මැතිනියගේ දෙමළ මිතුරා


ආසියාවේ යෝධයන් මෙල්ල කළ “සිරිලක සිරිකත”08

 

 

1977 දී ශ්‍රී ලංකා සමසමාජ කොමියුනිස්ට් පක්‍ෂ සමගි හවුල් ආණ්ඩුව පරදවා හයෙන් පහක බලයක් ඇතිව ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පිහිටුවන ලදී. ශ්‍රී.ල.නිපයට හිමිවූයේ ආසන 08ක් පමණි. එනිසා මන්ත්‍රී ආසන 18ක් දිනාගෙන 6.4%ක ප්‍රතිශතයක් ලබාගත් ෆෙඩරල් පක්ෂය ප්‍රධාන විපක්‍ෂය ලෙස පිළිගන්නා ලදී.


මෙතෙක් පාලන බලය රැකගෙන සිටි සිංහල බෞද්ධ සම්භවයක් ඇති පක්‍ෂ තුළින් විපක්‍ෂනායකකම ගිලිහී ගියේ මුළු සමාජයම තිගස්සමිනි. ඒ වනවිටත් ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ පවා අදහස වී තිබුණේ දෙමළ ජනතාවගේ ප්‍රශ්නවලට ඇති එකම විසඳුම ස්වාධීන ඊළම් රාජ්‍යයක් යන මතයයි.    


වඩුක්කෝඩෙයි ආසනය නියෝජනය කළ අප්පාපිල්ලේ අමිර්තලිංගම් 1976.05.14 වැනිදා එම යෝජනාව සම්මත කර ගනු ලැබුවේ ද්‍ර.වි.එ.පෙ ලේකම්වරයා ලෙසිනි. එහි නායකවරයාව සිටි එස්. ජේ. වී. චෙල්වනායගම් මියගිය පසු නායකත්වයට පත් අමිර්තලිංගම් 1977 මහ මැතිවරණයේදී දෙමළ ජනතාවට දුන් ප්‍රධාන පොරොන්දුව ස්වාධීන දෙමළ ඊළමයි.


1977 මහ මැතිවරණයේදි අමිර්තලිංගම් කන්කසන්තුරේ අසුනට තරගකර විශාල ඡන්ද සංඛ්‍යාවක් ලැබුවේ එහෙයිනි. එබැවින් ලංකා ඉතිහාසයේ පළමු දෙමළ ජාතික විපක්‍ෂ නායකයා වීමේ භාග්‍යය අමිර්තලිංගම්ට හිමිවිය.
දෙමළ ජාතිකයකු අතට විපක්‍ෂයේ භූමිකාව පැවරීම ගැන සිංහල බෞද්ධ දේශපාලනඥයන් කැලඹීමට පත්වුවද අප්පාපිල්ලේ අමිර්තලිංගම් මහතා අන්තවාදී මතධාරියකු ප්‍රජාතන්ත්‍ර විරෝධියකු හෝ සිංහල බෞද්ධයන්ගේ සතුරකු නොව මහත්මා ගුණඇත්තෙකු බව කාටත් වැඩිකල් නොගොස් පෙනීගිය අතර ඒ නිසාම කොටි ත්‍රස්තවාදීන්ගේ ගොදුරක් ලෙස සැලකිණි. 


ජනාධිපති ජේ. ආර්. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ගෙන ආ අවස්ථාවේ අමිර්තලිංගම් ඊට බලවත් විරෝධය පළ කළේය


“මැතිනියගේ පාලක කාලය තුළ යු.ඇන්.පී.යටත් වඩා අතවරවලට භාජනය වූයේ දෙමළ එක්සත් විමුක්ති පෙරමුණය. එසේ වූ පලියට ඊට පළිගැනීමට ඇගේ ප්‍රජා අයිතිය නැති කිරීම වැරදිය. එය ප්‍රජාතන්ත්‍ර විරෝධීයි.”
“එදා බණ්ඩාරනායක මහත්තයා ඝාතනය කළහම භික්‍ෂුවක් එල්ලා මැරීමට ඉඩ දෙන්න බෑ කියලා යු.ඇන්.පීය තර්ක කළා. අද බණ්ඩාරනායක මැතිනිය දේශපාලන වශයෙන් එල්ලුම්ගස් යවන්න හදනවා. ඒකට ඉඩදෙන්න අමිර්තලිංගම් සූදානම් නෑ”


මෙවැනි අභීත වාක් පෞරුෂයක් අමිර්තලිංගම් තුළවූ අතර සන්නද්ධ කොටි ත්‍රස්තවාදීන්ගේ අසාධාරණ ක්‍රියා හමුවේද එම හඬ නිහඬ නොවිය.


1927 අගෝස්ත 26 වැනිදා උතුරේ උපත ලැබූ අප්පා පිල්ලේ අමිර්තලිංගම් මෙයි කන්නන් දෙමළ පාසලෙන් හා මුල්ලිපුඬේ වික්ටෝරියා පාසලෙන් අධ්‍යාපනය ලබා ලංකා විශ්වවිද්‍යාලයට අතුළත්ව නීති විද්‍යාලයට පිවිසියේය.


මේ වන විට ප්‍රබල දමිළ නායකයකුව සිටි ජී. ජී. පොන්නම්බලම්ගේ දෙමළ සංගමය බෙදී ෆෙඩරල් පක්‍ෂය 1949 දෙසැම්බර් 03 වැනිදා බිහිව තිබිණ. ‘ඉලංගෙයි තමිල් අරසු කච්චි’ නම් මෙම පක්‍ෂය සරසවි සිසුන් අතර ඉතා ජනප්‍රිය වී තිබිණ. නීති ශිෂ්‍ය අමිර්තලිංගම්ද ඊට එක්විය.


1952 දී වඩුක්කොඩෙයි අසුනට ෆෙඩරල් පක්‍ෂයෙන් ඉදිරිපත් කළේ අමිර්තලිංගම් තරුණයාය. සමුපකාර ක්‍රියාකාරියකු ලෙස ප්‍රසිද්ධ වූ වී. වීරසිංහම් හට ඔහු පරාද වෙන විට එහි නායකයා වූ එස්. ජේ. වී. චෙල්වනායගම්ද පැරදී තිබිණි.


නමුත් ෆෙඩරල් පක්‍ෂයේ නැගී සිටීමෙන් පසු 1956, 1960 මාර්තු, 1960 ජූලි හා 1965 මහමැතිවරණවලින් පක්‍ෂයද අමිර්තලිංගම්ද විශිෂ්ට ජයග්‍රහණ ලැබූහ. 1958දී සිදුවූ අරගල හා 1961 දී සිදුවූ සත්‍යග්‍රහ නිසා ඔවුන් සැමටම සිරබත් කෑමට සිදුවුණි. ඒ අතර චෙල්වනායගම්ද විය. 


1965 දී මැතිනියගේ ආණ්ඩුව පරාජයට පත් ව ඩඞ්ලි සේනානායකගේ ප්‍රධානත්වයෙන් යුත් යූ.ඇන්.පීය වැඩි ආසන ගණනාවක් ලබාගත් නමුත් නව ආණ්ඩුවක් හැදීමට බහුතරයක් නොවීය. පැරණි ආරවුල් අමතක කළ ඩඞ්ලි නව ආණ්ඩුවේ පාර්ශ්වකරුවකු වන ලෙස ෆෙඩරල් පක්‍ෂයට ඇරයුම් කළේය. ඒ අනුව එස්. ජේ. වී. චෙල්වනායගම් යු.ඇන්.පීය සමග ගිවිසුමක් අත්සන් කළේය. 


1970 දී යූ.ඇන්.පී. ෆෙඩරල් හත්හවුල පරදා යළි ශ්‍රීලනිපයට ආණ්ඩු බලය හිමිවිය. අමිර්තලිංගම් වඩුක්කොඩෙයි අසුන පරාජයට පත්වූ අතර නව මන්ත්‍රීවරයා වූයේ ආචාර්ය අරුල් ත්‍යාගරාජාය.


1972 මැයි 22 වැනිදා ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත් කෙරිණි. මෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ෆෙඩරල් පක්‍ෂය දෙමළ සංගමය, ලංකා කම්කරු සංගමය ආදී දෙමළ  පක්‍ෂ රැසක් එරෙහි විය. සී. සුන්දරලිංගම් මන්ත්‍රීවරයාද ඊට එරෙහිව ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට එක්විය.


මෙම පෙරමුණේ නායකත්වය ලැබූ අමිර්තලිංගම් 1977 දී කන්කසන්තුරේ අසුන දිනා විපක්‍ෂනායක ධුරයට පත්වු අයුරු අපි මුලින් විස්තර කෙළෙමු. සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය වෙනුවෙන් ඔහු අභීත හඬක් නැගුවද දෙමළ අරගලවාදීන් පිළිබඳව නම් ඔහු තුළ තිබුණේ කරුණාවන්ත හදවතකි.


“ත්‍රස්තවාදී කියා ඔහු ඇතැම් පිරිස හඳුන්වා දුන්නේ කොලුකාරකමට කරන වැඩ ලෙසය. එහෙත් කොල්ලන්ගේ වැඩ නිසා අන්තිමට අමිර්තලිංගම් ඇතුළු දෙමළ නායකයන්ටද දිවි අහිමි විය.


මුලින්ම 1984 දී ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ රැස්වීමට කඩා වැදුනු කොලු රෑන වේදිකාව කඩා බිඳ දමා කොඩිවැල්වලට ගිනි තැබූහ.


අමිර්තලිංගම්ගේ මයික්‍රෝපනය උදුරාගෙන එය විසි කළේය. දෙමළ ඊළාම් පොරොන්දුව අමතක කර සිංහල ආණ්ඩුවේ කොන්දේසිවලට එක්වීමේ පාපය නිසා අමිර්තලිංගම්ට මෙම පාඩම ඉගැන්විණි.


කොල්ලන් සමඟ පොරබදමින් ඔහු කෑ ගැසුවේය.  


“තොපිට අපේ වේදිකාව කඩන්න පුළුවනි. මාව දැන්ම මරා දමන්න පුළුවන්. ඒත් අපේ පක්‍ෂයවත් ප්‍රජාතන්ත්‍රවාදයවත් උඹලට මරන්න බෑ.” අමිර්තලිංගම් දිගටම සභාව අමතන්නට විය.


ඊළම අතහැර ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට එක්වූ අමිර්තලිංගම්ලාට දිගින් දිගටම මැර තර්ජනය එල්ල විය. වරක් යාපනය විශ්වවිද්‍යාලයේ රැස්වීමක් අමතද්දී කොටි කොල්ලෙක් ඔහුගේ වාහනයට පහරදී පොඩි පට්ටම් කළහ. එදා අමිර්තලිංගම්ගේ ඇඳුම් ඉරී ගියේය. කොල්ලන් සමග පාරේ පොර බැදූ ඔහු ඔවුන්ට අභියෝගයක් කළේය.


“තොපිට මාගේ කාර් එක කුඩු කරලා මාවත් දැන් මරා දමන්න පුළුවන්. ඒ වුණාට කවදාවත් ප්‍රජාතන්ත්‍රවාදය කුඩුකරන්නවත් මරන්නවත් බැහැ”


දෙමළ ඊළාම්වාදීන්ගේ මරණ තර්ජන හමුවේ නොසැලී ඊට මුහුණදුන් අමිර්තලිංගම් සිංහල පක්‍ෂවලින්ද කෙනෙහිලිකම් එල්ලවන්ට විය. ඒ 1981 ජනවාරි 05 වැනිදා පළ වූ ඉන්දියන් ‘එක්ස්ප්‍රස්’ පත්‍රයේ වාර්තාවක් නිසාය. එසේම මදුරාසි ද්‍රවිඩ සහෝදරත්ව සංගමය සංවිධානය කළ ලෝක ද්‍රවිඩ සම්මේලනයේදී ඔහු කළ ප්‍රකාශනයක් ඊට හේතුවිය.


1983 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හයවැනි සංශෝධනය ගෙන එන ලදී. ඒ අනුව සියලුම මන්ත්‍රීවරු යළි දිවුරුම් දිය යුතු බවට නියෝග කෙරිණි. එම වගන්තිය මෙසේය.


“මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්‍ෂා කර අනුගමනය කරන්නවත් කෙළින්ම හෝ අනියමින් මෙරට තුළදී හෝ පිටතදී ශ්‍රී ලංකා ජනරජය තුළ වෙනම රාජ්‍යයක් ඇතිකිරීමට ආධාර අනුබල හෝ මුල්‍යාධාර දීම හෝ පෙලඹවීම නොකරන බවටත් බහුමානයෙන් යුතුව දිවුරුම් දෙමි.


මෙම දිවුරුම ප්‍රධාන විපක්‍ෂය වන ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතික්‍ෂේප කළ අතර පාර්ලිමේන්තුවද වර්ජනය කළහ. අන්තිමට සිදු වූයේ තුන්මසක් නිවාඩු රහිතව පාර්ලිමේන්තු නොපැමිණි නිසා එම පක්‍ෂයේ මන්ත්‍රීවරුන්ට ධුර අහිමිවීමයි.

 

 

කලකට පසු 1989 පෙබරවාරි මස 21 වැනිදා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස ඔහු දිවුරුම් දුන්නේය. ඒ මරණයේ සෙවණැල්ල අතැතිවය.


අමිර්තලිංගම්ගේ නිවෙස පිහිටියේ බුලර්ස් පටුමගේය. එය දෙමහල් නිවසකි. පක්‍ෂයේ මන්ත්‍රීවරු හා හිතවතුන්ගෙන් නිවස නිතරම පිරී පැවතිණ. එදින සවස තේ පානය සඳහා  පක්‍ෂයේ හිතවත්තු පිරිසක් සැදී පැහැදී සිටියහ. යෝගේෂ්වරන් අමිර්තලිංගම්ගේ සමීපතම සගයා විය. සේනාධිරාජා හා සිවසිත්තම්පලම් ද තේ මේසය වටා වාඩිවී සිටියහ.


අමිර්තලිංගම් මහත්මිය පහළ මාලයේ රූපවාහිනිය නරඹමින් සිටියාය. ඔහුගේ පුත්‍රයා ලන්ඩන්හි සිට දුරකථන ඇමතුමක් දෙන බව කියා තිබූ නිසා ඇයට තේ මේසයට ඒමට නොහැකි වුවත් යෝගේෂ්වරන්ගේ බිරිඳ තේ හා රසකැවිලි සූදානම් කළාය. ඔවුන්ගේ සිනහ සහ කතා බහ පාරටත් ඇසෙන තරම් විය.


එවේලෙහි කැබ් රථයක් බුලර්ස් පටුමගේ නතර කෙරුණු අතර තිදෙනෙක් බැස ගෙතුළට ආහ. ඔවුන් පැමිණියේ කලින් නියම කරගත් දේශපාලන කතාබහකට බව ආරක්‍ෂක නිලධාරීන්ට පැවසූහ.


යෝගේෂ්වරන් ඔවුන් පිළිගෙන උඩුමහලට කැඳවාගෙන ගියත් එක් අයකු පමණක් පහත මාලයේ නතර විය. අමුත්තන්ටද සංග්‍රහයට දායක වීමට අවස්ථාව සැලසුණේය.


වෙලාව රාත්‍රී 7.10 බව සනිටුහන් විය. තේ කෝප්පය ලද සැණින් එය පසෙක තැබූ එක් අමුත්තෙක් ඉණේ තිබූ රිවෝල්වරය එළියට අදිනු පෙනිණි.


පහළ මාලයේ සිටි අමිර්තලිංගම්ගේ බිරිඳට ඇසුණේ වෙඩිහඩ කිහිපයක් හා වීදුරු බිඳෙන හඬක් පමණි. වහා අතුරු මාර්ගයකින් ඉහළ මාලයට දිවගිය ඇයට දක්නට ලැබුණේ වේවැල්පුටුවක් මත ලේ ගලන තුවාල සහිතව වැටී සිටි ස්වාමිපුරුෂයාය. ඔහු දෙපසින්  සිවසිත්තම්පලම් හා යෝගේෂ්වරන් මාරාන්තික තුවාල සහිතව වැතිර සිටියහ.


ඝාතකයන් දෙදෙනා පොලිස් වෙඩි පහරින් මරු වැළඳගත් අතර රටක් වටින දෙමළ දේශපාලන නායකයකු වූ අමිර්තලිංගම් තම සටන් සගයා වූ යෝගේෂ්වරන් සමඟ අවසන් ගමන ගොස් තිබිණි.

 

 

 

 


පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි