1956 මහා මැතිවරණය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන වමේ පෙරමුණ ජය ගත්තේ පාරම්පරිකව අධිරාජ්‍ය ගැති වූ රදල පවුල් තුෂ්ණිම්භූත කරමිනි. සේනානායකවරුන්ගේ බෝතලේ වලව්ව ද කොතලාවලවරුන්ගේ කඳවල වලව්ව ද එයින් දෙදරුම් කෑවේය.
මෙරට වලව් පැලැන්තියේ ද එක්සත් ජාතික පක්ෂ බළ කඳවුරේ ද ප්‍රතාපවත් නායකයකු වූ හිටපු අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවලගේ තේජසට ද මෙම පෙරළියෙන් අභියෝගයක් එල්ල විණ.
ඉඩම් හිමි ධනපතියන් හා රදලයන් වෙනුවට බණ්ඩාරනායක අගමැති තුමාගේ කැබිනෙට්ටුවේ හා පාර්ලිමේන්තුවේ වූයේ මධ්‍යම පන්තියේ හා නිර්ධන පන්තියේ අලුත් මුහුණුය. වලව් මායිමකට වැද්ද නොගත් තැපැල් පියුන්ලා, ගුරුවරු, ලිපිකරුවෝ, සුළු ව්‍යාපාරිකයෝ මෙන්ම දක්ෂිණාංශික විරෝධී විප්ලවවාදී වාමාංශිකයෝ ද උසස් තනතුරු ලැබූහ.
එබැවින් දෙපිරිසම පාර්ලිමේන්තුවේ දී එක සමාන වූහ. එකට ඉඳ ගත්හ. එකට වාද විවාද කළහ. එකට කෑවා බීවාහ. එකට ගහ බැණ ගත්හ. එහෙත් තම රාජකීය තේජස අනුව නිර්ධන පාන්තික මන්ත්‍රීවරුන් අතේ දුරින් තබා ගන්නට ධනේෂ්වර පන්තිය නියෝජනය කළ මැති ඇමැතිවරු උත්සාහ ගත්හ.
එලෙස නැෂනල්කාරයන් හා ටයිකෝට්කාරයන් අතර සීතල යුද්ධය ඇරඹිණ. වෘත්තියෙන් තැපැල් සේවකයකු හා වෘත්තීය සමිති නායකයෙකු වූ කොළොන්නාව වැල්ලම්පිටියේ විසූ එම්.එස්. තේමිස් ද එදා මහජන නියෝජිතයකු ලෙස පනස් හයේ පාර්ලිමේන්තුව නියෝජනය කළේය. පරණ පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ පියගැටපෙළ බසිමින් සිටි සර් ජෝන් කොතලාවලට පියගැටපෙළ නගිමින් සිටි තේමිස් මන්ත්‍රීවරයා හමු විය. ඔහු හා එවක පාර්ලිමේන්තුවේ සිටින්නට ලැබීම නිසා උද්දාම වූ නිසාවෙන් “හලෝ ජෝන්” යැයි කියමින් තේමිස් මන්ත්‍රීවරයා කොතලාවලට සැලියුට් එකක් දැම්මේය.
තමාගේ නම කියා කතා කළ විරුද්ධවාදියා ගැන කෝප වූ සර් ජෝන් ඔහුට පිළිතුරු දුන්නේ සපත්තු දැමූ පාදයෙන් තේමිස් මන්ත්‍රීවරයාට සැර ප්‍රහාරයක් එල්ල කරමිනි. ඇද වැටුණු මන්ත්‍රීවරයා අන්දුන් කුන්දුන් විය. තමාට වැරදුණේ කොතැනදැයි සිතමින් වහා එතැනින් මාරු වී ගියේ අගමැති බණ්ඩාරනායක මැතිඳුන් වෙතය.
“බලන්නකො මම කොතලාවල උන්නැහැට සුබ පතන්න ගියහම මට පයින් ගහලා එළවගත්තනේ.” ඔහු අගමැතිට පැමිණිලි කළේය.
“මොනව කියලද සුබ පැතුවෙ” අගමැති ඇසීය.
“හලෝ ජෝන් කියලා” බණඩාරනායක මහතාට කාරණය වැටහිණි.
“මනුස්සයෝ, මංවත් එතුමට ‘හලෝ ජෝන්’ කියන්නේ නෑ. ඒ මනුස්සයගේ ගරුත්වය රැකෙන විදියට කතා කරපන්.” අගමැතිතුමා නවක මන්ත්‍රීවරයාට අවවාද දුන්නේය. මේ කතාව හිටපු ජනපති රණසිංහ ප්‍රේමදාසයන් තෝරුන් මෝරුන් අතර මැදි වූ අවස්ථාවක් ගැනය.
අගමැති ඩඞ්ලි හා මුදල් ඇමැති ජේ. ආර්. අතර මිත්‍රත්වය පළුදු වූයේ ඔවුන්ගේ ක්‍රියා කලාප පරස්පර විරෝධී බවට මත පැතිර යාමත් සමගය. ජේ. ආර්. ඩඞ්ලිගේ පාලනය ගැන කෙතරම් කලකිරුණාද යත් සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිනියට සහයෝගය දෙන්නට උත්සාහ කළ බව ප්‍රසිද්ධ රහසකි. ඩඞ්ලි - ජේ. ආර්. හබය නිසා මධ්‍යස්ථ මතධාරී මන්ත්‍රීවරුන් වැටුණේ හරිම අකරතැබ්බයකය.
කේලම්කරුවෝ එකිනෙකා ගැන ගතු කීමට පටන් ගත්හ. නායකයන්ගේ අරගලයට උල්පන්දම් දුන්හ. ඩඞ්ලිගේ හවුල් ආණ්ඩුවේ උපඇමැතිවරයා වූයේ රණසිංහ ප්‍රේමදාසයන්ය.
“ප්‍රේමදාසත් ඩඞ්ලිවාදියෙක්” කේලාම්කරුවෝ ජේ. ආර්. ගේ කනේ තැබූහ. එහෙත් ප්‍රේමදාස නායකයන් දෙදෙනාටම ගරු කළේය. ජේ. ආර්. කියුබාවට නිල සංචාරයක් සඳහා ගොස් ආපසු පැමිණෙමින් සිටියේය. ඒ රත්මලාන ගුවන් තොටුපොළෙනි. එම වෙලාව මතක තබා ගත් ප්‍රේමදාසයෝ තමා කුඩා මොරිස් මයිනර් රියෙන් එහි ගියේ එවන්ස් කුරේ ද සමගය. ඔහුට ඕනෑ කර තිබුණේ තමා ගැන පැතිරුණ දුර්මතය දුරු කිරීමටය.
වාහනයෙන් බැස අංගණය දෙසට යන විට මහා කලබගෑනියක් ඇසිණි. උස මහත අයෙකු මහ හඬින් ඩඞ්ලිට බැණ වදිනු ඔහුට ඇසිණ.
“ඕකා තමයි රට කන්නේ. ළඟදිම අපි ඩඞ්ලිට හොඳ පාඩමක් උගන්වනවා.” මෙසේ බණින්නේ තමන්ගේ නායකයාට බව වැටහුණු ප්‍රේමදාසට උන් හිටි තැන් අමතක විය. වහා එම පුද්ගලයා වෙත ගිය ඔහු අත දිග හැර කම්මුල් පහරක් එල්ල කළේ පාක්ෂිකයන් විපිළිසර කරමිනි.
මිනිසුන්ට කතා කරන හැටි ඉගෙන ගනින්. ප්‍රේමදාස ගිගිරිය. මොහොතකින් වූයේ මහත් කලබැගෑනියකි. දෙපැත්තේම ආධාරකරුවෝ ද බහින් බස් වී ගහ මාරා ගන්නට වූහ. ඇලෝසියස් මුදලාලිට ද ලේ පනින්නට හිසට පොලු පහරක් වැදිණ. මාධ්‍යකරුවන්ට මෙම පුවත රසඳුනක් විය. ඔවුහු පැන පැන සිද්ධිය රූපගත කළ අතර එම පින්තූර පසු දා පත්තරවලින් වසං කර ගැනීමට ප්‍රේමදාස සමත් වුවත් ඇත්ත පත්‍රය එහි අකුරක් නෑර පළ කර තිබිණි.
“ඩඞ්ලි - ජේ. ආර්. බලපොරය ඇවිළේ ප්‍රේමදාසටත් කනේ පාරක්” යනුවෙන් එහි විය.
කිසිවක් සිදු නොවුණ ගාණනට ගුවන් තොටුපොළ පර්යන්තයට ගිය නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමදාස සිනාමුසු මුහුණින් ජේ.ආර්. පිළිගෙන ලකුණු දාගත්තේය.
ඊළඟ මොහොතේ තම රියෙන් කෙළින්ම පියඹා ගියේ අගමැති ඩඞ්ලි විසූ වුඞ්ලන්ඞ් මන්දිරය වෙතය. සියලු පුවත් අසා කෝපවුණු ඩඞ්ලි එවකට ලොතරැයි මණ්ඩලයේ මුල්පුටුව දැරූ කැරලිකාර නිලධාරියා තනතුරින් පහ කිරීමට කටයුතු කළ බව කියති.
1966 ජනවාරි 08 වැනිදා පාර්ලිමේන්තුව තුළ උණුසුම වැඩි වූ දිනයකි. හත් හවුල් ආණ්ඩුවේ අගමැති ඩඞ්ලි තමන්ට බලය ගැනීමට සහයෝගය දුන් දෙමළ පෙඩරල් පක්ෂය හා ද්‍රවිඩ සංගමය සතුටු කිරීම සඳහා අපූරු පනතක් පාර්ලිමේන්තු ගත කළේය.
“දෙමළ බස උතුරු - නැගෙනහිර පළාත්වල රාජ්‍ය භාෂාව කළ යුතුය” යන්න ඉන් කියැවිණ. Sinhala only act with reasonable use of Tamil in the North and East යැයි එය නීති පොතේ සඳහන්ය.
මෙම පනතට එරෙහිව ශ්‍රීලනිපයත් වමේ පක්ෂත් මහ සඟරුවනත් විරෝධය පෑහ.
විහාර මහා දේවි උද්‍යානයේ සිට කොල්ලුපිටියට ගමන් කර පාර්ලිමේන්තුවට පැමිණීමට පෙළපාළිය උත්සාහ කළ අතර කොල්ලුපිටියේ දී පොලිස් බාධක තරණය කිරීමට ගියත් පොලිසිය උපරිම බලය යොදා වෙඩි තැබූ අතර දඹරාවේ රතනසාර හිමියෝ අපවත් වූහ.
රට පුරා ළැව් ගින්නක් මෙන් මෙම ආරංචිය පැතිරුණු අතර ඇඳිරිනීතිය නොතකා විරෝධය පළ විය. පාර්ලිමේන්තුව තුළ විපක්ෂ මන්ත්‍රීවරු හත් හවුල් පාලනයට හා එහි නායකයන්ට බැණ වැදුණහ.
“මිනීමරු ආණ්ඩුව බුදු දහම වනසනවා.”
“ඩඞ්ලි වහා අස්වෙනු.”
මේ අතර විපක්ෂ නායිකා සිරිමාවෝ මැතිනිය යූ.ඇන්.පී. ආණ්ඩුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ආ දිස්ත්‍රික් සභා පනතට විරෝධය පාමින් එහි පිටපත් පුලුස්සා දැම්මාය. ජනමාධ්‍යවලින් උපරිම ප්‍රචාරය ලබා දෙන ලදී. මෙය දුටු අගමැති ඩඞ්ලි දිස්ත්‍රික් සභා යෝජනාව අත්හැර දැමීමට තීරණය කළ අතර විශාල අත්පොළසන් නාදයක් ඊට ප්‍රතිචාර ලෙස ඩඞ්ලිට ලැබිණ.
මෙසේ පක්ෂ විපක්ෂ එකඟතාවෙන් නිවාරණය කරගත් පාර්ලිමේන්තු ගැටුම් අවස්ථා බොහෝය. කතානායක බොහෝ විට ගැටුම් උත්සන්න වන්නට නොදීමට පියවර ගත්තේය.
“මාතෘකාවට අදාළව කතා කරන්න.”
“වෙලාව ඉවරයි. ඊළඟ මන්ත්‍රීතුමා කතා කරන්න.”
මෙවැනි අවවාද නොසලකා හරින මන්ත්‍රීවරුන් සීමාව ඉක්මවා කටයුතු කරන අවස්ථා ඇත. එවිට කතානායකට එම මන්ත්‍රීවරුන් නම් කර සභා ගැබින් පිටතට දමන ලෙස වේත්‍රධාරියාට අණ කිරීමට කතානායකට සිදු විණ.
පාර්ලිමේන්තුව තූළ ගුටි බැට හුවමාරු මෙන්ම අතට අසුවුණු දේවලින් පහර දීම් ද අසභ්‍ය වදන් කියා කෑ ගැසීම් ද සිදු වෙයි. මෑතක දී වතුර බෝතල්, පනත් කෙටුම්පත් පමණක් නොව කුණු කූඩ ද එකිනෙකාට එල්ල වූ අතර කතානායකවරයා ද එම පහරවල කොටස්කරුවකු විය.
රජය ගෙන ආ පනත් කෙටුම් පත් සභාව මැද පුලුස්සා දැමීම, කතා නායකගේ පුටුවට වතුර වැක්කිරීම, සෙංකෝලය පැහැර ගෙන දිවීම වැනි ක්‍රියා දිගින් දිගටම සිදු වූ අතර පාර්ලිමේන්තුවේ ආසන එකිනෙකාට බැඳී ඇති නිසා පුටුවලින් පහර දීමට අවස්ථාව නොලැබිණි.
පරණ පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙවැනි පහර දීම් උග්‍ර වූ අතර නව පාර්ලිමේන්තු සභා ගැබ තුළ ඇති ආරක්ෂක තත්ත්වය නිසා හානි අඩු විය. පාර්ලිමේන්තුව මළ ගමක් කළ බෝම්බ ප්‍රහාරයත් ව්‍යවස්ථාදායකය මෙන්ම විධායකය ද සලිත කළ ඉන්දීය අගමැති රජිව් ගාන්ධිට ජනාධිපති මන්දිරය ඉදිරියේ දී එල්ල වූ රයිපල් ප්‍රහාරයත් අමතක කළ නොහැකියි.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි
ඡායාරූප අන්තර්ජාලයෙනි