මැර තර්ජන මැද ඡන්ද සටන


දකුණට ජීවය දුන් හිනිදුම සෙනෙවියා-3

ගාල්ල නාගොඩ ගම් සභාපති ධුරය සඳහා තරඟ කිරීමට මම ඉදිරිපත් වුණා. මම ලංකා සම සමාජ පක්‍ෂයේ හිතවතෙකු නිසා ප්‍රදේශයේ හිටපු බල පුළුවන්කාරයෝ සෑම දෙනෙකුම පාහේ මට විරුද්ධව මගේ ප්‍රතිමල්ලවයන්ට උදව් කරන්න ඉදිරිපත් වෙලා හිටියා. මට තිබුණු ලොකුම නුසුදුසුකම වෙලා තිබුණේ අනිත් අපේක්‍ෂයන්ට වඩා මා වයසින් ළාබාල වී පමණයි.

ගම් සභාපති තරඟයට දින කිහිපයකට පෙර ගම්සභාවේ මන්ත්‍රීවරු 7 දෙනෙක් සමග අනුරාධපුර වන්දනාවේ යෑමට තීරණය කළා. මම පුංචි කාලේ ඉදලා ආගමට දහමට ළැදී නිසා මට මගේ අම්මාගෙන් ලැබුණ වටිනාම දායාදයක් වුණෙත් බුදුදහම කෙරෙහි ඇති ළැදිකමයි. ඒ අනුව අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳලා ආශිර්වාද ලබා ගැනීම මගේ අරමුණ වුණා. 


ගාල්ලේ ඉඳලා මගේ විරුද්ධකරුවන් අපි පසු පස්සේ ලුහු බැඳලා තිබෙනවා. අනුරාධපුරය දක්වා මේ පිරිස ඇවිත් තිබුණා. අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය අසල දී මාව පැහැර ගැනීම මේ වුන්ගේ අරමුණ වෙලා. ඔවුන් සිටි රථයට මාව බලහත්කාරයෙන් පැහැර ගැනීමට තැත් කළත් ඔවුන්ගෙන් බේරී අනුරාධපුර පොලිසියට ළඟා වීමට අපේ කණ්ඩායටම පුළුවන් වීම නිසා ඔවුන්ගේ අරමුණු ඉෂ්ට වුණේ නැහැ. මේ දාමරික ක්‍රියාව පිළිගත් පොලිස් නිලධාරීන් අනුරාධපුරයේ සිට ගල්ලේ නාගොඩ දක්වා ඇති සියලුම පොලිස් ස්ථානවලට අපගේ ආරක්ෂාව ගැන දන්වා නිරුපද්‍රිතව ගාල්ලට පැමිණීමට මග සැලැස්සුවා. ගම්සභාපති තරගය පැවැත්වූයේ 1954 ජූලි 08 වැනි දිනයි. එදින ගාල්ලේ නාගොඩ ගම්සභාවේ සභාපති ධූරයට මා තේරී පත්වුණා. ඒ සමගම ළාබාලතම ගම්සභාපතිවරයා වීමේ ගෞරවය මට හිමිවුණා.


ඒ කාලේ ගම්සභා ඡන්දය ගමට තිබුණ වැදගත් දවසක්. හැම කෙනෙක්ම උත්සාහ කළේ තමන්ගෙ නියෝජිතයා දිනවන්න. වත් පොහොසත්කම් ඇති බලපුළුවන් කාර අය හැමවිමට තමන්ගේ නියෝජිතයා දිනවීම සඳහා නොමසුරුව වියපැහැදම් කළා. දුප්පත් ගැමියන් තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තම නියෝජිතයා දිනවීමට සෑම වෙර වීරියක්ම ගත්තා. ඒ සෑම තරඟයකදීම මට ගමේ දුප්පත් ගැමියන්ගේ සහයෝගය හා ආදරය හිමිවුණා. ඊට පස්සේ තවත් අවුරුදු තුනකින් නැවත පළාත් පාලන මැතිවරණයක් පැවැත්වුණා. ඒ අවස්ථාවේ දී මගේ විරුද්ධකාරයන් උත්සාහ කළේ නැහැ මාව පැහැරගෙන යාමට. නමුත් ඔවුන් ඊට පස්සේ උත්සාහ කළේ මැතිවරණය කඩාකප්පල් කිරීමට තමයි. ඒ කාලේ ජයග්‍රහණය කළ ගම්සභා මන්ත්‍රීවරුන්ගේ ඡන්දයෙන් තමයි ගම්සභාපතිවරයා තෝරාපත් කරන්නේ. මේ කටයුත්තට පළාත් පාලන කොමසාරිස්වරයා අනිවාර්යෙන්ම සහභාගී විය යුතුයි. නමුත් පළාත් පාලන කොමසාරිස්වරයා පැමිණෙන මාර්ගයට විශාල ගහක් කපා දමා ගමනා ගමනයට බාධාකර තිබුණා. මේ විශාල ගස පාරෙන් ඉවත් කරන්න සති දෙකක් පමණ කාලයක් ගත වුණා. 


ගම්සභාපතිවරයා තේරීම දෙවැනි දිනය නියම කළ පළාත් පාලන සහකාර කොමසාරිස්වරයා ඊට පෙර දින නාගොඩ පොලිසියට පැමිණ එහි ලැඟුම්ගෙන පසුදින උදෑසන පොලිස් ආරක්ෂාව සහිතව ගම්සභා කාර්යාලයට පැමිණ ගම්සභාපතිවරණය නිම කළා තියුණු තරඟයකින් මෙවරද දෙවන වරටත් නාගොඩ ගම්සභාවේ සභාපතිවරයා වශයෙන් තේරී පත්වීමට මට අවස්ථාව ලැබුණා. 1955 වසරේ දී පත්කරනු ලැබූ චොක්සි කොමිසන් සභාව ගාල්ලට පැමිණි අවස්ථාවේ දී ගාලු දිස්ත්‍රික්කයේ ගම්සභාපතිවරුන් සමඟ එම කොමිසම ඉදිරියේ යෝජනා ඉදිරිපත් කිරීමට ද මට අවස්ථාව ලැබුණා. ඒ කාලේ සමාදාන විනිශ්චයකාර පදවිය කියලා කියන්නේ ගමක ඉතාම ගෞරවාන්විත තනතුරක්. මගේ නම ඒ තනතුරට යෝජනාවී තිබුණත් මම මාක්ස්වාදියෙකු වීම නිසා ඒ තනතුර මට එජාප ආණ්ඩුවෙන් අහිමි කළා.


1956 අප්‍රේල් 13 වැනි දින නිහඬ විප්ලවයකින් මහජන එක්සත් පෙරමුණ මහජන රජයක් පිහිටවනු ලැබුවා. 1956 මැයි මාසේ 18 වැනි දින මා සමාදාන විනිශ්චකාරවරයකු හා දිවුරුම් කොමසාරිස්වරයෙකු වශයෙන් ගරු අධිකරණ ඇමතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.


1956 ආණ්ඩු පෙරළියෙන් පස්සේ ඇති වුණ ප්‍රධාන වෙනස තමයි රාජ්‍ය භාෂා පනත මගින් සිංහලය රාජ්‍ය භාෂාව බවට පත් කිරීමය. 1958 ජාතිවාදී කෝලාහල පටන් ගැනීමට මේ කාරණය හේතුවක් වුණා. ලංකා සමසමාජ පක්ෂයට හිතවත් ගම්සභාපතිවරයෙකු පමණක් නොවෙයි ලංකා වතු කම්කරු සංගමයේ ගාලු දිස්ත්‍රික් නියෝජිතයා වශයෙන් මා ක්‍රියා කළා. මේ කාලය කම්කරු පන්තියේ ලොකු පිබිදීමක් ඇති වුණ අවධියක්. ලංකා කම්කරු සංගමයේ නියෝජිතයා වශයෙන් කටයුතු කිරීම නිසා ගාලු දිස්ත්‍රික්කයේ වතු පාලකයන් විශාල සංඛ්‍යාවක් මා සමඟ විරුද්ධ වෙලයි හිටියේ. 


ජාතිවාදී කෝලාහල පටන් ගැනීමට දින කිහිපයකට පෙර මගේ සංවිධායකත්වයෙන් තල්ගස්වල වතුයායේ විශාල කම්කරු රැලියක් රොබට් ගුණවර්ධන මහත්තයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා. තවත් රැලියක් උඩුගමදී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූවා. 1958 ජාතිවාදී කෝලාහලත් සමඟ රට පුරාම ඇඳිරිනීතිය ප්‍රකාශයට පත් කරනු ලැබුවා. ඒ සමඟම පොලිසිය ගම්සභාපතිවරුන් පසුපස ලුහුබඳින්නට පටන් ගත්තා. අළුත්ගම් මාලේවනබද්ද ගම්සභාපති ඬේවිට් සිල්වා මහතා එසේ පොලිසිය විසින් අත්අඩංගුවට ගත් ගම්සභාපතිවරයෙක්. ඉන්පසුව ඔහු අතුරුදන් වුණා. ඊට පසු දින නාගොඩ පොලිස් ස්ථානාධිපතිවරයා මා ඇතුළු අපේ ගම් සභාවේ තවත් සාමාජිකයෙකු ද අත්අඩංගුවට ගත්තා. ආචාර්ය එන්. එම්. පෙරේරා මහතාගේ මැදිහත්වීමෙන් එදා මට එළියට එන්න ලැබුණා. 


1956 අනිත් සියලු අංශ වගේම සමූපකාර අංශයත් ප්‍රතිසංවිධානය වුණා. මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුවේ ආහාර හා කෘෂිකර්ම ඇමතිවරයා වූ පිලිප් ගුණවර්ධන මහතා විවිධ සේවා සමූපකාර ක්‍රමය හඳුන්වා දෙනු ලැබුවා. අලුත් තානායම්ගොඩ සමූපකාර කඩ සමිතියේ සභාපතිවරයා වශයෙන් ක්‍රියා කළ මගේ පියා ඒ ධූරයෙන් විශ්‍රාම ගැනීමෙන් පසු මාපලගම අලුත් තානායම්ගොඩ විවිධ සේවා සමූපකාර සමිතියේ සභාපති ධූරයට ද මාව තෝරා ගත්තා. ඒ තුළින් සමූපකාර ව්‍යාපාරය ගැන ද මට හොඳ පළපුරුද්දක් හා දැනුමක් ලබාගැනීමට පුළුවන් වුණා.

 

 


තවත් කොටසක් ලබන සතියට. 

 

 

 

 

 

මහින්ද ආරියවංශ