මැති සබයේ ලෙළදුන් කවි අසිපත


බාසනයේ හැටියට නැත සාදනය
මෙහෙමද කරන්නේ අප රට පාලනය
දුප්පත් මිනිහාට ගෙන දෙන පීඩනය
ඉලක්කම් ගොඩක් අය වැය ලේකනය
පාර්ලිමේන්තු වාදවිවාදවලදී අදහස් උදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රබල මාධ්‍යයක් ලෙස සිංහල කවිය ඉතිහාසයට එක්වූයේ මහජන මන්ත්‍රී සෝමවීර චන්ද්‍රසිරි කවියාගෙනි. ඒ 1947 දෙසැම්බර් මස 19 වැනිදාය. නමුත් ගායන ස්වරූපයෙන් මෙම කවිය නොගයන ලෙස කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ නියෝග කළ බැවින් චන්ද්‍රසිරි කවියා එම කවිය ගැයුවේ කතා ස්වරූපයෙනි.
 
සිංහල කවියක් ගායනා කිරීම තබා සිංහල බසින් කතාවක් පැවැත්වීමටද එදා කතානායකගේ විශේෂ අවසරය හිමිවිය යුතුය.
 
ඊට හේතුව ඉංග්‍රීසි බස හැර සිංහල හෝ දෙමළ බසින් කරන කතා පිටපත් කිරීමට පරිවර්තකයන් පාර්ලිමේන්තුවේ නොවීමය.
 
‘ගරු කතානායක තුමනි මගේ ඡන්දදායකයන් වැඩිදෙනෙක් සිංහල කතාකරන අයයි. ඒනිසා සිංහල බසින් පාර්ලිමේන්තුව ඇමතීමට අවසර ඉල්ලනවා.’
 
1947 දී අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මන්ත්‍රීවරයා කතානායකගෙන් ඉල්ලුවේය. එහෙත් කතානායක සර් ප්‍රැන්සිස් මොලමුරේ අවසර නොදුන්නේ ලඝු ලේඛකයන් හෝ වාර්තාකරුවන් නොමැති බව කියමිනි.
 
‘ඊරියගොල්ල මන්ත්‍රීතුමාගේ භාෂා දැනුම ගැන මගේ විරුද්ධත්වයක් නෑ. ඒත් සිංහලෙන් කතා කළොත් තවත් මන්ත්‍රීවරු පිරිසක් අපහසුතාවට පත්වෙනවා. අනික නිසියාකාරව ග්‍රන්ථාරූඪ කරගන්නත් බැහැ.’
 
සීමා මායිම්වලින් තොරව සිංහලෙන්ම කතාවක් කිරීමේ ගෞරවය හිමිවන්නේ බණ්ඩාරනායක ඇමැතිතුමාටය. ඒ 1948 ජූලි 28 වැනිදා පැවති අයවැය විවාදයට එක්වෙමිනි. සිංහලෙන් ඉංග්‍රීසියට පරිවර්තනය සඳහා ඇස්. පියසේන මාධ්‍යවේදියාද දෙමළෙන් ඉංග්‍රීසියට පරිවර්තන කිරීම සඳහා කුංජිතපාදම් නමැති ගුවන් විදුලි ශිල්පියා තෝරා ගැනුණේ ලන්ඩන්හි ලෝක ප්‍රකට භාෂා විශාරදයකු වූ ඒ.ටී. පීලිගේ අනුග්‍රහයෙනි.
 
පාර්ලිමේන්තු භාෂා පරිවර්තකයකුව සිටි සුමනවීර රාජපක්ෂ ලියූ මැති සබයේ කී කවි ග්‍රන්ථය මෙවැනි තොරතුරු රැසකින් සමන්විත වෙයි. එහි දැක්වෙන පරිදි කතාකරන බසින් හා ගායනා කරන බසින් පාර්ලිමේන්තුව ඇමතූ මන්ත්‍රී කවිවරුන්ගේ ගණන 35 කි.
 
මේ අතර ඉංග්‍රීසියෙන් කවි කී මහින්ද රාජපක්ෂ, දිමු. ජයරත්න, විජයානන්ද දහනායක වැනි මන්ත්‍රීවරුන් ගැන දැක්වේ.
 
1941 දී ටී. බී. තෙන්නකෝන් මන්ත්‍රීවරයා විසින් බණ්ඩාරනායක මැතිඳුන් තරුණ වියේදී කවි තරගයකට කියූ කවි පෙළක් ඉදිරිපත් කළ අතර ඊට පළමු තැන හිමිවූ බව පැවසීය. මේ එක් කවියකි.
සැබවින් මහත් බිම් නැතිමුත් පිළිකන්නේ
ගෙවූයන් මිදුල්වල සැදූ සොඳ
සතුටින් කුරක්කන් සිට වුවහොත් වන්නේ
සැපතින් දිවි රැකුම පමණයි දැනගන්නේ
 
1912 මාර්තු 16 වැනිදා කන්ද උඩරට ගුන්නෑපානේ පිලවල ඉපිද පියාගේ අඩි පාරේ යමින් කාව්‍යකරණයට, ලේඛන කලාවට හා නර්තනයට සමතෙකු වූ ටිකිරි බණ්ඩාර තෙන්නකෝන් හෙළ ජාතික ඇඳුමින් සැරසී කවි බසින් මැතිසබය මුසපත් කළ කවීන්ද්‍රයෙකි. ළමා වියේදීම මව්පියන් වියෝවීම නිසා අසරණ වූ ටී. බී. මහනුවරට පැමිණියේ රැකියාවක් සොයාගෙනය.
 
ටී. බී. ගේ මුල්ම ජීවන වෘත්තිය වූයේ දුම්රිය දෙපාර්තමේන්තුවේ අඟුරු මඩුවේ රාජකාරියයි. ඉතා දුෂ්කර වූ මෙම රැකියාවෙන් දිනකට ලැබුණේ ශත 63 ක වැටුපකි.
 
මසකට රු. 15 ක වැටුපක් ලැබෙන මහනුවර සිරිසර මුද්‍රණාලයට බැඳුණු ඔහු කවිය ආත්මය කර ගත්තේය. කවි කොළ, කවිපොත් ලියා පළකරමින් ජනාකීර්ණ ස්ථානවල හඬනගා ගයමින් ඔහු ජීවිතය සුන්දර කරගත්තේය.
 
මහා කවි ආනන්ද රාජකරුණාගේ සහභාගීත්වයෙන් සමස්ත ලංකා සිංහල කවි සම්මේලනය පණගැන්වෙන අවදියේ ටී. බී. තෙන්නකෝන්ගේ පුරෝගාමීත්වයෙන් මහනුවර තරුණ කවි සමාජය බිහිවිය.
 
බණ්ඩාරනායක මැතිඳුන්ගේ නායකත්වයෙන් ඇරඹි සිංහල මහා සභාවේ මහනුවර ශාඛාවේ ලේකම් වූයේ ටී. බී. ය. ජාතික දේශපාලනයට අවතීරණ වීමට අත්වැල හිමිවූයේද එතුළිනි.
පුවත්පත් වාර්තාකරුවකු ලෙස කටයුතු කරද්දී මහනුවර නගර සභාවේ ඇතිවූ සිද්ධියක් ගැන පළකළ වාර්තාව වැරදි යැයි කී මන්ත්‍රීවරයකු හා ඇතිවූ ගැටුම අවසන් වූයේ ටී. බී. ට කේන්ති යාමෙනි.
මං කවදා හරි නාගරික මන්ත්‍රීවරයෙක් වෙලා මෙහාටම ඇවිත් උත්තර දෙනවා.
 
 
 
 
 
එසේ ශාලාවෙන් පිටව ගිය ඔහු 1946 දෙයියන්නෙවෙල නාගරික අසුන ජයගෙන නගර සභාවට පත්විය. පාර්ලිමේන්තුවට තේරෙන තුරුම ඔහු මව්බසින් නගර සභාවේ විස්කම් පෑවේය.
 
1951 දී ශ්‍රීලනිපය බිහිවන විට එහි කැඳවුම්කරුවෙකු වූයේ ටී. බී. ය. 1955 දී සිංහල භාෂා පෙරමුණ පිහිටුවීමේදී ටී. බී. ට සෝමවීර චන්ද්‍රසිරි එකතු විය. 1956 මහා මැතිවරණයේදී මහජන එක්සත් පෙරමුණෙන් දඹුල්ලට තරග කළ ටී. බී. අපරාජිත දේශපාලන චරිතයක් වූ එච්. බී. තැන්නේ රටේ මහත්මයා වැඩි ඡන්ද 9155 කින් පැරදවිය. එතැන් සිට 1977 වනතුරු තම අසුන රැකගන්නට ඔහු සමත් විය. එම මැතිවරණයෙන් ශ්‍රීලනිපයට හිමිවූ ආසන 08න් එකකි ටී. බී. තෙන්නකෝන් දිනූ දඹුල්ල ආසනය.
 
1959 දී සංස්කෘතික හා සමාජ සේවා උප ඇමැති ලෙස පත්වී විවිධ අමාත්‍ය පදවි දැරූ ටී. බී. කතානායකවරයාගේ අණ නොතකා අයවැය විවාදවලදී කවි කතා 05 ක් පවත්වා ඇත.
දඹුල්ලේ ගොවියන්ගේ දුක මහවැලිය පිඟාඔයෙන් රජරටට හැරවූදාට අතුරුදන්වන බවට එදා ටී. බී. අනාවැකියක් කීවේය.
 
කටුගස්තොටදී මහවැලි ගං මනමාලී
පහළට යානොදී හරහට බැඳ වේලී
උතුරට යොමු කරන තීරණයකි පෝලී
රජරට එයින් නංවනු ඇත ජය කේලී
රජරට වියළි බිම් එමගින් සිහිල් කොට
දරදඬු පලගනු ඇත ඉන් රිකිලි පිට
සෙත් පිරිතක්ය එය රජරට මුළුල්ලට
මිණිමුතු මොටද මගෙ රන් ගිරි දඹුල්ලට
 
පංච මහා බලවේගයේ බස හෙළ බස බව කතානායකට කවියෝ පෙන්වා දුන්හ. 1948 ලැබූ නාමමාත්‍රික නිදහසට 1956 පෙරළියත් සමග පණපෙවුණු අතර කවි ගායනා කිරීමට එරෙහිවීම ජනමතයට පිටුපෑමක් බවට ඔවුහු පෙන්වා දුන්හ.
වසරක් ගෙවිණි රජවී බස හෙළ දූවේ
එනමුදු අඳුරු තිර බස වට කොට පාවේ
කවියයි මැතිවරුන් බස් රැජිනගෙ ජීවේ
කවුරුද කවිය මෙහි නොකියන්නැයි කීවේ
 
1980 ජනවාරි 28 දා ටී. බී. තෙන්නකෝනුන් දැයෙන් සදහටම සමුගත් අතර ඔහුගේ දරු පරපුරම එතුමා අනුගමනය කළේය.
 
පියාගේ දේශපාලන ගමන්මගේ පියවර තැබූ කවි පුතු වූ යසරත්න තෙන්නකෝන්, ඔහුගේ පුත් තිලිණ බණ්ඩාර තෙන්නකෝන්, ජනක බණ්ඩාර තෙන්නකෝන් ආදීහු පාර්ලිමේන්තුවේ හෙළ කවිත්වයෙන් හපන්කම් පෑහ.
 
කළල්ඇල්ලේ ආනන්ද සාගර (කේයස්), පතිරාජ තෙන්නකෝන්, එස්. බී. කරල්ලියද්ද, ටී. බී. ඉලංගරත්න, පී. බී. කවිරත්න, දයා වලගම්බාහු, ලීලාරත්න විජේසිංහ, යසරත්න තෙන්නකෝන් වැනි මන්ත්‍රීවරු දේශපාලන කවි සටන් කලාවේ සෙන්පතියන් වැනිය.
 
අගමැති රනිල් වික්‍රමසිංහයන් 1993 මැයි 07 වැනිදා ඩී. බී. විජේතුංගයන් ජනපති ධුරයට පත්වූ අවස්ථාවේ මෙවැනි කවි කතාවක් පවත්වා ඇති බව මැති සබයේ කී කවි ග්‍රන්ථයේ සඳහන්ය.
 
වියරු ගිනිදැල් නොවෙමු
කැලය අවුලා තබන
සිසිල දෙන වැස්ස වෙමු
දැවෙන කාලෙට වසින
 
එදා එජාපයේ කටකාර මන්ත්‍රීවරයකු වූ අස්වර් සිංහලෙන් මෙන්ම දෙමළෙන්ද කවි කියූ කථිකයෙක් ලෙස දේශපාලන ඉතිහාස පොතේ ලියැවෙයි. ඔහු අන් අයට බාධාකරන්නකු වශයෙන් නමක් දිනාගත්තෙකි. ඉවසා සිට බැරිම තැන යසරත්න තෙන්නකෝන් අස්වර්ට පිළිතුරු දුන්නේ මෙසේය.
 
ගෙනදී නිගාවක් හෙළ බිම කවියනට
පත්කරමින් සබාවම අද විහිළුවට
අස්වර් වැනි කෙනෙකු මෙහි කවි කියන විට
තනියම හිනා යයි එය හරි දුකකි මට
 
1991.12.06 වැනිදා රැඟුම්පාලක මණ්ඩලය විවේචනය කරමින් නන්දිමිත්‍ර ඒකනායක මන්ත්‍රීවරයා මෙසේ අදහස් දැක්වීය.
 
 
තුනුරුවන් වැඳගෙන - සිල් පද පහම බිඳලන
නිති වැදි බණ දෙසන - කපන මණ්ඩල විසුරුවනු මැන
 
 
 
 
 
 
 
 
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි