මුදල් ඇමැතිගේ ඉල්ලා අස්වීම


 

අය-වැය පුරාණයෙන්-02

දේ ශපාලන ක්ෂත්‍රයේ ඉරණම විසඳන ප්‍රධානම සාධකය බවට පත්ව තිබුණේ සහල් සලාකය බව කවුරුත් දැන සිටි කරුණකි. සිරිමාවෝ රජයේ මුදල් ඇමතිවරයා වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායක මහතා 1962 දී ඉදිරිපත් කළ අයවැයෙන් සලාක සහල් සේරු දෙකෙන් සේරු භාගයක් අඩුකිරීමට යෝජනා කළෙන් විශාල අර්බුදයක් නිර්මාණය වූවේය. එවකට උප මුදල් ඇමතිවරයා වූ මුල්කිරිගල මන්ත්‍රී ජෝර්ජ් රාජපක්ෂ මහතා එයට විරෝධය පළ කරමින් ඉල්ලා අස්විය. අවසානයේ මුදල් ඇමති ෆීලික්ස්ට ඉල්ලා අස්වීමට සිදු විය. එම පුරප්පාඩුවට පත්වූවේ රජයේ දෙවැනියා වූ සභානායක සී. පී. ද සිල්වා මහතාය. 


ඔහු ද සාර්ථක නොවූයෙන් මුදල් ඇමති තනතුරට පී. බී. ජී. කළුගල්ල මහතාත් මාස කීපයක ඇවෑමෙන් ටී. බී. ඉලංගරත්න මහතාත් පත් කරගනු ලැබීය. අවසානයේ මෙම මුදල් ඇමති මාරුව නතරවූවේ 1964.6.11 දින ශ්‍රී.ල.නි.ප - ල.ස.ස.ප සභාග රජය පිහිටුවා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතා එම ධුරය භාර ගැනීමෙනි. මෙම ලිපිය ආරම්භයේ සඳහන් කළ කතාව ඇන්. ඇම්. කළේ 1964 අයවැය විවාදයේදී කතා කරමිනි. එම රජය පැවති වසර හතර හමාර ඇතුළත මුදල් ඇමතිවරුන් පස් දෙනෙක් කටයුතු කිරීම ඉතිහාසයට එක් වූ සිදුවීමකි. එහෙත් එම රජය පරාජය වී 1965 එ.ජා.පය නැවත බලයට පැමිණි අතර එහි මුදල් ඇමති වූවේ යහපත් මිනිසෙකු සහ ප්‍රකට අධ්‍යාපනඥයෙකු වූ යූ. බී. වන්නිනායක මහතාය. වසර පහටම අයවැය ලේඛන පහක්ම ඉදිරිපත් කිරීමේ හැකියාව ඔහුට ලැබුණි. සමස්ත ලාංකික ජනතාවටම සතියකට වරක් නොමිලයේ සහල් සේරුවක් ලබාදීමට එම මුදල් ඇමතිවරයා පියවර ගත්තේය. එහෙත් එම රජයට ද ජනතාව ප්‍රතිචාර දැක්වූවේ පුදුමාකාර අයුරිනි. එහි අගමැතිවරයා සහ දෙවැන්නා තම ආසන දිනා සිටි නමුදු එම රජයේ ඇමතිවරු එකොළොස් දෙනෙක් තම අසුන්වලින් පරාජය වූහ. මුදල් ඇමතිවරයාද නවකයෙකු අතින් පරාජය වූ බව සටහන්ව තිබේ. 


එක් දහස් නවසිය හැත්තෑවේ බලයට පත් සිරිමාවෝ බණ්ඩාරනායක රජයේ මුදල් ඇමතිවරයා වූවේ නැවතත් ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා මහතාය. ඔහු 1970 අවසානයේදී ඉදිරිපත් කළ අයවැය ලේඛනය මහත් විවාදයට ලක්විය. ඒ එහි යෝජනා කර තිබුණු රුපියල් පනහේ සහ සියයේ නෝට්ටු අවලංගු කිරීම ගැනය. මුදල් සඟවා තැබීම නැවැත්වීම සඳහා එම පියවර ගත් බව කියවුණි. රටේ සංසරණයේ තිබුණු මුදල් නෝට්ටු අවලංගු කළ නිසා බැංකු මගින් ඒවා මාරුකර නව නෝට්ටු ලබාගත යුතුවිය. ඒ ගැන නොයෙක් කටකතා පැවතුණු බව අපට මතකය. හවුල් ආණ්ඩුවක් ඇති කිරීමේදී අදාළ පක්ෂ අතර ඇතිවෙන බද්ධ ප්‍රේමය ටික කාලකින්ම වියැකී යාම බොහෝ විට සිදුවේ. 1970 සභාග රජයට මුහුණ දීමට සිදු වූවේද එම තත්ත්වයටය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ලංකා සමසමාජ පක්ෂය අතර උග්‍ර මතභේද ඇතිවිය. ඇන්. ඇම්. ප්‍රසිද්ධියේම කියා සිටියේ තම අයවැය ලේඛන මගින් නියම කරන ලද අධික බදු නිසා කෝපයට පත් ධනපතියන් කුමන්ත්‍රණය කර තමා ඇමතිධුරයෙන් පහකිරීමට මග පෑදු බවයි. 1977 මහා මැතිවරණයෙන් එම රජය පරාජයට පත්විය.


අති බහුතර බලයකින් ආණ්ඩු බලය ලබාගත් ජේ. ආර්. ජයවර්ධන අගමැතිවරයා තම මුදල් ඇමතිවරයා ලෙස පත් කර ගත්තේ කලින් ශ්‍රී.ල.නි.ප ප්‍රබලයෙකු වූ රොනී ද මැල් මහතාය. දාහත් වසරක් දිගටම පැවති එම රජයේ අයවැය ලේඛන එකොළහක් ඉදිරිපත් කිරීමේ භාග්‍ය ලැබීමට රොනී ද මැල් මහතා සමත්විය. එයද වාර්තාවක් විය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ යහපාලන රජයේ ආරම්භක මුදල් ඇමතිවරයා වූවේ රවි කරුණානායක මහතාය. ටික දිනකට පසු මංගල සමරවීර මහතා එම තනතුරට පත්විය. පසුගිය වසරේ අයවැය ඔහු ඉදිරිපත් කරන ලද අතර මෙම මාර්තු පස්වැනි දින ඒ මහතා ඉදිරි වසර සඳහා අයවැය ලේඛනයක් ඉදිරිපත් කිරීමට නියමිතය.


අයවැය ඉදිරිපත් කිරීමට හා එය සම්මත කිරීමට ඇති කාල පරිච්ඡේදයේදී එම ඡන්ද බලය හිමි අයගේ වටිනාකම බොහෝ වැඩිය. මේ දිනවලද එවැනි ගණන් ඉස්සීම් බහුලව ඇසේ. තමන්ගේ කලකිරීම්, නොරුස්නාකම් කියන්නේ හඬාවැලපෙන්නේ එවැන්නන්ය. එමෙන්ම වැදගත් තවත් කරුණකි. නිදහසෙන් පසු ඉදිරිපත් කළ සෑම අයවැයකින්ම සංවර්ධනයේ අරුණාලෝකය වෙත ගමන් කිරීමේ උපාය උපක්‍රම සහ සංවර්ධන ඉලක්ක අපි අසා ඇත්තෙමු. එහෙත් එම ඉලක්කවලට සමීපවීමට අපට හැකියාව ලැබී නැත. අප සිතා බැලිය යුත්තේ මේ ගැනය. මෙසේ වන්නේ කාගේ වරදින්ද? ජනතාවගේ පින් මදවීම නිසාද? ඉදිරි අනාගතයේදීවත් සංවර්ධනයේ ක්ෂේමභූමියට ළඟාවීමේ බලාපොරොත්තුව ඇතිව ජීවන බරින් මිරිකී කාන්තාරවාසීන් මෙන් දිවි ගෙවන හුදී ජනයා අපේක්ෂා සහිතව බලා සිටිති.

සෝමසිරි වික්‍රමසිංහ
ඡායාරූප : අන්තර්ජාලයෙනි