මැතිසබය රසවත් කළ කවට කථිකයා


වමේ පතාක යෝධයකු වූ පිලිප් ගුණවර්ධන ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණ ශ්‍රිලනිපය සමග වූ මතභේද නිසා 1965 දී එක්සත් ජාතික පක්‍ෂය ප්‍රධාන හත්හවුල් ආණ්ඩුවට එක්වූයේ ප්‍රගතිශීලි ජනතාව  අන්ද මන්ද කරමිනි. ජනතාවගේ ආදරය දිනාගත් කාන්තා චරිතයක් වූ පිලිප්ගේ බිරිඳ කුසුමා ගුණවර්ධන ද සැමියාගේ අඩි පාරේ ගියාය.
කොළොන්නාව ආසනය සඳහා පැවති අතුරු මැතිවරණයේදී ම.එ.පෙ වෙනුවෙන් ඇය තරග කළ අතර පිලිප් ඇමැතිවරයකු නිසා ඇයට එරෙහිව එජාපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් නොකෙරිණ. ශ්‍රිලනිප අපේක්‍ෂකයා වෙනුවෙන් කොළොන්නාවේ පැවති රැස්වීමේදී ජ්‍යෙෂ්ඨයකු මෙන්ම ව්‍යක්ත කථිකයකු වූ කැලණියට තරග කළ ආර්. එස්. පෙරේරා ද කතා කළේය.


“කිසි කෙනෙක් බය වෙන්න එපා. කුසුමා කොලොන්නාව දිනන්නේ නෑ. මේක මා විතරක් කියන දෙයක් නොවෙයි, මීට අවුරුදු 2500කට එහාදි බුදුහාමුදුරුවොත් කිව්ව දෙයක්.”
සභාව අන්දමන්ද කරමින් ආර්. එස්. පැවසීය.


“ඇයි පුදුම වෙන්නේ? අහල නැද්ද උන්වහන්සේ එදා කිව්වනෙ ‘කුසුමේන නේන’ කියලා ඒ කියන්නේ කුසුම දිනන්නෙ නෑ කියලනෙ.”


සභාව සිනා හඬින්  ඔකඳවිය. තැනට සුදුසු දෙපැත්ත කැපෙන හාස්‍යොත්පාදක ශබ්දාවලියක් ආර්. එස්. සතුව පැවතියේය. ශ්‍රී.ල.නි.ප රැස්වීම්වලදී ජනතාව රඳවා තබා ගැනීමට රාජ්‍ය නායිකාව වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ කතාවටත් පසුව ආර්. එස්. ගේ කතා පැවැත්විණ.


ඈත පිටිසර ගම්මානයක එජාප බළකොටුවක ශ්‍රීලනිපයේ රැස්වීමක් පැවැත්විණ. අඩ අඳුරේ එය පැවැත්වුණ ද මහපාර පැහැදිලිව  වේදිකාවට දර්ශනය විය. ආර්. එස්. වේගවත් කතාවක් කරමින් සිටියේය.


හිටිවනම ඔහු කතාව නවත්වා බලාගත් අත බලාගෙන සිටියේය. මිනිසුන්ට මෙහි අමුත්තක් දක්නට ලැබිණ. ඔහුට අසනීපයක් දෝයි කසුකුසුවක්ද ගියේය. ආර්. එස්. බලා සිටියේ මහපාර දෙසය. මීහරක් රංචුවක් පාරේ යනු පෙනිණි.


“ඇයි ඇමතිතුමා?”


“මෙහෙ ළඟපාතක යූඇන්පී රැස්වීමක් තියෙනවද? ආර්. එස්. ළඟ සිටි අයෙකුගෙන් ඇසීය.


“අපොයි නෑ ඇමැතිතුමා?”


‘එහෙනම් මොකද අර මීහරක් රංචුවක් වැල නොකැඩී ඒ පැත්තට යන්නේ?’ ඔහු ගණනකට නොගෙන ඇසූ අයුරින් ජනතාව සිනා සාගරයක ගිලී ගියේය.


උපහාස රසයෙන් දේශපාලන වේදිකාව කුල්මත් කළත් ආර්. එස්. යනු මැතිනියගේ කැබිනෙට්ටුවේ සිටි නිකම්ම නිකම් ජෝකර් කෙනෙකු නොවේ. ඔහු කතෝලික පවුලක උපත ලද්දත් බුදු දහම කෙරෙහි මහත් ප්‍රසාදයක් සහ සඟරුවන කෙරෙහි මහත් බැතිබර බවකින් යුතු විය.


“ආර්. එස්. නැති කැබිනෙට්ටුවක් හරියට පුන්සඳ නොමැති ආකාසේ වගෙයි.” එදා පැරැන්නන් අදත් කියන කතාවකි.


1919.11.30 දින කැලණිය, දළුගම පාරම්පරික ගොවි මහතකු වූ රණවක ආරච්චිගේ සයිමන් සහ එම බිරිඳට දාව රණවක ආරච්චිගේ සොලමන් පෙරේරා උපත ලැබීය. දෙවි මැදුරේත්  කිතුනු ගුරු කුලයේත් ඇසුර ලබමින් කොලු රංචුත් සමග වෙල් යායේත් කඩ මණ්ඩියෙන් පන්සල් භූමියේත් සෙල්ලම් පිටියේත් කරක් ගැසූ ආර්. එස්. දේශපාලනයට පිවිසුණේ කැලණිය ගම්කාර්ය සභාවට තරග වැදීමෙනි. 


පසු කලෙක ඔහුගේ දේශපාලන ප්‍රතිවාදියා වූයේ කැලණියේ වූ ගජමිතුරකු වූ ඒ. ඩබ්ලිව්. ඒ. අබේගුණසේකරය. ඔහු ඔසී අබේගුණසේකර මහතාගේ පියා ය.
“මිත්‍රවරුනි, ඔය ආර්. එස්. කියන්නේ නිකම් දළුගම වෙලේ කරක් ගහපු කෙනෙක්” ආර්. එස්. ට උපහාස කරමින් අබේගුණසේකර වරක් රැස්වීමක දී පැවසීය. එය ආරංචි වූ ආර්. එස්. සිය අතීතය සිහිගන්වමින් පැවසුවේ “ඔව් බං වෙලේ කරක් ගහපු එකෙක් තමයි මිනිහෝ මං. වෙල් විතරක් නොවෙයි ගමේම කරක් ගහපු  එකෙක්. මං නොගිය තැනක් නෑ” කියාය.
එදා ආර්. එස්. ට කසිකබල් මඞ්ගාඞ් එක සවුත්තුවුණු පුෂ් බයිසිකල් කට්ටක් තමා තිබුණේ. ඔවුන් ආර්. එස්. ට සමච්චල් කළේ තමන් තරම් පොහොසත් නැති නිකමෙකු බව පෙන්වන්නටය.


“ඔව් මට තිබුණෙ කබල් බයිසිකලයක් තමා. ඒක පැදල තමයි මේ තත්ත්වයට ආවේ.” ආර්. එස්. නිහතමානීව පැවසීය.


1960 දී කැලණිය ගම් කාර්ය සභාවට වෙදමුල්ල හා දළුගම ආසන දෙකෙන්ම තරග කර පරාද  වුණේය. ඊට හේතුව අපූරු  කතාවකි. එනම් එජාප සහ කතෝලික ජනතාව ආර්. ඇස්. ගේ ප්‍රතිපත්තිවලට එරෙහිවීමය.


නිදහස් අධ්‍යාපන පනත යටතේ සමාගම් ලෙස පැවති පාසල් රජයට පවරා ගැනිණ. මෙතෙක් මිෂනාරි බටහිර  අධ්‍යාපනය ලබාදෙමින් තිබු කිතුනු පාසල්ද අධ්‍යාපන අමාත්‍යාංශයට පැවරිය යුතු බවට සම්මත විය. මැතිනියගේ ආණ්ඩුව තුළ සිටි කිතුනු මන්ත්‍රීවරු පවා ඊට එරෙහි වූහ.


කැලණිය ආසනය නියෝජනය කළ ආර්. එස්. කතෝලිකයකු වූ නිසා ඔහු කෙරේ පවා දෝෂ දර්ශනය එල්ල විය. දේවස්ථානවලට අයත් පාසල්වලට රාජ්‍ය නිලධාරීන් ඇතුළු වීමට පවා ඉඩ නොදී කටු කම්බි ගසා එම භූමිය තුළ අන්තවාදීහු ලැගුම් ගත්හ.


එම යෝජනාවේ පලවිපාක නිසා ඇමති ආර්. එස්. ට ද පල්ලිය තහනම් කලාපයක් විය. ඔහුට දේව මෙහෙයට සහභාගිවීමට ඉඩ නොදෙමින් එකල විසු ප්‍රංශ ජාතික පියතුමකු වූ රැන්ඩන් වහාම පිටවන ලෙස ඔහුට නියෝග කළ බව පොත්පත්වල සඳහන් වේ.


ආර්. එස්. පියතුමාටත් අල්තාරයටත් හිස නමා දෙව්මැදුරෙන් පිටවිය. එජාපය හා කතෝලිකයන් ඔහුට සහය හා ඡන්දය නොදුන්නද මහ සඟරුවන හා බෞද්ධ ජනතාව දිගින් දිගටම ආර්. ඇස්. ට සහයෝගය හා ඡන්දය දෙමින් වසර 17ක් පුරා කැලණිය මන්ත්‍රි ධුරය රැක දුන්හ. 


එදා “එදා ආර්. ඇස්. ට පල්ලියේ වළවත් ලැබෙන්නෙ නෑ” කියා පල්ලියේ ස්වාමි එළවාගත් දවසේ ආර්. ඇස්. සන්සුන් ලෙස ඊට ප්‍රතිචාර දැක්වීය.


“ස්වාමි මං මළහම පල්ලියෙ වළ නොදුන්නාට මං තරහ නෑ. කැලණියේ බෞද්ධයන්ගේ සුසානභූමිවල වළවල් මට ලැබෙනවා සත්තයි.”


ආර්. එස්. පැවසීය. 


ආර්. එස්. පක්‍ෂයේ කුඩාම තැන සිට ඉහළටම නැගුණු දේශපාලනඥයෙකි. වේවැල්දුව ආසනයෙන් කැලණිය ගම් කාර්ය සභාවට පත්ව එහි සභාපති ධුරය දක්වා එසවුණු ආර්. ඇස්. ගේ තේජස ප්‍රාදේශීය දිස්ත්‍රික් හා ජාතික මට්ටමට පත්ව පක්‍ෂයේ මධ්‍ය සංවිධානයේ උප ලේකම් හා මහජන මන්ත්‍රි ධුරය දක්වාත් උපඇමැති, නියෝජ්‍ය ඇමැති සහ කැබිනට් ඇමැති ධුරය දක්වා ගියේය.


1960 මාර්තුවේ කැලණි ආසනයට ශ්‍රීලනිප අපේක්‍ෂකයා ලෙස මුලින්ම ඔහු තරග වැදුන විට ප්‍රතිවාදියා වූයේ ජේ. ආර්. ජයවර්ධනය. ජේ. ආර්. වැනි පතාකයකු සමග පුංචි ආර්. ඇස්. රසවතා කරට කර සටනක් එදා දුන්නේය. ජේ. ආර්. එදා කැලණිය දිනුවේ වාමාංශිකයන්ගේ පිල් බෙදීම නිසා විය හැකිය.


1960 මාර්තු කැලණිය ආසනය ඡන්ද ප්‍රතිඵලය.


එජාපය - ජේ. ආර්. ජයවර්ධන - 10,827
ශ්‍රීලනිප - ආර්. එස්. පෙරේරා - 9318
ම.එ.පෙ. - ඩී. සී. පී. බෙනරගම - 6454
ලං.ස.ස.ප. - එන්. එස්. පෙරේරා - 1769
ප්‍රජාතන්ත්‍රවාදි පක්‍ෂය (කුඩය) - 280
සිංහල ජාතික සංගමය - 187
වැඩි ඡන්ද - 1509


එකල කැලණි ආසනයට බියගම මහර ප්‍රදේශ පවා අයත්ව තිබිණ. ජේ. ආර්. ගේ බිරිඳගේ ගම වූ කැලණියේ ඥාති මිත්‍රාදීන්ගේ ඡන්දය පවා ජේ. ආර්. ට ලැබී තිබිණ. ආර්. එස්. ගේ ජයට වඩා පරාජය වැදගත් වන්නේ මෙවැනි වාතාවරණයකය. කතෝලිකයෝ පවා එදා ආර්. එස්. ට. එරෙහිව රොද බැඳ සිටියහ. 


මෙම ජයග්‍රහණයෙන් පසු ඩඞ්ලි සේනානායක රජයේ මුදල් හා ප්‍රවෘත්ති අමාත්‍ය ධුරය ජේ. ආර්. ට හිමිවිය. නමුත් 1960 වසරේ ජුලි මාසය වනවිට  දේශපාලන වාතාවරණය කණපිට පෙරළී තිබිණි.


සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කෙළින්ම ශ්‍රීලනිපයේ නායකත්ව ධජය  සුරතට ගෙන සිටියාය. ඇගේ සටන් සගයෝ ඇයටම සරිලන සේ බුද්ධියෙන් හා ව්‍යක්ත කථිකත්වයෙන් පෙරමුණේ සිටියහ. කැලණියේ ආර්. එස්. ද එදා ඇගේ ළඟම බළකණුවක් විය.


නව නායකත්වයේ බලමහිය දුර සිටම දුටු සමසමාජ, කොමියුනිස්ට් පක්‍ෂ ඇතුළු වමේ බලවේගද සමගිව පොදු සතුරා වූ එජාපයට එරෙහිව සටන් ප්‍රකාශ කළහ. මෙම බලවේගයේ රැල්ල දුටු දූරදර්ශි ජේ. ආර්. පවා සලිත වූවේය.


“වමේ සමගිය දැක බයවුණු ජේ. ආර්. තම පරාජය ගැන ලැබූ ඉඟිය නිසා කැලණි ආසනය අතහැර දකුණු කොළඹට ගිය බව අපේ විශ්වාසයයි.


මෙසේ කියන්නේ ආර්. එස්. ගේ පෞද්ගලික ලේකම් ධුරය දැරූ කැලණියේ ඔස්වල්ඞ් ගෝමිස් මාවතේ පදිංචි සෝමරත්න ගුණතිලක මහතාය.
ආර්. එස්. ගේ දේශපාලන ජීවිතය පිළිබඳ සජීවි තොරතුරු සොයා මා ගිය ගමනට ජීවමාන සාක්‍ෂිය වූයේ ගුණතිලකයෝය.


මාධ්‍යවේදී සුසන්ත ජයමාන්නගේ “අසිරිමත් කැලණිය” පොතේ එන හැටියට 1960 ජුලි මහ මැතිවරණයේ ප්‍රතිඵලය මෙසේ විය.


1960 ජුලි කැලණිය ආසනයේ ඡන්ද ප්‍රතිඵල
ශ්‍රීලනිප - ආර්. එස්.පෙරේරා - 15,801
එජාප - ඒ. ඩබ්ලිව්. ඒ. අබේගුණසේකර - 11,353
ස්වාධීන - සී. සමරසිංහ - 894
වැඩි ඡන්ද - 4448


මෙම ජයග්‍රහණයත් සමග 1960 ජුලියේ පිහිටවූ මැතිනියගේ ආණ්ඩුවේ කෘෂිකර්ම හා ආහාර උපඇමැති ධුරය ආර්. එස්. ට හිමිවිය.

 


මතු සම්බන්ධයි.

 


සටහන සහ ඡායාරූපය :
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාආරච්චි