මැතිනියටත් මෙල්ල නොවූ කතානායක හියූ ප්‍රනාන්දු


නාත්තන්ඩිය ඡන්ද කොට්ඨාසයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වූ හියු ප්‍රනාන්දු වත්මන් සමහර මන්ත්‍රීන්ගේ හැසිරීම් හා ක්‍රියා කලාප සමග සංසන්දනය කළහොත් මහත්මා දේශපාලනඥයෙකු වශයෙන් ඔහු වැජඹෙන්නේ ඉතා ඉහළ තැනකය. 


1960 ජුලි මාසයේ පැවැති මහ මැතිවරණයෙන් ජය ගත් සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායකගේ නායකත්වයෙන් යුත් රජය යටතේ හියු ප්‍රනාන්දු කථානායක පදවියට පත් විය. 


පාර්ලිමේන්තුව හැසිරවීමේ පරිණත දැනුමක් ප්‍රදර්ශනය කළ ඔහු තමා පත් කළ රජයේ යම් යම් අණ පනත් හා ක්‍රියාදාමයන්හි අඩුපාඩු හා වැරදිවලට අනුකූලතාවක් නොදැක් වූ අතර සිරිමා රජයේ පත්තර පනතට කතානායක වශයෙන් දෙනු ලබන තීරණාත්මක ඡන්දය විපක්ෂය හා එකතු වී දීමෙන් එය වඩාත් තහවුරු වූවා පමණක් නොව, අනපේක්ෂිත අන්දමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටද එය ඉවහල් විය. සිරිමා බණ්ඩාරනායක සමග ඉතා කුළුපගව සිටියෙකු හැටියට ඔහු ඇයගේ අභ්‍යන්තරික හා බාහිර ක්‍රියා කලාපයන් පිළිබඳව මනා හැදෑරීමකින් යුක්ත වූවෙකි. තම සැමියාගේ ක්‍රෑර ඝාතනයෙන් පසු දරු තිදෙනා තුරුලු කරගෙන කළ යුතු හා නොකළ යුතු කිසිවක් පිළිබඳව සිහිය එළවාගත නොහැකිව මහා කම්පනයකින් වෙළී සිටි සිරිමා බණ්ඩාරනායක එතෙක් තිරය පිටුපස රඟ දක්වමින් සිටි දේශපාලන රංගනය තිරය දෙබෑකොට එළියට ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දැවැන්ත අතළොස්සකගෙන් හියු ප්‍රනාන්දු ද එක් අයෙකු විය. 


මෙහි ඉහතින් සඳහන් කර ඇති පරිදි සිරිමා බණ්ඩාරනායක පිළිබඳව තමන් ලබා තිබූ අත්දැකීම් හියු 1965 දී ස්වයං නිර්මාණයක් වූ ‘මගේ දේශපාලන අත්දැකීම්’ කෘතියේ සවිස්තරව සඳහන් කර ආවරණය වී තිබූ ඇයගේ සමහර දුර්වලතාවන් අනාවරණය කළේ දේශපාලනමය වශයෙන් ඇය අතරමං කිරීමට නොව විශේෂයෙන්ම දේශපාලනඥයෙකු පිළිබඳ අවබෝධයක් ලබාසිටීම, කාලෝචිත විය හැකි යැයි උපකල්පනය කරමින් විය හැක. අගමැති බණ්ඩාරනායකගේ වියෝවීමෙන් හිස් වූ අත්තනගල්ල ආසනයට ඔහුගේ වැන්දඹු බිරිඳ සිරිමා ආර්. ඩී. බණ්ඩාරනායක හැරෙන්නට වෙනත් අපේක්ෂකත්වයක් බලාපොරොත්තු නොවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ඇයට ඇරැයුම් කළේ, කෘතහස්ත දේශපාලනඥයෙකු වශයෙන් විශ්ව කීර්තියට පත්ව සිටි එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායකගේ සෙවණැල්ල මෙන් සිට ඔහුගේ දේශපාලන කටයුතුවලට අත හිත දීමෙන් අවශ්‍ය ප්‍රමාණයට දේශපාලනය පිළිබඳ සාමාන්‍ය අවබෝධයක් හෝ ඇය ලබා ඇතැයි සෙසු නායකයන් සිතා සිටි බැවිනි. 


“දිවංගත බණ්ඩාරනායක මහතාගේ අත්තනගල්ල ආසනය වෙනුවෙන් අතුරු මැතිවරණයට ඉදිරිපත්වීම බණ්ඩාරනායක මැතිනිය ප්‍රතික්ෂේප කළ හැටි මට මතකයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂිකාවක වශයෙන් තරගයට ඉදිරිපත්වීමට වඩා ස්වාධීන අපේක්ෂිකාවක් වශයෙන් තරග කරන්නට ඇය වඩාත් කැමති වූවාය.” මගේ දේශපාලන අත්දැකීම් කෘතියෙන් හියු ප්‍රනාන්දු කියා සිටී. 


එහෙත් මේ අදහස මාධ්‍යවලින් හෙළිදරව් වීමෙන් පසු පෞද්ගලික වශයෙන් බණ්ඩාරනායකව මිතුරෙකු සේ ගරු කළත් දේශපාලනමය වශයෙන් සතුරෙකු ලෙසින් සැලකූ එක්සත් ජාතික පක්ෂය කැලඹුණු දියේ මාළුබෑමේ ආත්මාර්ථකාමී කපටි න්‍යාය අනුගමනය කරමින් බණ්ඩාරනායක පාලන සමය තුළ දී අබිරහස් ලෙස ඝාතනය වූ ගන්දර ඬේවිඞ් සිල්වාගේ වැන්දඹු බිරිඳ මැසිලින් සිල්වා, සිරිමා බණ්ඩාරනායකට විරුද්ධව, අත්තනගල්ලට ස්වාධීනව ඉදිරිපත් කිරීමේ වෑයමක් තිබූ නමුත් අගමැති විජයානන්ද දහනායක හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිසා එය ලත් තැනම ලොප් විය. මේ හේතුව නිසා මුළු රටම තුෂ්ණිම්භූතව බලා සිටි වැන්දඹු සටන නොපැවැත්වුණේ ශ්‍රීලනිපයේ මෙන්ම එ.ජා.ප.යේ බලාපොරොත්තු ද සුන් කරමිනි. 


එසේම සිරිමා බණ්ඩාරනායකගේ දෛනික ජීවිතයේ දුර්වලකම් ගැන ද සටහන් කරන හියු “ගුණ දෝෂ විවේචනයනට මුහුණ දෙන්නට බණ්ඩාරනායක මැතිනියට පුළුවන්කමක් නැහැ. ඈ නොඉවසයි. මොනයම් ගුණ දෝෂ විවේචනයක් ඇති වූ මොනයම් අවස්ථාවක හෝ ඈ කේන්තියෙන් කියන්නේ ‘මං මෙතැන සිටින්නේ ඔබලාගේ දෝෂ කතා අහන්න නොවේ. මට ගෙදර ගොස් ළමයින් බලාගෙන ඉන්න පුළුවන්” යැයි කී බවද සඳහන් කරයි. 
මෙසේ කියා ඇය පැන දිවූ අවස්ථාත්, එසේ යන අවස්ථාවලදී ඇය අතින් අල්ලා වත්තන් කර කන්නලව් කියා යාප්පු වී බලෙන් වගේ ආපසු එක් කරගෙන ආ අවස්ථා ද බොහෝ බවත් එහි වැඩිදුරටත් කියැවේ. 
1953 දී ඩඞ්ලි සේනානායක රජය හෙල්ලුම් කා ලේ පැල්ලමක් ද ඉතිහාසයට එක් කොට, ඩඞ්ලිට අගමැති පදවියත් එපා වන අන්දමට මුදල් ඇමැති ජේ. ආර්. ජයවර්ධන සිය අයවැය යෝජනාවක් වශයෙන් සහල් මිල වැඩිකිරීමක් කළා සේ 1962 දී සිරිමා රජයේ මුදල් ඇමැති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක ද සහල් සාලකය කපාහැරීමට යෝජනා කළේය. 

 


මේ පිළිබඳව හියු ප්‍රනාන්දු තම සටහනේ මෙසේ සඳහන් කර ඇත. ‘1962 දී මුදල් ඇමති පීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා සහල් සලාකය කපා දැමීමට යෝජනා කළ අවස්ථාවේ එයට විරුද්ධව කතා කිරීමට හා ඡන්දය පාවිච්චි කිරීමට දේශපාලන ප්‍රතිපත්තියක් වශයෙන්, සමාජවාදී හැඟීම්වලින් යුත් මගේ සිත පෙලඹුණේය. මගේ සහයෝගය ඉල්ලා අගමැතිනිය නිෂ්ඵල ඉල්ලීම් කළාය. එහෙත් ඇගේ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට මගේ හෘදසාක්ෂිය බල කළේය. අනික් අතින් බලන විට මගේ දේශපාලන ප්‍රතිපත්තියේ ස්වාධීන ස්වභාවය නිසා ඩඞ්ලි සේනානායක මහතාගේ අල්ලස් පනතට මම සහයෝගය දුන්නෙමි. එම පනතින් අදහස් කළේ තල්ගොඩපිටිය අල්ලස් කොමිසමට අසු වූ අයවළුන්ගේ ප්‍රජා අයිතිවාසිකම් අහෝසි කිරීමය. 


මෙහිදී ද අගමැතිනිය හා ඇගේ ඇමැති මණ්ඩලය, අමාරුවෙන් මා කැමති කරවා ගැනීමට උත්සාහ කළ නමුත් මගේ හෘද සාක්ෂියට පින්සිදුවන්නට ඒ අයගේ පැත්තට මාව හරවා ගැනීමට ඔවුහු අසමත් වූහ’ 
හිටපු කතානායකවරයකු වූ හියු ප්‍රනාන්දු වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ පළ කළ අදහස් පරිශීලනය කරන්නකුට නිතැතින්ම අවබෝධ වන්නේ ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝ ශ්‍රීලනිප රජයේ සාමාජිකයකු වුවත් තම සිතට එකඟව ස්වාධීනව අදහස් ප්‍රකාශ කළ අයෙකු හැටියටය.

 

 


එල්. ඩබ්ලිව්. පුෂ්පකුමාර
ඡායාරූප : අන්තර්ජාලයෙනි