දේශපාලනයේ නොමියෙන චරිත
කොළඹ කොටුවේ ටයිම්ස් මන්දිරයේ හතරවැනි තට්ටුවේ ‘බෝඞ්රූම්’ හිදී සති දෙකකට වරක් අනිවාර්්‍යයෙන්ම රැස්වන ටයිම්ස් ඔෆ් සිලෝන් අධ්‍යක්ෂ මණ්ඩලය 1960 මැයි 21 වැනිදා හදිසි රැස්වීමක් පැවැත්වූයේ “ලංකාදීප” කතෘ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රවෘත්ති කතෘ ගැන තීරණයක් ගැනීම උදෙසාය.
ජ්‍යෙෂ්ඨ සිවිල් සේවකයකු සහ ආහාර කොමසාරිස්වරයෙකුව සිටි ටයිම්ස් සභාපති කේ. අල්වා පිල්ලේ මහතා මුලසුනේ විය. එදා න්‍යාය පත්‍රයේ සඳහන්ව තිබුණේ එකම එක විෂයකි.
1960 මැයි මස 20 වැනිදා එක්සත් ජාතික පක්ෂයේ නායක හිටපු අගමැති ඩඞ්ලි සේනානායක මහතාට එරෙහිව එළඹෙන මහ මැතිවරණයේදී දැදිගම ආසනයට තරග වැදීම පිණිස නාම යෝජනා භාර දුන් ලංකාදීප ප්‍රවෘත්ති කතෘ රත්න දේශප්‍රිය සේනානායකට විරුද්ධව ගත යුතු ක්‍රියා මාර්ගය ගැන සාකච්ඡා කොට තීරණයක් ගැනීමය.
රත්න දේශප්‍රිය නමින් පමණක් එතෙක් පෙනී සිටි ඔහු සිය වාසගමේ සේනානායක නාමය ඩඞ්ලි සේනානායක මහතාට එරෙහිව ජන්දය ලබා ගැනීමේ උපක්‍රමයක් ලෙස යොදා ඇති බවත් මෙහිදී අධ්‍යක්ෂකවරු කියා සිටියහ.
ටයිම්ස් ආයතනයේ වැඩි කොටස් හිමිව සිටි සංගරපිල්ලෙගේ පුතා, විශ්වනාදන් මේ තත්ත්වයට ලංකාදීප කතෘ ඩී. බී. ධනපාල මහතා වගකිව යුතු බවත් රත්න දේශප්‍රිය ඩඞ්ලි සමග තරගකරන්නේ ඔහුගේ අනුබලය සහ ආශිර්වාදය ඇතිව බවත් තදින් කියා සිටියේය. රත්න දේශප්‍රිය සහ ධනපාල යන දෙදෙනාම ටයිම්ස් ආයතනයෙන් ඉවත් කළ යුතු බව ඔහුගේ මතය විය.
දුර දක්නා මොළකාරයෙකු වූ අල්වා පිල්ලේ මේ දෙදෙනා ගැන තීන්දුවක් ගැනීම පසුවට තබන ලද්දේ “රත්න දේශප්‍රිය බැරිවෙලාවත් දිනුවොත්” යන මතයේ පිහිටා සිටිමිනි.
ඇත්තම කියනවා නම් එදා ටයිම්ස් ආයතනයේ සියලු අධ්‍යක්ෂවරු ද කොටස් හිමිකරුවෝ ද විධායක නිලධාරීහු ද එක්සත් ජාතික පාක්ෂිකයෝ වූහ. එහෙත් ලංකාදීපය එයට හාත්පසින්ම වෙනස් විය. එහි කතෘ මණ්ඩලය ඇතුළු සෙසු සියලු අංශවල සියයට අසූවක්ම වාමාංශිකයෝ වූහ. ඔවුහු සිංහල බෞද්ධ පැත්ත ගෙන සිටියහ. මෙය ටයිම්ස් ලොක්කන්ට මහත් හිසරදයක් විය.
එදා ලංකාදීප වාමාංශිකයන් අතර ප්‍රශ්නයක්ව තිබුණේ ඔවුන් චීන රුසියන් පිල් දෙකකට බෙදී සිටීමය. චීන පිලේ නායකයා රත්න දේශප්‍රිය වූ අතර රුසියන් පිලේ නායකයා ලංකාදීප නියෝජ්‍ය කතෘ කේ. ඇම්. සිරිසේන විය.
1960 අගෝස්තු 07 වැනිදා මහ මැතිවරණය පැවති අතර දැදිගම සටන දරුණු සටනක් විය. ඩඞ්ලි ගේ පැත්තටත් රත්න දේශප්‍රියගේ පැත්තටත් එකසේ මැරවර බලය තිබිණි. කොළඹ පත්තර කාරයෝ දැදිගම ආසනයේ වරකාපොල සහ කොටවෙහෙර ප්‍රදේශයේ කඳවුරු බැඳ ගත්හ.
මහ මැතිවරණ ප්‍රතිඵල අනුව ඩඞ්ලි සේනානායක මහතා ඡන්ද 13,340 ක් ලබාගත් අතර නවකයෙකු වූ රත්න දේශප්‍රිය සේනානායක මහතා ඡන්ද 11,683 ක් ලබා ගත්තේය. ඩඞ්ලි සේනානායක මහතා වැඩි ඡන්ද 1657 කින් දැදිගම ආසනය ජයග්‍රහණය කළේය.
රත්න දේශප්‍රිය සේනානායක මහතා පසුදාම ලංකාදීප සේවයෙන් ඉල්ලා අස්විය.
අග්‍රගණ්‍ය පුවත්පත් කලාවේදී ඩී. බී. ධනපාල මහතා ඉන් දින කිහිපයකට පසු ලංකාදීප කතෘ පදවියෙන් ඉවත් විය.
“අපේ ලොක්කා ගිය සතියේ ලංකාදීප කතෘ කාමරයෙන් පිට වී කතෘ මණ්ඩලයේ සෙසු අය දෙස මොහොතක් නිහඬව බලා සිට කිසිවක් නොකියා ටයිම්ස් මන්දිරයේ පඩි පෙළින් පහළට බැස ටැක්සියක නැඟී බම්බලපිටියේ ද ෆොන්සේකා පෙදෙසේ සිය නිවස බලා ගියේ යැයි එදා රත්නපාල විතාන නවලෝකය සඟරාවට වාර්තා කර තිබිණි.” මාස කිහිපයක් නිහඬව සිටි රත්න දේශප්‍රිය සේනානායක සහෝදර පුවත්පත් කලාවේදීන්ගේ ආශිර්වාදය මැද නීති විද්‍යාලයට ඇතුළත් වී අධිනීතිඥ විභාගය සමත් විය. උසාවි කටයුතු කරන අතර ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කිරීමට බණ්ඩාරනායක මැතිනිය සමග ක්‍රියාකාරී විය.
1965 මහ මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අපේක්ෂකයා ලෙස ඩඞ්ලි සේනානායක මහතා සමග යළිත් දැදිගම ආසනයට තරග කළ හේ වැඩි ජන්ද 3429 කින් පරාජය විය.
1970 මැයි 27 වැනිදා පැවති මහා මැතිවරණයේ දී ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැඩී ගොස් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ඇමතිවරයකුව සිටි සී. පී. ද සිල්වා සමග මින්නේරිය ආසනයට තරග කොට වැඩි ජන්ද 2508 කින් ජයග්‍රහණය කළේය. මෙම මැතිවරණයේ දී දැදිගම ආසනයට ඩඞ්ලි සමග තරග වැදුණේ රත්නගේ සහෝදර අධිනීතිඥ ධර්මසිරි සේනානායක ය. ඔහු ඩඞ්ලිට වැඩි ජන්ද 1067 කින් පරාජය විය.
1970 පිහිටු වන ලද සමඟි පෙරමුණු රජයේ ප්‍රවෘත්ති ඇමතිකම රත්න දේශප්‍රියට ලැබේයැයි බොහෝදෙනා සිතුව ද ඔහුට ලැබුණේ ක්‍රමසම්පාදන සහ රැකී රක්ෂා නියෝජ්‍ය ඇමති පදවියයි. අදාළ අමාත්‍යාංශයේ ඇමතිවරිය අගමැති වූවාය. නියෝජ්‍ය ඇමති කමින් ඔහුට කළහැකි කාර්යයක් නොවීය.
ඔහු තරමක සිත් තැවුලෙන් සිටිය ද රජයේ සියලු කටයුතුවල දී අගමැතිනිය නියෝජනය කළ සුනේත්‍රා රූපසිංහ මහත්මිය ඔහුට දේශපාලන කටයුතු කරගෙන යාමට ශක්තිය ලබා දුන්නාය.
1977 මහ මැතිවරණයේ දී බුරුතු පිටින් මැති ඇමතිවරු ගසා ගෙන ගිය රැල්ලට ඔහු ද හසු විය. සී. පී. ද සිල්වා මහතා ගේ සහෝදරයා වූ මෙරිල් ද සිල්වා සමග මින්නේරිය ආසනයට තරග වැදුණු ඔහු ජන්ද 4583 කින් පරාජය විය.
ශ්‍රී ලංකා පුවත්පත් කලාවේදීන්ගේ සංගමය පිහිටුවීමේදී පුරෝගාමීව ක්‍රියා කළ ඔහු ශ්‍රී ලංකා චීන මිත්‍රත්ව සංගමය පිහිටුවීමේදී ද මුල් තැනක් ගෙන ක්‍රියා කළේය. මේනිසාම ඔහු චීන ගැත්තෙක් ලෙස හංවඩු ගැසිණි.
රත්නේ යනුවෙන් ජ්‍යෙෂ්ඨයින්ද ‘රත්න මහත්තයා’ යනුවෙන් තරුණ පුවත්පත් කලාවේදීන් විසින්ද හඳුන්වනු ලැබූ රත්න දේශප්‍රිය සේනානායක න්‍යායට වඩා ප්‍රායෝගික ප්‍රතිපත්ති ගරු කළේය. විශේෂයෙන්ම ඉඩම් ජන සතුව න්‍යායවාදී ලෙස නොව ප්‍රායෝගික ඇසින් බලා ක්‍රියාත්මක කළයුතු බවට ඔහු එදා රාජ්‍ය නායකයන්ට දුන් උපදෙස් පිළිනොගැනිණි. ඔහු දුන් ඇතැම් ප්‍රතිපත්ති පිළිගත්තා නම් ජනසතු ඇතැම් වතු විදේශ විනිමය උපයන මහා ධන උල්පත් බවට පත්වීමට ඉඩ තිබුණි.
චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසින් ඔහු චීනයේ ශ්‍රී ලංකා තානාපති පදවියට පත් කරන ලදී. ජීවිතයේ අවසන් කාලයේදී ආපසු සිය රටට පැමිණීමෙන් පසු කොළඹ කාසල් වීදියේ නිවසේ විවේකීව ගත කළ ඔහු කිසිවෙකු බලාපොරොත්තු නොවූ අවස්ථාවක හදිසියේ මිය ගියේය.
උපාලි රූපසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි