මැතිසබය ඔපවත් කළ ලසසප පුරාණයෙන්


ශ්‍රී ලංකාවේ ප්‍රථම දේශපාලන පක්ෂය වූ ලංකා සමසමාජ පක්ෂයට දෙසැම්බර් 18 වැනි දිනට වසර අසූ දෙකක් සපිරුණි. එදා මෙදා තුර ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මැතිසබය ඔපවත් කළ ජනතා නියෝජිතයින් පිළිබඳ මේ ලිපිය ඒ නිමිත්තෙනි.


“ඇන්. ඇම්. කොල්වින් නැති පාර්ලිමේන්තුවකින් වැඩක් නැහැ. දැන් ඉතින් ජනතාවගේ ප්‍රශ්න ගැන කථා කරන්න ඉන්නේ කවුද?”


මේ 1977 මහා මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයක් හිමිකරගත් එක්සත් ජාතික පක්ෂයේ නායක ජේ. ආර්. ජයවර්ධන මහතා අගමැති පදවියේ දිව්රුම් දී පැවැති ප්‍රථම පුවත්පත් සාකච්ඡාවේදී කළ ප්‍රකාශයකි.


ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කළ මහජන නියෝජිතයින්ට හිමිවන්නේ අද්විතීය ස්ථානයක් බවට කිසිදු සැකයක් නැත. 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේ සිට මැතිසබය ඔපවත් කළ සමසමාජ ජනතා නියෝජිතයින්ගේ වැදගත්කම ජේ. ආර්. ජයවර්ධන මහතාගේ ඉහත ප්‍රකාශයෙන් හොඳින්ම පිළිබිඹු වෙයි. 


1935 දෙසැම්බර් මස 18 වැනි දින ලංකා සමසමාජ පක්ෂය පිහිටුවීමෙන් පසු එළඹි 1936 දෙවන රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයේදී ප්‍රථම වරට ලසසප නියෝජනය කරමින් රුවන්වැල්ල ආසනයේ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා සහ අවිස්සාවේල්ල ආසනයෙන් පිලිප් ගුණවර්ධන මහජන නියෝජිතයින් ලෙස තේරී පත්වූයේ එවකට පැවැති බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලකයින් තැති ගන්වමිනි. ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මැතිසබයට තේරී පත්වූ ප්‍රථම ජනතා නියෝජිතයින් වීමේ ගෞරවය ඔවුන්ට හිමිවෙයි.


1941 දී පැවැත්වීමට තිබූ මහා මැතිවරණය දෙවැනි ලෝක මහා සංග්‍රාමය නිසා කල්දැමුණු අතර ඉන්පසු මැතිවරණයක් පැවැත්වූවේ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ 1947 දීය. 1947 ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් දසදෙනෙකු පාර්ලිමේන්තුවට තේරී පත්විය.


කෝට්ටේ - රොබට් ගුණවර්ධන, මොරටුව - සෝමවීර චන්ද්‍රසිරි, අවිස්සාවේල්ල - පිලිප් ගුණවර්ධන, අගලවත්ත - එස්. ඒ. සිල්වා, ගාල්ල - ඩබ්. දහනායක, බිංගිරිය - ටී. බී. සුබසිංහ, රුවන්වැල්ල - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දෙහිඕවිට - රෙජිනෝල්ඞ් පෙරේරා, කිරිඇල්ල - ප්ලෝරන්ස් සේනානායක, නිවිතිගල - ඩී. ඇප්. හෙට්ටිආරච්චි එම මහජන නියෝජිතයින් දසදෙනා විය.


කිරිඇල්ල මන්ත්‍රිනී ප්ලොරන්ස් සේනානායක මහත්මිය පාර්ලිමේන්තුවට පත්වූ ප්‍රථම මහජන මන්ත්‍රීවරිය ලෙස ඉතිහාසයට එක්ව සිටින්නීය.


ල.ස.ස.ප. තුළ ඇතිවූ මතවාදී අරගලයක් හේතුවෙන් බිහි වූ බෝල්ෂෙවික් ලෙනිනිස්ට් පක්ෂය නියෝජනය කරමින් වැල්ලවත්ත - ගල්කිස්ස ආසනය සඳහා ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, පානදුර - හෙන්රි පීරිස්, කළුතර - චම්ලි ගුණවර්ධන, බදුල්ල - ජේ. සී. ටී. කොතලාවල (දෙවන මන්ත්‍රී) අම්බලන්ගොඩ - බලපිටිය ආසනය පී. එච්. විලියම් ද සිල්වා (පළමු මන්ත්‍රී) මහජන නියෝජිතයින් පස්දෙනෙක් තේරී පත්වූහ.


ල.ස.ස.ප. නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම විපක්ෂනායකවරයා වීමේ ගෞරවය හිමිකර ගත්තේය.


1947 මහා මැතිවරණයෙන් පසු අවිස්සාවේල්ල ආසනයට පත්වූ පිලිප් ගුණවර්ධන සවුත් වෙස්ටර්න් සමාගමේ බස්රථ වර්ජනයකට නායකත්වය දීම නිසා සිර දඬුවමකට ලක්වීම නිසා ආසනය අහිමි විය. ඒ සඳහා පැවැති අතුරු මැතිවරණයට නාමයෝජනා භාරගත් දිනම ල.ස.ස.ප. අපේක්ෂිකා කුසුමා ගුණවර්ධන මහත්මිය අවිස්සාවේල්ල මන්ත්‍රීවරිය ලෙස නිතරගයෙන් තේරීපත් වූවාය.


ඉන්පසු එළඹි 1952 මහා මැතිවරණයේදී සමසමාජ ජනතා නියෝජිතයින් දස දෙනෙක් මැති සබයට තේරී පත්වූහ.


අවිස්සාවේල්ල - කුසුමා ගුණවර්ධන, මොරටුව - සෝමවීර චන්ද්‍රසිරි, කෝට්ටේ - රොබට් ගුණවර්ධන, උඩුගම - නීල් ද අල්විස්, අම්බලන්ගොඩ - බලපිටිය - පී. එච්. විලියම් ද සිල්වා (දෙවන මන්ත්‍රී), ගාල්ල-ඩබ්. දහනායක, බිංගිරිය - ටී. බී. සුබසිංහ, බදුල්ල - ජේ. සී. ටී. කොතලාවල (දෙවන මන්ත්‍රී), රුවන්වැල්ල - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දෙහිඕවිට - එඞ්මන්ඞ් සමරක්කොඩි එම මහජන නියෝජිතයෝ දස දෙනා වූහ.
1952 මහා මැතිවරණයට පසු පැවැත්වූ 1956 මහා මැතිවරණය මෙරට දේශපාලන ඉතිහාසය උඩු යටිකුරු කළ මහා මැතිවරණයක් විය. එම මැතිවරණයේදී සමසමාජ ජනතා නියෝජිතයින් දහහතර දෙනෙක් මහජන නියෝජිතයින් ලෙස පත්වූහ.


උතුරු කොළඹ - විවියන් ගුණවර්ධන, දකුණු කොළඹ - බර්නාඞ් සොයිසා, මීගමුව - දොස්තර හෙක්ටර් ප්‍රනාන්දු, වැල්ලවත්ත - ගල්කිස්ස - ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, කෝට්ටේ - රොබට් ගුණවර්ධන, මොරටුව - මෙරිල් ප්‍රනාන්දු, පානදුර - ලෙස්ලි ගුණවර්ධන, කළුතර - චම්ලි ගුණවර්ධන, අගලවත්ත - අනිල් මුණසිංහ, බණ්ඩාරවෙල - වයි. ජී. ජයසිංහ, බදුල්ල - ජේ. සී. ටී, කොතලාවල (පළමු මන්ත්‍රී) රුවන්වැල්ල - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දෙහිඕවිට - එඞ්මන්ඞ් සමරක්කොඩි, බලංගොඩ - ඇම්. පී. ජෝතිපාල (දෙවන මන්ත්‍රී) එම මහජන නියෝජිතයින් දහහතර දෙනා වූහ.


1956 මහා මැතිවරණයේදී එවකට බලයේ සිටි එක්සත් ජාතික පක්ෂයට හිමිවූයේ ආසන අටක් පමණි. ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා යළිත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක පදවියට පත්විය.


ඉන්පසු පැවැත්වූ 1960 මාර්තු මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ මහජන නියෝජිතයින් දස දෙනෙකු තේරී පත්විය.


දකුණු කොළඹ - බර්නාඞ් සොයිසා (දෙවැනි මන්ත්‍රී), කොට්ටාව - රොබට් ගුණවර්ධන, පානදුර - ලෙස්ලි ගුණවර්ධන, අගලවත්ත - අනිල් මුණසිංහ, කළුතර - චම්ලි ගුණවර්ධන, බද්දේගම - නීල් ද අල්විස්, මිහින්තලේ - පතිරාජ තෙන්නකෝන්, යටියන්තොට - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දෙහිඕවිට - සෝමා වික්‍රමනායක, රුවන්වැල්ල - එච්. ජී. සෝමබන්ධු එම මහජන නියෝජිතයෝ වූහ.


1960 මාර්තු මහා මැතිවරණයෙන් පසුව පැවැති එ.ජා.ප. ආණ්ඩුව ඉදිරිපත් කළ රාජාසන කතාව සඳහා ස්තූති යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් පරාජයට පත්වීම නිසා 1960 ජූලි මස යළිත් මහා මැතිවරණයක් පැවැත්විණි.


1960 ජූලි මහා මැතිවරණයේදී සමසමාජ මහජන නියෝජිතයින් දොළොස් දෙනෙක් මැතිසබයට තේරී පත්වූහ.


දකුණු කොළඹ - බර්නාඞ් සොයිසා (දෙවන මන්ත්‍රී), දෙහිවල - ගල්කිස්ස - ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, මොරටුව - මෙරිල් ප්‍රනාන්දු, බුලත්සිංහල - එඞ්මන්ඞ් සමරක්කොඩි, පානදුර - ලෙස්ලි ගුණවර්ධන, අගලවත්ත - අනිල් මුණසිංහ, කළුතර - චම්ලි ගුණවර්ධන, බද්දේගම නීල් ද අල්විස්, මිහින්තලේ - පතිරාජ තෙන්නකෝන්, යටියන්තොට - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දෙහිඕවිට සෝමා වික්‍රමනායක, කිරිඇල්ල, පී. බී. විජේසුන්දර, ල.ස.ස.ප යෙන් තේරී පත්වූ මහජන නියෝජිතයෝ දොළොස් දෙනා වූහ.


1963 දී පැවැති බොරැල්ල අතුරු මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ විවියන් ගුණවර්ධන බොරැල්ල මහජන මන්ත්‍රීවරිය ලෙස පත්වූවාය.


ඉන්පසු එළඹියේ 1965 මහා මැතිවරණයයි. 1965 මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ මහජන නියෝජිතයින් දස දෙනෙක් තේරී පත්වූහ.


දකුණු කොළඹ - බර්නාඞ් සොයිසා (නිතරගයෙන්), බුලත්සිංහල - මංගල මුණසිංහ, පානදුර - ලෙස්ලි ගුණවර්ධන, අගලවත්ත - අනිල් මුණසිංහ, කළුතර - චම්ලි ගුණවර්ධන, බලපිටිය - ඇල්. සී. ද සිල්වා, බද්දේගම - නීල් ද අල්විස්, යටියන්තොට - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දෙහිඕවිට - ධනපාල වීරසේකර, කිරිඇල්ල - පී. බී. විජේසුන්දර එම මහජන නියෝජිතයෝ දස දෙනා වූහ.

 


1965 මහා මැතිවරණයෙන් අගලවත්ත ආසනයට පත්වූ අනිල් මුණසිංහට ඡන්ද පෙත්සමක් හේතුවෙන් අසුන අහිමි වූ අතර පැවැති අතුරු මැතිවරණයේදී ල.ස.ස.ප. අපේක්ෂක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා අගලවත්ත මන්ත්‍රීවරයා බවට පත්විය.


1965 මහා මැතිවරණයට පසු යළිත් වරක් මහා මැතිවරණයක් පැවැත්වූයේ 1970 දීය. 1970 මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයෙන් මහජන නියෝජිතයින් දහනව දෙනෙකු තේරී පත්වූ අතර පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රීන් සංඛ්‍යාවක් ජයගත් දෙවන පක්ෂය බවට ද ල.ස.ස.ප. පත් විය.


බොරැල්ල - කුසලා අභයවර්ධන, දකුණු කොළඹ - බර්නාඞ් සොයිසා (දෙවන මන්ත්‍රී), දෙහිවල - ගල්කිස්ස - විවියන් ගුණවර්ධන, මොරටුව - විමලසිරි ද මෙල්, කොට්ටාව - චන්ද්‍ර ගුණසේකර, හෝමාගම - විල්ප්‍රඞ් සේනානායක, පානදුර - ලෙස්ලි ගුණවර්ධන, බුලත්සිංහල - මංගල මුණසිංහ, අගලවත්ත - ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා, කළුතර - චම්ලි ගුණවර්ධන, බලපිටිය - පී. ඩී. වීරසිංහ ද සිල්වා, බද්දේගම - නීල් ද අල්විස්, අම්බලන්ගොඩ - ඇල්. සී. ද සිල්වා, දෙනියාය - සුමනපාල දහනායක, යටියන්තොට - ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, රුවන්වැල්ල - අතාවුද සෙනෙවිරත්න, දෙහිඕවිට - ධනපාල වීරසේකර, කිරිඇල්ල - වාසුදේව නානායක්කාර, කොළොන්න - පී. ඕ. විමලනාග ලංකා සමසමාජ පක්ෂයෙන් තේරී පත්වූ මහජන නියෝජිතයෝ දහනව දෙනා වූහ.


1970 මහා මැතිවරණයෙන් පසුව පවත්වන ලද 1977 මහා මැතිවරණයේදී ඉතිහාසයේ ප්‍රථම වරට ලංකා සමසමාජ පක්ෂයට මහජන නියෝජනයක් හිමි නොවීය. 1970 දී තුනෙන් දෙකක බහුතර බලය හිමිකරගත් ශ්‍රීලනිපට හිමි වූයේ ආසන අටක් පමණි.


1977 ට පසු යළිත් මහා මැතිවරණයක් පැවැත්වුණේ 1989 දීය. 1989 මහා මැතිවරණය සමානුපාතික නියෝජන ක්‍රමය යටතේ පැවැත්විය. එම මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයෙන් කෑගල්ල දිස්ත්‍රික්කය සඳහා අතාවුද සෙනෙවිරත්න තේරී පත්විය.


එක්සත් සමාජවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා ල.ස.ස.ප. නායක ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා පත් කළ අතර මන්ත්‍රීධුරය සඳහා දිව්රුම් දීමට ප්‍රථම ඔහු අභාවප්‍රාප්ත විය.


1989 මහා මැතිවරණයට පසු එළඹියේ 1994 මහා මැතිවරණයයි. 1994 මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් පස් දෙනෙකු මැති සබයට පත්විය.


කොළඹ දිස්ත්‍රික්කය - බර්නාඞ් සොයිසා, කෑගල්ල දිස්ත්‍රික්කය - අතාවුද සෙනෙවිරත්න, ගාල්ල දිස්ත්‍රික්කය - අසෝක වීරසිංහ ද සිල්වා, රත්නපුර දිස්ත්‍රික්කය - වාසුදේව නානායක්කාර,  ජාතික ලැයිස්තුව බැටී වීරකෝන් එම මහජන නියෝජිතයෝ වූහ.


1998 දී කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ අතාවුද සෙනෙවිරත්න සබරගමු පළාත් ප්‍රධාන අමාත්‍යධුරයට පත්වූ අතර ලංකා සමසමාජ පක්ෂයේ එච්. ආර්. මිත්‍රපාල කෑගල්ල දිස්ත්‍රික්කය නියෝජනය කළ මහජන නියෝජිතයා ලෙස මැතිසබයට පත් විය.


2000 මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ බැටී වීරකෝන් ජාතික ලැයිස්තුව තුළින් මැතිසබයේ මහජන නියෝජිතයා විය.


ඉන්පසු පැවැති 2001 මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂයේ පූජ්‍ය බද්දේගම සමිත හිමිපාණන් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මැතිසබයට තේරී පත්වූයේ ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ ප්‍රථම බෞද්ධ භික්ෂුන්වහන්සේ ලෙස ඉතිහාසයට එක්වෙමිනි.


2001 මහා මැතිවරණයට පසු පැවැති 2004 මහා මැතිවරණයේදී ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මහාචාර්ය තිස්ස විතාරණ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.


2010 මහා මැතිවරණයේදී කෑගල්ල දිස්ත්‍රික්කයේ වයි. ජී. පද්මසිරි හා ජාතික ලැයිස්තුවෙන් මහාචාර්ය තිස්ස විතාරණ ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මැතිසබයට පත්වූහ.


ශ්‍රී ලංකා උත්තර මන්ත්‍රී මණ්ඩලයේ (සෙනෙට් සභාව) 1947 සිට 1972 දක්වා ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් වෛද්‍ය ඩබ්. කේ. ජිනදාස, ඩබ්.ජේ. පෙරේරා, පොන්නම්බලම් නාගලිංගම්, ඩොරික් ද සූසා, විවියන් ගුණවර්ධන, රෙජී පෙරේරා, චන්ද්‍ර ගුණසේකර, ඩී. ජී. විලියම් සෙනෙට් සභිකයන් ලෙස ක්‍රියා කළහ.


ලංකා සමසමාජ පක්ෂය නියෝජනය කරමින් මහජන නියෝජිතයින් ලෙස ක්‍රියා කළ සියලු දෙනාටම ඇත්තේ අභිමානවත් දේශපාලනයකි. ඔවුහූ ජනතා හඬ මැතිසබය තුළ නැංවූහ. හෘදය සාක්ෂියට එකඟව ප්‍රතිපත්ති මත ක්‍රියා කළහ. “තනතුර” ආභරණයක් ලෙස නොසැලකූහ. අයුක්තියට, අසාධාරණයට එරෙහිව හඬ නැගූහ. ජනතාවාදීව ක්‍රියා කළහ. මුදල් පසුපස හඹා නොගියහ. ඒ නිසාම ඔව්හු “සැබෑ ජනතා නියෝජිතයෝ” වූහ.

 

 

 

 

 

 

 

 

 


ඊ. එල්. ජයන්ත ද සොයිසා