගය නීති විරෝධී බවයි. එය නීත්‍යානුකූල නම් ඕනෑම ලංකා පුරවැසියකු රටින් පිටුවහල් කිරීමට ආණ්ඩුකාරවරයාට පුළුවන් යැයි ඔහු කියා සිටියේය. වැඩ බලන ස්වදේශ අමාත්‍ය පී. බටුවන්තුඩාව කියා සිටියේ මේ පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවය. එය පොලිස්පති හා ආණ්ඩුකාරවරයා එක්වී ගත් තීරණයක් බවත්ය. නාරම්මල මන්ත්‍රී සිරිපාල සමරක්කොඩි කියා සිටියේ ආණ්ඩුකාරවරයාගේ ක්‍රියා පිළිවෙත පිළිකුල් සහගත බවය. වැසියන්ගේ නිදහසට බාධා කරන මේ වහල් නීතිය වහා අවලංගු කරන ලෙස ඔහු ඉල්ලා සිටියේය. මෙහිදී ආණ්ඩුකාරවරයාට විරුද්ධ වූ යෝජනාවට පක්ෂව ඡන්ද 34ක්ද විපක්ෂව ඡන්ද 06 ක්ද ලැබුණි. ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ තීරණය සාවද්‍යය යන්න තහවුරු විය. එහෙත් එම මතය ගැන කිසිදු තැකීමක් නොකළ ආණ්ඩුකාරවරයා “ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් දුටු තැන අල්ලනු” යනුවෙන් නියෝගයක්ද නිකුත් කළේය.
එම නියෝගයට එරෙහිව ගාලු මුවදොර පැවති රැස්වීමට 50,000 අධික ජනතාවක් සහභාගි වූහ. ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා බ්‍රෙස්ගර්ඞ්ල් පිටුවහල් කිරීමේ නියෝගයේ වැල ගිය අලගිය තැන් ජනතාවට පැහැදිලි කළේය. මේ පැහැදිලි කිරීම අතර හිටි අඩියේ මහජන ඝෝෂාවක් ඇතිවිය.
“බ්‍රෙස්ගර්ඞ්ල් සහෝදරයාට ජයවේවා”
“සම සමාජයට ජයවේවා”
මේ හඬ මැදින් ලිස්ටර් බ්‍රෙස්ගර්ඞ්ල් ප්‍රධාන වේදිකාවට ගොඩවිය. ජනතාවට ආචාර කළ ඔහු ජනතාව අතරින්ම අතුරුදන් විය.
මැයි 07 වැනිදා පස්වරු 6.20 ට පමණ සමසමාජ පක්ෂයේ ලේකම් වර්නන් ගුණසේකරගේ කාර්යාලයේදී බ්‍රෙස්ගර්ඞ්ල් අත්අඩංගුවට ගත්තේය. එහෙත් ඒ වන විට ආණ්ඩුකාරවරයාගේ නියෝගයට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනුකර තිබුණි.
අග්‍රවිනිශ්චයකාර ශ්‍රීමත් සිඞ්නි ඒබ්‍රහම් ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ මෙම පෙත්සම විභාග කෙරුණි. දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් කළ කරුණු සලකා බලා මැයි 18 වැනි අඟහරුවාදා පෙරවරු 11.05 ට සියලුම විනිසුරන් වෙනුවෙන් මාර්ටින්ස් විනිසුරුතුමා තීන්දුව ඉදිරිපත් කළේය. ඒ අනුව ආණ්ඩුකාරවරයාගේ නියෝගය නීති විරෝධී එකක් බවත් මෙම නීතිය භාවිත කළ හැකි වන්නේ රටේ යුද්ධයක් පවතින අවස්ථාවක පමණක් බවත් තීන්දු කෙරුණි. එසේම 1896 රාජාඥා පනතේ 3 වැනි වගන්තිය යටතේ ආණ්ඩුකාරතුමා විසින් කරන ලදැයි කියන නියෝගය නියම බලයක් නොමැතිව කරන ලද හෙයින් බ්‍රෙස්ගර්ඞ්ල් සිරභාරයට ගැනීම නීති විරෝධී ක්‍රියාවකැයි තවදුරටත් තීන්දු කළේය. ඒ අනුව කොටුව පොලිස් ස්ථානයේ සිර කරගෙන සිටි බ්‍රෙස්ගර්ඞ්ල් නිදහස් කරනු ලැබීය.
වර්තමාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දැක්වෙන පරිදි අයුතු ලෙස අත්අඩංගුවට ගැනීම නීති විරෝධී බව ස්ථාවර කරන ලද්දේ මෙම නඩු තීන්දුව සමගය. නඩු තීන්දුවෙන් සටන නැවතුණේ නැත. ලබන සතියේ ඒ පිළිබඳව කියවමු.
නීතිඥ රුවන් හරිස්චන්ද්‍ර