මිතුරන්ගේ වැරැද්දට සමාව ගත් බණ්ඩාරනායක


 

සෝල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ 1947 දී පැවැති මෙරට ප්‍රථම පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් ඩී. ඇස්. සේනානායක මහතා විසින් අභිනවයෙන් පිහිටුවන ලද එ.ජා.ප.ය ජයගෙන තිබුණේය. ඒ අනුව එ.ජා.ප නායක ඩී. ඇස්. සේනානායක මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත්වූ අතර 13 දෙනෙකුගෙන් සමන්විත ඇමැති මණ්ඩලයක් ද ඔහු විසින් පත්කර ගන්නා ලදී. 


එම ප්‍රථම කැබිනට් මණ්ඩලයේ සෞඛ්‍ය සහ පළාත් පාලන ඇමැති ධුරය මෙන්ම පාර්ලිමේන්තුවේ සභානායක ධුරයද උසුලන ලද්දේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතා විසිනි. මුල් කාලයේදී තම අමාත්‍ය ධුරයට අයත් සේවා කටයුතු ප්‍රශස්ත මට්ටමින් ඉටු කළ හැකි වුවද වසර දෙක තුනක් ගතවන විට තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතින බවක් බණ්ඩාරනායක මහතාට පෙනී ගියේය.


මෙරට සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ අභිවෘද්ධියට අදාළව ඒ මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකා කීපයක්ම ලොක්කා විසින් ප්‍රතික්‍ෂේප කර තිබුණේ මේ අතරතුරය. ඊටත් අමතරව ඇතැම් කැබිනට් මණ්ඩල සාමාජිකයන් වෙතින් තමන්ට යම් යම් කෙනෙහිලිකම් සිදුවන බවක්ද ඔහුට හැඟීගොස් තිබුණේය.


මේ විදියට නං මට තව දුරටත් ආණ්ඩුවේ ඉන්න බැරි වෙන හැඩයි.. ළඟදීම මට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා.” යි සිතූ බණ්ඩාරනායක මහතා සුදුසු වෙලාවක් එළඹෙන තුරු කල්යල් බලමින් සිටියේය. විශේෂයෙන්ම එතුමාගේ සිතට බලවත් වේදනාවක් වූයේ අග්‍රාමාත්‍යවරයා තම පුත්‍රයා වූ ඩඞ්ලි සේනානායකටත්, ඥාති පුත්‍රයෙකු වූ සර් ජෝන්ටත් වැඩි සැලකිලි දක්වමින් සෙසු අමාත්‍යවරුන්ට අඩු ලංසුවෙන් සැලකීමය.


ආණ්ඩුවේ ඇමැතිවරයෙකු මෙන්ම සේනානායක පවුලේ හිතවතෙකු වූ සර් ඔලිවර් ගුණතිලක තමන්ට හීන් නූලෙන් විනකටින බවටද බණ්ඩාරනායක මහතා සැක කළේය. තත්ත්වය වඩාත් උග්‍ර අතට හැරීමේ ක්‍ෂණික ප්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක තම ඇමැති ධූරයද අතහැරදීම, 1951 ජුලිමස 12 වැනිදා ඒ. පී. ජයසූරිය, ඩී. ඒ. රාජපක්‍ෂ, ජයවීර කුරුප්පු, ඩී. ඇස්. ගුණසේකර සහ ජෝර්ජ් ආර්. ද සිල්වා යන මන්ත්‍රීවරුන්ද සමග විපක්‍ෂයේ අසුන් ගැනීමය.


බණ්ඩාරනායක ආණ්ඩුවෙන් අස් වී අලුත් දේශපාලන පක්‍ෂයක් හදනවා...ය රටපුරා දූෂමාන ආරංචියක් පැතිර ගියේ මේ අතරතුරය. එය කිසිසේත්ම අසත්‍යයක් නොවූ අතර එහි ඊළඟ ප්‍රතිඵලය වූයේ බණ්ඩාරනායක මහතාගේ ප්‍රධානත්වයෙන් 1951 සැප්තැම්බර් මස 2 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නමින් නව පක්‍ෂයක් ආරම්භ කිරීමය. අත පක්‍ෂ ලාංඡනය ලෙස යොදා ගනිමින් ඇරඹුණු නව දේශපාලන පක්‍ෂයේ අරමුණ වූයේ මීළඟට පැවැත්වෙන මහ මැතිවරණයේදී පාලක එ.ජා.පයට ප්‍රබල සටනක් දී ඔවුන්ගේ බලය යම් තරමකට සීමා කිරීමය.


මේ අතර ඩී. ඇස්. සේනානායක අගමැතිතුමා 1952 මාර්තු මස 21 වැනිදා කොළඹ ගාලු මුවදොර පිටියේදී අසුපිටින් වැටී මියගොස් තිබුණේ කිසිවකු හෝ නොසිතූ පරිදිය ඒ වන විට බණ්ඩාරනායක මහතා ආණ්ඩුවත් සමඟ රැඳී සිටියා නම් ඔහුට අනිවාර්යයෙන්ම මීළඟ අගමැති ධූරය හිමිවන බව බොහෝ දෙනෙකුගේ අදහස විය.


“බණ්ඩට වාසනාවක් නෑ. දැන් ඉතින් එයාට කවදාවත් මේ රටේ අගමැති වෙන්න බෑ...”යි ඔවුන් කියා සිටියේ ඔලොක්කුවට සිනාසෙමිනි.


මේ වන විට පාර්ලිමේන්තුවේ සභානායක ධුරය ඉසිලූ සර් ජෝන් කොතලාවල ඇමැතිවරයා අග්‍රාමාත්‍ය ධූරය තමන්ට හිමිවනු ඇතැයි දැඩි බලාපොරොත්තුවකින් සිටියේය. 


එහෙත් කුමන හෝ හේතුවක් නිසා අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමිවරයා ඩී. ඇස්. සේනානායක මහතාගේ පුත් ඩඞ්ලි සේනානායක රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කළේය. කෙසේ වෙතත් නව අගමැතිවරයා එම ධූරයට පත් වී ඉතා සුළු කාලයක් තුළ පාර්ලිමේන්තුව විසිරුවා හැරියේ ජනමතය උරගා බැලීමේ අදහසිනි. 


මේ වන විට බණ්ඩාරනායක මහතාගේ ශ්‍රී.ල.නි.ප.ය පැවතුණේ ළදරු තත්ත්වයකය. මුදල් හදල් අතින්ද බණ්ඩාරනායකට නොයෙකුත් අපහසුකම් තිබිණි. කෙසේ වෙතත් ඔහු අමාරුවෙන් මුදල් සපයාගෙන ශ්‍රී.ල.නි.ප යෙන් අපේක්‍ෂකයන් 48 දෙනෙකු ඉදිරිපත් කර තිබුණේය. මේ අතර ශ්‍රී.ල.නි.පයට දෙපැත්තකින් පහර වැදුණේය. එසේ වූයේ පාලක එ.ජා.පය මෙන්ම එවකට පැවැති විරුද්ධ පක්‍ෂය වූ ල.ස.ස.ප.ය. සහ කොමියුනිස්ට් පක්‍ෂය ද බණ්ඩාරනායක මහතා පොදු සතුරෙකු ලෙස සිතා කටයුතු කළ බැවිනි. 


1952 මැයි මස 24, 26, 28 සහ 30 යන දිනවල පැවැති මහ මැතිවරණයෙන් ශ්‍රී.ල.නි.පයට ජයගත හැකිවූයේ මන්ත්‍රී ආසන 9ක් පමණි. මන්ත්‍රී ආසන 57ක් දිනූ එ.ජා.පයට ආණ්ඩු බලය ලැබුණු අතර බණ්ඩාරනායක මහතා විරුද්ධ පක්‍ෂයේ නායකයා වශයෙන් පත්විය. මන්ත්‍රී ආසන 09 ක් ලබාසිටි ල.ස.ස.ප නායක ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මුලින් ඒ පිළිබඳව දැඩි විරෝධයක් දැක්වූවද පසුව බණ්ඩාරනායක මහතාට ඔහු සහයෝගය දැක්වූවේය.


කෙසේ වෙතත් නව ආණ්ඩුවේ අග්‍රාමාත්‍යවරයා වූ ඩඞ්ලි සේනානායක මහතා 1953 පැවැති හර්තාලයෙන් පසු සෞඛ්‍ය හේතු මත එම තනතුර අත් හැරියෙන් ඉන් අනතුරුව අගමැති අසුනට පත් වූයේ සර් ජෝන් කොතලාවලය. තරමක දඩබ්බර පාලකයෙකු වූ ඔහු බණ්ඩාරනායක මහතාගේ ශ්‍රීලනිපයට බොහෝ සෙයින් බාධා කළේය.


මේ අතර 1954 අප්‍රේල් මාසයේ දී මහා බි්‍රතාන්‍යයේ දෙවැනි එළිසබෙන් මහ රැජින ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණේය. එතුමියට ඒ සඳහා ආරාධනා කර තිබුණේ අග්‍රාමාත්‍ය සර් ජෝන් කොතලාවල විසිනි.
මහ රැජිනගේ ආගමනය වෙනුවෙන් මංමාවත්, පාලම් සහ රජයේ ගොඩනැගිලි පමණක් නොව මහ රැජින ගමන් කිරීමට නියමිත මඟ දෙපස පිහිටි පෞද්ගලික නිවාස පවා අතිවිශාල මහජන මුදල් කන්දරාවක් වැය කරමින් අලුත්වැඩියා කිරීමට පියවර ගෙන තිබුණේ මේ අතරතුරය.


මේ මොන නාස්තියක්ද? මේ සල්ලිවලින් රටේ ජනතාවගේ ජීවන බර අඩු කරන්න තිබුණනේ... යි කී විරුද්ධ පක්‍ෂයට සම්බන්ධ දේශපාලන පක්‍ෂ සහ පොදුජන සංවිධාන ඒකරාශී වී රැජිණගේ පැමිණීමට විරෝධය පළ කරන ලද අතර ශ්‍රීලනිපයද ඊට එරෙහිව අත්සන් දස ලක්‍ෂයකින් සමන්විත යෝධ පෙත්සමක් අග්‍රාණ්ඩුකාරවරයා වෙත භාරදීමට කටයුතු කර තිබුණේය. එම යෝධ පෙත්සම රජ ගෙදරට ගෙන ගොස් බාර දී තිබුණේ වෑන් රියක පටවා ගෙනය. මේ අතර රැජිණ සහ එඩින්බරෝ ආදිපාදවරයා පැමිණීමට නියමිත දිනයේ කොළඹ නගරය පුරා කළු කොඩි එසවීමට ල.ස.ස.ස.පය ඇතුළු වාමාංශික පක්‍ෂ පියවර ගෙන තිබුණද ආණ්ඩුව පොලිසිය යොදවා එම කොඩි කපා දැමූ නිසා එම කළුකොඩි එසවීමේ වැඩ පිළිවෙළ අසාර්ථක විය.


ඔයින් මෙයින් සිදුවූයේ අගමැති සර් ජෝන් කොතලාවල මහතා බණ්ඩාරනායක මහතා ඇතුළු ශ්‍රීලනිපය සමඟ වෛර බැඳ ගැනීමය. විශේෂයෙන්ම ඊළඟ මහ මැතිවරණයේදී ශ්‍රී.ල.නි.පය තමන්ට අභියෝගයක් විය. හැකි බවට සැකයක් සර් ජෝන්ගේ සිත තුළ පැවතුනද ඔහු ඒ බවක් නොපෙන්වා ඔය මන්ත්‍රීවරුන් නමදෙනාට පුළුවන්ද ආණ්ඩුවක් පිහිටුවන්න...?”යි අසමින් ප්‍රසිද්ධියේ සමච්චල් කළේය.

 

 


මතු සම්බන්ධයි.

 

 

 

 

 

 

 


නිහාල් ජගත්චන්ද්‍ර