මියගිය පසු වළලන තැන කලින් කියයි


 

හිටපු කතානායක හියු ප්‍රනාන්දු මහතා ගැමිකම ගැමි සුවද හොඳින් හඳුනාගෙන සිටි දේශපාලනඥයෙක් වශයෙන් හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ. නයිනමඩමේ සිට වෙන්නප්පුව දක්වා කිලෝ මීටර් 4 - 5ක් දුර සෑම දිනකම ඇවිදගෙන යාම ඔහු මිය යනතෙක්ම පුරුද්දක් වශයෙන් කරගෙන ගියේය.


කොට කලිසමක් ඇඳ ටී ෂර්ට් එකකින් සැරසී බස්තමක්ද අතින්ගෙන හියු ප්‍රනාන්දු මහතා ඇවිදින ආකාරය ප්‍රදේශයේ කොයි කාටත් සුපුරුදු දසුනකි. එසේ පයින් ඇවිදගෙන යන අතරවාරයේ දන්නා හඳුනන අයෙක් දුටුවොත් මදක් නැවතී කතාබහකර යාමට ඔහු කිසිදු දිනක අමතක කර නොමැත.


ලොකු ලොක්කන් ඇසුරු කිරීමට වඩා ඔහු කැමැත්තක් දක්වා ඇත්තේ පොඩි මිනිසුන් ආශ්‍රය කිරීමටය. නයිනමඩමේ කඩ මණ්ඩිය ඔහුගේ හොඳම නවාතැන්පොළ බවට පත්ව තිබුණේද ඒ නිසාමය. හියු ප්‍රනාන්දු මහතාගේ අපූරු ජීවන තතු ගැන බොහෝ කරුණු කාරණා ගැන දන්නා කෙනෙක් නයිනමඩමේ පදිංචිව සිටී.


ඔහු නමින් ඒ. නිමල් ප්‍රනාන්දු මහතාය. අපි ඔහුගේ හඬට මුලින්ම සවන් දෙමු. 


“හියු ප්‍රනාන්දු මහත්තයා අපි පොඩි කාලයේ ඉඳලම හොඳට දැන හදුනන අපේ පවුල් වල ළඟම හිතවතෙක් අපි දන්න කාළේ ඉඳළම ඔහු හොඳ ගොවියෙක්. හියු මහත්තයාටත් ඒ කාලේ කුඹුරු තිබුණා. හියු මහත්තයාගේ ගෙවත්තේ ඔහු හොඳ එළවළු ගොවිපොළක් පවත්වාගෙන ගියා. ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් වෙලා ඉන්න කාළේ හියු මහත්තයා කොට කලිසමක් එහෙම හැඳ ගෙන නිතර ඔහුගේ ගොවිපළේ වැඩ කටයුතුවල නිරත වී සිටීම ඒ කාලයේ දක්නට ලැබුණු සුලභ දසුනක්.


මේ ගොවිපොළෙන් නෙළා ගන්නා අස්වැන්න හියු මහත්තයා පාරේ යන ඔහු දන්නා හදුනන අහිංසක මිනිස්සුන්ට දුන්නා. ඔහු මේ වැඬේ මා දන්නා කාලයක ඉඳලා මිය යන කරුම කළා. ඔහු මෙයින් ලොකු ආත්ම තෘප්තියක් ලබන බව මට නිතරම කියා තිබෙනවා. 


හිටපු කතානායකවරයා ඔහු කෙදිනක හෝ මිය ගියාට පස්සේ භූමදානය කළ යුතු තැන තෝරාගෙන ඇත්තේ මිය යාමට වසර දෙක තුනකට විතර කලින්ය.


ඔන්න මම දවසක් කොළඹ ඉඳලා වැඩ ඇරිලා නයිනමඩමේ හණතොටුපොළ ළඟ බස් හෝල්ට් එකෙන් බැහැලා ගෙදර යනකොට. මිනී පිට්ටනිය ළඟට වෙලා හිටියා. ආ නිමල් කොහොමද බං කියා අහලා වරෙන්කෝ පොඞ්ඩකට මිනී පිට්ටනිය ඇතුළට යන්න කියා කථා කළා. “මොකටද හියු මහතත්යා” කියා මා විමසුවා “මෙහෙ වරෙන්කෝ උඹට කියලා මට පොඩි වැඩක් කරගන්න තියනවා” කියා හියු මහත්තයා කියා මිනී පිට්ටනිය ඇතුළට ගියා. මාත් ඔහු පස්සෙන්ම ගියා යැයි නිමල් ප්‍රනාන්දු මහතා කීය.


ඊළඟට මොකද වෙන්නේ කියන එක ගැන නිමල් මහතාගේ හිතේ ඇති වී ඇත්තේ ලොකු කුතුහලයකි. ඒ හියු මහත්තයා කරන්නට යන දේ ගැන නිමල් මහතාට ආයෙත් ප්‍රශ්න කිරීමටද නොහැකිය. 


හියු මහත්තයා මිනී පිට්ටනියේ කොනක තිබූ අගුරු කැටයක් පෙන්වලා. “නිමල් ඔය අඟුරු කැටේ අරන් මෙන්න මෙතන සලකුණක් දාපං” කියා මට මිනී පිට්ටනියවටා බැඳ තිබූ තාප්පයේ තැනක් පෙන්වා කිව්වා. මමත් කිසිම කථාබහක් නැතිව ඒ තැන හියු මහත්තයා කිව්ව විදියටම සලකුණු කළා මිනී පිට්ටනියට ඇතුළු වෙන ප්‍රධාන ගේට්ටුව ආසන්නයේම තමා මට මේ විදිහට සලකුණු කරන්න කියා හියු මහත්තයා උපදෙස් දුන්නේ. “ඔන්න නිමල් හොඳට මතක තියා ගනින් මාව මැරුණම වළලන්න ඕනෑ මෙතැනයි තේරුණාද?”


මගේ දරුවන්ටත් මම මේ ගැන කියනවා උඹත් මම මැරුණදාට දරුවන්ට මේ ගැන මතක් කරන්න ඕනෑ. මම මැරෙන කොට ඔය සලකුණ මැකිලා තියෙන්න පුළුවනි. ඒත් නිමල්ට මම පෙන්නපු තැන අමතක වෙන්නේ නැහැනේ කියා හියු මහත්තයා කිව්වා. මහත්තයා මැරෙන්න කලින් මම මැරුණොත් මොකද කරන්නේ කියා කිව්වාම හියු මහත්තයා “නැහැ බං උඹට කලින් මම මැරෙනවා” කියා ඔහු සිනාසෙමින් කිව්ව හැටි මට අදටත් මතක් වන බව නිමල් ප්‍රනාන්දු මහතා පවසයි. 


හියු ප්‍රනාන්දු මහතා මියගියේ හිටපු ජනාධිපතිවරයෙක් වන මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් කතරගම සිට කොළඹට පැමිණි පාද යාත්‍රාවට සහභාගි වී සිටියදී හදිසියේ රෝගාතුරවීමෙන් පසුවය.


හියු ප්‍රනාන්දු මහතා මිය ගිය පසු භූමදානය කළේ ඔහු මිය යාමට වසර දෙක තුනකට විතර කලින් පෙන්වා තිබූ ස්ථානයේදීමය.
පාද යාත්‍රාවේ නිරතව සිටියදී හියු ප්‍රනාන්දු මහතා හදිසියේ රෝගාතුර වී මිය යාමේ මෙන්ම භූමිදානය කර තිබූ ඔහුගේ සිරුර ඊට වසර කිහිපයකට පසු ගොඩගැනීමට සිදුවීම ගැන තොරතුරුද ඔබට ඉදිරියේදී කියවීමට ලැබෙනවා ඇත. 


වෙන්නප්පුව වයික්කාලේ පදිංචි බොස්කෝ කරුණාරත්න මහතා විශ්‍රාමික බැංකු නිලධාරියෙකි. හියු ප්‍රනාන්දු මහතා සහ බොස්කෝ මහතා අතර හිත මිත්‍රකමක් ඇති වූ ආකාරය ද හරිම අපූරුය.


මේ ඒ ගැන බොස්කෝ කරුණාරත්න මහතා කියන කථාවයි.


මට දැන් දිනවකවානු කියන්න තරම් මතයක් නැහැ. මම දවසක් අසනීප වෙලා බෙහෙත් ගන්න වෙන්නප්පුවට ගියා. බෙහෙත් අරගෙන ගෙදරට එන්න හදනකොට හොඳටම රෑ බෝ වෙලා. ගෙදර එන්න බස් එකක් නැහැ. අද වාගේ නොවෙයි, ඒකාලේ රෑ වෙද්දී බස් ධාවනය වෙන්නේ බොහොම කලාතුරකින්. ඒ හින්දා මම පයින්ම ගෙදර එන්න පිටත්වුණා. ටික දුරක් එද්දී කාර් එකක් එනවා දැක්කා මම නිකමට වගේ අත දැම්මා කාර් එක මගේ ළඟ නැවැත්තුවා කාර් එකේ හිටියේ හියු ප්‍රනාන්දු මහත්තයා බව මම හඳුනාගත්තා. මම ටිකක් බය වුණා. ඔහු විතරයි කාර් එකේ හිටියේ ‘කොහෙද මේ තනිපංගලමේ මහ රෑ යන්නේ’ කියා හියු ප්‍රනාන්දු මහත්තයා මගෙන් ඇසුවා. මම විස්තරේ කිව්වා. මාව කාර් එකේ නංගාගෙන ගෙදරටම එක්කගෙන ආවා. හියු මහත්තයාගේ නිවස පහුකරගෙන ගොඩක් දුර අපේ ගෙදරට එන්න ඕනෑ. මෙය මම කිසිසේත් බලාපොරොත්තු නොවූ දෙයකි. එදා ඉඳන් මිය යනකම්ම හියු මහත්තයා මගේ හොඳ මිත්‍රයෙක් වුණා.”


“මගේ මතකයේ තියන තවත් කථාවක් කියන්නම්.


ස්ටේෂන් එක අලුත්වැඩියා කටයුත්තක් කරන කාලේ ඒ වැඬේ බොහොම මන්දගාමීව සිදු කෙරෙන බවට ඔහුට ජනතාව පැමිණිලි කර තිබෙනවා. දවසක් හියු මහත්තයා සරමක් කමිසයක් හැඳගෙන තනියම මේ ගැන හොයා බලන්න ගිහින් තියෙනවා. මොකද වැඬේ පරක්කු කියා ඔහු සේවකයින්ගෙන් විමසා තිබෙනවා. එතකොට හියු මහත්තයා වෙළඳ උප ඇමැති. ඒත් සේවකයෝ හියු මහත්තයා හදුනන්නේ නැහැ. “තමුසෙට මොකද ඒ වගක්” කියා අහලා. මම හියු ප්‍රනාන්දු කිව්වාම සේවකයෝ හොඳටම බය වෙලා. සමාව ඉල්ලා තිබෙනවා. ඔහු හිනාවෙලා “වැඬේ ඉක්මනට ඉවරයක් කරනවා” කියා එන්න ඇවිත්. කොහොම හරි ඒ සිද්ධියෙන් පස්සේ වැඬේ බොහොම ඉක්මනට ඉවර කරලා තිබෙනවා. යැයි බොස්කෝ මහතා කීය. 


තවත් කොටසක් ඊළඟට කියවමු.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ඡායාරූපය : මාදම්පේ එස්. හේරත්