මුළු රටම එක මිටට ගන්නා ජනාධිපතිවරණය


 

 

  • බලසම්පන්න අපේක්‍ෂකයින් තිදෙනෙක් තරඟ කරන ලද අවස්ථාවක 50% වැඩි ප්‍රමාණයක් මුල්වටයේදී කිසිවකුට ලබාගත නොහැකි වුවහොත් අපේක්‍ෂකයින් අතරින් මුල්තැන්වල සිටින දෙදෙනා හැර සෙසු අපේක්‍ෂකයින්ගේ ඡන්ද ඉවත් කර දෙවැනි මනාපය ගණන් කරනු ලබයි. එසේ ගණන් කරනු ලැබූ පසුද 50%දෙදෙනාගෙන් කිසිවකුගේ හෝ ඉක්ම නොවන්නේ නම් තුන්වැනි මනාපයද ගණනය කරනු ලබයි. එවිටද 50% නොයික්ම වන්නේ නම් නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුත්තේය. සංකීර්ණ වූ මේ ක්‍රමය තුළ මෙම තත්ත්වයන් පසුගිය ජනාධිපතිවරණ හතේදීම අවසාන නොවූයේය.

 

ශ්‍රී ලංකවේ පැවැත්වෙන 08 වැනි ජනාධිපතිවරණයට  රට සූදානම් වෙයි. ලංකාව ඡන්ද කොට්ඨාසවලට බෙදා එක් එක් ඡන්ද කොට්ඨාසයට මන්ත්‍රීන් තෝරා යැවීමට 1931 සිට මෙරට ජනතාව ලැබූ අත්දැකීම ප්‍රථම වරට වෙනස් වූයේ ජනාධිපතිවරණය නිසාය. ජනාධිපතිවරණයකදී සමස්ත ශ්‍රී ලංකාවම එක් ඡන්ද කොට්ඨාසයක් බවට පත්වන අතර සමස්ත ශ්‍රී ලංකා වාසී ඡන්ද දායකයින්ම එක් පුද්ගලයකු තමන්ගේ ජනාධිපති ලෙස තෝරා පත් කර ගනු ලබයි.


1972  ජනරජ ව්‍යවස්ථාව පරිච්ඡින්න කිරීමෙන් පසුව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් 1978 දී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කරගත් අතර එම ව්‍යවස්ථාවේ අන්තර්කාලීන විධිවිධානවලට අනුව 1978 පෙබරවාරි 04 වැනි දින ජේ.ආර්. ජයවර්ධන මහතා ප්‍රථම විධායක ජනාධිපති තනතුරට පත්වූයේ ජනාධිපතිවරණයකින් තොරවය. 
1978 ව්‍යවස්ථාවේ 30 (2) ව්‍යවස්ථාව අනුව ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ නිලකාලය අවසන් විය යුතුව තිබුණේ වසර 06 කට පසුවය. එනම් 1984 පෙබරවාරි 04 වැනි දිනටය. නමුත් 1978 ව්‍යවස්ථාව 1982.08.26 දින තුන්වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන එනු ලැබූ අතර ඒ අනුව ජනාධිපතිවරයා තෝරා පත්කරගැනීමෙන් අවුරුදු 04 පසුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කළ හැකි විය. 


එවන් අවස්ථාවක ජනාධිපතිවරයකු තෝරා ගැනීම සඳහා මැතිවරණ කොමසාරිස්වරයා විසින් ජනාධිපතිවරණයක් පැවැත්විය යුතුය. 1982 ඔක්තෝබර් 20 වැනිදා ප්‍රථම ජනාධිපතිවරණය පවත්වන ලද්දේ ඒ අනුවය.


සර්වජන ඡන්දය ලැබූ 1931 සිටම මැතිවරණවලට සහභාගි  වෙමින් තමන් අභිමත අපේක්‍ෂකයාට ඡන්දය දීමේ හුරුව ඇතිව සිටි ශ්‍රී ලංකික ජනතාවට ජනාධිපතිවරණය අලුත් අත්දැකීමක් විය. මුළු රටම එකම ඡන්ද කොට්ඨාසයක් ලෙස කටයුතු කිරීමත් එකම ස්ථානයකදී ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා භාරගනු ලැබීමත් විශේෂිත  තත්ත්වයකි.
එමෙන්ම තමන් කැමති පුද්ගලයා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කර  තවත් මනාප දෙකක් ලකුණු කළ හැකි වීමත් තවත් විශේෂ ලක්‍ෂණයකි. අපේක්‍ෂකයින් දෙදෙනකුට වැඩියෙන් නාම යෝජනා දුන්විට වඩාම කැමති පුද්ගලයාට අංක 1 සලකුණු කොට දෙවැනි තුන්වැනි අනුපිළිවෙලින් අනෙක් අපේක්‍ෂකයින් දෙදෙනෙකුට ඡන්දය දිය හැකි වේ.  මනාපය පාවිච්චි නොකොට එක් පුද්ගලයකුට පමණක් ඡන්දය දෙනු ලබන්නේ නම් අභිමත පුද්ගලයාට හිමි සලකුණ ඉදිරියේ ඇති කොටුවේ කතිරය සලකුණු කළ හැකිය.


ජනාධිපති පදවියට පත්වීමට නම් ප්‍රකාශිත ඡන්ද ප්‍රමාණයෙන් 50%කට වැඩියෙන් එකක් හෝ ලබාගත යුතුය. 


බලසම්පන්න අපේක්‍ෂකයින් තිදෙනෙක් තරඟ කරන ලද අවස්ථාවක 50% වැඩි ප්‍රමාණයක් මුල්වටයේදී කිසිවකුට ලබාගත නොහැකි වුවහොත් අපේක්‍ෂකයින් අතරින් මුල්තැන්වල සිටින දෙදෙනා හැර සෙසු අපේක්‍ෂකයින්ගේ ඡන්ද ඉවත් කර දෙවැනි මනාපය ගණන් කරනු ලබයි. එසේ ගණන් කරනු ලැබූ පසුද 50%දෙදෙනාගෙන් කිසිවකුගේ හෝ ඉක්ම නොවන්නේ නම් තුන්වැනි මනාපයද ගණනය කරනු ලබයි. එවිටද 50% නොයික්ම වන්නේ නම් නැවත ජනාධිපතිවරණයක් පැවැත්විය යුත්තේය. සංකීර්ණ වූ මේ ක්‍රමය තුළ මෙම තත්ත්වයන් පසුගිය ජනාධිපතිවරණ හතේදීම අවසාන නොවූයේය. ඊට හේතු වූයේ පළමු වටයෙන්ම 50% ඉක්මවීමට මැතිවරණ හතේදීම කිසියම් අපේක්‍ෂකයකුට හැකි වීමයි.


1982 ජනාධිපතිවරණය - ජේ. ආර්. ජයවර්ධන මයා - 52,91%
1988 ජනාධිපතිවරණය - ආර්. ප්‍රේමදාස මයා - 50.43%
1994 ජනාධිපතිවරණය - චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය - 62.28%
1999 ජනාධිපතිවරණය - චන්ද්‍රිකා බණ්ඩාරනායක මිය - 51.12%
2005 ජනාධිපතිවරණය - මහින්ද රාජපක්‍ෂ මයා - 50.29%
2010 ජනාධිපතිවරණය - මහින්ද රාජපක්‍ෂ මයා - 57.88%
2015 ජනාධිපතිවරණය - මෛත්‍රීපාල සිරිසේන මයා - 51.28% 


ඡන්ද ගණන් කිරීමද දිස්ත්‍රික්ක මට්ටමින් තේරීම් භාර නිලධාරීන් විසින් සිදුකරන අතර කොට්ඨාස මට්ටමින් ප්‍රතිඵල කියා දිස්ත්‍රික් ප්‍රතිඵලයද අවසානයේ දිස්ත්‍රික් 22 ප්‍රතිඵල එක් කරමින් මැතිවරණ කොමසාරිස් විසින් අවසන් ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරනු ලබයි.


ඉහත සඳහන් තුන්වැනි ව්‍යවස්ථා සංශෝධනය  තුළින් ජනතා පරමාධිපත්‍යය කෙලෙසෙන බව ප්‍රකාශ කරමින් එම සංශෝධන ව්‍යවස්ථාවට පටහැනි බව ප්‍රකාශ කරන ලෙස ඉල්ලා සිවිල් අයිතිවාසිකම් ආරක්‍ෂක පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත්  කළත් ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ඉවත දැමීය. මේ අනුව ජේ.ආර්. ජයවර්ධන තම ධුර කාලය  අවසන්වීමට වසර දෙකක් තිබියදී ජනාධිපතිවරණයක් කැඳවීමට  අදහස් කළේ කරුණු කීපයක් පදනම් කර ගෙනය.


 1977 සිට ක්‍රියාත්මක කළ නව ආර්ථික ප්‍රතිපත්ති නිසා රට තුළ ආර්ථිකමය පිබිදීමක් ඇතැයි සිතූ ජයවර්ධන ඒ තුළින් ජනතාවගේ අවශ්‍යතාවන් ඉටුවිනැයි ජනතාව සිතන බවත් ඒ නිසා ජනතා ප්‍රසාදය රජයෙන් තවම ඈත්වී නැතැයි ද කල්පනා කළේය. අනෙක් අතින් 1977 දී  ලබාගත් පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලය  තවම දුර්වල වී නැතැයිද කල්පනා කළ අතර ඒ සියල්ලටම වඩා ප්‍රධාන විපක්‍ෂයේ නායිකාව සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ ප්‍රජා අයිතිය හත් වසරකට අහිමි කිරීම නිසා ප්‍රධාන සටන්කරුවා දේශපාලනයෙන් ඉවත් කර තැබීමත් ඒ නිසා ඇතිවූ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අර්බුද තමන්ගේ දේශපාලන තීන්දුවට පාදක කර ගත්තේය. 


ශ්‍රීලනිපය දෙකඩ වී මෛත්‍රී පිල මැතිනි පිල ලෙස වෙන් වූ අතර පක්‍ෂ මූලස්ථානයද මේ වනවිට මෛත්‍රී පිල අල්ලා ගත්තේය. මෛත්‍රීපිලට තම පුතු ඇතුළු පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයින් 13 අයත් විය. බණ්ඩාරනායක මැතිනියගේ පිලට අයත් වූයේ රත්නසිරි වික්‍රමනායක ඇතුළු කීප දෙනෙකි. අර්බුද නිසා ආරක්‍ෂක අංශ යොදවා ශ්‍රීලනිපක්‍ෂ  කාර්යාලය සීල් කරනු ලැබීය. 
තත්ත්වය පැහැදිලි කරගැනීමට මැතිනිය නීතියේ පිහිට පතද්දී කණ්ඩායම් දෙකම තමන් ශ්‍රීලනිපක්‍ෂය බවට මැතිවරණ කොමසාරිස් වෙත  ලේඛන ඉදිරිපත් කරනු ලැබීය. නීතිමය කරුණු පරීක්‍ෂාවකින් පසු මැතිවරණ කොමසාරිස් විසින් 1982 සැප්තැම්බර් 09 වැනිදා බණ්ඩාරනායක මැතිනියගේ කණ්ඩායම නිල ශ්‍රීලනිපක්‍ෂය ලෙස පිළිගත්  අතර කාර්යාලයත්, අත ලකුණත් මැතිනියට හිමිවිය. 


නමුත් පක්‍ෂය දෙකට වී අර්බුදයට යාම නිසා තමනට ලැබුණු දේශපාලන වාසිය හේතුවෙන් මැතිවරණයට වසර දෙකකට පෙර ජනාධිපතිවරණය කැඳවා එය ජයගැන්ම ජේ. ආර්. ජයවර්ධනගේ අභිප්‍රාය වූයෙන් ප්‍රථම ජනාධිපතිවරණයට මගපෑදුණි.

 

බණ්ඩාරගම 
සමරසේන මුදලිගේ
ඡායාරූප : අන්තර්ජාලයෙනි