ශ්‍රීලනිපයේ නොපළ කතා 4
1956 මහ මැතිවරණයේ උණුසුම කන්ද උඩරටට දැනෙමින් තිබුණි. එය එම ප්‍රදේශයේ ස්වභාවිකව පවතින සිසිල් දේශගුණය වෙනස් කිරීමට ද සමත් විය. මහනුවර දිස්ත්‍රික්කයට අයත් ආසන වලින් තරග කරන ප්‍රබලම නායකයා ලෙස නොඅනුමානවම පිළිගනු ලැබුවේ ටී.බී. ඉලංගරත්න මහතාය. මහනුවර ආසනයේ ඡන්ද නඩුවට පැටලීම නිසා සත් අවුරුද්දකට ප්‍රජා අයිතිය අහිමිව යාම නිසා ඒ මහතාට දේශපාලන කරළියෙන් ඉවත්ව යාමට සිදුවිය. එසේ පැවති මහනුවර අන්තිම අතුරු මැතිවරණයේ දී ශ්‍රීලනිප අපේක්ෂකයා වශයෙන් තරඟ කළේ අධිනීතිඥ පී. තෙන්නකෝන් මහතාය. 399 ක්වූ ඉතා සුළු වැඩි ඡන්ද ගණනකින් ඒ මහතා පරාජයට පත් වූ අතර 1956 මැතිවරණයේ දී ශ්‍රීලනිපයෙන් මහනුවරට තරග කිරීමේ අවස්ථාව ලබා සිටියේ තෙන්නකෝන් මහතාය.
තම පවුල පදිංචිව සිටින පමුණුව ග්‍රාමය ද ඇතුළත් ගලහ ආසනයට පී. ඇම්. ජයසේන මහතා සුදුසුකම් ලබා සිටියේය. ගම්පොළ ආසනයට ප්‍රකට නීතිඥයෙකු වූ ආර්. ඇස්. පැල්පොල මහතා නම් කර තිබුණි. ඒ. ඊ. ගුණසිංහ මහතාගේ ලංකා කම්කරු පක්ෂයේ ප්‍රබල නායකයෙකු වූ ආර්. ඊ. ජයතිලක මහතා එම මැතිවරණයේ දී කම්කරු පක්ෂය බණ්ඩාරනායක මහතාට සහාය දිය යුතු යැයි එම පක්ෂය තුළ මතවාදී අරගලයක් ගෙන යමින් සිටියේය.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ රුවන්වැල්ල ආසනය කලක් නියෝජනය කළ ජ්‍යෙෂ්ඨයෙකු ද වූ ඔහු නාවලපිටිය ආසනයට තෝරාගෙන සිටියේය. මිනිපේ ආසනයට හිටපු විදුහල්පතිවරයෙකු වූ ඇම්. බී. ඩබ්ලිව්. මැදිවක මහතාත් වත්තේගම ආසනයට පී. බී. ඒ. වීරකෝන් මහතාත් තෝරාගෙන තිබුණි. තත්ත්වය මෙසේ පවතිද්දී ටී. බී. ඉලංගරත්න මහතාට තරග බිමට පිවිසීමට ආසනයක් තිබුණේ නැත. ජයග්‍රහණය පෙනි පෙනී තිබෙන අවස්ථාවක දී ඉලංගරත්න මහතා ආසනයක් දිනවා මැති සබයට ඇතුළත් කරවා ගැනීමට බණ්ඩාරනායක මහතාට ද හොඳටම අවශ්‍යකම තිබුණි. ඔහු තමාගේ අනාගත ඇමති මණ්ඩලයට ද ඇතුළත්වනු ඇතැයි බණ්ඩාරනායක මහතා කීපවිටක්ම ප්‍රසිද්ධියේ ඇඟවීම් කර තිබුණු බව ද කියවේ. කෙසේ වුවත් තමා ගලහ අසුනින් පත්වී සාමාන්‍ය මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කිරීමට වඩා ප්‍රවීණ දේශපාලනඥයෙකු වන ඉලංගරත්න මහතා වැනි නායකයෙකුට අවස්ථාව ලබාදීම ප්‍රයෝජනවත් බව සිතන්නට තරම් ජයසේන මහතා “තමාට වඩා රට” යන තැනෙහි සිතා කටයුතු කරන නායකයෙක් විය.
එනිසා උද්ගතව තිබුණු ගැටලුව නිරාකරණය කිරීමට හැකිවන සේ ජයසේන මහතා පරිත්‍යාගශීලීව ගලහ ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකත්වය ඉලංගරත්න මහතාට ලබාගත හැකි වන පරිදි තමා තරගයෙන් ඉවත් වූවේය. රැල්ලක් මෙන් ශ්‍රීලනිපයේ ජය තහවුරුවෙද්දී එජාපයේ පරාජය සක්සුදක් සේ පෙනෙද්දී අතට පත් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අතහැර දැමිය හැක්කේ කාටද? එහෙත් එය එසේ සිදුවිය.
ටී. බී. ඉලංගරත්න මහතා ගලහ ආසනය වෙනුවෙන් නාමයෝජනා පත්‍ර භාර දුන් අතර ජයසේන සොහොයුරෝ ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් ඇප කැප වූහ. ආසනය පුරා සිටින ඥාති පිරිසගේ ඡන්දය ලබාදීමට පියවර ගත්තා සේම ආර්ථික උපකාර ද නොමදව ලබා දුන්හ. එපමණක් නොව එවකට ගම්පහ ආසනයට අයත් හොරම්පැල්ල ගොඩගෙදර අත්තනගල්ලේ එළුවාපිටිය, රුක්මලේ, මීරිගම ආසනයේ අස්සැන්නවත්ත, ගල්ලෙගෙදර ආදී ප්‍රදේශවල පවා සංචාරය කරමින් රැස්වීම් අමතමින් එම ඥාතිවරුන් හමුවෙමින් පක්ෂයේ ජයග්‍රහණය සඳහා සහයෝගය ලබාදුන්හ. මෙය පක්ෂ නායක ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් විය. එතුමාගේ ආසනය වූ අත්තනගල්ල ගිනස් වාර්තාවක් සහිතව ජය ගන්නා ලදී. එතුමා හතළිස් දහසකට අධික වැඩි ඡන්දයකින් ජය ගැනීමට හැකිවීම ජයසේන සොහොයුරන්ගේ සතුටට හේතු විය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරම්භ කිරීමෙන් පසු එය ජය මාවතට යොමු කිරීම සඳහා රට පුරා උද්යෝගීමත් තරුණයෝ පිරිසක් මහත් උද්යෝගයෙන් යුතුව කටයුතු කළහ. එයින් එක් අයෙකු වූවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන පදිංචි අශෝක කරුණාරත්න මහතාය. එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙකු වූ ඇන්. එච්. කීර්තිරත්න මහතාගේ බාල සොහොයුරු වූ අශෝක කරුණාරත්න මහතා බණ්ඩාරනායක මහතාගේ සමීපතමයෙක් වූවේය.
කාලයක් තිස්සේ පවතින ධනපති සහ වැඩවසම් සමාජයේ නෂ්ටාවශේෂයක් වූ ඊනියා කුල භේදයෙන් පීඩිතව සිටි ජන කොටස්වලට උරුම මානව නිදහස වෙනුවෙන් සටන් කළ තවත් නායකයෙකු වූ අශෝක කරුණාරත්න මහතා ද 1956 මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත් බණ්ඩාරනායක මහතාටත් ජයග්‍රහණය සඳහා බොහෝ උදව් උපකාර කළේය.
රඹුක්කන ප්‍රදේශයේ ප්‍රාදේශීය නායකයෙකු ලෙස ද කලක් එම සුළු නගර සභාවේ සභාපතිවරයා ලෙස ද ශක්තියක් ඇතිව සිටි කරුණාරත්න මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබාදුන් සහයෝගයේ තවත් විශේෂත්වයක් තිබුණි. එනම් ඔහුගේ සහෝදරයා වූ ඇන්. එච්. කීර්තිරත්න මහතා එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෙකු විය. සර් ජෝන් කොතලාවල මහතාගේ රජයේ තැපැල් ඇමැතිවරයාද වූ ඔහු කෑගල්ල ආසනයේ දී එම පක්ෂයේ අපේක්ෂකයා ද වූවේය.
මතු සම්බන්ධයි.
සෝමසිරි වික්‍රමසිංහ