දහනව වැනි ශතවර්ෂය මුල වෙන විට ලංකාවේ රජයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 10 කි. පෞද්ගලික අංශයේ කම්කරුවකුගේ දිනක සේවා කාලය පැය 12 ක් හෝ පැය 14 ක් පමණ විය. පුහුණු කම්කරුවකුට මාසයකට රුපියල් තිහක පමණ වැටුපක් හිමිවූ අතර නුපුහුණු කම්කරුවකුට රුපියල් දොළහක පමණ වැටුපක් හිමිවිය. මෙම වැටුප් වැඩිවන අවස්ථා මෙන්ම නියමිත වැටුප අඩුවන අවස්ථාද දක්නට ලැබිණි. කම්කරුවන් සේවයට නොපැමිණීම, ප්‍රමාද වී පැමිණීම, දඩ ගැසීමට ප්‍රමාණවත් වරදක් වන අතර එම දඩ මුදල දිනක වැටුපට වඩා වැඩිය. සේව්‍යයන්ට ගෞරව නොදැක්වීම, අවනත නොවීම, විවේක ගැනීමද එවැනිම වරදවල්ය. සේවය අතහැර යෑම සිරගත වීමට තරම් බරපතළ වරදකි.
19 වැනි සියවසේදී රෙදි අපුල්ලන්නන්, කරත්ත කරුවන්, මස් කඩ කාරයන්, වරාය කම්කරුවන් හා වෙනත් කම්කරු කොටස් අතර අතරින් පතර කම්කරු උද්ඝෝෂණ ඇති වුවද, ඒවා තම අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා නොව තම අප්‍රසාදය පළ කිරීමට හා නීතිරීති බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ක්‍රමවේදයන්ට එරෙහිව සංවිධානයක් හෝ නායකත්වයක් නොමැතිව කරන ලද වැඩ නැවැත්වීම් විය. මේ අනුව නවීන කාර්මික අරගලයක ස්වරූපය තිබූ නිල වශයෙන් පිළිගත් ප්‍රථම වැඩවර්ජනය 1893 දී කොළඹ ඇතිවූ මුද්‍රණ කම්කරු වැඩ වර්ජනය වේ.
1891 දී ලංකාවේ පුවත්පත් කාර්යාලවල සහ මුද්‍රණ සමාගම්වල සේවයෙහි යෙදුණු මුද්‍රණ කම්කරුවෝ හා පොත් බඳින්නෝ දහසකට වඩා සිටියහ. මේ වකවානුව වනවිට කොළඹ නගරයේ දිනපතා ඉංග්‍රීසි පුවත්පත් පහක් පළකරන ලදී. හාම්පුතුන් වෙනුවෙන් පෙනී සිටි එම පුවත්පත් කම්කරු නොසන්සුන්තාවයක් ඇතිවූ වහාම පුවත් පළ කරනු ලැබූයේ කම්කරුවන් අධෛර්යයට පත්වන ආකාරයෙනි. දැනට පවතින වැටුපට වඩා අඩු වැටුපකට ඉන්දියන්, චීන හෝ මැලේ කම්කරුවන් ගෙන්වීමට ආණ්ඩුව පියවර ගෙන ඇති බව එවැනි එක් පුවතකි. එවැනි පුවත් නිසා කම්කරු උණුසුම ඇතිවූ සැණින්ම බිඳවැටිණි.
1893 දී කොළඹ ඇතිවූ මුද්‍රණ කම්කරු වැඩවර්ජනය ඒ. ඊ. බුල්ජන්ස් සහ දොස්තර ලිස්බෝ පින්තු යන දෙදෙනා විසින් වෘත්තීය සමිති වෙනුවෙන් කරන ලද ප්‍රචාරණ කටයුතුවල ප්‍රතිඵලය විය. ඒ අනුව කම්කරු ප්‍රශ්න පළමුවෙන්ම සාකච්ඡා කරන ලද්දේ, ලිස්බෝ පින්තු සංස්කරණය කරන ලද ‘ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික්’ සඟරාවෙනි. මුද්‍රණ කම්කරුවන්ගේ ප්‍රධාන දුක්ගැනවිලි අතර පඩි මදිකම, අයහපත් වැඩ කිරීමේ හා ජීවත්වීමේ තත්ත්වයන් පිළිබඳව අඩංගු වීම, දැකිය හැකිය.
1893 ජූලි මාසයේදී බුල්ජන්ස් මෙම සඟරාවේ ලිපියක් පළකළ අතර එම ලිපියේ අරමුණ වූයේ කම්කරුවාට තමන්ගේ ශක්තිය හා අයිතිවාසිකම් දිනාගන්නා අයුරු පෙන්වා දීමය. ඒ අනුව කම්කරු සමිති ගොඩනගා ඒ තුළින් සටන් කර පාලකයන් දණ ගැස්විය හැකි බව හා ලෝකයේ කම්කරු සටන් පිළිබඳවත් එම ලිපියෙන් පැහැදිලි කර දුනි. මෙම ලිපිය කම්කරුවන්ට කරන ලද ආයාචනයක් බඳු විය. නමුත් ඒ සඳහා ප්‍රතිචාරය අයහපත් විය. නමුත් නොකඩවා බුල්ජන්ස් හා ලිස්බෝ පින්තු විසින් ගෙනගිය ප්‍රචාරය නිසා එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ මුද්‍රණ අංශයේ කිහිපදෙනෙකු සාකච්ඡාවක් සඳහා සූදානම් කර ගැනීමට ඔවුනට හැකිවිය. කේව් සමාගම ඉංග්‍රීසීන් සතුව කොළඹ නගරයේ පැවති විශාලතම මුද්‍රණ හා පොත් වෙළඳ සමාගමය.
මේ වන විට කේව් සමාගමේ වැටුප් ප්‍රශ්නයක් ඇතිවී තිබුණි. කේව් සමාගමේ කම්කරුවන්ට මාස්පතා වැටුප් ගෙවන ලද බැවින් මාසය අවසන් වන විට බොහෝ දුෂ්කරතා සහ ණය ගැතිකම් ඇතිවීමට මග පෑදිණි. ඇතැම් කම්කරුවන්ගේ මාසික වැටුප රුපියල් 11 ක් තරම් පහළ මට්ටමක පැවතුණි. මීට අමතරව ප්‍රමාද වී වැඩට පැමිණීම, සේවා වැරදි සහ අතපසු වීම්වලදී දඬුවම් ලෙස දඩ ගැසීම, වෘත්තියේ ස්වභාවය නිසා ඇතිවන වෙහෙස ශාරීරික පීඩා සහ වැඩිදෙනා ජීවත්ව සිටි මුඩුක්කු පරිසරය වැනි හේතූන් නිසා කම්කරුවන් අතර පැවතුණේ දැඩි පීඩනයකි. වැටුප් වැඩි කිරීම පිළිබඳවත්, වැටුප් ගෙවීම ප්‍රමාද නොකර ක්‍රමවත්ව ගෙවන ලෙසටත් හා සේවක සුබසාධනය පිළිබඳවත් ඉල්ලීම් කේව් සමාගමට ඉදිරිපත් කළමුත් පාලනාධිකාරිය විසින් එම ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදී.
ඒ අනුව කේව් සමාගමේ මුද්‍රණ කම්කරුවන් 60 දෙනෙකුගේ වැඩ වර්ජනයක් ආරම්භ විය. වැඩ වර්ජනය ආරම්භ වී දිනකට පසු පවත්වන ලද ප්‍රසිද්ධ රැස්වීමකදී මුද්‍රණ කම්කරුවන්ගේ කම්කරු සමිතියක් පිහිටුවන ලදී. මෙම රැස්වීමේ මුලසුන දරන ලද්දේ මධ්‍යස්ථවාදී දේශපාලන නායකයෙකු හා ලංකා ජාතික සංගමයේ සභාපති වූද, තරුණ නීතිඥයෙකු වූ එච්. ජේ. සී. පෙරේරා මහතාය. රැස්වීම අමතා කතා කළ අය අතර අමද්‍යප නායකයකු ලෙස ප්‍රකටව සිටි මාටිනස් පෙරේරා සහ මුද්‍රණ කම්කරුවකු වශයෙන් කලක් සේවය කළ සී. දොන් බැස්ටියන් යන අයද වූහ.
මෙම රැස්වීම ගැන වාර්තා කළ ඉන්ඩිපෙන්ඩන්ට් කැතලික් පුවත්පත මෙසේ පැවසූ බව ලේඛනගතව තිබේ. “මෙය මේ කුඩා දිවයිනේ ඉතිහාසයේ ප්‍රථම වරට කම්කරුවන් තම අයිතිවාසිකම් සඳහා නැගී සිටි අවස්ථාව විය. එබැවින් මෙබඳු රැස්වීමක් පැවැත්වීමේ අදහස ඇත්ත වශයෙන්ම නවක හා විස්මයජනක විය. ඇතැමුන්ට එය බොහෝ නිර්භීත වූ ක්‍රියාවක් ලෙස පෙනෙන්නට ඇතැයි අපි සිතමු.” මුද්‍රණ වැඩවර්ජනය ආරම්භ කර තිබුණේ වැටුප් දිනයට ඉතා ආසන්නව බැවින් වැටුප් ගෙවීම අත්හිටුවීමට පාලනාධිකාරිය පියවර ගත්තේය. ආර්ථික අපහසුතාවලට මුහුණදීමට සිදුවීම නිසා කම්කරුවෝ දින හයකින් ආපසු වැඩට ගියහ. ඒ අනුව වැඩවර්ජනය දිගටම කරගෙන යාමට නුපුළුවන් වූ බැවින් දින හයකට පසු එය අවසන් විය. සේව්‍යයන්ට යම් පමණක හෝ හිතවත්කම් දැක්වූ කම්කරු පිරිසක් කැඳවූ සේව්‍යයෝ කොන්දේසි වෙනුවෙන් සමාව අයදින බව සඳහන් ලිපිවලට අත්සන් ගත්හ. සෙසු කම්කරුවන් සම්බන්ධයෙන්ද එම පියවර ගනු ලැබිණි.
මුද්‍රණ කම්කරු වැඩවර්ජනය අසාර්ථක වුවද කම්කරු සමිතිය වැඩිකල් නොපැවතුනද, ලාංකීය කම්කරු පංතියට වැඩ වර්ජන සටන්වල යෙදීමේ පුළුවන්කම තැබූ බැව් මුද්‍රණ කම්කරු සටන මගින් පැහැදිලිව පෙන්නුම් කෙරිණ.
රැස්වීමෙන් පසුව පිහිටුවා ගනු ලැබූ කම්කරු සමිතිය ශ්‍රී ලංකාවේ පළමු කම්කරු සමිතිය ලෙස ඉතිහාස ගත විය. 1894 දී එනම් සමිතිය සාදා අවුරුද්දකින් පසු දොස්තර ලිස්බෝ පින්තු මෙසේ කීවේය. “ලාංකීය මුද්‍රණ කම්කරුවා තමන්ට ආධාර කිරීම සඳහා හැම කෙනෙකුම ඉදිරිපත් වෙතැයි බලාපොරොත්තු වෙයි. තමන්ට දුක්ගැනවිලි ඇති බැව් ඔහු දනී. එහෙත් තමන් අත් හකුළුවාගෙන බලා සිටින අතර වෙනත් අය එම දුක්ගැනවිලි ඉවත් කළ යුතු යැයි ඔහු අදහස් කරයි. මේ උදාසීනත්වය පුදුම සහගතය. සංගමය ගොළුබෙල්ලෙකු මෙන් ඉතා සෙමින් හා ආයාසයෙන් ගමන් කරන අන්දම මා බලා සිටින්නේ මහත් කණගාටුවෙනි.”
එම්. තාරික්