ඡන්ද අපේක්ෂිකාවක වීමට මූලික සුදුසුකම් මොනවාදැයි කලකට පෙර විමසා බැලුවහොත් කුලය, වත්කම, වලව් පැලැන්තිය, මිෂනාරි අධ්‍යාපනය, ඉංග්‍රීසි උගත්කම හා බටහිර නැඹුරුව වැනි කරුණු පෙරට එනු ඇත. රාජ්‍ය මන්ත්‍රණ සභාවට මෙන්ම පාර්ලිමේන්තුවට පැමිණි බහුතර ජනතා නියෝජිතවරියන්ට මේවා මූලික සුදුසුකම් විය. ඇතැමුන් පරම්පරාවෙන් ද ඇතැමකු සැමියාගේ ප්‍රභූත්වය තුළින්ද මෙම වරම ලැබගත්හ.
මේ අතරින් තමරා කුමාරි අලුදෙණිය නමැති ජනතා නියෝජිතවරිය හැඳින්විය හැක්කේ මැතිසබයට ගිය පළමු ගැමි කාන්තාව ලෙසය. ඇය වඩාත් ප්‍රචලිත වූයේ තමරා කුමාරි ඉලංගරත්න යන නාමයෙනි. මෙරට විසූ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වූ ගත්කතු ටී. බී. ඉලංගරත්නයන්ගේ සදාදරණීය බිරිඳ ලෙස ඇය ජනතා ගෞරවයට පාත්‍ර වූවාය.
තමරා උපන්නේ 1925 මාර්තු 15 වැනිදා කෑගල්ලේ වේරකේ ගම්මානයේය. සහෝදර සහෝදරියන් සිව් දෙනකුගෙන් යුත් පවුලේ පිය පදවිය ඉසිලුවේ රජයේ ලිපිකාර මහතකු වූ පී. බි. අලුදෙණියය. ඇය හැඳුණේ වැඩුණේ ඔහු රාජකාරි කළ ගම්පොළය. දෙස් විදෙස් දේශපාලන ලෝකයේ සිදු වූ හැල හැප්පීම් පාසල් සමයේ සිට ඇයගේ ඇස ගැටිණ ‘සමාජ අසාධාරණය පිළිබඳව හැඟීම් ඇයතුළ ඇති වූ අතර සමාජවාදී පක්ෂ ඊට එරෙහිව කරන අරගල ගැන ඇය විමසිලිමත් වූවාය.
දුව දැන් අනාගතය ගැන හිතන්න ඕන කාලයයි. මං හොඳ කෙනෙක් හොයා ගත්තා තම ටිකිරි බණ්ඩා අපේ පෙළැන්තියට ලිපිකාර මහත්තයෙක්. පියා තමාරාට පැවසුවේ දියණිය තම අදහස අනුගමනය කරන බව දන්න නිසාය. තමරාට නිහඬ නිවුණු හා නිහතමානි මෙන්ම නැණ නුවණින් යුතු සමාජවාදී දර්ශනයට ළැදි ටිකිරි බණ්ඩා ඉලංගරත්න නම් යෞවනයා හඳුන්වා දුන්නේ එලෙසිනි.
ගම්පොළ ශාන්ත ජෝශප් කන්‍යාරාමයේ නැවති අධ්‍යාපනය ලැබූ තමරා ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතිකය ලබා සිටියාය. දෙපස ඥාතීන්ගේ ආශිර්වාදය මැද 1944 දී ඔවුහු එක්වූහ. 1944 දී රාජ්‍ය ලිපිකරු සේවා සංගමයේ සභාපති පදවිය දැරුවේ ඉලංගරත්නය. 1947 දී පැවති යු.ඇන්.පී. ආණ්ඩු විරෝධි මහ වැඩවර්ජනයේ නායකත්වය දැරීමට ඔහුට සිදුවිණ. එහි ප්‍රතිඵල වූයේ ටී. බී. ඇතුළු පිරිසට රැකියාව අහිමි වීමය.
ටී. බී. කොළඹ නැවති වටේ මිතුරන් සමග දේශපාලනය කළා මිස බිරිඳ හමුවීමටවත් ඒ දිනවල ගමේ නොගියේය.
සැමියා දින ගණන් නිවසට නොඑන විට ඔහු කොළඹදී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇතැයි තමරා බියවූවාය. ඔහුගේ රැකියාව අහිමිව බොහෝ පීඩනයට පත්ව සිටි බව ඇය දැන ගත්තේ බොහෝ පසුවය. කෙසේ වෙනත් 1947 දී පැවැත්වුණු මහ මැතිවරණයට මහනුවර අසුන සඳහා අත ලකුණ යටතේ ටි. බි. තරඟ වැදුණ අතර අලියා ලකුණ යටතේ තරග වැදුණු ජෝර්ජ් ඊ. සිල්වාට පරාජයවිය.
එහෙත් ඡන්ද පෙත්සමකින් ඔහුට අසුන අහිමිවූ අතර අතුරු මැතිවරණයේදි ටී. බී. කුඩය ලකුණින් තරගවැදී තරාදිය ලකුණෙන් තරග කළ ඇෆ්. ඊ. ද සිල්වා පැරදවිය. එහෙත් ටී. බී. ට එරෙහිව විභාග වූ ඡන්ද පෙත්සමෙන් ඔහුට මන්ත්‍රීකම මෙන්ම ප්‍රජා අයිතිය ද අහෝසි විය. හිස්වූ මහනුවර අසුනට තරගයට දැමීමට තමරා කුමාරි ඉලංගරත්න තරම් සුදුස්සියක නොවු බව වමේ මතය විය.
ඒ අනුව 1949 ජූනි 18 දින පැවති අතුරු මැතිවරණයට තරුව ලකුණින් තමරා සටන් වැදුණාය. ප්‍රථිඵල මෙසේ විය.
තමරා කුමාරි ඉලංගරත්න (තරුව) 10,062, ඒ. සී. එල් රත්වත්තෙ (අත 8012, ආර්. ඊ. ජයතිලක (අලියා) 1137, ඩී. බී. වඩුගොඩ පිටිය (කරත්ත රෝදය) 270 වැඩි ඡන්ද සංඛ්‍යාව 2056. සැමියාගේ ප්‍රජා අයිතිය අහිමිවිම බිරිඳටද බලපානු ඇතැයි සිතු ටි. බී. කළේ නාම යෝජනා දිනයට පෙර බිරිඳ වෙන නිවසක නතර කිරීමයි. මෙතෙක් ඔහු ඇඳි යුරෝපිය ඇඳුම් වෙනුවට ජාතික ඇඳුම ඇදීමයි.
තමරාගේ සහයට සමාජවාදී කඳවුරේ පතාක යෝධයන්ගේ ආශිර්වාදය නොමඳව ලැබිණ. ශ්‍රීලනිපයේ නිර්මාත්‍යවරයකු වූ එච්. ශ්‍රී නිශ්ශංක, අයි. ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල, අයේෂා රාවුෆ් මෙන්ම බණ්ඩාරනායක වැනි අය ඒ අතර වූහ.
දේශපාලනය වැනි භාරදූර කටයුත්තකට ඉදිරිපත්වීම ගැන ඥාතීහු බලවත්සේ විරෝධය පෑහ. ඒ වනවිට දරු ප්‍රසුතිය ලැබ මවකගේ භූමිකාවේ නියැළී සිටියාය. සැමියාගේත් පක්‍ෂයේත් නම්බුව බේරා ගැනීමට දේශපාලනය කළත් ඇයට එය මහමෙරක් සේවිය.
දිනක් ඇය දේශපාලන කටයුත්තක නිරතව සිටිය දී උණුවතුර බඳුනක් නින්දේ සිටි අටමස් වියැති සන්ධ්‍යා දියණියගේ ඇඟට පෙරළිණ ඔහු ඇය විඳි වේදනාව දේශපාලනය එපාකරවීමට තරම් දරුණු විය. මන්ත්‍රීවරිය වූ පසුවත් ඇය ගෙදර වැඩ හා දේශපාලනය අතර දෝලනය වූවාය. මුළුතැන්ගෙයි කටයුතු කරමින් සිට ඔසරිපොටේ අත පිසදමින් ලියවිලිවලට අත්සන් කළාය.
සිතු ලෙසට මහනුවර නව මන්ත්‍රීනි තමරාට එරෙහි ඡන්ද පෙත්සමක් නිර්මාණ විය. එය චෝදනා රැසකි ප්‍රජා අයිතිය අහිමි වූ සැමියා දේශපාලන වැඩවලට හවුල්වීම බරපතළ චෝදනාව විය.
ඒ කරුණු ඔප්පු කිරීමට සැමියා සමග වාහනයේ යන අයුරු, මැතිවරණ වේදිකාවේ සිටින අයුරු හා ගෙන්ගෙට යන අයුරු නිරූපණය වන ඡායාරූප විය. තමරාගේ රියැදුරු වුණේ එයාගේ සැමියායි එක වැරැද්දක් නොවෙයි. තමරා සිටියේ සැමියාගේ ගෙදර නොවෙයි. වෙනම ගෙදරක ඉලංගරත්න මහත්මයා ඇන්දේ ජාතික ඇඳුමයි. යුරෝපිය ඇඳුම් ඇඳලා ගියේ නෑ.
නීතිඥයන්ගේ තර්ක විතර්ක මැද ඡන්ද පෙත්සම ප්‍රතික්‍ෂේප කිරීමට සිදුවිණ.
ඒ අනුව 1952 දක්වාම ඇය මැතිසබය නියෝජනය කළාය.
ශ්‍රී ලංකාවේ දෙවන මහ මැතිවරණය 1952 මැයි මස 24, 26, 28 සහ 30 දිනවල පැවැත්වුණු අතර කුඩය යටතේ තමරා මහනුවර අසුනට සටන් වැදුණාය. එහිදී ඇයගේ ප්‍රතිවාදියා වූයේ යු.ඇන්පියේ බලවතකු වූ ඊ. ඇල්. සේනානායකය. ඔහුගේ එදා ලකුණු වූයේ කරත්ත රෝදයයි.
ඊ. ඇල්. ඡන්ද 11349 ක් ලබාගත් අතර තමරා ලැබුවේ 7644 කි. 1956, 1960 මහ මැතිවරණවලට ඉදිරිපත් නොවී තම සැමියා වූ ඉලංගරත්නයන්ට පූර්ණ සහයෝගය දුන් තමරා යළි 1965 මාර්තු 22 වැනිදාට යෙදුණු හය වැනි මහමැතිවරණයට ශ්‍රීලනිප අපේක්ෂිකාව ලෙස ගලගෙදරට අත ලකුණින් තරග වැදුණාය.
තියුණු සටනකින් පසු යූ.ඇන්.පී. අපේක්ෂක ඩබ්. එම්. ජී. ටී. බණ්ඩාට ඡන්ද 574 කින් පැරදුණාය. මහනුවර අතුරුමැතිවරණය දිනා පාර්ලිමේන්තු ගිය තමරාට යළි මැතිවරම ලැබුණේ 1970දීය.
ඒ ශ්‍රීලනිප, ලස්සප හා කොප සමගි පෙරමුණ යටතේ ගොඩනැගුණ දේශපාලන රැල්ල නිසාය. ගලගෙදර අසුන සඳහා ශ්‍රීලනිපයෙන් ඉදිරිපත්වූ තමරා තම පක්ෂයේත් දේශපාලන ජීවිතයෙත් ගෞරවය රැක ගත්තේ මෙලෙසිනි.
තමරා කුමාරි ඉලංගරත්න (ශ්‍රීලනිප) ඡන්ද 13,211, ඩබ්. ඇම්. ජි. ටී. බණ්ඩා (යු.ඇන්.පී) ඡන්ද 10,651 වැඩි ඡන්ද 2560.
මෙම මහ මැතිවරණයේදී ඇගේ සැමියා වූ ටී. බී. ඉලංගරත්න ද කොළොන්නාව අසුනින් තරගයට පිවිසුණේය. ඔහුගේ ප්‍රතිවාදියා වූයේ මහජන එක්සත් පෙරමුණේ කුසුමසිරි ගුණවර්ධනය, ඇය වමේ ජනනායක යෝධයකු වූ පිලිප් ගුණවර්ධනයන්ගේ බිරිදයි.
ටී. බී. ඉලංගරත්නගේ මැතිවරණ වේදිකාවට පිවිසි කැලණිය නියෝජකය කළ අමාත්‍ය ආර්. ඇස්. පෙරේරා, පැවසූ වදනක්ද මෙහිදි සිටිපත් වේ. කුසුමා පාර්ලිමේන්තු නොඑන බව මට හොඳටම විස්වාසයි. මටත් කලින් ඒක දේශනා කළේ බුදුහාමුදුරුවොයි. අහලා නැද්ද? “කුසුමේන නේන” කියල උන් වහන්සේ දේශනා කළා?
එය හාස්‍ය ජනක ප්‍රකාශයක් වුවද 1970 දී කුසුමා පරදවා ටී. බී. ඉලංගරත්න කොලොන්නාව අසුන වැඩි ඡන්ද 8836 කින් ජයග්‍රහණය කළේය. අමාත්‍යධුර රැසක් ඉසිලු ටී. බී. කෙටිකලක් මුදල් ඇමැතිව සිටියේය. අයවැය කතාව සිංහලෙන් කළ ප්‍රථම මුදල් ඇමැතිවරයා ඔහු විය. ඉලංගරත්න හා තමරා යන අඹුසැමියන් ලෙස පොදු පෙරමුණ ආණ්ඩුවේ නියෝජිතයන් ලෙස එකම පාර්ලිමේන්තුව නියෝජනය කිරීම දුර්ලභ අවස්ථාවක් විය.
1977 දී යු.ඇන්.පීයේ දේශපාලන රැල්ලට දෙදෙනාම ගසාගෙන ගියත් කන්ද උඩරටින් මැති සබයට පිවිසි ප්‍රථම මන්ත්‍රීවරිය ලෙස තමරා දේශපාලන ඉතිහාසයට එක්වූවාය.
පුෂ්පනාත් ජයසිරි මල්ලිකාරච්චි