ලෝකය ප්‍රභාවත් වන්නේ හිරු කිරණින් හා මවු කිරෙන් බවත් තොටිල්ල පදවන අත ලොව දිනක ආණ්ඩු කරන බවත් පෙර පඬුවන් ප්‍රකාශකර ඇතත් මෙතෙක් ලොව මාතෘ මූලික සමාජ ක්‍රමයක් බිහිවී නොමැතිවීම කනගාටුවට කරුණකි. ඒ පුරුෂයා සමාජයේ නායකයාය යන හැඟීම සමාජයේත් එය නියෝජනය කරන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් ස්ථාවරය වී ඇති බැවිනි. පිරිමියාගේ අණසකට යටත්ව ඔහුගේ වහලියක වී සිටීමේ යල් පැන ගිය පාලනය පෙරළා දැමීමට ලොව වටා කාන්තාවෝ ඒකරාශි වෙමින් සිටිති.
“සෑම සාර්ථක මිනිසකු පිටුපසම බුද්ධිමත් කාන්තාවක ඇත” යන කියමන සත්‍ය වූ අවස්ථා ලොවින් ඕනෑ තරම් ගත හැකිය. පිරිමින් පමණක් නියෝජනය වන හමුවීම් බොහෝ විට කෙළවර වන්නේ ගාලගෝට්ටි, වහසි බස්, කුණුහරුප, ගුටිබැට හා අන්තිමේදී මරණයෙන්ද පසුය.
පිරිමියා මෙල්ල කරගත හැකි බලවේග තුනක් වෙයි. පළමුවැන්න ආගමය. දෙවැන්න කලාවය. තෙවැන්න කාන්තාවය. අද අසීමාන්තික කලබගෑනි සිදුවන පාර්ලිමේන්තුව තුළ ස්වයංවාරණයක් හෙවත් තැන්පත් බවත් ගෙනදිය හැකි කාන්තා නියෝජනයට දේශපාලනඥයන්ගේ ඇස යොමුවීම රටේ වාසනාවකි.
මේ රටේද සැබෑ නිදහස සඳහා දේශපාලන ක්ෂේත්‍රයේත් ඉන් බැහැරත් සටන් කළ වීරවරයන්ගේ චරිත ගෙන බලතොත් ඔවුන්ට අදහස් අනුග්‍රහය සහ ධෛර්ය ලබාදී ඇත්තේ සෙවණැල්ල මෙන් සිටි කාන්තාවෝය.
1931 දී ප්‍රථම වරට කාන්තාවන්ට ඡන්ද අයිතිය ලැබුණේ දිගු සටනක් කිරීමෙනි. ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණයට අනුව අවුරුදු 21න් ඉහළ අයට ඡන්ද බලය ලැබිණි. මුලදී ඡන්ද බලය හිමිව තිබුණේ වෘත්තිය මට්ටමෙන් උසස් ඉහළ ආදායම් ලැබූ අධ්‍යාපන සුදුසුකම් හා ධන බලය ඇති අයටය.
1920 දී සියලු පන්තිවල ගැහැනු පිරිමින් සඳහා සර්වජන ඡන්ද බලය ඉල්ලා ඒ. ඊ. ගුණසිංහයන් වැනි කම්කරු නායකයෝද කාන්තා සංවිධානයක්ද ලංකා ජාතික කොංග්‍රසයට බලපෑම් කළහ.
1925 දී මල්ලිකා කුළඟන සමිතිය එම සටනේ මුල් පෙළ ගත් නමුත් මධ්‍යම පාන්තික දේශපාලනඥයෝ එම යෝජනා කනකට නොගත්හ. ඔවුන්ගේ භාර්යාවෝ එකතුව 1927 දී “කාන්තා සමජන සංගමය” ඇරැඹූහ. ඔවුහු ඩොනමොර් කොමිසම හමුවී නව ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණය මත සියලු කාන්තාවන්ට ඡන්ද දීමේ අයිතිය ඉල්ලා සිටියහ.
“වතුවල වැඩ කරන ඉන්දියානු ගෑනුන්ටත් ඡන්ද අයිතිය දෙන්න ඕනෑද?”
“ඩොනමෝර් සාමි ඇසීය.
“ඔව් ඒ ගොල්ලොත් මනුස්සයොනෙ”
නියෝජිතවරියක වූ ඇග්නස් සිල්වා තර්ක කළාය. “තරග කරන්නන් අපි සූදානම්” ඇය කීවාය.
මහා මැතිවරණයට සර්ව ජන ඡන්ද ක්‍රම යටතේ ඉදිරිපත් වූ කතුන් තිදෙනාගෙන් දෙදෙනෙක්ම පත්වූහ. ඒ නේසම් සරවනමුත්තු නම් ද්‍රවිඩ වෛද්‍යවරිය හා ඇඞ්ලින් මොලමුරේ ආර්යාවය. ඇය පළමු මන්ත්‍රීවරියය.
1947 දී නියෝජිත මන්ත්‍රි මණ්ඩල ක්‍රමය ඇරැඹිණ. එම මැතිවරණයෙන් මැද කොළඹට, කිරිඇල්ලට හා බලපිටියට කාන්තාවන් තරග කළත් ජය ගත්තේ කිරිඇල්ලට තරග කළ ප්ලොරන්ස් සේනානායක පමණකි. එබැවින් ප්‍රථම පාර්ලිමේන්තුවට තේරී පත්වූ මෙරට ප්‍රථම කාන්තාව ඇය වේ.
1947 දී පාර්ලිමේන්තු කාලය අවසන් වන්නට මත්තෙන් තවත් කතුන් දෙදෙනකුට මන්ත්‍රි වරම් ලැබිණ.
ඒ අවිස්සාවේල්ල පාර්ලිමේන්තු අසුන අහිමිවූ පිලිප් ගුණවර්ධන මහතා වෙනුවට නිතරගයෙන් පත්වූ කුසුමා ගුණවර්ධන හා මහනුවර අසුන අහිමිවූ ටී. බී. ඉලංගරත්නයන් වෙනුවට තරග කර ජය ලැබූ තමරා කුමාරි ඉලංගරත්න යන ඔවුන්ගේ බිරින්දෑවරුය.
1952 වනවිට කාන්තාවෝ දොළොසක් මැතිවරණ සටනට ඉදිරිපත් වූහ. ඔවුන් අතරට අවිස්සාවේල්ලේ කුසුමා ගුණවර්ධනද අකුරැස්සේ කොමියුනිස්ට් පක්ෂ නායක දොස්තර එස්. ඒ. වික්‍රමසිංහයන්ගේ බිරිඳ වූ සුදු ජාතික ඩොරින් වික්‍රමසිංහද තේරීපත් වූහ.
1956 දී මැතිවරණ සටනට පැමිණි කතුන් පස් දෙනාගෙන් සිව් දෙනෙක්ම ජය ලැබූහ. මීරිගම විමලා විජයවර්ධන, උතුරු කොළඹ විවියන් ගුණවර්ධන සහ කිරිඇල්ලේ කුසුමා ගුණවර්ධන යන කාන්තාවෝය.
ශ්‍රී ලංකාවේ ප්‍රථම කැබිනට් ඇමැතිවරිය ලෙස විමලා විජයවර්ධන අභිෂේක ලැබුවාය. එසේම පිලිප් ගුණවර්ධන හා කුසුමා ගුණවර්ධන යන අඹු සැමියෝද ලෙස්ලි ගුණවර්ධන හා විවියන් ගුණවර්ධන යන අඹු සැමියෝද එකම පාර්ලිමේන්තුවේ අසුන් ගන්නට වාසනාව ලැබූහ.
1956 මහ මැතිවරණයේදී වැලිමඩ ආසනය දිනූ කේ. එම්. පී. රාජරත්නට ඡන්ද පෙත්සමකින් එය අහිමි වූ බැවින් අතුරු මැතිවරණය දිනා මන්ත්‍රි වරම් ලැබීමට ඔහුගේ බිරිඳ කුසුමා රාජරත්නට හැකි විය.
1959 දී අගමැති බණ්ඩාරනායක ඝාතනයෙන් පසු මන්ත්‍රීවරියක ලෙස උත්තර මන්ත්‍රි මණ්ඩලයට පත් වූ සිරිමාවෝ මැතිනිය මෙරටේත් මුළු ලොවත් ප්‍රථම අගමැතිවරිය ලෙස පිදුම් ලැබුවාය. ඇයට පෙර උත්තර මන්ත්‍රි මණ්ඩලයේ උපසභාපති ධුරය ඇඞ්ලින් මොලමුරේ මැතිනිය ඉසිලුවාය. එච්ලින් ද සොයිසා මහත්මියද එහි මන්ත්‍රිවරියකව සිටියාය.
1960 මාර්තු මහ ඡන්දයෙන් දිනුවේ එක්සත් ජාතික පක්ෂයේ පිලයි. ඊට තේරීපත් වූ කාන්තාවන් වූයේ දෙහිඕවිට සෝමා වික්‍රමනායක, ගලිගමුව විමලා කන්නංගර හා වැලිමඩ කුසුමා රාජරත්නය. නමුත් 1960 ජූලියේ බිඳ වැටුණු ආණ්ඩුව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වයෙන් ස්ථාපිත වූ අතර කුසුමා රාජරත්න, විමලා කන්නංගර, සෝමා කන්නංගර, විවියන් ගුණවර්ධන මන්ත්‍රි ධුරවලට පත් වූහ.
විවියන් බොරැල්ල අසුන ජය ගත්තේ මන්ත්‍රි ඩබ්.ඒ. ද සිල්වාගේ අභාවය වෙනුවෙන් පැවැති අතුරු ඡන්දයෙනි.
1965 දී ශ්‍රීලනිප වාමාංශික හවුල් ආණ්ඩුව පරාජයට පත්ව යූඇන්පි ආණ්ඩුවක් බිහි විය. මෙහිදී බණ්ඩාරනායක මැතිනිය අත්තනගල්ල ආසනයට තරග කොට වාර්තාගත වැඩි ඡන්ද ප්‍රමාණයක් ගත්තාය. මීරිගමින් ශිවා ඔබේසේකර ජයගත් අතර පසුව තරග වැදී බලන්ගොඩින් මල්ලිකා රත්වත්තේද දොඩම්ගස්ලන්දෙන් ලැටීෂියා රාජපක්ෂද පාර්ලිමේන්තුවට පත් වූහ.
1970 දී ශ්‍රීලනිප-වාමාංශික සමගි ආණ්ඩුව බිහි වූ අතර බණ්ඩාරනායක මැතිනියට අමතරව මීරිගමින් ශිවා ඔබේසේකර, ගලගෙදරින් තමරා කුමාරි ඉලංගරත්න හා බොරැල්ලෙන් කුසලා අබේවර්ධන පත් වූහ. සිරිමාවෝ දෙවන වරටත් අගමැති අසුනට පත් වූවාය. 1977 දී යූඇන්පි ආණ්ඩුව හයෙන් පහක ඡන්දය ලබා බලයට පත්වූ අතර ශ්‍රීලනිපයට හිමි වූයේ ආසන 08ක් පමණි. අත්තනගල්ල සිරිමාවෝට හිමිවෙද්දී යූඇන්පියේ රේණුකා හේරත් වලපනෙන්ද අමරා පියසීලී රත්නායක වාරියපොළෙන්ද, විමලා කන්නන්ගර ගලිගමුවෙන්ද පාර්ලිමේන්තු ආහ.
1989 මහ මැතිවරණයේදී පාලක යූඇන්පියෙන් කාන්තාවන් හය දෙනෙකුටද ශ්‍රීලනිපයේ කාන්තාවන් සිව් දෙනෙකුටද මන්ත්‍රි වරම ලැබිණ, ඒ සුනේත්‍රා, රේණුකා, අමරා යන පැරැණි මන්ත්‍රිවරියන්ට අමතරව චන්ද්‍රා කරුණාරත්න, රසෝ මනෝහරි පුලේන්ද්‍රම්, සුජාතා ධර්මවර්ධන යන යූඇන්පී මන්ත්‍රීවරියෝ හා සිරිමාවෝ මැතිනියට අමතරව සුමිත්‍රා ප්‍රියංගනී අබේවීර, ගුණවත් දිසානායක හා හේමා රත්නායක යන ශ්‍රීලනිප මන්ත්‍රිවරියෝය.!
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි