සෙන්කෝලය නිර්මාණය කළ පියතිලක මහතා වත්මන් කතානායක වන කරු ජයසූරිය මහතා හමුවී සෙංකෝලය දැක බලා ගත් අවස්ථාවක්.
අලුත් පාර්ලිමේන්තුවේ මූලික කාර්යය වන්නේ කතානායකවරයකු පත්කර ගැනීමයි. පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 3-4 සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64 (1) ව්‍යවස්ථාවට අනුව මෙය සිදු කෙරෙයි. පළමුව නියමිත වේලාවට මන්ත්‍රීවරුන් කැඳවීම සඳහා සීනුව නාද කෙරෙයි. එවිට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු දෙපස අසුන් ගනිති. ඉන් අනතුරුව එළැඹෙන නිහඬ මොහොතේ දී වේත්‍රධාරියා සෙංකෝලය දකුණු උරහිස දරාගෙන විශේෂ දොරටුවෙන් සෙමෙන් සෙමෙන් සබා ගැබට ඇතුළු වෙයි. මන්ත්‍රීවරු හැමෝම අසුන්වලින් නැගිට ගෞරවය ආරක්ෂා කරන අතර වේත්‍රධාරියා සෙංකෝලය අදාළ ස්ථානයෙහි තැන්පත් කරයි.
සෙංකෝලය අදාළ ස්ථානයෙහි නිරුපද්‍රිතව තිබෙන තාක් සභාව පවත්වාගෙන යාමට අවශ්‍ය නීත්‍යානුකූල අවසරය, ගෞරවනීයත්වය නිරායාසයෙන්ම ලැබෙනු ඇත. සෙංකෝලය ඉවත්වූ සැණෙන්ම සභාවේ වැඩ කටයුතු අවසන් වන අතර ඉන්පසු සිදුවන කිසිවක් නීත්‍යානුකූල නොවේ.
ලෝක ඉතිහාසයේ මෙන්ම මෙරට දේශපාලන ඉතිහාසයේ ද සෙංකෝලයට මෙම ගෞරවය ලැබුණු අතර යම් යම් අරගලකාරී අවස්ථාවල සෙංකෝලයේ ආරක්ෂාව පතා වේත්‍රධාරින්ට සටන් වැදීමට සිදුවූ අවස්ථා බහුලය. ඒ නිසාම අපේ රටේ සෙංකෝලය අතුරුදන් වූ කැඩී බිඳී ගිය හා පැහැරගෙන ගිය අවස්ථා ද විශාලය.
ඇතැම්විට සෙංකෝලයේ ආරක්ෂාව පතා වේත්‍රධාරියා එය තම අතට ගෙන මන්ත්‍රීවරුන් සමග පොරබදනු දක්නට ලැබිණ. අදාළ ස්ථානයෙන් ඉවත් කළ වහාම සෙංකෝලයේ බල රහිත බවක් සිදුවන බැවින් පසුගියදා කඩි මුඩියේ සම්මත කරගත් විශ්වාසභංගය ඇතුළු තීන්දු තීරණ කෙතෙක් දුරට වලංගුදැයි අපි නොදනිමු.
1949 දී කතානායක ධුරය දැරුවේ ශ්‍රීමත් ෆ්‍රැන්සිස් මොලමුරේය. ඒ සමයේ සෙංකෝලය රැගෙන මන්ත්‍රී මණ්ඩලයට පැමිණියේ වේත්‍රධාරි එම්. ස්මයිල් ය. ස්මයිල් වෙත එදා සෙංකෝලය භාර දී ඇත්තේ බි්‍රතාන්‍ය මන්ත්‍රී මණ්ඩලයේ නියෝජිත මේජර් ජේම්ස් විල්නර් ය.
“මෙම සෙංකෝලය ඔබේ දේශයේ ඉතිහාසයත් සාම්ප්‍රදායත් මූර්තිමත් කරන සංකේතයක්. එය ජනතාව ඔබට පැවරූ ගරුත්වයේ බලයේ ප්‍රතිමූර්තියයි. ඒ බලය නම් ස්වාධීන පාර්ලිමේන්තුවක නිදහසේ වාද කිරීමට රැස්වූ බව ඇඟවීමේ සලකුණයි”
විල්නර් සෙංකෝලය හැඳින්වූයේ එසේය. ඒ අනුව පාර්ලිමේන්තුව තුළ බලධරයා කතානායක වන අතර බලතල පිළිබඳ නිර්මාණ සංකේතය වන්නේ සෙංකෝලයයි.
එසේ වුවද පක්ෂ විපක්ෂ වාද විවාද බොහෝදුරට දුරදිග ගියේ සෙංකෝලය පැහැර ගැනීමට තැත් කිරීමෙනි. ඊට අමතරව අසුන්වලින් පහරදීම්, වතුර බෝතල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා හා නීති පොත්පත්, සටන් පුවරුවලින් පහරදෙන අවස්ථා ද වෙයි.
1976 දී පැරැණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ දී අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ අසුන ඉදිරිපිට මල් වඩමක් ප්‍රදර්ශනය විය. වරක් මිනී පෙට්ටියක් කොටස් ගලවා සබා ගැබ තුළට ගෙනෙන ලද අතර ඉකුත්දා මුවහත් පිහියක් අතැතිව සිටි බවට තෙවරප්පෙරුම මන්ත්‍රීවරයාට ද චෝදනා එල්ල විය.
හිටපු ජනපති ආර්. ප්‍රේමදාසයන්ට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ගෙන ඒමට පෙරදින රාත්‍රි මැතිසබය තුළ තොවිලයක් නටා ආසනවල මැතිරූ තෙල් ගෑ බවක් ද කියැවිණි.
කෙසේ වෙතත් මෙවැනි සිද්ධීන්වල ප්‍රධාන අතරමැදියා වූයේ කතානායකවරයාය. කතානායකවරයාගේ පණ නල රැඳී තිබුණේ සෙංකෝලය මතය. සෙංකෝලයට අත තැබීම කථානායකයා සතු අධිකාරි බලය බිඳ හෙළීමකි.
සෙංකෝලය සැඟවූ අවස්ථා ද එය රැගෙන දිවූ අවස්ථා ද පොර බැදීම් නිසා එයට බරපතළ හානි සිදුවූ අවස්ථා ද හැන්සාඞ් පත් හා මාධ්‍යවල අපූරුවට විස්තර කර තිබිණි. සෙංකෝලය පැහැරගත් මන්ත්‍රීවරුන්ට විනය ක්‍රියා මාර්ග ගත් අවස්ථා ද එමටය.
1979 දී බි්‍රතාන්‍ය රජයේ පරිත්‍යාගයක් ලෙස පැවරූ සෙංකෝලය වත්මන් පාර්ලිමේන්තුවේ භාවිත වෙයි. එසේම මෙරට කලාකරුවන් විසින් නිර්මිත එකම සෙංකෝලය වනාහි සෙනෙට් සභා සෙංකෝලයයි.
1956 දී අගමැති බණ්ඩාරනායක ආණ්ඩුව විසින් ලබාදුන් සැලැස්මට අනුව අඟල් 52ක් දිගු ඇත් දළයකට කැරට් 20 රන් පවුම් 45කින් සහ රිදී රාත්තල් 3 1/2කින් කැටයම් දමා පච්ච වඩම්, නිල් මැණික් සහ නව වරම් මැණික් ඔබ්බවා මෙය නිර්මණය කෙරිණි.
එම විශිෂ්ට කලා නිර්මාණ ශිල්පියා නම් රඹුක්කන දොඹේමඩ පදිංචි ඇස්වෙද නයිදෙලාගේ පියතිලක මහතාය. ඔහු අද 89 හැවිරිදිය
.
මෙම සෙනට් සභා සෙංකෝලය අද භාවිතයට නොගැනුණත් සුවිශේෂ කෞතුක භාණ්ඩයක් ලෙස පාර්ලිමේන්තුවේ තැන්පත්ව තිබේ.
සවි ශක්තිය ඇති සමයේ තමා නිර්මාණය කළ මෙම කලා භාණ්ඩය නැරැඹීමේ ආශාවෙන් එම නිර්මාණ ශිල්පියා පසුවන බව කතානායක කරු ජයසූරිය මහතාට දැන ගන්නට ලැබිණ. ඒ අනුව පියතිලක මහතා ඇතුළු දරු මුනුපුරු පිරිසට පාර්ලිමේන්තුවට ඇරැයුම් ලැබිණ.
2017-03-16 වැනි දින එනම් සෙංකෝලය නිර්මාණය වී වසර 61කට පසු එය ස්පර්ශ කිරීමේ දුර්ලභ වාසනාව පියතිලකයන් හට හිමිවිය. මෙහිදී තවත් සුවිශේෂී සිද්ධියක් අහඹු ලෙස මතකයට නැඟිණ. එනම් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තු සම්ප්‍රදාය ඇරැඹී වසර 70කට ආසන්න වීමය. එබැවින් මෙම අපේම අග්‍රගණ්‍ය කලාකරුවා වෙත විශේෂ භෝජන සංග්‍රහයක් හා තුටු පඬුරු ද මෙහිදී පිරිනැමිණි.
මෙම සෙංකෝලයේ උඩ කොටස පෙති අටකින් සමසන්විත නෙළුම් මලක් මත පිහිටි උල් හැඩැති පච්චපඩියම් මැණිකෙන් සැදූ ඔටුන්නකින් ගෝලාකාර පුන්කළසක හැඩයෙන් නිමවී ඇති ගෝලය වටා වූ රැලි අනුරාධපුරයේ සඳකඩ පහණ මූර්තිමත් කරයි.
ඊට පහළ කොටසේ මෙරට රක්ත හා නීල මැණික් ගල් ඔබ්බවා ඇති අතර සෞරග්‍රහ මණ්ඩලයේ නව ග්‍රහයන් දැක්වෙන සේ නවරත්න මැණික් සවිකර ඇත.
“මේ සෙංකෝලයේ කොටස් 45කට කෑලි ගලවන්න පුළුවන් රහස් ඇණයක් සවිකර තිබෙනවා. ඒක තවමත් දන්නෙ මං විතරයි. මුළු බර රාත්තල් 4 1/2ක්. යෂ්ටිය වටේට එදා සෙනට් සභාවේ ලාංඡනයේ ‘සංතින්ද්‍රියෝච නිපකෝච’ කියන පාලි ගාථා පදය තියෙනවා”
පියතිලක කලාකරුවා මාධ්‍යයට විස්තර කළේය. ඔහු විසින් නිර්මිත අගනා කලා නිර්මාණ රැසක් රාජ්‍ය ප්‍රධානින් වූ ජපානයේ මිසාකා කුමරියටත් ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරු තුමාටත් එකල මෙරටට පැමිණි පාකිස්තාන් රාජ්‍ය අමුත්තෙකුටත් පිරිනමා තිබිණ.
මෙරට ඓතිහාසික විභූතියත් කලා ශිල්පීය සම්ප්‍රදායක අනන්‍යතාවත් උසස් ලෙස මූර්තිමත් කරමින් ස්වාධීන පාර්ලිමේන්තුව තුළ මෙරට ප්‍රගමනයට බලපාන විවාද නිදහසේ කිරීමට මං අහුරමින් සෙංකෝලයට අගතිගාමී ලෙස සැලකීම එම මහජන නියෝජිතයන් පත්කර එවූ ඡන්ද දායකයනට කරන්නා වූ නිගරුවක් බව නොකිවමනාය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප : අන්තර්ජාලයෙනි